ක්‍රීඩාව සමඟ සෙල්ලම් බෑ | සිළුමිණ

ක්‍රීඩාව සමඟ සෙල්ලම් බෑ

ටේ ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරලා ති‍යෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මේ විදියට ඇද වැටිමට ප්‍රධාන හේතුවක් විදියට බොහෝ දෙනා දකින්නේ තරග පාවාදීම් වැලැක්වීමේ පනතක් නැති නිසා අද ඔට්ටුකරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා.

ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න නම් අපට අනිව‍ාර්යෙන් ම නීතියක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. 2014 දී මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කළත්, එම තරග පවා දීම වැළැක්වීමේ පනත එළි දැක්වීමට නොහැකි වුණා. ඒත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේ තරග පවා දීම වැලැක්වීමේ ක්‍රීඩා පනත එළි දැක්වීමටයි. ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සංශෝධන රහිතව ම සම්මත වුණා නිසා, කිසිම වෙනස් කිරීමක් කරන්න බෑ. දැන් ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත රටේ නීතියක් බවට පත්වෙලා තියෙන්නේ.

දැඩි දඬුවම්

ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ ම ක්‍රීඩා අමාත්‍යාංශයත් බලාපොරොත්තු වෙන්නේ මේ ඔට්ටු අල්ලන්නන් සහ තරග පාවාදීම් කරන්නන් මොන ආකාරයෙන්ද මුල් බැස ගෙන තිබෙන්නේ සහ ඒ සම්බන්ධයෙන් තියෙන සාක්ෂි ‍සොයා බලා උපරිමයෙන් ම නිත්‍යානු කූලව කටයුතු කිරීමට තමයි මුලිකම අභිප්‍රාය වෙලා තියෙන්නේ.

ක්‍රීඩා තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සහ නීති විරෝධි මෙහෙයවීම් කියන ප්‍රධාන කරුණු හතර යටතේ වැරැදිකරුවකු වන අයකුට රුපියල් මිලියන සියයක් දක්වා එනම් රුපියල් ලක්ෂ දහසක් දක්වා දඩයකට හෝ අවුරුදු 10ක් දක්වා වන සිර දඬුවමකට හරි මේ දඬුවම් දෙකම හරි ලැබෙන්න පුළුවන්. මහාධිකරණයකින් වැරැදිකරුවකු කරන අයකුට මේ දඬුවම්වලට යටත් වෙනවා.

පැහැරහැරීම

ඒ වගේ ම යම් පුද්ගලයකු තොරතුරු හෙළි කිරීම පැහැර හැරීමත් මෙහිදී වරදක් විදියට සලකනවා. අවුරුදු තුනකට නොඅඩු සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ දෙකකට නොඅඩු දඩ මුදලක් හෝ මේ දඬුවම් දෙකකටම යටත් වෙන්න පුළුවන්. මහේස්ත්‍රාත් අධිකරණයකින් වැරැදිකරුවකු වන අයකු මෙයට යටත් වෙනවා.

බොරු බෑ

සාවද්‍ය චෝදනා එල්ල කිරීමත් වැරැදියි. යම් කිසිවකු බොරු චෝදනා එල්ල කිරීමත් වරදක් විදියට සලකනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම සහ පරිපාලකයන් ආරක්ෂා කිරීම තමයි මූලිකම අරමුණ. තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් මෙහි මූලික අරමුණක්.අපේ රටේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් තියෙනවා. ඒ අනුව ඔවුන් වගේම ලබා දෙන්නා වූ සාක්ෂි තොරතුරු ආරක්ෂා වෙනවා.

ප්‍රදානයන්

තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදානයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වෙනම අරමුදලක් පිහිටුවනවා. දඩ වශයෙන් ලැබෙන මුදල්වලින් තමයි මේ අරමුදල ශක්තිමත් වෙන්නේ. රුපියල් ලක්ෂ 100ක වගේ දඩ මුදලක් අය කරගන්න අවස්ථාවක ඉන් යම්කිසි කොටසක් තොරතුරු දුන් පුද්ගලයාට ලබා දෙනවා. මේ තුළින් ජනතාවගේ උනන්දුව වැඩි කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම දූෂණය තුරන් කිරීම සඳහාත් ජනතාවගේ උනන්දුව සහ අනුබලයන් මේ තුළින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව අපේ රටේ දැනට ක්‍රීඩා 64 ක් තියෙනවා. මේ 64 ම ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබන්ධ වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩා 64 ම දිරි ගන්වන තැනකට අපි ගෙන යන්න ඕනෑ . එහෙම වුණොත් විතරයි අපට ලෝකයා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

ආසියාතික තරගවලදී බැලුවත් අපි වැටිලා ඉන්නේ. ආසියානු තරගාවලිවල පදක්කම් අඩු වෙලා ත‍ියෙනවා. දකුණු ආසියාව ගත්තත් අපට ජය ගැනීම අමාරු තැනකයි තියෙන්නේ. මේ හැම දෙයක්ම හොයලා බලලා ක්‍රීඩා අමාත්‍යවරයා හා අමාත්‍යාංශය දෙන්න ඕන උපරිම සහාය ලබා දිය යුතුයි. මේවා අතරට යටිතල පහසුකම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු හැම වරප්‍රසාදයක්ම ලබා දීම තුළින් ක්‍රීඩාව ඉහලට ගැනීම තමයි මූලිකම අභිප්‍රාය වෙන්නේ.

විශේෂ ඒකකයක්

මේ පනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා වෙනම කමිටුවක් පත් කරනවා. සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිලයට අඩු නොවන නිලධාරීන් පිරිසකගෙන් සමන්විත ස්වාධීන විශේෂ විමර්ශන ඒකකයක් පත් කරනවා.

ආසියාවේ එක

ආසියාවේ මුල් වතාවට තමයි ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනතක් ක්‍රියාත්මක වෙන්නේ. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ද. අප්‍රිකාව යන රටවල් හතර විතරයි දැනට මෙය නීතියක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. ආසියාවේ විශාල මුදලක් දැනට මේ ඔට්ටු ව්‍යාපාරය හරහා සැරි සරනවා. මෙයින් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය සම්පූර්ණයෙන් ම විනාශ වෙලා. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය දැනට අන්තර්ජාතික ක්‍රිකට් සභාව හරහා ඔවුන්ගේ රටවල මෙය නීතියක් බවට පත් කර ගැනීමට අපේ සහාය ඉල්ලලා තියෙනවා.

ඔට්ටු අල්ලන ස්ථාන රජයට බදු ගෙවන නිසා එම ආයතනවලට විරෝධතාවක් නෑ. එයින් බැහැරව තරග පාවාදීම් සඳහා ඔට්ටු ඇල්ලීම වරදක් විදියට සලකනවා.


ක්‍රීඩාවේ  විනය රකින්න ආ අලුත් පනත

ක්‍රීඩා තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සහ මෙහෙයවීම යන චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් වන තැනැත්තන්ට මින් ඉදිරියට දැඩි දඬුවම් පැනවීමට හැකි වන පරිදි ක්‍රීඩා සම්බන්ධ වැරැදි වැළැක්වී‍ෙම් පනත පාර්ලිමේන්තුවේදි ඒකමතිකව සම්මත විය.

තරග පාවාදීම, ඔට්ටු ඇල්ලීම, දූෂණය සහ මෙහෙයවීම වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීම ඇතුළු නීති රාමුවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙකී කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ලාංකේය ක්‍රීඩාවේ අවංක භාවය ආරක්ෂා කිරීම සහ පවත්වා ගෙන යෑම අරමුණු කරගෙන ඉදිරිපත් කළ පනත් කෙටුම්පත මෙරට ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කිරීමට හේතුපාදක වන වැදගත්කමකින් යුත් පනත් කෙටුම්පතක් බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු මෙකී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළහ. “දඬුවම් ලැබිය යුතු සැමට දඬුවම් ලැබෙන්න ඕනෑ. මේවා හරියට තිබුණා නම්, ක්‍රියාත්මක වුණා නම් අද බොහෝ දෙනෙක් ක්‍රීඩාවල නෑ. ක්‍රීඩා තරග පාවාදීම්, ඔට්ටු ඇල්ලීම්, දූෂණය වැරැදි දේවල් මේවා ගැන විමර්ශනය කරන්න ඕනෑ. ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් ශක්තිමත් වෙන්න ඕනෑ නම්, මෙවැනි නීති ශක්තිමත් විය යුතුයි“ යැයි ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා පවසයි.

“මේ ර‍ෙට් එක ක්‍රීඩා අමාත්‍යවරයෙක් හෝ ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත ගෙන එන්න දුන්නේ නැත්තේ තමන්ට අත්වන වාසි නැතිවෙන නිසයි. සී.බී, රත්නායක මහතා යම් උත්සාහයක් ගත්තා. කේ.බී. රත්නායක මහතා හැදූ මේ පනතේ දඬුවම් දෙන්න ඕන තරම් අවස්ථා තිබුණත්, කවුරුවත් ඒ සම්බන්ධයෙන් උනන්දු වුණේ නෑ. ක්‍රීඩාවේ පවතින දූෂණ වළක්වන්න ඕනෑ“ යැයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඔට්ටුකරුවන් ආරක්ෂා කරන විශාල පිරිසක් ඉන්නවා. 96න් පස්සේ ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත්තට පසුව විශාල වශයෙන් මුදල් එන්න පටන් ගත්තා. ඒ නිසා ඇතමුන් ක්‍රිකට්වලට තමයි වැඩියෙන් කැමැති. අද වන විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයකුට දේශීය ක්‍රිකට් තරග පාවාදීලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. මේවා ගැන හොඳට හොයලා බලන්න ඕනෑ.“

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු අය ගිල දැමූ මුදල් නැවත අය කර ගැනීමට ක්‍රමවේදයක් මේ පනත හරහා සකස් කළ යුතු බව ද පවසන අමාත්‍යවරයා, මේ පනත ආපස්සට ගෙන යන්න පුළුවන් නම් අතීතයේ සිදු වූ දේවල් පවා සොයා ගන්න පුළුවන් යැයි පවසයි.

“ක්‍රිකට් ක්‍රීඩකයන් දුක් මහන්සියෙන් සොයා ගන්නා මුදල් තමයි මේ අයට ඡන්දය දෙන අය එක්ක බෙදා හදා ගන්නේ. මේ පනත හරහා දඬුවම් දීලා හිරේ දාලා දඩ ගහනවා වගේ ම ක්‍රිකට් මුදල් ගිල දැමූ අයගෙන් ඒවා අය කර ගන්නා වැඩපිළිවෙළක් සකස් කරන්නට ඕනෑ“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ක්‍රිකට් තරග පාවාදීම නිසා ක්‍රීඩාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය පලුදු වී ඇති බව තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයාට අසීමිත බලතල මේ තුළින් ලැබෙන බව පවසන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ, ක්‍රීඩකයන්ට මානසිකව වැට්ටීම තුළින් ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විගණකාධිපති සහ කෝප් කමිටුව පසුගිය කාලයේ විගණනයක් සිදු කළා. ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් මහා පරිමානයේ හොර ගුහාවක් වෙලා තියෙනවා. තිලංග සුමතිපාල අද මේ පැත්තේ නැතිව ඔය පැත්තේ හිටියා නම් මේ පනත ගෙන ඒවි යැයි තමන් නොසිතන“ බව බිමල් රත්නායක මන්ත්‍රිවරයා පවසයි.

 

 

 

Comments