අම්මයි තාත්තයි පෝලියෝ රෝගියෝ ඒක මට ප්‍රශ්නයක් නොවෙයි | සිළුමිණ

අම්මයි තාත්තයි පෝලියෝ රෝගියෝ ඒක මට ප්‍රශ්නයක් නොවෙයි

 

හතලිස් පස් වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ නිමා වුයේ කිසිදු නව බලාපොරොත්තුවකින් තොරවය.45 වසරක ජාතික ක්‍රීඩා මහා තරග ඉතිහාසය තුල 44 වතාවක් ජය තහහුරු කරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතයි. බස්නාහිර පළාත මෙවර දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවද ජාතියට හඳුන්වා දීමේ ගෞරවය දිනාගත්තේය. අඛන්ඩව 41වැනි වසරටත් ජාතික ක්‍රීඩා උලෙළ ජයගත් බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරා උසපැනීමේ ඉසව්වෙන් මීටර් 2.12ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රිඩකයා වු අතර මීටර්100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 13.90 කින් නිමකරමින් රන්පදක්කම දිනාගනිමින් ලක්ෂිකා සුගන්දී දක්ෂතම ක්‍රීඩිකාව විමට සමත් විය. උෂාන් තිවංකට මෙන්ම ලක්ෂිකා සුගන්දීට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම ඉටුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව නවීන මෝටර් රථ දෙකක් ප්‍රදානය කිරීමට සංවිධායකයන්ට හැකි විය.

 

බාධක ජයගනිමින් කඳුළු මැදින් දිගු ගමණක් පැමිණ උස පැනීමේ ඉසව්වෙන් වර්ධනිය දක්ෂතාවයක් ප්‍රදර්ශණය කරමින් සිටින උෂාන් තිවංකට අප ඇරැයුම් කළේ ක්‍රීඩා පාඨකයන් වෙනුවෙන් පැමිණි ගමන ගැන ආවර්ජනයකට‍ය. නමුත් දෙසැම්බර් මුල ඇරැඹෙන දකුණු ආසියා තරගාවලියට එක්වීමේ බලාපොරොත්තු පෙරදැරිව පුහුණුවිම්වල නිරතව සිටින උෂාන්ව සොයා අප ගියේ ඔහු අධ්‍යාපනය හැදැරු තක්ෂිලාවටයි. ඒ මිගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයටයි. නිහතමානීව පුහුණුවීම් අතරතුර අපට ලබාදුන් නිමේෂයේදී තැබු සටහනකි මේ.

 ඔබගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂි අවස්ථාවක් තමයි 45වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ?

ඔව්. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළෙ මගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ සංධිස්ථානයක්. මේක තමයි මගේ ක්‍රීඩා දිවියේ පළමු ප්‍රදර්ශණාත්මක ක්‍රීඩා තරගාවලිය. එම තරගාවලියෙන්ම මට දක්ෂතම ක්‍රීඩකයා වෙමින් සුවිශේෂ ත්‍යාගයකටද හිමිකම් කීමට හැකි වුණා. ඇත්තෙන්ම මෝටර් රථයක් හිමිවිම පිළිබඳ ඇත්තේ ඉමහත් සංතෝෂයක්.

මීට පෙර මේ වගේ ත්‍යාගයන් ක්‍රීඩාවෙන් ඔබ හිමිකරගෙන නැද්ද?

2014 වසරේ යෞවුන් ක්‍රිඩා උලෙළෙන් දක්ෂතම ක්‍රිඩකයා ලෙස යතුරුපැදියක් හිමිවුණා.

ඔබගේ ක්‍රිඩා දිවිය ආරම්භ වන්නේ මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයේන් ද?

නෑ මම මුලින්ම අධ්‍යාපනය හැදැරුවේ 1 වසරේ සිට 5 වසර දක්වා මාහාබාගේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට පැමිණෙන්නේ. 2017 වසරේ උසස් පෙළ නිමකරලා මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයෙන් සමුගන්නවා. මම කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේදී කෙටි දුර ධාවන ඉසව් වලට තමයි යොමුවෙලා සිටියේ. වයස අවුරුදු 9දී කෙටිදුර දිවිමෙන් නිවාසන්තර පාඨශාලා ක්‍රීඩා උලෙළෙන් ජයග්‍රහණ හිමිකරගත්තා. නමුත් වයස අවුරුදු 12දි ජෝන් ටාබට් තරගාවලියේදී උස පැනීම ඉසව්වෙන් ජයගැනීමත් සමග තමයි මට උස පැනිමේ ඉසව්ව තෝරාගැනීමට සිදුවුණේ. මගේ දක්ෂතාවයන් හඳුනාගත් ගුරුභවතුන් මාව උසපැනීමේ ඉසව්වට යොමු කළා. එදා සිට අද දක්වාම මම උසපැනිම ප්‍රගුණ කරමින් සිටිනවා.

ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය නිමකරලාද ?

ඔව්. මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩා සංචිතයේ ක්‍රිඩකයෙකු ලෙස කටයුතු කරමින් රැකියාවක නිරතව සිටිනවා.

ඔබ අන්තර් ජාතික ක්‍රීඩා තරග නියෝජනය කර තියෙනවාද?

ඔව්. මම රටවල් කිහිපයක තරගාවලි නියෝජනය කර තිබෙනවා. පාසල් මට්ටමේ සිට මම අන්තර් ජාතික තරගාවලි නියෝජනය කළා. ඒ අතර තායිලන්ත විවෘත තරගාවලියට සහභාගි වී ලෝකඩ පදක්කමක් දිනාගත්තා. අැමෙරිකා එක්සත් ජනපදයේ ආරාධිත පෙන් බ්‍රවුන් තරගාවලිය නියෝජනය කළා. චිනයේ තරගාවලියකට සහභාගි වුණා. ඒ වගේම පුහුණුවීම් වෙනුවෙනුන් චිනයට, අැමෙරිකාවට ගිහින් තිබෙනවා.

ජාතික මහා ක්‍රීඩා තරගාවලියට මංජුල කුමාර එක් නොවන බව ඔබ දැනගෙන සිටියාද?

මම තරගාවලියට එක් වුණායි පසුව තමයි දැනගත්තේ මංජුල අයියා තරගාවලියට එක් නොවන බව. මංජුල වසර 18ක් ජාතික ශුරයා ලෙස තමයි තරග කලේ. මමත් අවස්ථා කිහිපයකදී මංජුල අයියාත් සමග තරග කර තිබෙනවා. පසුගිය වසරේදී ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මංජුල අයියව පරදා මමයි ජයගත්තේ.

ඔබේ ක්‍රීඩා දිවියට දෙමාපියන්ගෙන් ලැ‍බෙන රුකුල කෙසේද?

මගේ අම්මාගෙන් හා තාත්තාගේ විශාල රුකුලක් ක්‍රීඩාවට හිමිවෙනවා. ඔවුන් තමයි මගේ ආත්මය. ඔවුන් ගැන පුළුල්ව කථා කළොත් මගේ දෙමාපියන් දෙදෙනාම පෝලියෝ රෝගයෙන් පෙළෙන දෙදෙනෙක්.

තිවංක ඔබේ දෙමාපියන් පෝලියෝ රෝගයෙන් පෙළුනත් ජව සම්පන්න පුතෙකු ජාතියට තිළිණ කර තිබෙනවා.නේද?

එය වචනයෙන් විග්‍රහ කරන්න බෑ. මගේ ගමන් මගෙහි ඇරැඹුම මගේ දෙමාපියන් දෙදෙනා. ඉන් පසුව මගේ ගුරුවරුන් ඔවුන් තමයි මගේ ජයග්‍රණයන් පසුපස සිටින්නේ.

ඔබ කැමැතිද දෙමාපියන් ගැන මිට වැඩියමක් පවසන්න?

මගේ අම්මා දෙවී පෙරේරා පෝලියෝ රෝගයට ගොදුරුවෙලා තියෙන්නේ වයස අවුරුදු හතරේදී. මගේ තාත්තා නන්දසිරි පෙරේරා පෝලියෝ රෝගයට ගොදුරුවෙලා තියෙන්නේ වයස අවුරුදු පහේදි. ඔවුන්ගේ ගෙවල් වලින් විශේෂ අවශ්‍යතා වෙනුවෙන් යොමු කරන අධ්‍යාපනයකට යොමු කර ති‍ෙබනවා. පසුව ඔවුන් ස්වයං රැකියවක නියුතුව සිටින විට විදේශිකයෙකු විසින් ගොඩනගන ලද නිලේන්ඩර් එකමුතු සමාජ සංවිධානය (Nylander Coop Society) ආයතනයට යොමු වෙනවා. එහිදී දැන හැදුනුම් මත තමයි දෙදෙනා විවාහ දිවියට ඇතුලත් වෙලා තියෙන්නේ.

පෝලියෝ රෝගයෙන් පෙළෙන දෙමාපියන් දෙදෙනෙකු සිටින ඔබට මලල ක්‍රීඩාව අභියෝගයක් වුනේ නැද්ද?

අභියෝගයක් තමයි තාමත්. මම ඒ අභියෝගය ජයගන්න කැපවුණා. නමුත් මගේ දෙමාපියන්ගේ ආශිර්වාදය මට හැම විටම තිබුණා. ඒ වගේම ක්‍රීඩාවට යොමුකරන්නත් ඔවුන් හැකි හැම විටම උත්සුක වුණා. ඒ ප්‍රතිපලය තමයි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා වීම. ඔවුන්ගේ ආශිර්වාදය දේව ආශිර්වාදයක් ලෙස මා පසු පස හැම විටම තියෙනවා.

ඔබේ පවුල කුඩා පවුලක්ද?

ඔව් මමයි. අම්මයි තාත්තායි විතරයි.

දැනට පදිංචිය කොහෙද?

අපි පදිංචි වෙලා සිටින්නේ නිලේන්ඩර් එකමුතු සමාජ සංවිධාන (Nylander Coop Society) ආයතනයේම තමයි. එම ආයතනය පුන්‍යාතනයක් මෙන්ම ස්වයං රැකියා ආයතනයක්. එම ආයතනය මගින් අපට නැවැති සිටින්නට අවශ්‍ය පහසුකම් හා කැම බීම පසුගිය 20 වසර පුරාම ලබාදි තිබෙනවා.

ඔබගේ දෙමාපියන්ගේ ජීවන වියදම උපයා ගන්නේ කොහොමද?

නිලේන්ඩර් එකමුතු සමාජ සංවිධාන (Nylander Coop Society) ආයතනය ස්වයං රැකියා උත්පාදන ආයතනයක් එම ආයතනය ස්වයං රැකියාවෙන් තමයි ජීවන වියදම උපයා ගැනෙන්නේ. එම ආයතනය අපට අවශ්‍ය කරන සියලු දේ සපයනවා.

මෝටර් රථය දිනාගත් මොහොතේ දෙමාපියන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයට පැමිණ සිටියාද?

නෑ. නමුත් ඔවුන් ඔවුන්ට අහිමි ලෝකේ මා හිදුවා මට ආශිර්වාද කළා. මම මෝටර් රථය රැගෙන ගෙදර පැමිණි මොහොතේ අම්මාගේ ඇස්වලින් කඳුළු දැක්කා. මම කවදාකවත් මගේ දෙමාපියන්ගේ හිත් රිදවන වැරදි වැඩ කරපු කෙනෙක් නොවෙයි. ඒ නිසා මට ඔවුන්ගේ ආශිර්වාදය හැම විටම හිමි වුණා.

ඔබ මීට පෙර ජයග්‍රහණ හිමිකරගන්නා විට දෙමාපියන් එම තරග නැරැඹිමට පැමිණ තිබෙනවාද?

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ තරග නැරැඹිමට කිහිප සැරයක් තාත්තා පැමිණ තිබෙනවා. නමුත් අමිමාට ඒ අවස්ථාව හිමි වුණේ නෑ.

ඔබගේ දක්ෂතාවයන් පිළිබඳ අගයන අනෙක් අය කවුරුන්ද?

විශේෂයෙන් මුලින්ම මා සඳහන් කරන්න ඕනේ මගේ පුහුණුකරු සුරංජිත් සෙනරත් ප්‍රනාන්දු මහතාව. ඔහු තමයි මගේ වත්මන් ගමන්මගේ මගපෙන්වන්නා. ඒ වගේම මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයේ ක්‍රිඩාභාර ආචාර්ය සුසන්ත තමිල් ගුරුතුමා හා ගුරුමණ්ඩලය. ඒ වගේම මගේ දෙමාපියන්ගේ සහෝදරයන් මෙන්ම නෑයන්ද මගේ ගමන් මඟට ආශිර්වාදයක් වුණා.

ඔබ මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් නමුත් ඔබ තවමත් පුහුණු වීම් වල නිරතව සිටින්නේ විද්‍යාලයේ?

මාව මුලින්ම මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට ඇතුලත් කරගත්තේ මර්වින් පියතුමා. ඉන්පසුව සුනන්ද අල්විස් පියතුමා, චින්තන නෝනිස් පියතුමා හා අල්විස් පියතුමා, මෙන්ම ගුරුබවතුන් හැමවිටම මට අවස්ථාව දි තිබේනවා විද්‍යායේ පුහුණු වීම් වල නිරත විමට. ඔවුන් මට ආශිර්වාදයක්.

ඔබේ අනාගත බලාපොරොත්තුව?

මගේ කෙටිකාලින බලාපොරොත්තුව තමයි නේපාලයේ කත්මන්ඩු නුවරදී දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලියෙන් රන් පදක්කමක් දිනාගැනීම හා පුද්ගලික දක්ෂතාව අභිබවා යැම. ඒ වගේම 2020දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමේ වරම් හිමිකරගැනිම.

ඒ ක්‍රීඩාව පැත්තෙන් නමුත් වෘත්තිමය පැත්තෙන් කොහොමද?

2020 දී උසස් අධ්‍යාපනය හැදැරීම තමයි මගේ බලාපොරොත්තුව. උපාධියක් හිමිකරගෙන විදේශ ගත විමට මගේ බලපොරොත්තුවක් තිබෙනවා. ක්‍රීඩාවේ දිගටම නිරතව සිටින්න බෑ. එම නිසා නිපුණතා පූර්ණ වෘත්තිකයෙකු ලෙස රැකියාවක නිරත වීම තමයි අරමුණ.

ඔබ සිතනවාද ක්‍රීඩාව පැත්තෙන් ලංකාව තුල ඉදිරියක් නෑ කියලා?

නෑ මම එම ස්ථාවරේ නෑ. නමුත් අධ්‍යාපනයයි ක්‍රීඩාවයි දෙකම එකට දියුණු කරගත්තොත් හොඳ අනාගතයක් ගොඩ නගා ගැනිමේ අවස්ථා තියෙනවා. ඒ වගේම ඉදිරියේදි ලංකාව තුළ මලල ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රිඩකයන්ට හොඳ අනාගතයක් හිමිවෙයි. ත්‍යාග මුදල් පවා වැඩිකිරීමේ අවස්ථා තිබෙනවා.

අවසන් වශයෙන් දිරිය දෙමාපියන්ගේ එකම දරුවා ලෙස අනාගත ක්‍රීඩකයන්හට දෙන පණිවිඩය කුමක්ද?

මුළු ජිවිතය අභියෝගයක්, එය ජයගැනිමත් අභියෝගයක්. නමුත් කැපවීම ආත්ම විශ්වාසය තමයි හැම ක්‍රිඩකයෙකුටම තිබිය යුත්තේ. අපේ ජිවිතයේ දිගු ගමනක් ආත්ම විශ්වාසය හා කැපවිම තුලින් යා හැකියි.

Comments