කාබන් උදාසීනකරණය අපි පටන් ගත්තා | සිළුමිණ

කාබන් උදාසීනකරණය අපි පටන් ගත්තා

හරිත විප්ලවයට  සැරසෙන ජ‘පුර සරසවිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියාන් පෙරේරා

වත්මන් ලොව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස ගෝලීය උණුසුම හැඳින්විය හැකිය. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික

මණ්ඩලය විසින් සඳහන් කර ඇති පරිදි මිහිතලයේ උණුසුම වැඩිවීම 1.1oC වන අතර වසර 2030 වන විට එය 1.5oC දක්වා වැඩි වීමට නියමිතය.

වාහනවලින් පිටවන අහිතකර වායූ, ගල් අඟුරු බලාගාරවලින් සිදු වන පොසිල ඉන්ධන දහනය, මිනිසුන් විසින් වනාන්තර සහ අනෙකුත් ස්වාභාවික පරිසර පද්ධති විනාශ කිරීම යන සියල්ල ගෝලීය දේශගුණික විපර්යාසවලට තුඩු දෙන ලෝකයේ සාමාන්‍ය දේශගුණික හා කාලගුණික රටා වල

වෙනසට හේතු වේ.

ඇමසන් හි ඇති වූ ළැව්ගිනි, ලොව පුරා තැන් තැන්වල සිදු වූ ගංවතුර හා නායයෑම්, නියඟය, ග්ලැසියර දිය වීම් නිසා මුහුදු මට්ටම ඉහළ යාම, මෙම “ගෝලීය දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයි. එය සිදුවන්නේ අප සිතනවාට වඩා වේගයෙන්. එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුවට අනුව අප සිටින්නේ ගෝලීය දේශගුණික අවදානම් තත්ත්වයක ය.

පරිසරය රැක ගැනීම හා ඒ සඳහා වූ ක්‍රමවේද හඳුනා ගැනීමට මේ වන විට වත්මන් තරුණ ප්‍රජාව ඇතුළු යම් ප්‍රමාණයකගේ උනන්දුව මත ලොව ප්‍රධාන විශ්ව විද්‍යාල ද ගෝලිය උණුසුම අවම කරගැනීම, කාබන් අවශෝෂණය සහ සමස්ත පාරිසරක විනාශය වළක්වා ගැනීමට යම් යම් විසඳුම් හා ක්‍රමවේද හඳුන්වා දී ඇත. එම ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් ඉදිරි වසර පහක දහයක කාලය තුළ යම්තාක් දුරට ගෝලීය විනාශය අවම කරගැනීමට එම විශ්වවිද්‍යාල කටයුතු කරමින් සිටී. එම ක්‍රියාවලිය ආදර්ශයක් කරගනිමින් ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාලයක්ද මේ වන විට මෙම කර්තව්‍යයට එක්ව සිටීම සතුටට කරුණකි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. හරිත සංකල්පය හා තිරසාරත්වය පිළිබඳ වූ ගමන ඔවුන් අරඹන්නේ තම විශ්ව විද්‍යාලය තුළින්ම වීම සුවිශේෂිය. මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියාන් පෙරේරා අප සමඟ එකතු විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හරිත සංකල්පය හා තිරසාරත්වය පිළිබඳ වූ නව ක්‍රමවේදය

අරඹන්නේ කොතැනින්ද?

“ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල අතුරින් පරිසර සහ වනාන්තර පිළිබඳ අධ්‍යනංශයක් තිබෙන එකම විශ්ව විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. පරිසර අධ්‍යාපනය සඳහා පුරෝගාමිව කටයුතු කරන අප විශ්වවිද්‍යාලය පරිසරයට ඇති බලපෑම් පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරනවා. ගත වූ වසර කිහිපයේදී අධ්‍යයන හා පර්යේෂණ කටයුතු ප්‍රතිඵල ලෙස පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරන ප්‍රමාණය වැඩි නමුත් එයට ප්‍රමාණවත් කාබන් අවශෝෂක නොමැති බව හඳුනා ගෙන තිබෙනවා. එයට විසඳුමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහය ඇතිව වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ISO14064 අන්තර්ජාතික ප්‍රමිතිකරණයට අනුව “කාබන් උදාසීනකරණ” යනුවෙන් නව ව්‍යාපෘතිය අප අරඹා තිබෙනවා.“

හරිත සංකල්පය හා තිරසාරත්වය පිළිබඳ තවමත් සමාජය දැනුම්වත් නැත. හරිත සංකල්පයකින් කෙරෙන්නේ ස්වාභාවික පරිසරය පවත්වා ගැනීම පමණක්ම නොව උදාහරණයක් ලෙස යම් ආයතනක් හරිත ආයතනයක් බවට පරිවර්තනය වීමේදී ඔවුන්ගේ දෛනික අපද්‍රව්‍ය කළමනාකරණය, බල ශක්ති පරිභෝජනය අවම කිරීම වගේම වැඩ කරන ප්‍රජාව ගැන පවා සැලකිය යුතුය. ඒ සියල්ල මෙම හරිත සංකල්පයට අයත් වේ. තිරසාරත්වය කරා යන ගමනේදී මූලික කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ, පරිසර තිරසාරත්වය, සමාජ තිරසාරත්වය හා ආර්ථික තිරසාරත්වයයි. මේ ත්‍රිත්වය සමබර නම් තිරසාරත්වය කරා ගමන් කළ හැකිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් අරඹා ඇති මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් සහ ජනතාව අතර හරිත සංකල්පය ප්‍රචලිත කරමින් එක්ව තිරසාරත්වය කර ගමන් කිරීමයි. විශ්ව විද්‍යාලයේ සිටින ඉහළ වෘත්තීය නිපුණත්වයකින් යුත් කණඩායමක් විසින් පාරිසරික ඇගයුම් වාර්තා, මූලික පාරිසරික සමීක්ෂණ, ජෛ විවිධත්ව ඇගයීම් වාර්තා, පරිසර විද්‍යාත්මක හා භූමි භාවිතය පිළිබඳ සමීක්ෂණ, කාබන් පියසටහන් ගණනය කිරීම්, කර්මාන්ත ආශ්‍රිතව ඇති වන තිරසාරත්වය පිළිබඳ ගැටලු සඳහා විසඳුම් ලබාදීම සිදු කරයි.

කාබන් අවශෝෂණය කිරීමේ ලොව ප්‍රධාන උපක්‍රමයක් ලෙස පිළිගැනෙන වන ගහනය වැඩි කිරීම කාබන් උදාසීනකරණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරෙන තවත් එක් වැඩපිළිවෙළකි. ගෝලීය උණුසුම අවම කිරීම සඳහා ද එය වඩාත් සුදුසු විසඳුම ලෙස නවීන පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. එම වැඩපිළිවෙල යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 400ක කොටසක වාර්ෂිකව පැළ 12,000 සිටුවමින් වන ගහනය පුළුල් කිරීමට නියමිතය. ඒ පිළිබඳ ද ආචාර්ය ප්‍රියාන් පෙරේරා පවසන්නේ මෙවැන්නකි..

“ශීඝ්‍ර ‍ෙයන් විනාශ වී යන වනාන්තර ගැටලුවට මෙය මහඟු අත්වැලක් මෙන්ම එය “කාබන් අවශෝෂකයක්” ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙම ක්‍රියාවලියට අප ඒ අවට ගම්මානවල තෝරා ගත් පිරිසක් සම්බන්ධ කරගනිමින් ඒ ඒ පළාත්වල වැඩෙන ශාක හඳුනා ගෙන ඒ පැළ එම පිරිසට ලබා දී සාත්තු කරන ක්‍රමවේද පිළිබඳද දැනුම්වත් කර ඔවුන්ටත්වුන් ආදායමක් ලැබෙන පරිදි එම පැළ තරමක් වැඩුණු පසු ඔවුන්ගෙන් අප ලබා ගෙන රෝපණය කරනවා. දැනට විශ්වවිද්‍යාලීය අධ්‍යයන කටයුතු සඳහා භාවිත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේනතුවෙන් අපට දි තිබෙන යගිරල රක්ෂිතයේ අක්කර 100 භූමී ප්‍රමාණයෙන් අක්කර 50 කද නැවත පැළ රෝපණය කිරීමේ කටයුතු කෙරෙමින් පවතිනවා. මෙහිදි එම පරිසර පද්ධතියට අයත් වඳවී යන දේශීය ශාක හඳුනා ගනිමින් එම ශාක යළි රෝපණය කරන්න කටයුතු කරනවා. මෙම ක්‍රියාවලිය රට පුරා ගෙන යන්නයි අපේ බලාපොරොත්තුව. නමුත් එය පහසු කටයුත්තක් නෙ‍ෙමයි. දැනට රාජ්‍ය හා පෞද්ගලික අනුග්‍රහය ලැබුණත් මුල්‍ය ප්‍රතිපාදනවල ලොකු ගැටලු තිබෙනවා. ඒ නිසා පරිසරය ගැන උනන්දු වන ඕනෑම ආයතනයකට පිරිසකට අප සමඟ මේ කර්තව්‍යයට එකතු වෙන්න පුළුවන්.“

ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශය හා ජෛව විවිධත්වය නැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර 2020 වන විට රටේ වනාන්තර ප්‍රමාණය සියයට 29 සිට සියයට 32 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි. කරුවලගස්වැව දියත් කෙරෙන මෙම වන සංරක්ෂණ වැඩපිළිවෙළ මෙරට ජාතික වනාන්තර සංරක්ෂණයට විශාල දායකත්වයකි.

දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පමණක් අරඹා ඇති ජාතික වැදගත්කමකින් යුත් මෙම වැඩපිළිවෙළ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මෙන්ම මුළු මහත් ශ්‍රී ලාංකේයන්ටම කදිම පූර්වාදර්ශයකි.

Comments