කොළඹ කලබල කළ නවදිල්ලි දූවිල්ල | සිළුමිණ

කොළඹ කලබල කළ නවදිල්ලි දූවිල්ල

කොළඹ නග­ර­යද දිල්ලියේ මෙන් විෂ දුමා­රයකින් පිරී ගිය බවට පැතිර ගිය මතය පසු­ගිය සතියේ ජන අව­ධා­නය මද­කට වෙන­තක යැවී­මට සමත් විය. ඒ හේතුවෙන් විවිධ තොර­තුරු ජන­තාව අතර සංස­ර­ණය වන්නට වූ අතර නව­දි­ල්ලිය මෙන් මුක­වා­ඩම් පැළඳ දිවි ගෙව­න්නට වේ යැයි බොහෝ දෙනා තුළ බයක් ඇති විය. මේ අතර ඇතැම් දෙනා විෂ වායුව ආශ්වස කිරී­මෙන් තමන්ට ඇති වූ රෝගී තත්ත්ව­යන් ගැනද ප්‍රකාශ කර­න්නට වූහ.

අදින් දශ­ක­යක පමණ පෙර සිට සෑම ශීත කාල­ය­ක­දීම ඉන්දි­යාවේ අග නුවර වන නව දිල්ලිය විෂ දුමෙන් වැසී යන්නට විය. විමෝ­චක වායූන් එයට ප්‍රධාන හේතු­වක් වූ නමුත් වගා බිම් ගිනි තැබී­මෙන් පැතිර යන දුමා­රය මුලු දිල්ලි නග­ර­යම දුමෙන් වසා දැමී­මට විශාල වශ­යෙන් බල­පෑ­වේය. මේ වන විට පෘථි­වියේ උත්ත­රාර්ධ ගෝල­යට ශීත කාලය උදා වෙමින් පව­තින අතර ඒ හරහා දකු­ණට හමා එන සුළං ප්‍රවාහ වැඩි වශ­යෙන් අර්ද්‍ර­තා­ව­යෙන් යුතු පොළො­වට පීඩ­නය ලබා දෙන සුළං ධාරා වේ. මේ සුළං ධාරා හේතු­වෙන් නග­රය පුරා පැතිර යන දුම නග­ර­යෙන් බැහැර ඉහළ අහ­සට පැති­රීම අවම වේ. මෙහි බර­ප­තල අතුරු ඵලය වී ඇත්තේ සෑම වස­ර­කම පාහේ මේ කාලය වන විට නව­දිල්ලි ජන­තා­වට අපි­රි­සිඳු වාතය අශ්වාස කිරී­මට සිදු­වී­මය.

ලෝකයේ අපි­රි­සිදු වාතය සහිත නගර දහ­යෙන් එකක් අත­රට නව­දි­ල්ලිය එක් වූයේ අද ඊයෙක නොවේය. එහි අතුරු ප්‍රති­ඵල කොතෙක්ද යත් මේ වන විට දිගින් දිග­ටම විෂ දුම ආග්‍රා­ණය කිරීම හේතු­වෙන් එම නගර වාසීන්ගේ ආයු අපේ­ක්ෂා­වද අඩු වී ඇතැයි වාර්තා ලැබෙ­මින් තිබේ. විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ ඉන්දි­යාවේ සමස්ත ජන­ග­හ­ණ­යෙන් සිය­යට 40ක් වාසය කරන උතුරු ඉන්දි­යාවේ ජන­තා­වගේ ආයු අපේ­ක්ෂාව වසර හත­කින් පහළ බැස ඇති බවත් එයට හේතුව දිගින් දිග­ටම විෂ දුම ආග්‍රා­ණය කිරීම බවත්ය.

මේ ලියන මොහොත වන විට නව දිල්ලි ජන­තාව මේ වසරේ ගෙවා දමන දුමින් පිරි දොළො­ස්වන දිනය ගත කර­මින් සිටිති. නග­රයේ පාසල් වසා දමා ඇති අතර බොහෝ සාමාන්‍ය ජන ජීවි­ත­ය­ටද විශාල බල­පෑම් එල්ල වී තිබේ.

වායු දූෂ­ණය අගය මනිනු ලබන්නේ පැය 24ක කාල­යක් තුළදී වායු ඝන මීට­ර­යක අඩංගු ආශ්වා­සක අංශු ප්‍රමා­ණය සැල­කි­ල්ලට ගැනී­මෙනි. මේ වන විට නව­දිල්ලි නග­රයේ ඇතැම් ස්ථාන­වල මේ අගය මයි­ක්‍රො­ග්‍රෑම් 350ට වඩා වැඩි යැයි වාර්තා වී තිබේ. ඒ අනුව එය ඉතා බර­ප­තල තත්ත්ව­යක් සේ සැල­කිය යුතුය. මේ අග­යට අනුව පැය 24ක කාල­යක් තුල වායු ඝන මීට­ර­යක අඩංගු ආශ්වා­සක අංශු ප්‍රමා­ණය 0 -50 අතර නම් එය ජීවින්ට ඉතා හිත­කර වායු­ගෝ­ලීය තත්ත්ව­යකි. එය 51 - 100ත් අතර නම් ගැට­ලු­වක් නැති සේ සැලකේ. එය 101ත් 150 අතර නම් ජීවීන්ට කිසි­යම් බල­පෑ­මක් ඇති තත්ත්ව­යක් සේ සැලකේ. 151ට වඩා ආශ්වා­සක අංශූන් වැඩි වායු­ගෝ­ලීය තත්ත්ව­යක් ඉතා බර­ප­තල තත්ත්ව­යක් ලෙස සැල­කෙන අතර ඉක්ම­නින් ක්‍රියා­ත්මක වීම අවශ්‍ය ආපදා අව­ස්ථා­වක් ලෙසින්ද සැලකේ.

නව­දි­ල්ලියේ මහ ඇමති අර­වින්ද් කෙජ්රි­වාල්ද තම නග­රය ගැන අද­හස් දක්ව­මින් මෙවර ඇති වී තිබෙන ආප­දාව මැඩ පැවැ­ත්වී­මට කට­යුතු කරන බව පවසා සිටි­යේය. නව­දි­ල්ලිය සහ එ් අවට හේන් ගිනි තැබීම ඉන්දීය මධ්‍යම රජය විසින් තහ­නම් කළ අතර කිසි­වකු එසේ කරයි නම් ඒ සඳහා දේශ­පා­ල­න­ඥ­යන්ගේ සිය බල­ධා­රීන්ද, පොලී­සි­යද සම්පූ­ර්ණ­යෙන් වග­කිව යුතු­බ­වට දැඩි නීති ද පනවා තිබේ. කෙසේ වුවද මෙවර තත්ත්වයේ වර්ධ­න­යක් දක්නට ලැබු­ණද නව­දි­ල්ලිය නම් වසර කිහි­ප­යක සිටම මේ වායු දූෂ­ණ­යෙන් පීඩා විඳි­මින් සිටින බවත්, ඉන්දීය බල­ධා­රීන් එම තත්වය උග්‍ර වන වසරේ ශීත සම­යේදී පම­ණක් ඒ ගැන නීති පන­ව­මින් එය මැඩ පැවැ­ත්වී­මට කට­යුතු යෙදී­මට උත්සාහ දරන බවත් පැව­සිය යුතුය.

මෙවර නව­දි­ල්ලියේ විෂ දුම අපේ රටේද උණු­සුම් තත්ත්ව­යක් ඇති කිරී­මට හේතු වූයේ එහි බල­පෑම හේතු­වෙන් පසු­ගි­යදා කොළඹ නග­ර­යේද විෂ දුමක් පැතිර යන්නේ යැයි ඇති වූ රාව­යත් සම­ගය. පසු­ගිය බදාදා දිනයේ උදෑ­සන සිට කොළඹ නග­රය පම­ණක් නොව මුළු රට පුරාම කිසි­යම් මීදු­මක් වැනි දුමා­ර­යක් පැතිර ගොස් ඇති අන්දම නිරී­ක්ෂ­ණය වී තිබූ අතර වායු ගෝලීය ගුණා­ත්මක තත්ත්වය විමසා බැලීම පිණිස අප රටේ ස්ථාපිත කර ඇති ආය­ත­න­වල අව­ධා­නය එයට යොමු විය. එහිදී වායු ගෝලීය ඝණ­ත්වය පරීක්ෂා කර බැලීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍ය­ස්ථා­න­ව­ලින් ලබා ගත් අග­යන් විමසා බැලී­මේදී ඒවායේ වායු ඝන මීට­ර­යක ඇති ආශ්වා­සක අංශු ප්‍රමා­ණයේ වැඩි­වී­මක් ද දක්නට ලැබී තිබේ.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ මධ්‍යම පරි­සර අධි­කා­රියේ වායු තත්ත්ව ඒක­කයේ රසා­ය­නා­ගාර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කමල් ප්‍රියන්ත මහතා පවසා සිටියේ බදාදා දින රාත්‍රියේ පමණ සිට කොළඹ නග­රයේ වාතයේ ආශ්වා­සක අංශු ප්‍රමා­ණයේ කිසි­යම් වැඩි­වී­මක් අදාළ යන්ත්‍ර මගින් පෙන්වා සිටි බවයි.

“ මේ වාතයේ දක්නට ලැබෙන අංශු අපේ මොනි­ට­ර්වල සට­හන් වුණේ ඩය­මී­ට­ර්එක මයි­ක්‍රෝන 10ට වඩා අඩු දූවිලි වැනි අංශු වශ­යෙන්. මෙවැනි අංශු හුස්ම ගැනී­මේදී ඉතා පහ­සු­වෙන් අපේ ශරී­ර­යට ඇතු­ලු­විය හැකියි.මධ්‍යම පරි­සර අධි­කා­රිය සතුව වාතයේ ගුණා­ත්මක භාවය පරීක්ෂා කරන මධ්‍ය­ස්ථාන දෙකක් දැනට ස්ථාපිත කර තිබෙ­නවා. ඉන් එකක් කොළඹ බත්ත­ර­මු­ල්ලේත්, අනෙක් මධ්‍ය­ස්ථා­නය මහ­නු­ව­රත් ක්‍රියා­ත්ම­කයි. මේ මධ්‍ය­ස්ථා­න­ව­ලින් ලැබුණු දත්ත තමයි අපි විම­ර්ෂ­ණ­යට ලක් කළේ. මෙහිදී අපි හඳුනා ගත්තා පසු­ගිය බදාදා දින­යේදී වායු ඝන මීට­ර­යක ආශ්වා­සක අංශු මයි­ක්‍රො­ග්‍රෑම් 100ට වඩා වැඩි බව. අපි දිගින් දිග­ටම නිරී­ක්ෂ­ණ­යන්හි නිරත වුණා. පසුව බදාදා දින සවස් කාලය වන විට මේ අගය පහත වැටී බ්‍රහ­ස්ප­තින්දා දිනය වන විට මයි­ක්‍රො­ග්‍රෑම් 90 - 80 අතර අග­යක් දක්වා පහත වැටුණා. “

කමල් ප්‍රියන්ත මහතා වැඩි­දු­ර­ටත් පවසා සිටියේ තමන් මේ තත්ත්වය සම්බ­න්ධව දිගින් දිග­ටම නිරී­ක්ෂ­ණ­යන්හි නිරත වන බවයි. අපේ රටේ වායුව දූෂ­ණය කරන අංශ අතර අංක එක හිමි කර ගන්නේ මෝටර් රථ­වා­හ­නය. කර්මාන්ත ශාලා අවම වශ­යෙන් ක්‍රියා­ත්මක වන අප රටේ වායු දූෂ­ණ­යට එක්වන කර්මා­න්ත­ශාලා අවම අග­යක් ගන්නේය. අපි­රි­සිදු වායුවේ පව­තින සල්ෆර් ඩයො­ක්ස­යිඩ්, ඕසෝන්, කාබන් මොනො­ක්ස­යිඩ් සහ නයි­ට්‍ර­ජන් ඔක්ස­යිඩ් වැනි වායු සංඝ­ටක ජීවීන්ට ඉතා අහි­ත­කර බල­පෑම් ගෙන දීමට සමත්ය.

එහෙත් කමල් ප්‍රියත්න මහතා පවසා සිටි අන්ද­මට අපේ වායු­ගෝ­ලයේ හදි­සියේ ඇතිවූ මේ තත්ත්වය අපේම පාරි­ස­රික තත්ත්ව­යක් නොව ඉන්දි­යාවේ පාරි­ස­රික තත්ත්වයේ කිසි­යම් බල­පෑ­මක් හේතු­වෙන් ඇති­වූ­වක් විය හැකි බවයි.

“ සාමා­න්‍ය­යෙන් යම් යම් හදිසි අව­ස්ථා­ව­න්හිදී වායුවේ ආශ්වා­සික අංශු වැඩිවූ අවස්ථා මීට පෙර අප අත්විඳ තිබෙ­නවා. එහිදී එයට හේතුව ගොඩ­නැ­ගිලි ඉඳි­කි­රී­මක් වැනි යමක් තමයි. එහෙත් මෙවර එවැනි සිදු­වීම් කිසි­වක් වාර්තා වූයේ නැහැ. ඒ වගේම මේ කාල­යේදී උතුරු අර්ධ­ගෝ­ලයේ සිට අපේ රට දෙසට සුළං ප්‍රවාහ හම­නවා. මේ වායු අංශූන් ඒ සුළං ප්‍රවාහ සමග පැමි­ණෙ­න්නට ඇති බව තමයි අනු­මාන කළ හැකි වන්නේ. සුළඟේ රටාව නිරී­ක්ෂ­ණය කළ විට ඒ බව තහ­වුරු කළ හැකි සාධක හමු­ව­නවා. කෙසේ වෙතත් අප දිගින් දිග­ටම නිරී­ක්ෂණ කට­යු­තු­වල නිරත වෙනවා. “

කමල් ප්‍රියන්ත මහතා වැඩි­දු­ර­ටත් පවසා සිටියේ වායු­ගෝ­ලයේ පව­තින විවිධ තත්ත්ව­යන් හේතු­වෙන්, උදා­හ­ර­ණ­යක් ලෙස අඩු­පී­ඩන තත්ත්ව­යන් හේතු­වෙන්ද මෙහි වෙන­ස්කම් සිදු­විය හැකි බවයි. විශේ­ෂ­යෙන්ම කොළඹ නග­රය නව­දි­ල්ලිය මෙන් නොව මහා ජල කඳක් අබි­යස පිහිටා ඇති බැවින් නිතර සුළඟ ඉවත හමා යෑම සිදු­වන බවයි. ඒ අන්ද­ම­ටම පසු­ගිය හත් වැනිදා වන විට තත්ත්වය සම්පූ­ර්ණ­යෙන්ම සම­නය වූ අතර අනා­වැකි ප්‍රකාශ වූයේ ඉදිරි දින­ව­ලදී වායුවේ යම් යම් වෙන­ස්වීම් ඇති විය හැකි බවයි.

පසු­ගිය හත්වැ­නිදා අපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි­ප්පිලි මහතා පවසා සිටියේ දැනට ඔවුන් වෙත ලැබී ඇති දත්ත වාර්තා මත මෙය විශේෂ තත්ත්ව­යක් ලෙස හඳු­නා­ගත නොහැකි බවයි. වායුවේ වෙන­සක් හේතු­වෙන් රෝගී තත්ත්ව­යන් ඇති වන බව සනාථ කළ හැකි වාර්තා තමා වෙත ලැබී නැති බැවින් එවැනි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කළ නොහැකි බවද, විශේ­ෂ­යෙන්ම මෙය බිය විය යුතු තත්ත්ව­යක් නොවන බවද කොඩි­ප්පිලි මහතා වැඩි­දු­ර­ටත් පවසා සිටි­යේය.

එමෙන්ම මධ්‍යම පරි­සර අධි­කා­රිය වැනි ප්‍රධාන ආය­තන සමග තවත් පෞද්ග­ලික දත්ත වාර්තාද ලැබීම තොර­තු­රු­වල නිර­ව­ද්‍ය­තාව සම්බ­න්ධ­යෙන් ගැටලු ඇති කර­වන සුළු විය. ඒ අනුව ඉදි­රි­යේදී මෙවැනි අවස්ථා ආව­ර­ණ­යේදී දත්ත­වල නිර­ව­ද්‍ය­තාව සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් ලබා දිය යුතු­මය.

මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් හේමන්ත ජය­සිංහ මහතා අප සමග පවසා සිටියේ ඉදි­රි­යේදී අප රටේ වායු දූෂ­ණය සම්බන්ධ තොර­තුරු රැස් කිරී­මට ජනා­ධි­ප­ති­තු­මාගේ උප­දෙස් පරිදි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මඟ­පෙ­න්වීම යටතේ පරි­සර අමා­ත්‍යං­ශය, ජාත්‍ය­න්තර සංවි­ධාන සියල්ල සමග එක්ව ඉදිරි ක්‍රියා­මර්ග ගන්නා බවය. ඒ අනුව ඉදි­රි­යේදී අප රටේ වායු දූෂ­ණය අවම කිරී­මට කට­යුතු කිරී­මද ප්‍රධාන අභි­ප්‍රා­යක් වන බවද ඒ මහතා වැඩි­දු­ර­ටත් පවසා සිටි­යේය.

ලෝකයේ වැඩිම වායු දූෂ­ණ­යට ලක්ව ඇති නගර සම්බ­න්ධව විකි­පී­ඩියා විශ්ව කෝෂය දක්වන තොර­තුරු අනුව මුල්ම අංක හතක් දක්වා හිමි කර ගෙන සිටින්නේ ඉන්දි­යා­වය. ඒ අනුව ලෝකයේ වැඩිම වායු දූෂ­ණ­යට ලක්ව ඇති නග­රය වන්නේ ඉන්දි­යාවේ කාන්පූ­ර­යයි. ඉන්ප­සුව පිළි­වෙ­ලින් ෆරි­දා­බාද්, ගයා, වරා­ණාසි, පැට්නා, දිල්ලි, ලක්නව් යන නගර ලොව වැඩි­යෙන්ම වායු දූෂ­ණ­යට ලක්ව ඇති නගර ලෙස අනු­පි­ළි­වෙ­ලින් දැක්වේ. කැම­රූන් දේශයේ බමෙන්ඩා නග­ර­යට එහි අට­වැනි ස්ථානය හිමිව ඇති අතර එතැන් සිට යළිත් නව වැනි ස්ථානයේ සිට ඉන්දි­යාවේ අග්‍රා, ගුර්ග­ඔන්, මුසා­ර්පූර් නග­ර­ව­ලට හිමිවේ. පකි­ස්ථා­නයේ පෙෂා­වර් සහ රාව­ල්පිණ්ඩි නග­ර­ව­ලට හිමිව ඇත්තේ දොළො­ස්වන සහ දහ­තු­න්වන ස්ථානයි. මේ හැර උග­න්ඩාව, බංග්ලා­දේ­ශය, චීනය, මොංගෝ­ලි­යාව, ක්වේටය, සෞදි අරා­බිය, චිලී. බහ­රේන්, ඉරා­නය, දකුණු අප්‍රි­කාව වැනි රට­වල බොහෝ නග­රද වායු දූෂිත නගර ලෙස නම් ලබා තිබේ. එහෙත් මේ නගර පන්සි­යය අත­රට ශ්‍රී ලංකාවේ එකදු නග­ර­යක් හෝ අයත් වන්නේ නැත. අප කලා­පයේ බොහෝ රට­වල නගර වායු දූෂිත නගර ලැයි­ස්තුවේ තිබු­ණද ඒ සියල්ල විශාල ගොඩ­බි­ම්ව­ලින් වට­වුණු, කර්මාන්ත පුර­යන් වීම නොස­ලකා හැරිය නොහැ­කිය.

සුන්දර දූප­තක් වන අප රටේ පිහි­ටීම හේතු­වෙන්ම අප හිමි­ක­ර­ගෙන ඇති දායාද අප­ම­ණය. වායු දුෂ­ණය සිදු නොවී­ම­ටද අප රටේ පිහි­ටීම ප්‍රබල පිටි­ව­ල­හක් වන බව මෙහිලා සිහි­පත් කළ යුතු වන්නේ අපේ ජන­තාව නික­රුණේ බිය­පත් වීම වැළැ­ක්වී­ටය. හමා එන සුළං ප්‍රවාහ මගින් කිසි­යම් දූෂිත වායුන් අප වෙත ගෙන ආවද ඒවා අප රට ආශ්‍රි­තව දිගින් දිග­ටම රඳා සිටිනු ඇතැයි සිතිය නොහැ­කිය. ඒ වායුව නිත­රම හමා යන බැවිනි. එබැ­වින්ම වායු දූෂිත නග­ර­යක් ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැත. එහෙත් ඒ වෙනු­වට අප මවු­රටේ ස්වභා­වික පරි­ස­රය ආරක්ෂා කර ගැනීම කෙරෙහි සිත යෙද­වීමේ කිසිදු වර­දක් නැත.

Comments