ඡන්දෙ­ටත් වඩා උණු­සුම් වන රත්න­පුරේ ඡන්ද ඔට්ටු කෙළිය | සිළුමිණ

ඡන්දෙ­ටත් වඩා උණු­සුම් වන රත්න­පුරේ ඡන්ද ඔට්ටු කෙළිය

ට්ටු ඇල්ලීම පටන් ගන්නට ඇත්තේ දෙපා­ර්ශ්ව­යක් අතර තර­ග­යක් ඇති වූ මුල්ම අව­ස්ථා­වේදී වන්නට පුළු­වන. මේ වන විට ඔට්ටු කෙළිය කොයි තර­ග­ය­ටත් ආදේශ වී ඇත. ඒ ඔට්ටු අත­රින් ඡන්ද ඔට්ටු විශේ­ෂය. මේ ගත­වෙන්නේ ඡන්ද ඔට්ටු­ක­රු­වන්ගේ කාලය ය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඇත්තේ හරි­ය­ටම දින හයකි. දැන් ඡන්ද ඔට්ටු­ක­රු­වන් සක්‍රීය ය. ඡන්දය මූලි­කව සිදු වන ඔට්ටු ඇල්ලීම් අංක එකට පත් වී ඇත්තේ රත්න­පු­රය බව කා අත­රත් ප්‍රසිද්ධ රහ­සකි. ඊට හේතුව මැණික් ඇතුළු ව්‍යාපා­ර­වල නියැළී විශාල පිරි­සක් ප්‍රදේ­ශයේ ජීවත් වීමය. රත්න­පු­රයේ ඡන්ද ඔට්ටු ඉති­හා­සය පිළි­බඳ තොර­තුරු සොයා­බැ­ලීමේ දි හෙළි වුණු කරුණු රැසකි.

මුල් යුගයේ ඡන්ද ඔට්ටු­වක් යනු තම දේශ­පා­ලන පක්ෂය හා අපේ­ක්ෂ­ක­යන් දිරි­මත් කිරීමේ හා ඔහුට සහාය දීම පිණිස විරුද්ධ දේශ­පා­ල­නික අද­හස් දර­න්න­වුන් තම පක්ෂ­යට නතු කර­ගැ­නීමේ අපේ­ක්ෂා­වෙන් සිදු කළ ඒවාය. එවැනි ඔට්ටු අතර ප්‍රකට මෙන්ම අප්‍ර­කට සිද්ධීන් ද එම­ටය.

වර්ෂ 1977 පැවති රජය පරා­ජය වීමෙන් පසුව නිවි­ති­ගල ප්‍රදේ­ශයේ එක්තරා පක්ෂ­ය­කට ළැදි ප්‍රභූ­ව­ර­යෙකු විසින් නැවත කවදා හෝ තමන් ප්‍රිය කළ දේශ­පා­ලන පක්ෂය බල­යට පත් වන තුරු තමාගේ රැවුල නොක­පන බවට තනිව ම ඔට්ටු­වක් ඇල්ලුවේ ය. ඒ අනුව ඔහුගේ රැවුල කැපීම සිදු වූයේ 1994 චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ නාය­ක­ත්වය යටතේ පොදු පෙර­මුණු රජය බිහි වීමෙන් පසු­වය. එකල එම පුව­තට ජන­මාධ්‍ය ඔස්සේ ද විශාල ප්‍රචා­ර­යක් ලැබිණි. තවත් අව­ස්ථා­වල මැති­ව­රණ පිළි­බඳ ඔට්ටු වශ­යෙන් මධු­විත, භෝජන සංග්‍රහ, රස කැවිලි ආදිය හුව­මාරු විය. එසේම විවිධ දඬු­වම් වලට යට­ත්වීම් ද ඒ අතර දක්නට ලැබිණි.

තමා ඔට්ටු අල්ලන අපේ­ක්ෂ­කයා පරා­ජය ට පත්වූ විටෙක තීර­ණය කර ගත් දුරක් බඩ­ගා­ගෙන යෑම, අමු­ඩය ගසා­ගෙන දීවීම, හාවුන් ගෙම්බන් පනින සේ කතිකා කර­ගත් දුරක් පැන­ගෙන යෑම වැනි ඉතා සරල උප­හා­සා­ත්මක ක්‍රියා­කා­ර­කම් සිදු විය. අද වන විට ඡන්ද ඔට්ටු ඇල්ලීම මහා පරි­මාණ සූදු­වක් බවට පත් වී තිබේ.

රත්න­පුරේ ඡන්ද ඔට්ටු­ක­රු­වන් සුපිරි විදි­හට ම මට්ටු වූ කතා පුවත් රැසක් ම පසු­ගිය 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන් වූ වහාම පැතිර ගියේය. මැති­ව­ර­ණ­ය­කදී ඇල්ලු වැඩි ම වටි­නා­ක­මක් සහිත ඔට්ටු ඇල්ලී­මක් වාර්තා වූයේ එහි­දීය. ඊට හේතුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය පෙනි පෙනී ජන­පති සටන ආරම්භ වීමය. ආර­ම්භක අව­ස්ථාවේ සිට ම පැවති විශ්වා­සය වූයේ මහින්ද රාජ­පක්ෂ මහතා දිනන බවය.

මුල් කාලයේ මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට පක්ෂ­පාතී ව ඔට්ටු­වක් ඇල්ලී­මට කෙනෙකු සොයා­ගැ­නීම කළු­නික සොයා­ගැ­නී­මක් වැනි අප­හසු දෙයක් විය. නමුත් රත්න­පුර කේන්ද්‍ර කොට­ග­නි­මින් එහි පව­තින දේශ­පා­ලන තත්ත්වය මත පද­නම් ව එසේ වූවා විය හැකිය. මහි­න්ද­වාදී ඔට්ටු­ක­රු­වන් රුපි­යල් දහස් ගණ­නින් නොව කෝටි ගණ­නින් ඇල්ලූ මුදල් ඔට්ටු ඡන්දය ළංවෙත්ම දෙගුණ තෙගුණ කළේය. රුපි­යල් කෝටි ගණන් වටිනා සැප වාහන නිවාස ඇතුළු දේපළ විශාල ප්‍රමා­ණ­යක් එම ඔට්ටු ගොඩේ පිරී තිබිණි. මෙය සෙල්ල­මට හෝ විනෝ­දය ට අල්ලන ඔට්ටු නොවේ.

එහෙත් මැති­ව­රණ ව්‍යාපා­රය ටිකෙන් ටික ඉදි­රි­යට යද්දී තත්ත්වය ක්‍රම­යෙන් වෙනස් වන අයුරු දුටුවේ රත්න­පු­ර­යෙන් බැහැර පළා­ත්වල විසු­වෝය. එයින් ප්‍රයො­ජ­නය ගත් ඔවුහු තැරැ­ව්කා­ර­යන් මඟින් තම මුදල් වාහන ඔට්ටු ඇල්ලී­මට රත්න­පු­ර­යට එවී­මට කට­යුතු කළහ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස රත්න­පුරේ ඡන්ද ඔට්ටු පරා­ජය පත් උද­විය දැක­ගත හැකි වූයේ මාස ගණ­න­කට පසු­වය.

රත්න­පුරේ සම­හර ව්‍යාපා­රි­කයෝ 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් රුපි­යල් කෝටි ගණ­නක් පරා­ජය වූහ. තවත් අය තමන් සතු සුඛෝ­ප­භෝගී වාහන සහ ඉඩ­ක­ඩම් පරා­ජ­යට පත් කර­ගත්හ. එහෙත් ඉන් පාඩම් ඉගෙ­න­ගත් බවක් පෙනෙ­න්නට නැත.

මේ ඡන්ද­යේ­දීත් එම ඔට්ටු­ක­රු­වන් සක්‍රීය ය. මේ වන විටත් පාර්ශ්ව දෙකක් හෝ ඊට වඩා වැඩි පිරි­සක් අයත් වන පරිදි ඡන්ද ඔට්ටු ඇල්ලීම් සිදු වෙමින් ඇත. වාහන ගෘහ භාණ්ඩ ඉඩම් හා මුදල් දෙගුණ තෙගුණ කරම්න් ඔවුහු ඔට්ටු අල්ලති. දැන් රත්න­පුරේ ඔට්ටු­ක­රු­වන් සම්බ­න්ධී­ක­ර­ණය කරන සංවි­ධා­ය­ක­ව­රුන් කිහිප දෙනෙ­කුම දැකිය හැකිය. මේ සංවි­ධා­ය­ක­ව­රුන් ඔට්ටු­ක­රු­වන් සොය යෑමේ ආයා­ස­කර මෙහෙ­යු­මක නිර­තව සිටිනු පෙනේ. එය ගිය­වර තරම් පහසු නොවන බව ඔවුන්ගේ කතා බහෙන් පෙනේ.

මේ වන විට සම­ඟම ඔට්ටු­වල සංයු­තිය හා ඔට්ටු ඇල්ලීම සිදු වන ක්‍රමය වෙනස් කර­ගැ­නී­මට ද ඔවුහු සමත් ව සිටිති. වටිනා ඔට්ටු අල්ලන ඔට්ටු­ක­රු­වන් ඔට්ටු අල්ලන්නේ වඩාත් අප්‍ර­ක­ට­වය. එය පිටට පෙනෙන්නේ මිතු­රන් අතරේ සිදු වන ගනු­දෙ­නු­වක් ලෙසය. මේ ඔට්ටු ඛාණ්ඩයේ දී සුඛෝ­ප­භෝගී වාහන, නිවාස, ව්‍යාපා­රික ස්ථාන හා වටි­නා­කම අධික ඉඩම් ඔට්ටු­ක­රුවෝ පරදු තබති. රහ­සි­ග­තව ලැබෙන ඉතාම විශ්වා­ස­නීය තොර­තුරු අනුව පසු­ගිය වර්ෂ­ව­ලට සාපේ­ක්ෂව මේ ඔට්ටු ප්‍රමාණ මේ වන විටත් පව­තින්නේ ඉතාම පහළ අග­යක ය. දැනට වාර්තා වන පරිදි මාර්ග බල­පත්‍ර සමඟ බස් රථ දෙකක් ඔට්ටු­ක­රු­වන් දෙදෙ­නෙකු විසින් පර­දු­වට තබා ඇත. එමෙන්ම තවත් තැනක සුඛෝ­ප­භෝගී වාහන දෙකක් පර­දු­වේය. එක් වාහ­න­යක් රුපි­යල් ලක්ෂ 150කට වැඩිය.

ඔට්ටු ඇල්ලීමේ සංයු­තිය ද සංකීර්ණ වී තිබේ. බුකි වගේ­මය. ඒ වටා වැඩි ඔට්ටු­ක­රුවෝ පිරි­සක් එක් වී සිටිති. රත්න­පු­රයේ කුඩා ව්‍යාපා­රි­ක­යන්ට රුපි­යල් දහස, දෙද­හස, පන්ද­හස වැනි ඔට්ටු දැමිය හැකි සේ සංයු­තිය විසිරී ඇත. එදා පක්ෂ දිනන බවට ඇල්ලූ ඔට්ටුව අද වන විට අපේ­ක්ෂ­ක­යන් ලබා­ගන්නා ඡන්ද ප්‍රමා­ණය දක්වා වෙනස් වී තිබේ. පර­දින අපේ­ක්ෂ­කයා ලබා­ගන්නා ඡන්ද ප්‍රමා­ණ­යත් ඡන්ද ප්‍රති­ශ­ත­යත් එක් ඔට්ටු­වක නිමි­ත්තකි.

ඒඔට්ටු ඇල්ලීම වෙනු­වෙන්ම විශේෂ පත්‍රිකා මුද්‍ර­ණය කිරී­මට ඔට්ටු සංවි­ධා­ය­ක­යන් කට­යුතු කර ඇත. ඒ අනුව එක් එක් අපේ­ක්ෂ­කයා කොට්ඨාස ආසන හා දිස්ත්‍රික් මට්ට­මින් ලබා­ගන්නා ඡන්ද ප්‍රමා­ණ­යන් දක්වා ඔට්ටු ඇල්ලීමේ අව­කා­ශය පුළුල් වී තිබේ. ලංකාවේ ම ආසන හා දිස්ත්‍රික් මට්ටමේ ඉකුත් මැති­ව­රණ වලදී ලැබූ ඡන්ද ප්‍රමා­ණ­යන් ආශ්‍රි­තව ආසන හෝ දිස්ත්‍රික් තුන බැගින් නම් කර අපේ­ක්ෂ­ක­යන් ⁣එකී දිස්ත්‍රික්ක තුළ ලබා ගන්නා වැඩිම ඡන්ද ගණ­නට අනුව දිනුම තීර­ණය කිරීමේ ඡන්ද ඔට්ටු ද දැකිය හැකිය. මේ ඔට්ටු­වක් රුපි­යල් දෙද­හසේ සිට ඇල්ලිය හැකිය. ජය­ග්‍ර­හ­ණය කර­න්නාට දිනුම ලැබෙන්නේ ලක්ෂ ගණ­න්ව­ලිනි. හරි­ය­ටම රේස් දානවා වගේය. එහෙත් වෙනදා තරම් සක්‍රී­යව මේ ඔට්ටු කෙළි­යට තව­මත් මිනි­සුන් පැමිණ නැති බව කියන්නේ ඔට්ටු සංවි­ධා­ය­ක­යන්ම ය.

“මේ වන විට මැති­ව­ර­ණයේ හැසි­රීම එක් පාර්ශ්ව­ය­කට වාසි සහ­ග­තව ක්‍රියා­ත්මක වෙන බව රත්න­පුරේ කට්ටිය විශ්වාස කර­නවා. ඒ නිසා අනෙක් පක්ෂ­වල ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ එත­රම් විශ්වා­ස­යක් ඔට්ටු අල්ලන අයට නෑ. ඒත් ඉති­හා­සයේ ගොඩක් මැති­ව­රණ මුල් වක­වා­නුවේ තිබුණෙ මේ විදි­හට තමයි. අන්තිම මෙහොතෙ හිතපු නැති විදි­හට වෙනස් වෙනවා. ඒ වෙනස ගොඩක් දකින්නෙ රත්න­පු­රේන් එළියෙ ඉන්න අය. ඔවුන් ඔට්ටු අල්ල­න්නම රත්න­පුරේ එනවා. ඒ අයගෙ තැරැ­ව්කා­රයො එව­නවා. අපිට නම් හිතෙන්නෙ මේ තියෙන්නෙ කරට කර යන මැති­ව­රණ තර­ග­යක්. ඕනෑම වේලා­වක ඒ තත්ත්වය වෙනස් විය හැකියි. ඉදිරි දවස් කීපය ඇතුළෙ ඡන්ද ඔට්ටු කරු­වන්ට හොඳ අව­ස්ථා­වක් උදා වේවි.”

ලබන සතිය වන විට මැති­ව­ර­ණය නිමා වනු ඇත. බොහෝ දෙනෙක් තමන් දහ­දිය මහ­න්සි­යෙන් උප­යා­ගත් දේපළ ව්‍යස­න­යට ලක් කර­ගනු ඇත. ඔට්ටු­ක­රු­වන් කවුරු පැර­දු­ණත් දිනු­වත් දිනුම්ය. කවුරු පැර­දු­ණත් දිනු­වත් දේශ­පා­ල­ක­යන්ද දිනුම්ය. ඔට්ටු තැබු­වත් නොතැ­බු­වත් හැම­දාම පර­දින්නේ පොදු ජන­තා­වය.

Comments