දුක සදා මගෙ උරුමයක් | සිළුමිණ

දුක සදා මගෙ උරුමයක්

සිනා­මුසු බස් දහස් ගණ­නක

නොවූ සෙනෙ­හස සැඟව ගත්
කව­ම­දා­වත් නොදුටු කඳු­ළක්
දිලි­සුණා ඔබෙ නෙත් අගත්...
සොඳුරු හීනෙක කැබලි විසි­රුණු
සසර සිත් ඉම වැතිර ගත්
ඔබ දන්නෙ නෑ ඒ කඳුළු වැල්
හිත කොනි­ත්තන හැටි යළිත්...
හුදු බැඳී­මක් නොවේ ප්‍රේමය
මහා අරු­තක් ඇති දෙයක්
දැන දැනම නුඹ මෙතෙක් කල් එය
වසන් කළ හැටි අරු­ම­යක්...
සිනා සළු­යෙන් වැසී තිබු­ණත්
දුක සදා මගෙ උරු­ම­යක්
නුඹේ සුසුමේ බරම හැර මට
දැනෙන්නේ නෑ කිසි­දෙ­යක්...

ගැහැනියගේ නෙතේ නම් කඳුළක් නැති මොහොතක් නැති තරම්ය. ඇය පුංචිම පුංචි දේටත් හැඟීම් බරය. එනිසාම ඕනෑම වෙලාවක ඒ නෙත් කඳුළුවලින් පිරේ. එහෙත් පිරිමි ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ ඇස්වල කඳුළක් දැකිය හැක්කේ බොහෝ කලාතුරකිනි. ඒ කඳුළද දැකිය හැක්තේ වාවා ගන්නටම බැරි දෙයක් සිදු වූ විටෙකය. ජීවිතේ කිසිම දිනෙක තමන් සමඟ ජීවත් වූ කෙනෙකුගේ ඇසෙහි නොදුටු කඳුළක්, යම් දිනෙක දුටු විට හදට දැනෙන බර කෙසේ නම් ලියන්න ද. කඳුළට උත්තරය කඳුළ තුළම සඟවන්නට සිතෙන්නේ ගැහැනුන්ට පමණම ද? අප දකින, සිතන පිරිමි හිත් ඇතුළේ ඇති කඳුළු ඇස්වලින් පිට වන මොහොතක ඇයට මෙසේ කියන්නට සිතීම පුදුමයක් නොවේ.

“සොඳුරු හීනෙක කැබලි විසිරුණු

සසර සිත් ඉම වැතිර ගත්

ඔබ දන්නේ නෑ ඒ කඳුළු වැල්

හිත කොනිත්තන හැටි යළිත්....

සිනාමුසු බස් දහස් ගණනක්

නොවු සෙනෙහස සැඟව ගත්

කවමදාවත් නොදුටු කඳුළක්

දිලිසුණා ඔබෙ නෙත් අගත්...

එදිනෙදා ජීවිතයේදී බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හද සනසන කතා වලට වඩා හද පෙළන කතාය. ඇතැම් විට මේ කතා අසා අපි බොහෝ තැවෙන්නෙමු. ජීවිතය මහා පුදුමාකාරය. අනුන්ගේ දුකේදී තැවෙන දැවෙන සිත් ඇත්තන්ට සතුට බොහෝ දුරය. නමුදු නිර්මාණකරුවන්ගේ සිත් ඊට හාත්පසින්ම වෙස්ය. ඔවුහු අන් දුකේදී තැවේ දැවේ. ඇතැම්වට දින ගණන් සති ගණන් මාස ගණන් ඒ දුක සිතේ විදවමින් තම කටයුතු කරගෙන යති. අවසානයේ ඒ දුක මතින් බිහි වන්නේ සුන්දර නිර්මාණයන්ය. ඒ එක්කෝ කවියකි, නැතිනම් ගීතයකි, එහෙමත් නැති නම් නව කතාවකි. ඇතැම් විට එකම අත්දැකීම ඇසුරෙන් කවි, ගීත, නවකතා ආදි වු නිර්මාණ කිහිපයක්ම බිහි වේ. විවිධ අත්දැකීම් ඇසුරෙන් බිහි වූ එවැනි නිර්මාණ ඇතැම් විට අපට හමු වේ. නිපුනි නයනතාරා නම් වූ යොවුන් ගායිකාව ගයන මේ ගීතයද එවැන්නකි. ඇගේ සංවේදි ළයාන්විත හඬ පෙම් සිතක් නොරිදුණේ නම් එය පුදුමයකි. එමෙන්ම නව පරපුරේ දක්ෂ සංගීතඥයකු වන දර්ශන වික්‍රමතුංගයන්ගේ තනු නිර්මාණය ද ඊටම ගැළපේ. මේ සියල්ල ගැළපෙන්නේ ප්‍රේමණිය නවකතා ලියන්නියක වන චන්දි කොඩිකාරිගේ ගේය පද රචනය සමඟය. නිපුනිගේ හඬින් මේ ගීතය ඇසුණු මොහොතේ නොදැනීම සුසුමක් පිටවුණි. ඒ සුසුම දෙගුණ තෙගුණ වුයේ ගීතයට අත්දැකීම වූ කතාව ඇසීමෙන් පසුය.

“කාලෙකට පෙර මට මගේ යෙහෙළියක් කතාවක් කිව්වා. එය ඇසූ මොහොතේ මගේ සිතට දැනුණේ පුදුමාකාර දුකක්. මම ඒ දුකත් සමඟ කාලයක් තිස්සේ ජීවත් වුණා කිව්වොත් නිවැරදියි. මෙය සත්‍ය කතාවක්. එක් ගැහැනු ළමයෙක් තරුණයෙක් සමඟ ප්‍රේමයේ බැඳිලා තියෙනවා. නමුත් ඔවුන් විවාහ වෙන්න ගිහින් වැඩිහිටියෝ හඳහන් බැලුවාම කියලා තියෙනවා මේ තරුණියව බැන්දොත් තරුණයා මැරෙනවා කියලා. තරුණයාගේ පැත්තේ වැඩිහිටියෝ විවාහයට අකමැති වෙලා. බොහෝම අමාරුවෙන් තරුණයයි තරුණියයි වෙන් වෙන්න තීරණය කරලා. ඒත් ඒ දෙන්නා යළිත් සම්බන්ධය පටන් අරගෙන අනෙක් අයට හොරෙන්. මෙහෙම ඉන්න අතර අර තරණයා රිය අනතුරකින් මිය ගිහින්. ඉන් පස්සේ තරුණිය විවාහ වීම ප්‍රතික්ෂේප කරලා. නමුත් තම නෑනාගෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවස ගන්න බැරුව ඇය තරුණයෙක් සමඟ විවාහ වෙන්න කැමති වෙනවා. එය වැඩිහිටියන් ගෙනා යෝජනාවක්. ඒ දෙන්නාගේ විවාහය සිදුවෙනවා. ඔවුන් විවාහ වූ දා රාත්‍රිෙය් නතර වෙන්නේ මුහුද අද්දර හෝටලයක. මනමාලයා පසු දා උදේ මුහුදේ නාන්න ගිහිල්ලා මිය යනවා. ඇයට මෙය දරා ගැනීම අසීරුයි. ඇය මේ බව තම නිවෙසට කියන්න කියලා හෝටලය දෙසට යනවා. ඒ යන අතර තුරේ ඇගේ සොයුරා ඇය ඉදිරියට එනවා. ඇය අහනවා කොහොම ද දන්නේ කියලා. අඬමින් තමන් ඉදිරියට එන සොයුරියගෙන් සොයුරා අහනවා කොහොම ද දන්නේ කියලා.

අවසානයේ සොයුරා කියනවා පෙරදා රෑ දුවට කරදරයක් කියලා හීනෙන් දුටුව තාත්තා පසුදා උදේම අම්මා සමඟ දුව බලන්න හෝටලයට එද්දි අනතුරකින් මිය ගියා කියලා. ඇයට මවත් පියාත් සිය ස්වාමියාත් නැති වෙනවා. මේ සත්‍ය කතාව ඇහුවට පස්සේ මම හුඟක් කම්පා වූණා. මේ සිදු වීම කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා. අවසානයේ මම නවකතාවක් ලිව්වා ඉසිහිල් කඳුළැල් කියලා. ඒ කතාවේ තරුණයාගේ නම දිනිත්. තරුණියගේ නම නිකේතනි. නමුත් තරුණයා පෙම්වතිය අමතන්නේ සුද්දි කියලා. මගේ කතාවේ එක තැනෙක සුද්දි හා දිනිත් රණ්ඩු වෙනවා. ඒ තැන දි ලියැවුණ දෙබසක් තමයි මගේ ගීතය ලියන්න මුල් වුණේ.

හැම නවකතාවක්ම ලියලා ඉවර වුණාට පස්සේ මම පසු කවරයට පද පෙළක් ලියනවා. එහෙම ලියපු පද අතරින් මේ පද පෙළ තමයි මුල්වරට ගීතයක් වුණේ. මේ ගීතය අහපු බොහෝ අය ඊට කැමති වුණා.”

අප දන්නා කාලයේ පටන් ආදරණීය සංවේදි ප්‍රේම කතා ලියු චන්දි අක්කා ලියූ ගීතය ගැන එසේ පවසන්නීය.

Comments