සාහිත්‍යකරුවා දකින සමාජ සත්‍යය | සිළුමිණ

සාහිත්‍යකරුවා දකින සමාජ සත්‍යය

සාහිත්‍යයකරුවා සෙසු අයමෙන් නොව සමාජාභිවර්ධනයට විවිධ පැතිකඩ ඔස්සේ තමාගේ විඥානය විහිදවා දැඩි පරිශ්‍රමයක් ගන්නා අයෙකි. සමාජයේ සෙසු විෂයභාවයන්ගෙන් උපයුක්ත අය තම විෂයට පමණක් ස්වකීය ප්‍රඥාව විහිදවූවන් සාහිත්‍යයකරුවා සියලුම විෂය ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රඥාව මෙහෙයවා සමාජ සංවර්ධනය අරබයා මහත් මෙහෙවරක් කරන අයෙකි.

සමාජයේ සහෘදයන්ගේ මනස වර්ධනීය තලයකට ගෙන යන්නට මහත් වෙහෙසක් ගන්නේ සාහිත්‍යයකරුවා ය. තමන්ගේ රටේ පමණක් නොව සෙසු සමාජවල සිදුවන්නේ කුමක්දැයි අවදියෙන් සිටින අයෙකි.

මිනිසා කෙරෙහි මානව භක්තිය, සංයත බව, සංවේදිතාව, දයාව, කරුණාව, ශික්ෂණය, විනය, සෙසු අයට උදවු කිරීම ආදී අංශ කෙරෙහි ස්වකීය ප්‍රඥාව මෙහෙයවන්නට අනේකවිධි කෘති ලොවට දායාද කරයි. එම ග්‍රන්ථ පරිශීලනයෙන් සහෘද මනස සංවේදී තලයකට රැගෙන යන්නේය.

සාහිත්‍යයකරුවාගේ කෘති පරිශීලනයෙන් ලබන දැනුම ඉතාම පුළුල් ය. පෙර නොලැබූ ස්වරූපයක් මනසට මතුවන්නේ ය. සාහිත්‍ය කෘතියෙන් මතුවන භාෂා ඥානය, රසඥතාව, රසෝභාවය, පෘථුලාර්ථය හේතු කොටගෙන නොමඟට යොමුවූ මනස යහමඟට ප්‍රවේශවන්නේ ය. සෙසු විෂයයන් ගෙන් මේ තත්ත්වය මතුවන්නේ නැත.

නවකතාව - කෙටිකතාව - කවිය යන ක්ෂේත්‍ර යටතේ පුද්ගල මනස සංවේදී තලයකට පත්වන්නේ ය. හෘදයන්ට වඩාත් සමීප වූ කෘතිය යන යන තැන සාක්කුවේ රුවාගෙන යන්නේ යයි කියුමක් ඇත.

මිනිස් චරිතය කෙරෙහි සාහිත්‍ය විඥානය විහිදවා ඒ තේමාව යටතේ සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇත‍. ගති ලක්ෂණ මත නිර්මාණය වූ කෘති පරිශීලනයෙන් පසු සාහිත්‍යය කරුවාගේ නිවෙස ම හෝ නිවෙස අසලට පැමිණ දෝෂා‍රෝපණය කළ බව අනාවරණයවෙයි. මේ තත්ත්වය ලේඛකයා නැත්නම් සාහිත්‍යකරුවා නොසැලී‍, නොකිපී, ඉතා සතු‍ෙ‍ටන් ඒවාට සවන් දුන් ආකාරය අපට දැකගන්නට ලැබී ඇත. මෙයින් මතුවන්නේ සාහිත්‍යයකරුවාගේ දෘෂ්ටියයි.

සන්සුන් සමාජය‍ක් නිර්මාණය කිරීම සාහිත්‍යකරුවාගේ අභිප්‍රායයි. නොසන්සුන් සමාජයක් ඇතිවීමට බලපෑ හේතු කෙරෙහි අවධානය යොමු කොට එම තත්ත්වය දුරලීමට සාහිත්‍ය ඥානය විහිදවන්නේ ය. සාහිත්‍යකරුවාගෙන් අප අපේක්ෂා කරන්නේත් එයයි.

විශ්ව සාහිත්‍ය භූමිකාව

විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍ර දෙසට නෙත් - සිත් යොමු කරන විට මිනිස් සමාජය යහමඟට යොමු කරන්නට සාහිත්‍යකරුවන් කොතරම් වෙහෙසක් ගත්තා දැයි අපට පෙනී යන්නේ ය. ආත්මාර්ථය පසෙකට ඇද දමා පරාර්ථය කෙරෙහි පමණක් තමන්ගේ සිත මෙහෙයවා එම මෙහෙයවීම පෑන් තුඩකින් සමස්ත සමාජයට දායාද කිරීම සැබෑ සාහිත්‍යයකරුවාගේ කාර්යභාරයයි.

මතුපිටින් පමණක් නොව අභ්‍යන්තරයෙන් සුමඟට යොමු කිරීම සාහිත්‍යකරුවාගේ කාර්යභාරයයි. තමා ගමන් කරන්නේ කුමන අන්තයකට ද යන්න කෙරෙහි අවධානය යොමු කොට නිසි මඟකට පිවිසවීමට දැඩි ප්‍රයත්නයක් සාහිත්‍යයකරුවා ගන්නේ ය‍.

සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් මතුවන විභල්‍යාර්ථභාවය හේතුකොට ගෙන පුද්ගල මනස සංවේදී තලයකට ප්‍රවේශවීම සෙසු අයට මහත් පාඩම් පොතකි. පරමාදර්ශී දිවි පෙවෙත තමයි සමාජයට දායාද කළ යුත්තේ.

චිරන්තන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රතය දෙසට අපගේ විඥානය විහිදවීමේදී සමාජය සුමඟට යොමු කරන්නට ගිහි පැවිදි උගතුන් වියතුන් කොතරම් වෙහෙසක් ගත්තා ද යන්න අමාවතුර - බුත්සරණ පූජාවලිය - සද්ධර්මරත්නාවලිය - සද්ධර්මාලංකාරය යන කෘති පරිශ‍ීලනයෙන් අපට තේරුම්ගත හැකි ය.

ලේනවලට වී පත්ඉරුවල පන්හිඳෙන් ස්වකීය ප්‍රඥාව මෙහෙයවූ ආකාරය අදත් ප්‍රකටය. එදා ගිහි - පැවිදි පඬුවන් සමාජය දෙස පුළුල් වූ දෘෂ්ටියක පිහිටා තමාගේ කාර්යභාරය මැනවින් ඉටුකළ හ. අද්‍යතන අවදි‍යටත් ඒවා ඵලදායක ය.

එක යුගයකට පමණක් ‍සීමා නොවී අතීත - වර්තමාන - අනාගත යන කාලත්‍රයට ම බලපාන ආකාරයෙන් එ් සාහිත්‍ය කෘති රැඳී පවතින්නේ ය. පුද්ගලයා යා යුතු නිම්නයාර්ථ භූමිකාව කෙරෙහි ස්වකීය විඥානකය විහිද විය යුතු ය. තමා හාත්පස අවට ලෝකය කෙරෙහි දෘෂ්ටිය විහිදවා ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න කෙරෙහි සාහිත්‍යකරුවා අවදියෙන් සිටින්නේ ය.

මානව දයාව

මානව දයාව පුද්ගල චරිතයට අනවරතයෙන් ම, නිරන්තරයෙන් ම තිබිය යුතු ය. එම මානව දයාව නොමැති නම් එම චරිතය සමාජයට අවැඩදායක ය. මේ තත්ත්වය දුරලන්නේ සාහිත්‍යකරුවාය. එම චරිත දෙස බලා එයට‍ අවශ්‍ය ගද්‍ය හෝ පද්‍ය සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට කැපවෙයි.

විශ්ව සාහිත්‍යයේ මැක්සිම් හෝර්කි, ඇන්ටන් චෙකොෆ්, ලියෝ තොලොස්තෝයි, දොස්තයෙව්ස්කි, වර්ජිනියා වුල්ෆ්, ටී.එස්. එලියට්, ඩී.එච්. ලෝරන්ස්, ඊ.එම්.‍ෙ‍ෆා්ස්ටර් බඳු සාහිත්‍යකරුවන්ගේ කාර්යභාරය කෙබඳු ද යන්න එම කෘති පරිශීලනයෙන් අපට මනාව අවබෝධ කර‍ගත හැකි ය.

තමන්ගේ විෂය සීමාව ඉක්මවා සහෘදයන් ගමන් කරන්නේ කුමන තැනකට ද යන්න කෙරෙහි අවධානය යොමු කොට සාහිත්‍ය නිර්මාණයට ගෝචරවී ඇති ආකාරය මනාව දිස් වෙයි. ඉතා පරිණත භූමිකාවකට පිවිසෙන සාහිත්‍යකරුවා සමාජය දෙස බලන්නේ ඉතාම පුළුල් වූ දෘෂ්ටියකින් ‍හා මානව දයාවෙනි. තමාගෙන් සමාජයට දායාද කරන්නේ මොනවාද යන්න පිළිබඳව පුළුල් දෘෂ්ටියකට යොමු වී කටයුතු කිරීම සාහිත්‍යකාරයාගේ කාර්යභාරයයි.

මෙබඳු භූමිකාවකට ප්‍රවේශ වී සිටින සැබෑ සාහිත්‍යකරුවා සමාජයට ප්‍රබල කැඩපතකි. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ තුන්කල් විනිවිද දුටු කොග්ගල ප්‍රාඥයා හෙවත් මාර්ටින් වික්‍රමසිංහ මානව සමාජය යහමඟට යොමු කරන්නට මහත් වෙහෙසක් ගත් සාහිත්‍යකරුවෙකි. එක විෂයකට පමණක් තමන්ගේ දෘෂ්ටිය සීමා නොකොට විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ ස්වකීය විඥානය විහිදවා මානවීය ගුණාංග මිනිසා කෙරෙහි ජනිත කරලීමට මහත් වෙහෙසක් ගත් සැබෑ සාහිත්‍යයකරුවෙකි.‍

නවකතා - කෙටිකතා - සාහිත්‍ය විචාරය - මානව විද්‍යාව - පරිනාමවාදය - සත්ත්ව සන්තතිය - පුරාවිද්‍යාව - වාග් විද්‍යාව - දේශපාලනය - සමාජ විද්‍යාව - ඉතිහාසය ආදී විවිධ විෂය පැතිකඩ කෙරෙහි අවධානය යොමු කොට සහෘද මනස සනසන්නට මහත් වෙහෙසක් ගත්තේ ය.

මාර්ටින් වික්‍රමසිංහ අතින් ලියැවුණු සාහිත්‍ය කෘති තවමත් සහෘදයන් සමඟ ය. ඔහුගේ ගම්පෙරළිය - කලියුගය - යුගාන්තය නමැති තුන්ඈඳුතු (Trilogy) නවකතාව තවමත් සහෘදයන් සමඟය. ඒ අය යන යන තැන සාක්කුවේ රුවාගෙන යන්නාහ.

සාහිත්‍ය කෘති පරිශීලනය නොකිරීම හේතුවෙන් මිනිස් දිවියක පැවැතිය යුතු ගුණධර්ම ගිලිහී ගොස් ඇත. පළිගැනීම, සමාජයේ සෙස්සන්ට අවමං කිරීම ආදී දුෂ්ට ගතිගුණ මතුවී ඇත්තේ සම්භාව්‍ය ගණයට ගැනෙන සාහිත්‍ය කෘති පරිශීලනය නොකිරීමේ හේතුවෙනි.

මතු වන පෘථුලාර්ථය

සාහිත්‍ය විෂයයෙන් මතුවන පෘථුලාර්ථ හේතු කොටගෙන පුද්ගල මනස සංවේදී තලයකට ප්‍රවේශ වන්නේ ය. සත්‍යාර්ථය පදනම් කොටගෙන සහේතුක තත්ත්වයට පුද්ගලයා පත් කරන්නේ සාහිත්‍යය කාරයාගේ ඥානය හේතුකොට ගෙනය. මෙබඳු තලයකට ප්‍රවේශ වන්නට පුද්ගලයා නිතරම වෙහෙසක් ගත යුතු ය.

සමාජයේ චරිත දෙසට නෙත යොමු කරන විට එ් චරිත විවිධ ය. මේ විවිධ චරිත කෙරෙහි සාහිත්‍යයකරුවා ස්වකීය දෘෂ්ටිය යොමු කරයි. එ් චරිත මත නිර්මාණය වන සාහිත්‍ය කෘතිය සමාජයට ප්‍රබල සාධකයකි.‍

සාහිත්‍ය ඥානයක් නැත්නම් සමාජය උත්ප්‍රේරණීය තලයකට ප්‍රවේශ වන්නේ නැත. යහපත් සමාජයක් මානවීය ගති ලක්ෂණ යන්ගෙන් ප්‍රගුණ මිනිස් සමාජයක් බිහිවන්නේ සාහිත්‍යකරුවා දකින විවිධ පැතිකඩ ආශ්‍රයෙනි. සමාජය‍ උත්තලයකට ගෙන එන්නට සාහිත්‍යකරුවාගේ ඥානය පෘථුල ය. පටු පරමාර්ථ සාධනයෙන් බැහැරව පුළුල් වූ පරමාර්ථ සාධනයක් විෂයය කොටගෙන යා යුතු නිම්නයාර්ථ භූමිකාව ගැන මනා අවබෝධයකින් ‍යුක්තව කටයුතු කරන්නේ ය.

දිවා - රෑ නොතකා, වේලාව - අවේලාව ‍ගැන නොසිතා, අව්ව - වැස්ස නොබලා සැබෑ සාහිත්‍යයකරුවා කටයුතු කරන්නේ යහපත් සමාජයක් උදෙසා ය. මානවවාදී හැඟීම් වලින් පරිපූර්ණ සමාජයක් ගොඩනැගී ඇත්නම් එය සාහිත්‍යකරුවාට අතිශය ආනන්දයට, ආහ්ලාදයට හේතුභූත වන්නකි.

සාහිත්‍ය විෂය භූමිකාවේ පවත්නා ගති ලක්ෂණ මැනවින් ප්‍රගුණ කරගැනීම සහෘදයන්ගේ මූලික කාරියයි. සංයත, සංවර ගති ගුණ මිනිසා කෙරෙහි අනවරතයෙන් ම පැවැතිය යුතුය. මේ තත්ත්වයකට ගෙන එන්නේ හැබෑ සාහිත්‍යයකරුවා ය. මිනිස් චරිතවලින් අපට බොහෝ අත්දැකීම් ලැබිය හැකි ය. එම අත්දැකීම් හෙවත් අනුභූති හෙවත් ධාරණා සාහිත්‍යය කරුවා විෂයකරගන්නේ.

එම මිනිස් අනුභූති තමයි නවකතාවට, කෙටිකතාවට විෂයවන්නේ. මෙබඳු දෘෂ්ටි තලයකට පිවිස සිටින සාහිත්‍යයකරුවා මිනිසා කෙරෙහි පවත්නා අමානුෂික ගතිගුණ මානුෂික පැතිකඩකට ගෙන එන්නම මහත් පරිශ්‍රමයක් ගන්නේ ය. සමාජයේ සෙස්සන් මෙබඳු තලයකට ප්‍රවේශවන්නේ නෑ‍.

සමාජ පැවැත්ම යහමඟට හරවන්නට සාහිත්‍යකරුවා ගන්නා තැත මෙපමණයයි කියා තක්සේරු කළ නොහැකි ය. අතිප්‍රමාණිකභාවයෙන් යුක්ත සාහිත්‍යයකරුවාගේ දෘෂ්ටිය සමාජය පෝෂිත තලයකට ගෙන එන්නකි‍. අපෝෂිතභාවයෙන් යුක්ත මිනිස් සමාජය පෝෂිත තත්ත්වයකට රැගෙන එන්නට මහත් පරිශ්‍රමයක් ගන්නා තැත අප අගය කළ යුතු ය.

සමාජය සුසංහිත තලයකට රැගෙන යන්නට සාහිත්‍ය දෘෂ්ටිය ප්‍රබල භූමිකාවකි. විකෘති වූ මිනිස් මනස ප්‍රකෘති තලයකට රැගෙන යන්නේත් සැබෑ සාහිත්‍යයකරුවා ය. මේ යථාර්ථය (Reality) අප මැනවින් පසක් කොටගත යුතු ය.

සාහිත්‍යාශ්‍රිත භූමිකාවේ වෙසෙන ජනතාව එම භූමිකාවෙන් නිසි ඵල නෙළාගත යුතු ය. එසේ නෙළාගන්නා ශක්තිය පරම්පරා ගණනාවකම හේතු භූතවන්නකි. බාල පරපුරේ උන්නතිය උදෙසා එම භූමිකාව ඵල දරන්නේ ය. සමහරු සාහිත්‍ය ක්ෂේත්‍රය දෙස පටුත්වයකින් නෙත් හෙළන්නට පෙළඹුණත් එය ඵලදායක වූවක් නොවේ. මෝහයෙන් අන්ධ වූවන් ඒ දෙස පටු නෙතින් බැලුවත් අමෝහයෙන් යුක්ත වූ අය පුළුල් ලෙස ඒ දෙස නෙත් - සිත් යොමුකොට තමන්ගේ ගති ලක්ෂණ තවදුරටත් වර්ධනීය තලයකට රැගෙන යන්නේ ය.

සංවේදී තලයකට

පුද්ගල මනස සංවේදී තලයකට රැගෙන යන්නේත් සාහිත්‍ය භූමිකාවයි. සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන ඇල්මක් නොලත් අයත්, ලත් අයත් අතර පවත්නේ පුළුල් වූ පරතරයකි‍. මේ පරතරය සමනය කරන්නට සාහිත්‍යයකරුවා ප්‍රබල වෙහෙසක් ගන්නේ ය. මේ යථාරූපී ස්වරූපය කෙරෙහි අවධානය යොමු කොට සාහිත්‍යකරණයට පිවිසෙන අය පුළුල් ව‍ූ දෘෂ්ටියක පිහිටිය යුතු ය. සාහිත්‍ය ඥානයෙන් පරිපූර්ණ පුද්ගලයා ඉතාම ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්නේ ය. තමන්ට එල්ලවන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට යත්න දරන්නේ ද නැත. සමාජාවලෝකනය උදෙසා නිර්මිත සාහිත්‍ය භූමිකාව රටකට ප්‍රබල කඩඉමකි. දේශපාලනඥයන්ට මෙය ප්‍රබල නිම්නයකි‍.

මේ විෂය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් රටටත්, සමාජයටත්, මහා ජනතාවටත් සුවිශාල මෙහෙවරක් කළ හැකි ය. වෙනත් විෂයයන්ගෙන් උකහාගත හැකි දෙසට වඩා සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් බොහෝ දේ උකහා ගෙන සමාජයට බොහෝ දේ දායාද කළ හැකි ය.

මානුෂීය ගුණධර්ම

මානුෂීය ගුණධර්මවලට ප්‍රබල භූමිකාවක් වන සාහිත්‍ය ක්ෂේත්‍රයත්, සාහිත්‍යකරුවාත් රැගෙන යන ගමන් මඟ ආශ්‍රයෙන් ස්වයංපෝෂිත රටක් ගොඩ නැඟෙන‍්නේ ය. මේ ස්වභාවයත් අපේ දේශපාලනඥයන් තරයේ සිතට ගත යුතු කරුණකි.

සාහිත්‍යකරුවා නිතරම සමාජ සත්‍යය කෙරෙහි අවධානය යොමු කොට තමාගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට ප්‍රබල වෑයමක් ගන්නේ ය. විවිධ පැතිකඩ ඔස්සේ තමන්ගේ සාහිත්‍ය ඥානය විහිදවීම අනුව පිබිදුණු රටක් බවට පරිවර්තනය වීම මහාජනතාවට අතිශය ආනන්දයට හේතු භූතවන්නකි.

මේ සියල්ලම මනාව කැටිකර ගනිමින් ලියැවුණු ග්‍රන්ථයකි, සාහිත්‍යයකරුවා දකින සමාජ සත්‍ය.

Comments