උපන් දා ඉඳලා අපට ඇහුණේ බෙර හඬයි | සිළුමිණ

උපන් දා ඉඳලා අපට ඇහුණේ බෙර හඬයි

උපන් හපන් හැකියාවත් රැගෙන නර්තනයේ නියැළුණු දොරටියාවේ බී.පී. අහුගොඩ සාරංග යනුවෙන් ද හඳුන්වයි. මේ ශිල්පයට ඇති දක්ෂතාව නිසා ය. ඔහු නාවික හමුදාවේ තූර්ය වාදන අංශයට ඇතුළු වන්නේ. ඒ වකවානුව යුද, නාවික, ගුවන්, පොලිස් තූර්ය වාදක අංශවල කිසිදු නර්තන කණ්ඩායමක් බිහි නොවුණු යුගයකි.

 

ඈතින් ඇසෙන්නේ ගැටබෙරයක් වයන හඬකි. මම සෙමෙන් සෙමෙන් ඒ හඬ ඇසෙන නිවෙස දෙසට ගමන් කරමින් සිටියෙමි. නිවෙස ඉදිරිපස එක් කොනක අහුගොඩ පරම්පරාවේ නම සහිත පුවරුවකි. ඒ පුවරුවෙන් කියැවෙන්නේ මේ නිවෙසේ පාරම්පරිකව පැවැත එන නර්තන ශිල්පීන් සිටිනා බවකි. ඈතින් ඇසුණු බෙර හඬ දැන් දැන් ඇසෙන්නේ කන ළඟිනි. ඉදිරිපස සිටින්නේ මැදිවියේ සිටින කාන්තාවකි. අහුගොඩ නර්තන ශිල්පියාගේ බිරින්දෑ වන ඈ අපව පිළිගත්තේ සාලයට කැඳවා ගෙන යමිනි.

“මහත්තයා දැන් එයි.... ”

අප මේ පිළිපන්නේ දොරටියාවේ බී.පී. අහුගොඩ නර්තන ශිල්පියාගේ නිවෙසට ය. පාරම්පරිකව පැවැත එන බෙරවාදන හා නර්තන කලාව උපතින්ම උරුම කරගත් අහුගොඩ නර්තන ශිල්පියා, සුද්දනා නොහොත් ටිකිරා ගුරුතුමාගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහුට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරයෝ දෙදෙනෙකුත්, බාල සහෝදරි­‍ෙයා් දෙදෙනකුත් සිටියහ. මේ සියල්ලන්ට ම නර්තනයේ හිමිකම ලැබුණේ උපතින් ම ය.

“ඒ කාලයේ නර්තනය ඉගෙන ගන්න විදියක් තිබුණා. මේ දැන් වගේ හිතුණ හිතුණ විදියට නර්තනය, බෙර වාදනය ඉගෙන ගන්න බැහැ. අපට උපන් දා ඉඳලා ඇහුණේ බෙරවාදන. දැක්කේ කස්තිරම්. අඩව්. ඒත් ඒ ඉගෙනුම අප සය දෙනාටත් දුන්නේ අනෙක් හැමෝටමත් දෙන විදියට. නර්තනය ඉගෙන ගන්න සීයා ළඟට ආව හැමෝම එක ම පිරිසක් බවට පත් වුණා. ඔවුන්ට නිදා ගන්නේ ලැබුණේ පැදුරක්. ඔවුන් වෙනුවෙන් වෙනම මඩුවක් හදලා තිබුණා. එතැන තමයි ඔවුන් හැමෝම නිදා ගත්තේ. මොන කුලයකින් ආවත් ඒ පැදුරයි ඔවුන්ට නිදා ගන්න ලැබෙන්නේ. ඇඳක නිදා ගන්නේ සීයා විතරයි. ඒ අයට කන්න දුන්නේ මුලින් ම කොළපොතකින් හැදුව පිඟානක. පස්සේ මැටිකෝප්පයක. එතැනින් ඔවුන් කළේ මිනිස්සුන්ගේ සිතේ තිබෙන මාන්නය බිඳීමයි. මමත්, මගේ සහෝදර සහෝදරියන් නර්තනය, බෙරවාදනය ඉගෙන ගත්තේ එහෙමයි.”

බී.පී. අහුගොඩ අප සමඟ කතාබහට එක් වූයේ අතීතයෙන් බිඳක් අප හමුවේ තබන ගමන් ය. මේ නර්තන පරපුර බොහෝ ඈතකට දිව යන්නකි. මේ අහුගොඩ පරපුරේ ප්‍රධානියා වන්නේ ගණිතා ගුරුන්නාන්සේ ය. ඔහුගේ සහෝදරයා පොල්ගහවෙල සෙවුරංගා ය. ගණිතා ගුරුන්නාන්සේ නැට්ටුවා වූ අතර සෙවුරංගා බෙරවාදනය කළේ ය. ගණිතා ගුරුන්නාන්සේට අහුගොඩ සුරඹා හා අහුගොඩ සයිමා නමින් පුත්තු දෙදෙනෙක් සහ ඩිංගිරි, හපු අම්මා නම් දූවරු දෙදෙනෙක් ද සිටියහ. ඩිංගිරිව දොරටියාවේ සොමලියා විවාහ කරගත් අතර හපු අම්මාව විවාහ කර ගත්තේ සුද්දනා නොහොත් ටිකිරි ගුරුන්නාන්සේ ය. ඒ පී.බී. අහුගොඩගේ පියා­‍ෙණා් ය. සෙවුරංගාට පුත්තු දෙදෙනකි. පංචනාද හා පොල්ගහවෙල සාරංග, පොඩිනේරිස් ශිල්පාධිපති, ගමගේ නොහොත් ශිල්පා ය. පොල්ගහවෙල සාරංග යනු පියසාර ශිල්පාධිපති ලෙස අප අද හඳුන්වන නර්තන ශිල්පී පියසාරයන්ගේ පියාණෝය. මේ ආකාරයෙන් වන විශේෂ කාරණය නම් නර්තනය හා බෙර වාදනය නිසා මේ සියලු පවුල් එකිනෙක හා බැඳී පැවැතීම ය. විවාහ සිද්ධ වූයේ ද ඒ හා බැඳුණු පවුල් අතර වීම විශේෂ සිදු වීමකි.

“මම බෙර වාදනය තාත්තාගෙන් ඉගෙන ගත්තත් නර්තනය ඉගෙන ගන්න අමතරව ගුරුන්නාන්සේලා කිහිපදෙනකු ළඟටම ගියා. ඉන් එක්කෙනකුයි පොල්ගහවෙල සයිමන් ශිල්පාධිපති ගුරුන්නාන්සේ. එයාගේ පවුලේ සිටි පොඩිනේරිස් ශිල්පාධි පතිනියගේ දියණිය වුණු දයාසීලීවයි මා විවාහ කර ගත්තේ. මූලිකව මා දණ්ඩියමේ සරඹ ප්‍රගුණ කළ මගේ නර්තන ආචාර්ය තුමා වන්නේ අහුගොඩ සුරඹා ගුරුන්නාන්සේ. 1960 වසරේදියි මා ඔහුගෙන් අහුගොඩ විහාරස්ථානයේදි හිස වෙස් තැබීමට හා ගුරුවරම් ගැනීමට තරම් වාසනාවන්ත වෙන්නේ. ඒ වගේ ම මට ලැබුණු අනෙක් අවස්ථාව වෙන්නේ කොහොඹා කංකාරි ශාන්ති කර්මවලට සහභාගි වීමට ලැබීම. ඒ කාලයේ අපේ තාත්තා කොහොඹා කංකාරි ශාන්ති කර්ම සියල්ලටම සහභාගි වුණු නිසා මමත් ඒ සියල්ලටම ඔහුත් සමඟ ගියා. ඒ නිසා සුවිශේෂ කලාකුරුවන් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. එක්වරක් මට මතකයි නීල් ආම්ස්ට්‍රෝන් ලංකාවට ආවට පස්සේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදි බැබිල්ගමුවේ ලපයා ගුරුන්නාන්සේ එක්ක තනිකච්චියට නර්තනයක් ඉදිරිපත් කරන්නත් මට හැකියාව ලැබෙනවා. ”

උපන් හපන් හැකියාවත් රැගෙන නර්තනයේ නියැළුණු දොරටියාවේ බී.පී. අහුගොඩ සාරංග යනුවෙන් ද හඳුන්වයි. මේ ශිල්පයට ඇති දක්ෂතාව නිසා ය ඔහු නාවික හමුදාවේ තූර්ය වාදන අංශයට ඇතුළු වන්නේ. ඒ වකවානුව යුද, නාවික, ගුවන්, පොලිස් තූර්ය වාදක අංශවල කිසිදු නර්තන කණ්ඩායමක් බිහි නොවුණු යුගයකි.

“මුලින් අපි බැඳෙන්නේ නාවික හමුදාවේ බටහිර තූර්යවාදක අංශයට උඩරට බෙරවාදන ශිල්පීන් වශයෙන්. මා වගේම මගේ සහෝදරයාත් ඒ සඳහා බඳවා ගන්නවා. ඒ පළමු සෙබළ සොල්දාදු බෙර වාදකයන් විදියට. මේ සංකල්පය අරගෙන එන්නේ එවකට නාවික හමුදාපතිව සිටි කපිතාන් රාජන් කදිරගාමර්, ලුතිනන් කමාන්ඩර් එලිකේවෙල, උප ලුතිනන් ප්‍රේමලාල් දංවත්ත කියන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ඒ අනුව 1967 නාවික හමුදාවට බැඳෙන මා ත්‍රිකුණාමලයේ විද්‍යාපීඨ කඳවුරට ඇතුළු වෙන්නේ පුහුණුව ලබන්න. විසිර යෑම පැවැත්වෙන්නේ උත්සවශ්‍රීයෙන්. එහිදියි මා වෙස් බැඳ නර්තනයේ යෙදෙන කොට මගේ මල්ලි බෙර වාදනයෙන් සහය වෙනවා.”

ඒ අනුව නාවික හමුදාවේ සංස්කෘතික කණ්ඩායමක් ආරම්භ කිරීමේ පුරෝගාමී පුද්ගලයා විදියට අහුගොඩගේ නාමය ඉතිහාසගත වෙයි. ඒ පුහුණුවෙන් පසු වැලිසර නාවික හමුදා ආයතනයේ සේවයේ නියුතු වූ බී.පී. අහුගොඩ තූර්යවාදනය උගෙන, බෙර වාදනයන්ට අමතරව ස්කොට්ලන්තයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වූ බැග් පයිප් වාද්‍ය භාණ්ඩය වාදනය කිරීමේ ද හසළ දැනුමක් ලබා සිටියෙකි.

“මේ අතරදියි ක්ලිපම්බක් නාවික මැඳුරේ ප්‍රියසාදයක් පැවැත්වෙන්නේ. එතැනට ඇවිත් සිටිය අමුත්තන් පිනවන්න නාවික හමුදා බටහිර තූර්වාදක සංගීතයට ගජගා වන්නමේ රිද්මය මුසු කරමින් කරන වාදනය හා නර්තනය කාගෙත් වගේ සිත් ගන්නවා. මේක දකින එවකට නාවික හමුදාපති අද්මිරාල් බැසිල් ගුණසේකර මහත්තයා තමයි එහි නර්තන කණ්ඩායමක් නිර්මාණය කරන්න අවශ්‍ය අඩිතාලම දමන්නේ. ඔවුන්ට පරිබාහිරව තවත් පස්දෙනකුගේ බඳවා ගැනීමකින් පස්සෙයි එහි සංස්කෘතික වාදක අංශය ආරම්භ වන්නේ.”

ප්‍රේමලාල් දන්වත්තගේ සංකල්පයකට අනුව එවකට තිබූ හමුදා ගීතය වෙනුවට සාගර ගමන ගීතයට බටහිර තූර්වාදක භාණ්ඩවලට අනුරූපීව ගැටබෙරය වාදනය ඈඳන්නේ ද මෙතුමාගේ අදහසක් අනුව ය. ඒ ගීතයට පරංගි හටන සිහිපත් වන පරිදි නිර්මාණයක් කිරීමට ප්‍රේමලාල් දන්වත්ත මහතාට සහය දී ඇත්තේ අහුගොඩයන් ය. බැග්පයිප් වාද්‍ය භාණ්ඩයෙන් වන්නම් වාදනය කළ හැකි බවට පවසමින් දේශීය නර්තන කලාවට අයත් ගී තනු හා බටහිරට ආවේණික ගී තනුවලට දේශීයත්වය මුසු කරමින් ඒ වාදනවලට වෙනස්ම ආරක් ගෙනෙමින් අඩිතාලම දමන්න බී.පී. අහුගොඩට හැකි වේ. විශේෂයෙන් කුවේණි අස්නට ගී තනුවක් බැග්පයිප් වාද්‍ය භාණ්ඩයෙන් නිර්මාණය කරන්නේ ඔහු ය.

ඉන් පසු ය යුද, ගුවන්, පොලිස් ඇතුළු සිවිල් ආරක්ෂක අංශ සඳහා සංස්කෘතික නර්තන කණ්ඩායම් ආරම්භ කිරීම ආරම්භ වන්නේ. ඒ වගේම නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමට නව ආරක් ලබා දී විවිධ විදේශ ප්‍රසංග සඳහා විවිධ රටවලට සංචාරය කිරීමේ අවස්ථාව ද ලැබෙන්නේ බී.පී. අහුගොඩයන්ගේ ප්‍රමුඛත්වයෙනි. එමෙන්ම නාවික හමුදාවේ සංස්කෘතික කණ්ඩායමට කාන්තාවන් එකතු වන්නේ ද අහුගොඩයන්ගේ අදහසක් අනුව ය. එවැනි විශිෂ්ට සේවයක් කළ ඔහු මේ වන විට සිය රැකියාවෙන් විශ්‍රාම ගිය ද නර්තන ශිල්පියකු ලෙස කාර්යක්ෂමව තවමත් නර්තනයේ යෙදෙයි; නර්තනය, බෙරවාදනය තවත් පරපුරකට උගන්වයි. ඔහුගෙන් පසු ඒ ශිල්පය පවත්වාගෙන යන්න ඔහුට දරුවෝ සිව්දෙනෙකි. ඉන්දික අහුගොඩ, චමින්ද අහුගොඩ, සාරංගි හා ජනන්ද අහුගොඩ ය. ඔවුන් අද ඒ කටයුතු සිය පියාගේ අඩිපාරේ යමින් ඉදිරියට කරගෙන යන්නේ අහුගොඩ පරම්පරාවේ මතකය අප සියල්ලන්ගේ මතකයට නඟමින් ය.

 

Comments