මගේ පාඨකයන් ගන‍ුදෙනු කරන්නේ මා සමඟ විතරයි | සිළුමිණ

මගේ පාඨකයන් ගන‍ුදෙනු කරන්නේ මා සමඟ විතරයි

ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි විවිධ අංශයන්හී නියැළෙන සේන තෝරදෙණිය ඒ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් හිමි කරගෙන ඇත. ප්‍රවීණ සාහිත්‍ය විචාරකයෙකු ද වන ඔහුගේ නවතම කෘතිය වනුයේ සුරස ප්‍රකාශනයක් ලෙසින් බිහිව ඇති “නිමල මල” නවකතාවයි. මේ සංවාදය ඒ කෘතිය පදනම් කර ගනිමින් බිහි වේ.

නවකතාව හුදු කත‍‍ා ප්‍රවෘත්තියකින් වෙනස් වන්නේ කෙසේද?

එය බරපතළ බැරෑරුම් ‍ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව විවිධ අය විවිධාකාරයෙන් පිළිතුරු දෙනවා. නවකතාවකට කතා වස්තුවක් තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නෙ එහි අන්තර්ගතය කුමක්ද? කියන එකයි. ඊළඟට කුමන මිනිසුන්ගෙ ජීවන ප්‍රවෘත්තියක් ද ඒ කතා වස්තුව තුළින් ඉදිරිපත් කරන්නෙ කියන එක වැදගත්. ඒ වගේම භාෂාත්මකව, කලාත්මකව කොටින්ම කියනව නම් නිර්මාණාත්මකව එය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියන එක ඊළඟට ඉතා වැදගත්. එහෙම බලනකොට හුදු කතා ප්‍රවෘතියක ඔය කියන ලක්ෂණ නැහැ. නවකතාවෙදි අපි විවිධ උපක්‍රම භාවිත කරනවා. එ් උපක්‍රම හරහා එහි කලාත්මක ස්වරූපය ඉස්මතු කරන්නෙ කොහොමද? කියන එක ගැන වැඩි සැලකිල්ලක් යොමු කරනවා. ඒ වගේ අංශ වලින් තමයි හුදු කතාවකින් නවකතාව වෙනස් වෙන්නෙ. මෙය මීට වඩා පුළුල් විදියට කතා කරන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ ඉහතින් සඳහන් කළ අංශ ටික නවකතාවක තිබිය යුතු වෙනවා. මම වැදගත් කොට සලකන්නෙ කොයි ආකාරයෙන් ද ‍මගේ කතාව කියන්නෙ කියන එක ගැනයි. එය ප්‍රස්තුතයෙන් ප්‍රස්තු‍තයෙන් වෙනස් වෙනවා. කතාවක මුල, මැද, අග යන අනුක්‍රමික භාවයක් තියෙනවා. ඕන තැනක නවත්තලා නැවත පටන් ගන්න පුළුවන්. නමුත් නවකතාවක ඒ ගුණාංගය නැහැ. එය අඛණ්ඩව ගලා යන දෙයක්.

කෙසේ නමුත් නවකතාවකට කතා වස්තුවක් අත්‍යවශ්‍ය නොවන බව වර්තමානයේ තිබෙන අදහසක්.

මම එය පිළිගන්නෙ නැහැ. බටහිර නවකතාව ගත්තත් එහි කතා වස්තුවක් තියෙනවා. පශ්චාත් නූතනවාදය කිව්වත් මොන මනෝ විශ්ලේෂණය ගැන කිව්වත් මොන විදියෙ නව ආකෘති ඉදිරිපත් කෙරුවත් මේක යටින් දිවෙන කතා වස්තුවක් තියෙනවා. එහෙම නැත්නම් අපි නවකතා කියවලා වැඩක් නැහැ. නිකං වැල් වටාරම් ඒ වගේම ආකෘති හරඹ ගැන දැන ගන්න නවකතා කියවලා වැඩක් නැහැ. ඒ වගේම බොරු, පුහු ආටෝප, අත්හදා බැලීම් පමණක් ඉදිරිපත් කරන දෙයක් නවකතාවක් වෙන්නෙ නැහැ. මූලික වශයෙන් හැම නවකතාවකටම කතා වස්තුවක් තියෙනවා. එය කුමන විදියේ කතාවක්ද, එය ප්‍රකාශ වන්නේ කුමන ආකාරයකටද, එය ප්‍රබල ද කියන එක තමයි අපිට සලකා බැලිය යුතු වෙන්නෙ.

“නිමල මල” එහි එක් ප්‍රතිඵලයක්.

මෙතැනත් කතාවක් තියෙනවා. මිය ගිය සොල්දාදුවකුගේ නොමියෙන කතාව කියල වෙන උප ශීර්ෂයකුත් මම යොදා ගන්නවා. මෙහිදි මම ප්‍රධාන වශයෙන් සොල්දාදුවකු යොදා ගන්නවා. ඒ වගේමඒ සොල්දාදුවගෙ ජීවිතය දෙස විවිධ දෘෂ්ටිකෝණවලින් බලන වෙනත් චරිත තුනකුත් මම මේ නවකතාවෙ ඉදිරිපත් කරනවා. සොල්දාදුවාගෙ කතාව සොල්දාදුවා නෙමෙයි කියන්නෙ. වෙනත් චරිත තුනක් ඇසුරින් තමයි එය කියවෙන්නෙ. ඒ අනුව උත්තම පුරුෂ කථකයෙක් මේ නවකතාවට සම්බන්ධ වෙන්නෙ නැහැ.

ඒ වගේම මම ප්‍රථම වරට සිංහල නවකතාවකට E mail පණිවිඩ යොදා ගන්නවා. නමුත් මුළු නවකතාවම ගොඩ නැ‍ඟෙන්නෙ ඒ හරහා නෙමෙයි. එක අවස්ථාවකදි පමණයි මම එය යොදා ගන්නෙ. එක්තරා සංකීර්ණ අවදියකදි එය යොදා ගන්නවා. ඒ සංකීර්ණ අවදිය කියන්නෙ වර්තමාන දේශපාලනය. නමුත් එය මට අභියෝගයක් වුණා. මම කතා කරන්නෙ වර්තමානය ගැන. එවැනි මොහොතක අතීතය වර්තමානයට ගේන්නෙ කොහොමද? කියල මට ගොඩක් හිතන්න වුණා. ඒ සඳහා තමයි මම E mail පණිවිඩ යොදා ගන්න හිතුවෙ. මේ ආඛ්‍යානයෙ ඇති විශේෂත්වය ඒකයි. මෙහි වැන්දඹු පුරුෂයෙක් හා වැන්දඹු ස්ත්‍රියක් අතර ඇතිවන පුදුමාකාර ළෙංගතුකමක් ගැන කියවෙනවා. එය ලිංගික සම්බන්ධයක් හෝ වෙනත් ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි. එයට එහා ගිය පුදුමාකාර බැඳීමක්. ඒ වටා සොල්දාදුවාගේ ජීවිතය, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහිව කෙරුණු යම් යම් ක්‍රියාදාම, මානව හිමිකම් කඩ කිරීම් වැනි තත්ත්වයන් ඇතිවු‍ණේ කොහොමද කියල මම සාකච්ඡා කරනවා. එම දේශපාලන තත්වයන් පැහැදිලි කර ගැනීම සඳහා තමයි මම E mail පණිවිඩ යොදා ගත්තෙ.

ඒ කියන්නෙ එය දේශපාලන නවකතාවක්.

ඔව්. මෙහි දෙමළ බෙදුම්වාදය ආරම්භ වෙච්ච හැටි සාකච්ඡා කරනවා. 60 - 70 දශකවල දෙමළ බෙදුම්වාදය තුළ තිබුණු ලක්ෂණ වගේම ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක ගැන කතා කරනවා. ඊළඟට කොටි බලවත් වන ආකාරය සටන් විරාම ගිවිසුම අතර සිදුවුණ දේවල් ගැන සම්පූර්ණ වශයෙන් සාකච්ඡා කරනවා. එතකොට මෙය පහුගිය දේශපාලනය සාකච්ඡා කරන නවකතාවක් කියල කියන්න පුළුවන්. එහෙම නැතුව සොල්දාදුවකුගෙ කතාවක් නෙමෙයි. සොල්දාදුවා මධ්‍ය ලක්ෂය හැටියට අරගෙන කරන දේශපාලන කතාවක්.

ඔබගේ සෑම කෘතියකම පාහේ දක්නට ලැබෙන දේශපාලන කතාවක් තියෙනවා.

ඒක ඇත්ත. මොකද මමත් කෙලින්ම දේශපාලනයට සම්බන්ධවෙලා හිටිය කෙනෙක්. ඒ ‍ෙද්ශපාලනය මගේ ඇතුළෙ තියෙනවා. ඒ නිසා මගේ හැම නිර්මාණයකදීම මගේ දේශපාලන මතවාදය එහෙම නැත්නම් දර්ශනය මතු වෙනවා. එය වළක්වන්න බැහැ. එහෙම වුණේ නැත්නම් ඒක මගේ නිර්මාණයක් හැටියට මට පෙනෙන්නෙ නැහැ. නිර්මාණකරුවකු වශයෙන් මගේ තියෙන අනන්‍යතාව ඒකයි. සමහරු කියන්න පුළුවන් මේක ඍජුව කියනවා මේක අමුයි කියලා. දේශපාලනය අමුයි. සමහර දේශපාලන ප්‍රශ්න විශුද්ධිකරණය කරන්න බැහැ. ඒ නිසා මේ නවකතාවෙන් ඒ අමු ලක්ෂණ දකින්න පුළුවන්. නමුත් සමස්ත නිර්මාණයම එහෙම දකින්න බැහැ. අන්තර්ගතය මම ප්‍රබලව සලකන දෙයක්. ඒ නිසා එය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට මම හැමවිටම උත්සාහ කරනවා.

මේ කෘතියෙදි මම යොදා ගත්ත භාෂාවෙ වුණත් අලුත් ස්වරූපයක් තියෙනවා. E mail තුළ අඩංගු වුණු ඉංග්‍රිසි භාෂාවෙන් ලියූ දේ මම මෙහි සිංහලෙන් පෙන්නනවා. සමහරු ඉංග්‍රීසි කෑලි දැම්මට මම ඒ තත්ත්වයට යන්නෙ නැහැ. මෙහි ඇතිවන E mail සංවාද හුවමාරු වුණේ කුමන භාෂාවෙන්ද කියල මම යොදන සිංහල භාෂාවෙන් හඳුනගන්න පුළුවන්.

නවකතාකරුවාගේ දෘෂ්ටිය යන්න නිර්මාණයකට ඉතා ඉහළ අංගයක් ලබා දෙන්නක් නොවේද?

ඔව්. ඒක එහෙම තමයි. දෘෂ්ටිය කියන්නෙ දේශපාලන දෘෂ්ටිය. ඒ දේශපාලන දෘෂ්ටිය පන්ති දෘෂ්ටිය එක්ක සම්බන්ධ වෙනවා. ඒක කටාවත් නැහැ කියලා කියන්න බැහැ. එක‍්කෝ ඔබ සූරා කන්නන්ගේ දෘෂ්ටියේ සිටින කෙනෙක්; එහෙම නැත්නම් සූරාකෑමට එරෙහිව යන අයගේ දෘෂ්ටිය සමඟ අනුගත වන කෙනෙක්. ඔය කියන ආකාර දෙකටම නිර්මාණ බිහි වෙනවා. නමුත් සමාජ සංවර්ධනය සඳහා එහෙම නැත්නම් ප්‍රගතිය සඳහා වඩා වැදගත් සේවයක් ඉටුවන්නෙ කුමකින්ද යන්න අප තෝරා බේරාගත යුතුයි. ප්‍රගතිශීලි දෘෂ්ටිය සහිත කෙනෙකුගේ නිර්මාණ හැම විටම සමාජයේ ප්‍රගතියට හා සංවර්ධනයට උරදෙනවා. ප්‍රතිගාමී දෘෂ්ටිය මුල් කොට ගත් එහෙම නැත්නම් වැඩවසම් දෘෂ්ටිය මුල්කොටගත් නිර්මාණ තුළින් සමාජ අවගමනය සිදුවෙනවා මිසක් එය බිංදු මාත්‍රයකින් ‍හෝ සමාජ ප්‍රගතියට, සමාජ සංවර්ධනයට කිසිසේත් ඉවහල් වෙන්නෙ නැහැ. ඒ නිසා ඒ ධාරා දෙකෙන් කුමන ධාරාව තෝරා ගන්නේ ද යන්න ප්‍රථමයෙන්ම නිර්මාණකරුවා තීරණය කළ යුතුයි.

බොහෝවිට තමා පෙනී සිටින්නෙ කා වෙනුවෙන් ද කියන එක ගැන අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. නොදැනුවත්වම තමන් ප්‍රතිගාමී කඳවුරට පක්ෂ කෘති බිහිකරන්න පුළුවන්. ඒ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්. නමුත් තවත් අය දැනුවත්වම ප්‍රතිගාමී කඳවුරට සේවය කරනවා.

ප්‍රතිගාමි කෘතියක් වුව සාහිත්‍යමය වටිනාකමකින් උසස් විය හැකියි.

එහෙම නිර්මාණ බිහිවෙනවා. නමුත් අපිට වඩා වැදගත් වන්නෙ සමාජ ප්‍රගමනය. සමාජ සංවර්ධනයෙහිලා එම නිර්මාණය කුමන දායකත්වයක් දරනවද කියන එක. ප්‍රතිගාමී චරිතයක් වුණත් ප්‍රතිගාමි ලක්ෂණ අ‍වබෝධ කරවන ආකාරයට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක වුණත් සමාජ ප්‍රගමනයට ඉවහල් වෙනවා. ඒ නිසා එබඳු චරිතයකින් වුණත් දේශපාලන වශයෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා සෑම නිර්මාණයක්ම සමාජ ප්‍රගමනය සඳහා දායක විය යුතුයි.

මෙය යල් පැන ගිය අදහසක් නෙමෙයි. පාඨකයාගේ චර්යාත්මක වෙනසක් ආකල්පමය වෙනසක් මෙන්ම පොදුවේ ඔහුගේ පෞරුෂ වර්ධනයක් ඇතිකරන්න කිසියම් නිර්මාණයක් සමත් වෙනව නම් එය උසස් කෘතියක්. මේ මොහොතේ ඉතිහාසය මෙසේ ක්‍රියා කරන්නේ ඇයි? කියන එක පාඨකයාට හිතන්න ඉඩකඩ තියෙන නිර්මාණයක් කරන්නට හැකි නම් ඒක වැදගත්. මම හැමවිටම උත්සාහ කරන්නෙ එවැනි නිර්මාණයක් කිරීමටයි. “නිමල මල” කෘතිය මගේ ළඟ තිබුණ නවකතාවක් නෙමෙයි; පෝලිම කඩාගෙන කොහෙන්දෝ ආපු එකක්. මගේ ඔළුවේ මේක නෙමෙයි තියෙන්නෙ. වෙන ප්‍රස්තුතයක් තියෙනවා. ඒකට දළ සටහන් ගහගෙනත් තියෙනවා. ඒක නොකර තමයි මේක පිපුනෙ. ඉතිහාසයෙ සිද්ධ වෙච්ච දේවල් පවා විශ්ලේෂණය කරන ක්‍රමයක් තියෙනවා. ඒ ඉතිහාසය විශ්ලේෂණය කරන්නෙත් අපේ දේශපාලන දෘෂ්ටියට අනුවයි.

වර්තමාන පාඨකයා පිළිබඳ ඔබේ අදහස් කෙබඳුද?

මගේ පාඨකයො නිශ්ශබ්දයි; ඒගොල්ලො එළියට එන්නෙ නැහැ. ඒ ගොල්ලො ගනුදෙනු කරන්නෙ මා සමඟ විතරයි. ඔවුන් ළඟ හරි වටින අදහස් තියෙනවා. ප්‍රබුද්ධ මට්ටමට පත් වෙච්ච අය ඉන්නවා. නමුත් ඔවුනගේ ප්‍රතිචාර ප්‍රසිද්ධ මට්ටමෙන් එන්නෙ නැහැ. මොකද ඔවුන්ට මතු වෙන්න අවකාශයක් නැහැ. වර්තමාන දේශපාලනය ගැන සාකච්ඡා කරන කතාවක් ලියන්න කියල ඔවුන් තමයි මගෙන් ඉල්ලා සිටියෙ. “නිමල මල” ඔවුනගෙ ඉල්ලීම ඉටු කිරීමක්.

නිර්මාණකරුවකු වගේම මම විචාරකයකු ද නිසා කිසියම් නිර්මාණයක් කිරීම එක අතකට අමාරුයි; තව අතකට පහසුයි. මොකද මගේ නිර්මාණයට මගේ විචාරය බලපාන නිසා. මම ලියල ඉවරවෙලා පොතක් මුද්‍රණය වුණාට පස්සෙ නැවත කියවන්නෙ නැහැ. නමුත් කවුරු හරි ඒ සම්බන්ධ අදහසක් ඉදිරිපත් කළොත් කිසියම් සිද්ධියක් සම්බන්ධව මට නොපෙනුන අලුත් අදහසක් ඉදිරිපත් කළොත් විටින් විට පොත පෙරළල බලන අවස්ථා තියෙනවා. පාඨකයන්ට දැනෙන අපූර්වත්වය මා සමඟ බෙදා හදා ගන්න කොට මම ද ලිව්වෙ කියල මටම හිතෙනවා. එවැනි හරි අපූරු හා වැදගත් පාඨක පිරිසක් මා වටා සිටිනවා.

යටත් විජිත ව්‍යාපෘතිය පෙන්නුම් කිරීමට කිසිම නවකතාකරුවෙක් ලංකාවෙ සමත් වෙලා නැහැ. බ්‍රිතාන්‍ය යුගය තමයි ඉතා වැදගත්. නමුත් කවුරුවත් එය නියමාකාරයෙන් අල්ලගෙන නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය පසුබිම් කරගත් නවකතාවක් ලියන්න මම හිතාගෙන ඉන්නවා. ඒකට මුල් පියවරක් වශයෙන් තමයි මම මං ලියපු පොත් වලින් වැඩියම ආස කරන පොත වුණ “සඳුන් මල් කඩුල්ල” රචනා කළේ. නමුත් ඒ පොත පුළුල් කතිකාවකට ලක් වුණේ නැහැ. එහෙම වුණත් එතැනින් නැවතිලා ඉන්න මට පුළුවන්කමක් නැහැ.

 

Comments