අරුම පුදුම විෂ උද්‍යානය | සිළුමිණ

අරුම පුදුම විෂ උද්‍යානය

අත් පටලාගෙන නිදහසේ මල් සුවඳ විදිමින් මල් ගොමු අතර නිදහසේ සැරි සැරිය හැකි උද්‍යානවලට ඔබ ගොස් ඇති බවට සැකයක් නෑ. එහෙත් සුවද පිරුණු පාට පාට මල් වෙනුවට විෂඝෝර පැළෑටි වලින් යුතු  සුවඳ විදීමෙන් පමණක් නොව ස්පර්ෂයෙන් පවා මරණය කැදවිය හැකි විෂකුරු ශාක ඇති උද්‍යානයක් ගැන අසා තිබේ ද ? 

 
උතුරු එන්ගලන්තයේ සංචාරක ආකර්ෂණීයම ස්ථානය වන මෙම උද්‍යානය The Alnwick Poison Garden නමින් හඳුන්වනු ලබයි. වසරකට 600,000ක පමණ සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන මේ උද්‍යානය අක්කර 14,000ක වපසරියකින් යුක්තය. 
 
ඇලන්වික් උද්‍යානය 1750 සිට නෝර්තම්බලම් ආදිපාදවරුන්ට අයිතිව ඇත. 1995 ජෙන් පර්සි මහත්මිය නෝර්තම්බලම් හි ආධිපාදවරිය වූ අතර උද්‍යානයේ කොටසක මෙම විෂැති උද්‍යානය  නිර්මාණය ඇගේ අදහසකි.  ඇයට මෙවැනි අදහසක් පහලවී ඇත්තේ ඉතාලියේ මෙඩිසි විශ උද්‍යානය නැරඹීමෙන් පසුවය.
 
හැරී පෝටර් රසිකයකුනම් ඔබ මෙම උද්‍යානය දැක ඇතුවාට සැකයක් නොමැත. හැරී පෝටර් පළමු චිත්‍රපටයේ මැඩම් හූච් සමඟ ක්විඩිචි පුහුණුවන දර්ශනයේ රූගතකිරීම් මෙම උද්‍යානයේ කොටසක සිදුකර ඇත. 
 
වෙනත් උද්‍යානවල "සාදරයෙන් පිළිගන්නෙමු" වැනි පුවරු ප්‍රදර්ශනය කර පැමිණෙන ජනයාව පිළිගත්තද මෙම උද්‍යානයේ ඔබව පිළිගනු ලබන්නේ ගේට්ටුවේ වූ මිනී ඔළු සලකුණු සමඟ "මෙම පැළෑටි අලංකරණයට සිටුවා නැත, මේවාගෙන් මරණය සිදුවිය හැක" යනුවෙනි.
 
ගේට්ටුවේ සඳහන් කර ඇති අයුරින්ම මෙම උද්‍යානයේ මරණීය අධික විෂැති ශාක දහස් ගනනක් ඇත. සමහරක් ඇල්ලීමෙන් පවා මරණය කැඳවන අතර තවත් සමහරක කොළයක රස බැලුවද මලක සුවඳ වින්දද මාරයාගේ ග්‍රහනයට ලක්විය හැක. එය සනාත කිරීමට දැනට මෙම උද්‍යානයේ මරණ 100ක් පමණ සිදුව ඇත. ලොව පුරා විෂැති උද්‍යාන තිබුණද මෙම උද්‍යානයේ තරම් අධික විෂැති ශාක අන් කිසිදු උද්‍යානයක නොමැත. 
 
සොක්‍රටීස්ව මරාදැමීමට භාවිත කළ හෙම්ලොක් ශාකය, හෙන්බේන්, ඒන්ජල්ස් ට්‍රම්පට්, මැන්ඩ්‍රික්, වුල්ෆ්බේන් වැනි විෂැති ශාක වල සිට අබිං, කන්සා වැනි ශාක දක්වා පුළුල් පරාසයක විෂැති ශාක මෙහි ඇත. විෂැති උද්‍යානයේ මත් පැළෑටී සඳහා වෙන් කරන ලද කොටස නිරන්තරයෙන්ම සීසීටීවී මගින් නිරීක්ෂණය කරන අතර මත්ද්‍රව්‍ය හා ඒවා පරිභෝජනයෙන් වන හානි පෙන්වාදීම එම කොටසේ අරමුණයි. 
 
මෙම උයනේ සේවය කරන සේවකයන් හට දිනය පුරාම අත්වැසුම්, නාස් ආවරණ, මුහුණු ආවරණ, වැනි අංගාරක්ෂක ඇදුම් පැලදීමට වන අතර ඔවුනට මෙම විෂැති පැළෑටිවලට වතුර යෙදීමේ සිට ගහනය පාලනය කිරීම දක්වා සියලුම නඩත්තුකටයුතු පිළිබඳව මනා පුහුණුවක් ලබාදී ඇත. 
 
"කලා රසය තිබුනත් නියඟලා මලේ මළා නොවෙද කෑවොත් නියඟලා අලේ" යන පිරුල සිහියට නඟන කලා රසයෙන් අනූන ඒන්ජල්ස් ට්‍රම්පට් හෝ ඩැෆඩිල් ශාක මෙතරම් මාරාන්තිකය කියා හෝ පුරාතන ඔලිම්පික් ශුරයන්ගේ හිස පැලදීමට යොදාගත් ජයග්‍රහනයේ සංඛේතයක් වන ලෝරල් ශාකය මාරයාට ආවඩන අධික විෂැති ශාකයක් බවට ඔබට මෙහිදී දැනගැනීමට ලැබෙනු ඇත. 
 
මෙම උයනේ මෙම විශේෂිත කොටස හැරුනවිට ළමා උයනක්ද ක්‍රීඩා පිටියක්ද ඇත. " මම හිතනවා දරුවන් මෙයට කැමති වෙයි කියා. ඇස්ප්‍රින් ලැබෙන්නේ ශාකයක පොත්තකින් කියා ඔවුන් කවමදාකවත් සිතන්නට නැතුව ඇති. වඩාත්ම චිත්තාකර්ෂණීය කාරනය ශාක ඔබට මරු කැදවන්නේ කෙසේද, ඉන් ඔබ මියයන්නේ කෙසේද යන්න හා මියයන මොහොතේ ඔබට හැඟෙන දෑ පිළිබදව අවබෝධයක් ලබාගැනීමට හැකි වීමයි" යනුවෙන් නෝදම්බලම් හි ආදිපාදවරිය ප්‍රකාශ කළාය.
 
ආදිපාදවරිය ලොව පුරා සංචාරයේ යෙදෙමින් මෙම උද්‍යානය සඳහා විෂැති ශාක සොයනු ලබන්නීය. "අමුතුම දේ තමයි පරිසරයේ සුලබ ශාක බොහොමයක් විෂැති ශාක බවට කිසිවෙක් නොදැන සිටීම" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
උද්‍යානයේ ඇති ශාක වල භයානක කම නිසාවෙන් පැමිනේන සංචරකයනට ඒවා අත පත ගෑම, සුවඳ විදීම, රස බැලීම ආදිය තහනම් කර ඇත. සමහර ශාක වලින් නරඹන්නන්ව ආරක්ෂා කිරීම පිණිස යකඩ දැල් වලින් ඒවා ආවරණය කර ඇත. 

Comments