කෝටි ගණනක කුඩු ඇල්ලූ මහ මුහුදේ නාවික මෙහෙයුම | Page 2 | සිළුමිණ

කෝටි ගණනක කුඩු ඇල්ලූ මහ මුහුදේ නාවික මෙහෙයුම

දිනය - නොවැ­ම්බර් 03 වැනිදා

වේලාව - අලු­යම

ප්‍රදේ­ශය - දකුණු වෙරළ තීරයේ ගාල්ලට නුදුරු­වයි.

නාවික හමුදා සෝදිසි මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වෙමින් පැව­තියේ ධීව­ර­යින්ගේ මුවා­වෙන් මත් ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කරන හෙයිනි. බහු දින ධීවර යාත්‍රා කිහි­ප­යක් වරින් වර ගමන් කළද එක් යාත්‍රා­වක් දෙස නාවික නිල­ධා­රීන්ගේ අව­ධා­නය වැඩි වශ­යෙන් යොමු වුණි. ඔවුහු එයට නව­ත්වන ලෙස අණ කළහ. නොන­වත්වා ගිය­හොත් වෙන දේ දන්නා හෙයින් බහු දින යාත්‍රාව නැව­තුණි. ධීව­ර­යින් සේ පෙනී සිටි­යද ඔවුන් ගැන නාවික හමු­දා­වට සැක­යක් ඇති වුණි.

‘ඇයි සර්, අපි මාළු අල්ලන්න ගියේ..‘

ධීවර කර්මා­න්තයේ නියැ­ළී­මට අවශ්‍ය දැල් ආම්පන්න, දැවැන්ත බිලී කොකු ඇතුළු සියල්ල එම යාත්‍රාවේ විය. කිසිදු ආකා­ර­යක සැක­යක් පෙනෙ­න්නට නම් නැත. එහෙත් බහු දින යාත්‍රා­වම දැඩි සෝදි­සි­ය­කට ලක් කරන ලදී.

නාවික නිල­ධා­රීන්ගේ සැකය තහ­වුරු විය. මත්කුඩු යැයි සැල­කිය හැකි පැකට් විශාල සංඛ්‍යා­වක් එහි විය. නාවික නිල­ධා­රීන් ඒ ගැන ඔවු­න්ගෙන් විම­ස­න්නට විය. ඇත්ත එළි­වීම නිසා ඔවුහු සත්‍යය නොව­ලහා පව­ස­න්නට වූහ.

මත් ද්‍රව්‍ය තොගය තමන්ට ගැඹුරු මුහු­දේදී ලැබුණු බවත් ඒවා පාකි­ස්ථා­නයේ සිට එවන ලද බව දැන­ග­න්නට තිබෙන බවත් ඔවුහු පැව­සූහ. ගොඩ බිමට බහු­දින යාත්‍රාවේ ඒවා ගෙන නොයන බවත් ඒ සඳහා ඩිංගි බෝට්ටු භාවිත කරන බව ද ඔවුහු පැව­සූහ.

ඒ සියලු දෙනා අත් අඩං­ගු­වට ගත් නාවික නිල­ධා­රීන් කිහිප දෙනකු බහු දින යාත්‍රාවේ සිටි­යදී සෙසු නාවික නිල­ධා­රීන් සහ සෙබ­ළුන් නාවික සෝදිසි යාත්‍රාවේ නැඟී එතැ­නින් පිටව ගියහ. බහු­දින යාත්‍රාව ගොඩ­බිම සමී­ප­යට ගෙන ඒමට පෙර ඔවුන්ගේ ක්‍රියා­දා­මය ගැන පූර්ණ විස්ත­ර­යක් දැන ගන්නට නාවික නිල­ධා­රීන් විසින් කට­යුතු කරන ලදී. ඒ අනුව ගොඩ බිම පෙනෙන මාන­යෙදී ඩිංගි බෝට්ටු­වට පණි­වි­ඩ­යක් දිය යුතු විය.

නාවික නිල­ධා­රීන්ගේ අණ පරිදි සැක­ක­රුවෝ පණි­වි­ඩය ලබා දුන්හ. ඩිංගි බෝට්ටුව දෙදෙ­න­කුද සමඟ බහු දින යාත්‍රාව වෙතට ආවේය.නාවික නිල­ධා­රීන් සහ බහු දින යාත්‍රාවේ සිටි කිහිප දෙනෙක්ද නොපෙ­නෙන ලෙස සැඟවී සිටි­යහ.

බෝට්ටුව සමී­ප­යට පැමිණි ඩිංගි බෝට්ටුවේ පැමිණි දෙදෙනා සතු­ටින් ඉපිල ගොස් තිබුණි.

‘‘හැම තැනම සර්ච් කර­නව නේද බං, හොඳ වෙලා­වට උඹලා ආවෙ, බොසා කිව්වා පරි­ස්ස­මින් බඩු ගේන්න කියලා‘ ඔහු දිග­ටම කියා ගෙන ගියේය.

ඩිංගි බෝට්ටුව බහු­දින යාත්‍රාව අස­ල­ටම ගෙන ආවේය. ඒ සම­ඟම ඔවුන්ට නොපෙ­නෙන ලෙස සැඟව සිටි නාවික හමුදා නිල­ධා­රීන් එළි­යට ආහ. වට­පිට බැලූ ඩිංගි බෝට්ටුවේ සිටි දෙදෙ­නාට පෙනුණේ මේ දක්වා සාමාන්‍ය බෝට්ටු ලෙසින් මුහුදේ සැරි­ස­ර­මින් තිබූ බෝට්ටු කිහි­ප­යක්ද තම ඩිංගි බෝට්ටුව වට කර තිබෙන බවකි. ඒ සිවිල් ඇඳු­මින් සිටි නාවි­ක­යින් බවද ඔවුහු වටහා ගත්හ. දැන්නම් පැන යන්නට මඟක් නොමැති බව දැන­ගත් ඔවුහු නිහඬ වූහ. ඩිංගි­යෙන් ආ පුද්ග­ල­යින් දෙදෙනා ගොඩ දැමු මාළු­වන් සේ ගැහෙ­න්නට විය.

‘‘යංකො කට්ටි­යම එක්ක ගොඩට...‘‘ බහු­දින යාත්‍රාව බාර ගත් නාවික නිල­ධා­රීන් එය ගොඩ බිම කරා ගෙන එන්නට කට­යුතු කළ අතර ඩිංගි බෝට්ටුවේ සිටි දෙදෙ­නාද නාවික ආර­ක්ෂාව මැද ගොඩ බිමට එම බෝට්ටු­වද සමඟ ගෙන එන්නට විය. එසේ එද්දී සිදු වූ පමාව නිසා එය බාර ගැනී­මට ගොඩ බිම සිටි තවත් අයෙක් පැන ගොස් තිබුණි.

බහු­දින යාත්‍රාවේ පැමිණි 5 දෙනාත් ඩිංගි බෝට්ටුවේ පැමිණි දෙදෙ­නාත් ගාලු ධීවර වරා­යට රැගෙන ඒමෙන් පසුව ඔවුන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශ­යට භාර කරන ලදී. ඔවුන් සමඟ අත් අඩං­ගු­වට ගත් හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 224ක පැකට් 200ද පොලිස් මත් ද්‍රව්‍ය අංශ­යට යොමු කරන ලදී. ඒ සම­ඟම චන්ද්‍රිකා දුර­ක­ත­න­යක්, ජංගම දුර­ක­තන 7ක්, ජීපී­එස් තාක්ෂ­ණික උප­ක­රණ 3ක්. ඇතුළු උප­ක­ර­ණද බහු දින යාත්‍රා­වද ඩිංගි බෝට්ටු­වද පොලි­සිය වෙත බාර දෙන ලදි. අත්අඩං­ගු­වට ගන්නා ලද හෙරො­යින් තොගයේ වටි­නා­කම රුපි­යල් කෝටි 200කට අධික බවට මේ වන විට ගණන් බලා ඇත. කිලෝ­ග්‍රෑම් 224ක් මත් කුඩු තොගය කිලෝ එකට ආසන්න පැකට් වල අසුරා ගෙන­විත් තිබුණේ ගෙන යෑමේ පහ­සුව තකාය. එසේම ඒවා වෙනත් පොලි­තින් පැකට් 8ක දමා තිබුණේ හදි­සි­ය­කදී මුහු­දට දැමු­වද හානි­යක් නොවන සේ අසු­ර­මිනි.

ඒ අනුව මෙම වසර තුළ පම­ණක් නාවික හමු­දාව විසින් සිදු කළ මෙහෙ­යුම්වලදි හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 763 ක ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව ඇත.

මේ වන විට නාවික හමු­දාව විසින් අත්අඩ­ංගු­වට ගත් හෙරො­යින් තොග­යට අම­ත­රව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ­යද සම­ඟින් මේ වසරේ පම­ණක් කිලෝ­ග්‍රෑම් 1638 ග්‍රෑම් 397ක හෙරො­යින් අත් අඩං­ගු­වට ගෙන ඇත. අත් අඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සංඛ්‍යාව 35702කි.

තවද, මෙම වසර තුළදී පම­ණක් මෙර­ටට රැගෙන ඒමට උත්සාහ කළ සහ රට තුළ තිබූ තහ­නම් මත්ද්‍රව්‍ය වන කේරළ ගංජා ටොන් 3ක් (කිලෝ­ග්‍රෑම් 3263 ක්), දේශිය ගංජා කිලෝ­ග්‍රෑම් 08 ක්, බීඩි කොළ ටොන් 42ක් (කිලෝ­ග්‍රෑම් 42851 ක්), ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක් නීතියේ රැහැ­නට හසු­කර දෙමින් නාවික හමු­දාව මත්ද්‍රව්‍ය නිවා­රණ ජාතික වැඩ­ස­ට­හ­නට විශාල දාය­ක­ත්ව­යක් ලබා දී ඇත

මේ මත් කුඩු ගෙන්වීම සම්බ­න්ධව තවත් ප්‍රධා­නීන් තිදෙ­නකු හා එතෙර අයෙක්ද අත් අඩං­ගු­වට ගැනී­මට නිය­මි­තය.

මේ මත් කුඩු තොගය අන්නාසි මොරිල් නැමැති තැනැත්තා විසින් පාකි­ස්ථා­නය හරහා මෙර­ටට එව­න්නට ඇති බවට සැක පළ වී ඇත. අන්නාසි අලෙ­වි­යෙන් කොළඹ ජීවත් වු ඔහු මේ වන විට මත් ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ වී ඇති බවට අනා­ව­ර­ණය වී ඇත.

මෙසේ නාවික හමුදා අත් අඩං­ගු­වට පත් වූ සැක­ක­රු­වන් අතර සිටින පස් දෙනා වන්නේ මාර­විල, උතුරු තොඩු­වාවේ පදිංචි චමින්ද ප්‍රනාන්දු (50), හලා­වත, අඹ­ක­ඳ­වල ඇන්ටනි ක්‍රිෂාන්ත (29) හා හලා­වත, අඹ­ක­ඳ­ව­ලම දුලාජ් රවීන්ද්‍ර, මාර­විල, උතුරු තොඩු­වාවේ සුරංග එරංග, මාර­විල ඉර­ණ­විල පාරේ තරිඳු ජය­මාල් (32) යන අය වන අතර ඩිංගි බෝට්ටුවේ සිට පැමිණ අත් අඩං­ගු­වට පත් වූ දෙදෙනා වන්නේ මාර­විල තොඩු­වාව පදිංචි සසිඳු ලක්ෂාන් (32) හා කොච්චි­කඩේ, පෝරේහි පදිංචි ජූඩ් ලක්ෂාන් (52) යන අය වෙති වෙති. බහු­දින යාත්‍රාව හලා­වත පදිං­චි­ක­රු­ව­කුට අයත් වූවකි. ඒ සම්බ­න්ධ­යෙන්ද දැන් පරී­ක්ෂණ සිදු කෙරේ.

මේ සම්බ­න්ධව අද­හස් දක්ව­මින් නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා මහතා පැව­සුවේ ධීව­ර­යින්ගේ මුවා­වෙන් නිර­තු­රු­වම මේ අයු­රින් මත් කුඩු ප්‍රවා­හ­නය කරනු ලබන බවට තොර­තුරු ලැබෙන බවත් එම නිසා නාවික හමු­දාව මහ සයුරේ සීරු­වෙන් තබා ඇති බවත්ය. පසු­ගිය 1 වැනිදා සිට මේ ප්‍රදේ­ශයේ සෝදිසි මෙහෙ­යුම් වැඩි කළ බවත් ඒ අනුව මේ මතු කුඩු තොගය අත් අඩං­ගු­වට ගැනී­මට හැකි වූ බවද නාවික හමු­දා­ප­ති­ව­රයා පව­සයි.

ඇතැම් ධීව­ර­යින් මත් කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ගේ උපා­යන්ට අසුවී මේ සඳහා උප­කාර කරනු ලබන බවත් ඒ හරහා ඔවු­නට මරණ දඩු­වම පවා ලැබී­මට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දෙයි. සුළු ලාභ­යක් පතා නීති විරෝධී කට­යු­තු­වල නියැ­ළී­මෙන් වළ­කින ලෙස සියලු ධීව­ර­යින්ට තමන් අව­වාද කරනු ලබන බවද නාවික හමු­දා­ප­ති­ව­රයා පව­සයි. මත් කුඩු ජාව­ර­ම්ක­රු­වන්ට කිසිදු සමා­වක් ලබා නොදෙන බවත් ඔහු පෙන්වා දෙයි. නාවික හමු­දාව නිර­තු­රු­වම මේ සියලු පරී­ක්ෂණ කට­යු­තු­වල නියැ­ළෙන බවත් නීතිය රැකීම වෙනු­වෙන් මත් උව­දු­රින් ජාතිය රැක ගැනීම පිණිස අවශ්‍ය ඕනෑම පිය­ව­රක් ගැනී­මට තමන් පසු­බට නොවන බවද නාවික හමු­දා­ප­ති­ව­රයා කීය.

ඉදි­රි­යේදී සමු­දුර ආශ්‍රි­තව සිදු කරනු ලබන මෙහෙ­යුම් තව දුර­ටත් වැඩි කරනු ලබව බවද නාවික හමු­දා­ප­ති­ව­රයා කීය.

මේ වන විට අත් අඩං­ගු­වට ගෙන ඇති සියලු දෙනා ධීව­ර­යින් වන අතර එක්ව­රම වැඩි මුදල් ඉපැ­යී­මට යාම නිසා ඔවුහු මේ තත්ත්ව­යට ඔවුහු පත් වූහ. ධීවර සහාය නොමැ­තිව කිසිදු විටෙක මත් කුඩු ප්‍රවා­හ­නය කළ නොහැකි බවද නාවික හමු­දාව පෙන්වා දෙයි.

එසේ නොවු­ව­හොත් සිදු වන්නේ රට ජාතිය සමස්ත විනා­ශ­යක් කරා යොමු වන බව ද පෙන්වා දුන් හමු­දා­ප­ති­ව­රයා පව­සන්නේ ඉක්ම­නින් ධන­වත් වීමට මෙවන් අප­රාධ හරහා මුදල් ඉපැ­යී­මට යාමෙන් තමාත් තමන්ගේ යැපෙ­න්නන් ද අනා­ර­ක්ෂිත තත්ත්වයට පත් වන බවයි.

අත් අඩං­ගු­වට ගත් පුද්ග­ල­යින් වැරැ­දි­ක­රු­වන් වුව­හොත් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට අනි­වා­ර්යෙන්ම මරණ නියම වනු ඇත. මත් ද්‍රව්‍ය මෙහෙ­යුම් වැට­ලීමේ සඳහා අන්ත­ර්ජා­තික සබ­ඳ­තාද නාවික හමු­දාව විසින් මේ වන විට යොදා ගෙන ඇති අතර අන්ත­ර්ජා­ති­කව ලැබෙන රහස්‍ය තොර­තුරු නිසා මෙසේ වැට­ලීම් සිදු කිරී­මට හැකි­යාව ලැබී ඇත. ඒ හරහා ඉතා­මත් පුළුල් ලෙස මෙම මෙහෙ­යුම් දියත් කර­මින් සාර්ථක වැට­ලීම් සිදු­කි­රී­මට නාවික හමු­දා­වට හැකි වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා­වට අයත් සාගර කලා­පයේ සහ රට තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවා­රම් කට­යුතු මැඬ­ලීමේ ජාතික මෙහෙ­වර සඳහා නාවික හමු­දාව ඉදි­රි­ය­ටත් මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කරනු ඇත.

 

Comments