ශ්‍රී ලංකා පාපන්දුව දරුණු පරාජයන් වැලක | සිළුමිණ

ශ්‍රී ලංකා පාපන්දුව දරුණු පරාජයන් වැලක

දෝහා කටාර්හි 2022 පැවැත්වෙන විසි දෙවැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ පැවැති තවත් තරගයකින් ශ්‍රී ලංකාව පරාජය විය. ඒ තුරග තරග පිටියේ ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර තරගයෙනි. මේ තරගයෙන් ලෙබනනය ගෝල 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.

ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට රටවල් 40 ක් කාණ්ඩ පහක් යටතේ මෙහිදී තරග කරයි. ශ්‍රී ලංකාව මෙහිදී ශ්‍රේණිගත කිරීම්වල ආසියානු කලාපීය මට්ටමින් 40 වැනි ස්ථානයේ සහ ලෝක මට්ටමින් පහළම ස්ථානයක පසුවෙයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 202 වැනි ස්ථානයයි.

වසර 13 කට පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව පැමිණි අතර මෙතෙක් පැවැති තරගවලදී ටර්කිමෙනිස්තානය සමඟ පැවැති පළමු තරගයේදී ගෝල 2-0 ක් ලෙසද, උතුරු කොරියාව සමඟ පැවැති තරගයේදී 1-0 ක් ලෙසද පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දරුණුම පරාජය වැළඳ ගත්තේ දකුණු කොරියාව සමඟ පැවැති තරගයේදීය. එහිදී ශ්‍රී ලංකාව පරාජය වුයේ ගෝල 8-0 කින්ය.

දකුණු කොරියාව හමුවේ ලද ගෝල 8-0 ක පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම 2013 දී එනම් මීට වසර හයකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති සාග් පාපන්දු තරගාවලියේදී මාලදිවයින වෙතින් ලත් ගෝල 10-0 ක පරාජයට පසු ශ්‍රී ලංකාවට හිමි වූ දැවැන්තම පරාජය මෙයයි. ඒ අනුව ශ්‍රී ලංකාව මෙහිදී තමන් සහභාගී වූ තරග හතරම මේ වන විට පරාජය වී තිබේ. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතිවාදීන් ගෝල 14ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකාවට එකඳු ගෝලයක් හෝ රැස් කිරීමට නොහැකිවීම ද විශේෂත්වයකි.

මේ වටයේ තවත් තරග හතරකට ශ්‍රී ලංකාව එක් වීමට නියමිතය. එහිදී ලබන මස 19දා ටර්කිමෙනිස්තානය සමඟ තරග කිරීමට නියමිත අතර සෙසු තරග තුන ලබන වසරේදී පැවැත්වෙයි. ඒ අනුව 2020 මාර්තු 26 දා උතුරු කොරියාව සමඟත්, 31දා දකුණු කොරියාව සමඟත්, ජුනි 04 දා ලෙබනනය සමඟත් තරග කිරීමට නියමිතය.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ පසුවන විට ආසියානු කලාපීය රටවල් අතරින් ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ පාකිස්තානය පමණි. මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය බෙල්ජියමට හිමි ව තිබේ. ප්‍රංශය, බ්‍රසීලය, එංගලන්තය සහ පෘතුගාලය, මුල් ස්ථාන ප‍හේ රැදී සිටියි.

අවසන් වරට 2018 රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ කිරුළ දිනා ගැනීමට ප්‍රංසය සමත්විය. මෙතෙක් පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ බ්‍රසීලය පස් වතාවක් කිරුළ දිනා ගැනීමට සමත් ව තිබේ. ජර්මනිය සහ ඉතාලිය සිවු වතාව බැගින් කිරුළ දිනා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

 

Comments