ඕනෑම වෘත්තියක් ගරුත්වයක් ඇතිව කළ යුතුයි | Page 2 | සිළුමිණ

ඕනෑම වෘත්තියක් ගරුත්වයක් ඇතිව කළ යුතුයි

සැමියා නිසා කාලයක් විදෙස්ගතවෙලා හිටියා

ඇය රොෂෙල් දිල්හාරා සූරියබණ්ඩාර රාජපක්ෂ. රංගන ශිල්පිනියක්. ඒ අතර රූපලාවණ්‍ය කටයුතුවලත් නිරත වෙනවා. රොෂෙල් මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පාසල් කලා කටයුතුවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය 1999 මහනුවර ගමේ අවුරුදු කුමරිය වුණා. රංගනයට ඇති ආසාව නිසාම කොළඹ ආවා. ටී.එන්.එල්. රූපවාහිනියට එස්.ඒ. බෙනට් මහත්මයා නිෂ්පාදනය කළ “සවනට ගී මධු” වැඩසටහන 2000 වසරේ සිට ඇය ඉදිරිපත් කළේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් සමඟින්. රංජිත් ආනන්ද මහතා මඟින් ඉංග්‍රීසි පුවත්පතක කවරයේ සේයාරුවකට පෙනී සිටින්න ඉඩක් ලැබුණෙත් ඔය අතරතුරදීමයි. චන්ද්‍රරත්න මාපිටිගමගේ කීටයා 6 ටෙලිනාට්‍යයෙන් රංගනයට එක්වුණු ඇය ඉන්පසු දිගටම පුංචිතිරයේ හා පුළුල් තිරයේ විවිධ දස්කම් දැක්වුවා.

ඇය කෙටි කලක් විදේශගතවෙලා හිටියා සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලට. දැන් ඇය නැවත රංගනයට එක්වෙලා. ඇය රසඳුනට ආවේ ආදරණීය සැමියා හා දියණිය රොසෑන් මලින්යා සමඟ නැවතත් කලාවට එක්වූ බව කියන්නටයි.

“ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කීටයා, අභිසමය, තට්ටු ගෙවල්, ආටක නාටක, සබඳ බබානිස්, සකිසඳ සුවාරිස්, ස්වයංජාත, වීදි පහන්, සමර්ථා, පාට වීදුරු, සුවඳ ඔබයි අම්මේ, සුරපුර සර, දළ ඇති හංසයෝ, නිලංජනා, සඳට අහස ආදරෙයි, ඉස්සරහ ගෙදර, මීදුමෙන් එහා ආදී ටෙලි නාට්‍ය රැසකට එක්වුණා. ජැක් ඇන්ඩ් ජිල්, සිංහයා, සෙල්ලං කුක්කා, දෝනි, දිය යට ගින්දර, ඇලඩින් සහ පුදුම පහන සිනමා කෘතිවලිනුත් මගේ දස්කම් දැක්වූවා. රන්දෝනි, අග පිපි මල් චිත්‍රපට එන්න තියනවා ඉදිරියේදි. ඕ.අයි.සී., සංගම්මා ‍වේදිකා නාට්‍යයෙත් මම රඟපෑවා.

මම මේ වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මගේ සැමියයි දුවයි එක්ක මැලේෂියාව, සිංගප්පූරුව වගේ රටවල ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටිය නිසා රඟපෑමෙන් ඈත් වෙන්න සිදුවුණා. නමුත් මම රඟපෑමෙන් ඉවත් වුණේ නැහැ. ඉදිරියේදී නිෂ්පාදන පැත්තට යොමුවෙන්නත් අදහසක් තියෙනවා.

ගායිකාවක් ලෙසට සංගීත ප්‍රසංග කීපයක් කළා. හැම දේටම මට සැමියාගෙන් විශාල සහායක් ලැබෙනවා. මගේ දුව රොසෑන් 10 වස‍රේ. මේ වනවිට දුවත් ප්‍රධාන චරිත 6ක් විතර කරලා තියෙනවා. ”

රොෂෙල් දිල්හාරා රංගනයට ගායනයට අමතරව රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසටත් කටයුතු කරනවා. මේ ඒ ගැන ඇය කියන දේවල්.

“මුලින් මම විනෝදාංශයක් ලෙසයි රූපලාවණ්‍ය කටයුතුවල යෙදුණේ. දැන් රැකියාවක් වශයෙන් කරනවා. මහරගම තමයි මගේ බියුටි සැලුන් එක තියෙන්නේ. 2005 වසරේදී, බැංකොක් හා තායිලන්තයට ගිහින් මම රූපලාවණ්‍ය ගැන වැඩිදුර ඉගෙන ගත්තා. ඕනෑම වෘත්තියක් වෘත්තීය ගරුත්වයක් ඇතිව කළ යුතුයි.”

නිරෝගි ලස්සන වරලසක් වැඩි වියදමක් නැතුව, පවත්වාගෙන යන ආකාරය ගැන මම ඇයගෙන් ඇහුවේ ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසාමයි.

“ගාඩියන් ටැබ්ලට්, ෆෝලික් ඇසිඩ්, පිරිසිදු පොල්තෙල්, ඔලිව් ඔයිල්, එඬරු තෙල් තලතෙල් තේ හැඳි 1/2ක් බැගින් ගෙන වතුර රත්වුණාම, විටමින් E කරල් 2 ක් කඩලා දාලා එම තෙල් මිශ්‍රණය හිසට දමලා ඇඟිලි තුඩුවලින් පිරිමදින්න. සිය වතාවක් පනාවෙන් හිස පීරන්න. උණුසුම් තුවායකින් හිස ඔතන්න. පැය 2ට පමණ පසු හිස සෝදන්න. පිරිසිදු දීප්තිමත් වරලසක් ලැබේවි.

ඒ වගේම රෑට අමු බෙහෙත් නෙල්ලි තලලා තබා උදේට හිස්බඩ බොන්න. වරලස හොඳින් කළු පැහැ ගැන්වේවි. දිනපතාම ස්නානය, තෙල් සාත්තුව අවශ්‍යමයි. නෙල්ලි තම්බා හිස සේදීම, උළුහාල් තම්බා හිස සේදීම වැදගත්. අලිගැටපේර, E විටමින්, ඔලිව් ඔයිල් හිසට ආලේප කර පැය 1 1/2ක් තබා ෂැම්පු හා කන්ඩිෂනර් යොදා සේදිය යුතුයි. එවන් විටෙක උණුවතුර ස්නානයෙන් වැළකිය යුතුයි.

අපේ පැරැණි කාන්තාවන්ට නිරෝගී දිගු වරලසක් තිබුණේ හැමදාම දිනපතා ආහාරවේලට පලාවර්ග, කොළකැඳ, මැල්ලුම්, කොස්, පොළොස් ආදි එළවළුත්, නැවුම් පෝෂ්‍යදායී පලතුරුත් ආහාර වේලට එක්කරගත් නිසයි.

වතුර ලීටර් 1 1/2 වත් දිනකට පානය කළ යුතුයි. පිරිසිදු නැවුම් එළවළු, පලතුරු,කුඩා මාළු, කොළවර්ග, දිනපතා ආහාරයට එක්කර ගන්න. උළුහාල් දෙහි තම්බලා සතියකට දෙකකට වරක් හිස සෝදන්න. මේ ව‍ෙග් සත්කාර කළොත් නිරෝගි වරලසක් ලැබේවි.”

මේ හැම දෙයක්ම කරන අතරේ ප්‍රසංග වේදිකාවල ගීත ගැයීමට ආරාධනා ලැබුණොත් කැමැත්තෙන් සහභාගිවන බවත් ඇය පැවසුවා.

නැවත කලාවට එක්වූ රොෂෙල් දිල්හාරා හට කලා ලොවේ දිගු ගමනක් යන්නට අපි ද සුබ පතමු.

සේයා රූ - ටෙනිසන් එදිරිසිංහ

Comments