කන්‍යා | සිළුමිණ

කන්‍යා

අන්‍යයන් වශීකර ගැනීමේ පුදුම සමතෙකි

ඔබ උපන් මොහොතේදී අහස් ග්‍රහ සිතියමේ සටහන් වී ඇති ලග්න දොළොස අතුරින් එක් ලග්නයක් ඔබට හිමි වේ‍. චරිත හැසිරීම් රටාව අනුව එකම ලග්නයක යහපත් ගුණාංග මෙන් ම දුර්වලකම් ද පිහිටා තිබේ‍. කවර චරිතයක හෝ කළු සුදු වශයෙන් වෙන් කිරීමට නොහැකි බවත් යහපත් මනුෂ්‍යයන් තුළ අයහපත් ගති මිශ්‍රව ඇති බවත් නරක යැයි පිළිගත් පුද්ගලයින් තුළ පවා ඉතාම යහපත් ඇති බව ඇත්තකි. ලග්න චරිතාංග ඒ ඒ ලග්නවලට ගැළපෙන ලග්න හිමියන් ප්‍රේමය සහ විවාහයට ගැළපීම් හා නොගැළපීම් සහිත අය විග්‍රහ කරන ජීවන තොරතුරු එකතුවක් හඳුන්වා දෙන ‍ලිපි පෙළකි, මේ.

ස්පියිකා, පොස්ටිවර්මා සහ වින්ඩෙමි ඇට්‍රික්ස් නම් ප්‍රධාන තරු ත්‍රිත්වය සම්බන්ධිත තරු පොකුරකින් සුසැදි කන්‍යා රාශියේ සංකේතයයි. අතකින් පහනක් සහ වී කරල් සහිත කාන්තාවක් යාත්‍රාවක නැගී සිටින චිත්‍රයකි.

තමාගේ බාහිර පරිසර රටාව මැනවින් හඳුනාගෙන ඇති අතර මනා දැක්මක් මෙන් ම තියුණු බුද්ධි පරාසයකින් යුක්තවේ. කන්‍යා ලග්න හිමියා ගැටලු විසඳා ගැනීමේ දක්ෂතාවයකින් ක්‍රියා කරයි. අන්‍යයන්ගේ හැසිරීම් රටාව ගැඹුරින් අධ්‍යයනයක යෙදෙන අතර කාරුණික හදවතක් ද හිමිය.

තොරතුරු තාක්ෂණයේ ඉහළ තලයේ සිටී. ඉතාම ප්‍රවේසම් සහිතව ජීවිතය ‍ගෙවනු ලබන ඔහු හෝ ඇය බොහෝ සියුම් දේ පවා ග්‍රහණය කර ගන්නා අතරම අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේදී මනා උපදේශකත්වක් ප්‍රදර්ශනය කරනු ඇත. තරමක් කලබලකාරිය. කිසිදු දෙයක් ගැන එකවරම විශ්වාස නොකරන ගමනක් යෑමට සූදානම් වුවහොත් බඩු බාහිරාදිය සම්පූර්ණ වීදැයි කීපවරක් ම පරීක්ෂා කරන සුළු චරිතයකි.

කන්‍යා ලග්න හිමියා ඉතාම ක්‍රමවත්ව තම වැඩ කටයුතු නොපිරිහෙළා කරනු ඇත. අන්‍යයන් වශීකර ගැනීමේ පුදුම සමතෙකි. මුදල් වැය කිරීමේ හරිම ක්‍රමවත්ය. ඇසුරට ඉතාම යහපත් කෙනෙකි. සංවේදීය. අනවශ්‍ය ලෙස අන්‍යයන් ගැන විපරම් කිරීමට ගොස් අමාරුවේ වැටෙන අවස්ථා එමටයි.

නිරෝගීභාවය අතින් අන්‍ය ලග්නකරුවන්ට වඩා පෙරමුණේ සිටී. නමුත් නැති ලෙඩට ද ප්‍රතිකාර ගනු ඇත. කන්‍යා ලග්නකරුවා දක්ෂ විචාරකයෙකි. අදහස් දැක්වීමේදී බහුශ්‍රැත බවක් කැපී පෙනේ. උපහාසාත්මකව කතා කරන අයෙකු වේ. මිත්‍රශීලීය. සංග්‍රහශීලීය. සාමූහිකව වැඩ කිරීමට කැමැතිය. විවාහ දිවිය සාර්ථකව පවත්වාගෙන යැමට අතිශයින් ම දක්ෂයි.

යුග දිවියේදී දෙදෙනාම කන්‍යා ලග්නයේ නම් අන්‍යෝන්‍ය අවබෝධය හරහා යුගදිවිය සාර්ථක කර ගැනීම පහසු වන්නේය. වයසට වඩා තරුණ පෙනුමකින් ද යුක්තයි. තමාට වඩා අඩු වයස් අය ඇසුරට ප්‍රිය කරනු ඇත. ඇසුරු කරන සමාජය තුළ ජනප්‍රියත්වයට පත්වේ. කන්‍යා ලග්නකරුවන්ට සතුරන් අඩුය. සතුරෙක් වුවත් වහා මිතුරුකමට වැටේ.

තවද රහස් සැලසුම් කිරීමේ ඉතාම දක්ෂයෙකි. එය සිය යහපත උදෙසා ය. කිසිවෙකුට හානියක් නොවනු ඇත. විශේෂයෙන් ම සෞන්දර්යවාදීන්, චිත්‍ර ශිල්පීන්, සංගීතවේදීන්, නාට්‍යශිල්පීන්, ලේඛක හා විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් මෙන්ම දක්ෂ ජනප්‍රිය දේශපාලනඥයින් ද මේ අතර වේ. අදහස් අලෙවි කරන්නෙකි.

දුර්වලතා වශයෙන් දැක්විය හැක්කේ තමන් සිතන දෙය නිරන්තරයෙන් ම නිවැරදි යැයි සිතීමයි. අනවශ්‍ය ලෙස විවේචනයට යෑමෙන් සමහරවිට රහස් ලෙස සතුරන් ද ඇතිවේ. නමුත් සතුරුකම් නැතිකර ගැනීමට ද මොහු දක්ෂ වේ.

කන්‍යා ලග්න දෙපක්ෂයම ආලය, ආදරය ප්‍රේමයට කෑදරයි. සෑම විටම මානසිකව රස විඳීමට මුල් තැන දෙනු ලබන්නේ තරමක රාග නිශ්ශ්‍රීත හැඟීමෙන් යුතුවය.

කන්‍යා ලග්න පිරිමින් මේ අතරින් ඉතාම දක්ෂයි. පෙම්වතියන් සෑහෙන පිරිසක් ඔහු හා වටා එක්රොක් වන්නේ ඔහුගේ කතාව හා සිනාවට ආකර්ෂණය වීම නිසාමය. කාන්තාවන් කන්‍යා ලග්නයේ නම් ඇගේ සිරුරේ රිද්ම රටාව කතාව, සිනහව ඕනෑම පිරිමි අයෙකු වයස් භේදයකින් තොරව ඇළුම් කරනු ඇත.

කන්‍යා ලග්නකරුවා ප්‍රේමයේ ක්ෂේම භූමියකි.

මිත්‍ර ලග්නකරුවන් කන්‍යා වෘශ්චික මීන කටක වෘෂභ මකර වෙයි.

ධනු මිථුන කුම්භ මේෂ සිංහ නොගැළපේ.

කන්‍යා + කන්‍යා දෙදෙනාම හැමවිටම කායික හා මානසිකව ගැළපේ. භෞතික අධ්‍යාත්මික පැතිදෙකම සමවේ. යුගදිවිය සාර්ථකව ගෙවනු ඇත.

කන්‍යා + තුලා 2 12 අශුභයි. එතරම් සුබවාදී නොවේ. යුගදිවියේ සතුට හීනයි.

කන්‍යා + වෘශ්චික 3 + 11 යුගදිවිය සමාතත්වයෙන් ගෙන යනු ඇත. ස්ත්‍රිය කන්‍යා නම් වඩාත් සුබදායක වේ. ස්ත්‍රිය වෘශ්චික නම් (ගෝනුස්සාගේ වලිගයේ විෂ ඇත) දෙදෙනා අතර සමහරවිට අසමාන තත්ත්වයට පත්වේ. වෘශ්චික තද ආත්මාර්ථකාමි බව අධික වන බැවිනි.

කන්‍යා + ධනු බිරිඳ කන්‍යා නම් යහපත්ය. ධනු බිරිඳ වුවහොත් තරමක මානසික හා කායික ගැළපීම්වල අඩුවක් දක්නට ලැබේ.

යුගදිවියේ සමහරවිට සමාදානය වෙනුවට අසමගිය මතුවිය හැක.

කන්‍යා - මකර 5 + 9 අයත්වේ. ඉතාම යහපත්ය. දෙදෙනා අතර කායික - මානසික බැඳීම උසස් තත්වයේය. එකිනෙකා කිසිම දිනක අත් නොහරී. මකර ලග්න බිරිඳ කොතරම් දොස් නැගුවත් සැමියා ඒවා විඳ දරා ගන්නේ පුදුම විස්මිත සතුටකිනි. බිරිඳගේ තරහව ඔහුට සතුටට පත්කර ගනී. බැඳීම හරියට හරි.

කන්‍යා + කුම්භ 6 + 8 වේ දෙදෙනාට දෙදෙනාම සතුරුවේ. අසමගිය අසතුට අප්‍රසන්න බව වැඩිවේ. කිසිම අයුරකින් නොගැළපේ.

කන්‍යා + මීන 7 + 7 ඉතාම සතුටින් කායික මානසිකව යුග දිවිය ගෙවයි. විශාල භෞතික දියුණුවක් ලබයි. පරමාදර්ශී යුග දිවියකි. අති සාර්ථකතම එක්වීමක් බැව් සනිටුහන් කරමු. බොහෝවිට මෙම ලග්නකරුවන්ගේ එක්වීම ග්‍රහ හැසිරීම් රටාවට අනුව යම් අවස්ථාවලදී වෙනස්කම්වලට තුඩුදෙන බවද සඳහන් කරමු.

කන්‍යා + වෘෂභ 9 + 5 වේ. කන්‍යා සැමියා වී වෘෂභ බිරිය නම් ඔහුව තේරුම් ගැනීමට හැකිවේ. සබඳතාවය පළුදු නොවේ. කන්‍යා ලග්න හිමියා සමහරවිට කෝපයට පත්විය හැක. තේරුම් ගතහොත් එක්ව විසීම පහසුවේ. එහෙත් අති සාර්ථක අන්දමට නොවේ.

කන්‍යා + මිථුන, මිථුන කන්‍යා අතර යම් යම් විරුද්ධතා ගොඩනැගේ. පරස්පර විරෝධීය. කන්‍යා සියල්ල හකුලා ගන්නා අතර මිථුන ඒවා මුදා හරී. කේන්ද්‍රයේ ග්‍රහ ගැළපීම් යහපත්වේ නම් යුගදිවිය ගෙන යනු ඇත.

කන්‍යා + කටක 11 + 3 වේ. බිරිය කන්‍යා වීම යහපත්වේ. එයින් යුගදිවියට ශක්තිය ඇතිවේ. කටක කන්‍යා එක්වීම සාර්ථක වන්නේ දෙදෙනා අතර පවතින සමගිය මතය. ග්‍රහ ගැළපීම්ද අනිවාර්යය වේ.

කන්‍යා + සිංහ 12 + 2 වේ. එකිනෙකා සතුරු තත්වයේය. විවාහ වන්නේ නම් අනිවාර්යයෙන් ම ග්‍රහ ගැළපීම් පොරොන්දම් මනාව තිබිය යුතුමය. නැත්නම් යුගදිවිය අතර මග නවතින තැනට පත්වේ.

සුබ මැණික්වර්ග කොළ (හරිත) වර්ණ මැණික් යහපත්ය. පච්ච මැණික්. ජාගුන් පවුලට අයත් මැණික් වර්ගයකි. ඉතාම සුබදායක වේ.

සුදු මැණික් භාග්‍යය උදා කරයි. ව්‍යාපාරිකයන්ට කලාකරුවනට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයට ඉතා සුබයි. නිල් මැණික ද යහපත් වේ.

* සුබ දින - බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා

* සුබ වර්ණය - කොළ (හරිත) ශුභ අංක - 2 3 5 7

* දෛවය අංකය ඔබේ උපන් වසර මාසය හා දිනය එකතුවෙන් ලද අංකයි.

Comments