වී කිලෝවක සහතික මිල රු. 40/= හොඳටම සෑහේ. එහෙත් දේශපාලන වාසි පතා පසුගිය කාලයේ එය රු. රු. 50/=ක් දක්වා වැඩි කරන ලදී. එය කිසිසේත් සුදුසු නොවේ. ඒ මන්ද යත් හාල් කිලෝවක් ලබා ගැනීමට වී කිලෝ දෙකකටත් වඩා අවශ්‍ය වන බැවිනි. එමනිසා සහල්වල මිල නොසිතූ ලෙස ඉහළ ගොස් ඇත.
ලංකාව තුළ ජීවත් වන සියලුදෙනාම ගොවීන් නොවේ. ගොවිතැන් කරන්නේ සුළු පිරිසකි. පාරිභෝගික ජනතාව ඊට වඩා විශාලය. ගොවිතැන් කිරීමට කුඹුරක් තියා ඉන්න හිටින්නට නිවසක්වත් නැති අය මේ මිහිපිට සිටිනා බව රජයේ බලධාරීන් හා දේශපාලකයින් විශේෂයෙන් දැනගත යුතුය.
නොයෙක් අවස්ථාවල වී කිලෝවක සහතික මිල වැඩි කළත් කිසි කලෙකත් ගොවියාට සහතික මිලක් ලැබෙන්නේ නැත. පුද්ගලික වෙළෙන්දා රුපියල් 20ට 30ට ගොවීන්ගෙන් වී මිලදී ගනියි. රු. 40ක සහතික මිලේ වාසිය ගොවියාට නොලැබේ. එය ගොවියාට ලැබෙනවා නම් ගොවියා සෑහීමකට පත් වේ. දේශපාලන වාසි පතා නිතර නිතර සහතික මිල වැඩි කිරීම අවශ්‍ය නැත. එයින් සිදු වන්නේ සහල්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමය. එය දුප්පත් පාරිභෝගික ජනතාවට දරාගත නොහැකිය.
ගොවිතැන් කිරීමට කුඹුරක් නැති, ඉන්න නිවසක් නැති, රැකියාවක් නැති දුප්පත් පාරිභෝගික ජනතාව ගැනත් සිතා තීරණය ගත යුතු බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඩබ්.ඒ. විජේසිංහ
කයිකාවල,