ගිනි රකුසාට ශ්වසනෙගර්ද බියවෙයි | සිළුමිණ

ගිනි රකුසාට ශ්වසනෙගර්ද බියවෙයි

සිනමා රසික පරපුර කවදත් ප්‍රිය කරන ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ අලුත් ම නිර්මාණය තමයි, ‘ටර්මිනේටර් : ඩාක් ෆේට්’. මේ චිත්‍රපටයේත් සුපිරි නළු ආනෝල්ඩ් ශ්වසනෙගර් ප්‍රධාන චරිතයක් රඟනවා.

‘ටර්මිනේටර් : ඩාක් ෆේට්’ චිත්‍රපට‍ෙය් මංගල දර්ශනය තිරගත කරන්න තිබුණේ ලොස් ඇන්ජලීස් නුවර සිනමා ශාලාවකයි. නමුත් එය දින නියමයක් නැතිව කල් දමන්න සිදුවුණා. දකුණු කැලිෆෝනියා ප්‍රාන්තය තුළ පැතිරී ගිය ලැව් ගින්නක් එයට හේතු වුණා. මේ ඛේදවාචකයෙන් අක්කර 30,000ක පමණ ප්‍රමාණයක් ගිනි රකුසාට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ. සුපිරි නළු ශ්වස‍නෙගර් ගේ හිල්ටොප් වතුයාය අසලට ද මේ ගින්න පැතිරී ඇති බවයි ඇමෙරිකානු පුවත් සේවා පවසන්නේ. මේ නිසා ඔහු ඉක්මණින් ම එම ස්ථානයේ පිහිටි තම නිවසින් ඉවත්ව ගොස් තිබෙනවා.

‘ටර්මිනේටර් : ඩාක් ෆේට්’ නිෂ්පාදනය කළ පැරමවුන්ට් පික්චර්ස් සහ ස්කයිඩාන්ස් ආයතනය ප්‍රකාශ කළේ චිත්‍රපටය තිරගත කිරීම නවත්වා ලැව් ගින්නෙන් අනාථව සිටින වැසියන්ට ආහාර පාන සැපයීමේ කටයුතුවලට ආධාර ලබා දෙන බවයි. මේ සමාජ සත්කාරක කටයුතු සිදු කරන්නේ ඇමෙරිකානු රතු කුරුස සංවිධානයේ සහයෝගය මතයි.

“අපි උදේ පාන්දර 3.30ට විතර නිවසින් ඉවත් වුණා. කවුරුහරි ගින්න පැතිරෙන තැනක ඉන්නවා නම් පමා වෙන්න එපා. වහාම ඉවත් වෙන්න. ලෝකයේම ඉන්න දක්ෂ ගිනි නිවන හමුදාව තමයි අපිව බේරාගන්න දැන් කටයුතු කරන්නෙ. ඒ අයට මම ස්තුති කරනවා.” ශ්වසනෙගර් තම ට්විටර් පිටුවෙහි එම සටහන තැබුවා.

 

Comments