එදා මතකය යළිඳු ඇවිදින් ඔබේ සෙනෙහස අරන්... | Page 2 | සිළුමිණ

එදා මතකය යළිඳු ඇවිදින් ඔබේ සෙනෙහස අරන්...

ඇසට ගැටුණා රුවක්  
උමතු විය පෙම් හැඟුම්  
සදා පෙම් කළ 
ඇයද කියලා  
මසිත හැඬුවා හොරෙන්...  
වරින් වර මා පෙළු  
පුරා­තන පෙම් හැඟුම්  
එදා මත­කය යළිඳු ඇවි­දින්  
ඔබේ සෙනෙ­හස අරන්...  
ඔබද මගෙ සිත අරන්  
සදා මා ඔබෙ ලෙසින්   
නමුත් එක්වෙනු කෙළෙස මිහි­රියේ  
සොඳුර ඇත මඟ බලන්...  
 
පද රච­නය සහ ගාය­නය - 
ධම්මික උදය කුමාර  
සංගී­තය -
සරත් ද අල්විස්  

 

පුස්තකාලයට ගොස් එන අතරතුරදි මඟ දිගට හැරි හැරි බලමින් සුසුම් හෙළන සුරම්‍යා අක්කාගේ අත අල්ලා ගෙන ඇසුවෙමි.

“කාගෙ දිහා ද බලන්නේ”

“එයා වගේමයි”

“කවුරු ගැන ද ඔය කියන්නේ”

වැව අද්දර පාර දිගේ ඇවිදිමින් එන අතර ඇය හඬන්නට වුවාය. ඇගේ ඉකිබිදුම් හඬ සිත සසල කරන තරම්ය.

“නංගි දන්නේ නැ. අම්මලා මාව මෙහෙ එව්වේ මට හැමදේම අමතක කරන්න ඕන නිසා. එයා හරි අහිංසකයි නංගි. ඒත් අපි බඳිනවට එයාලාගේ ගෙදරින් කැමැති නැහැ.”

සුරම්‍යා අක්කාගේ කතාවේ අගක් මුලක් මට නොතේරිණි. ඇය සමඟ මා පුස්තකාලයට යනවාට පමණක් නොව ඇය හා කතා කරනවාට ලොකු අක්කාටත් වඩා පොඩි අක්කා මුල සිටම විරුද්ධ වුවාය.

“ඔයා තාම පොඩි ළමයෙක්....මහ ගෑනු එක්ක ආශ්‍රයට යන්න එපා.”

පොඩි අක්කා අවවාද දෙන්නට වුයේ තලත්තෑනි ගැහැනියක ලෙසිනි. නමුදු මම දැන සිටියේ නම් සුරම්‍යා අක්කා ද පොඩි අක්කා ගේ වයසේම බවය. සුරම්‍යා අක්කා පදිංචිව සිටියේ අපේ අල්ලපු ගෙදරය. ඒ ඇගේ නැන්දාගේ නිවෙසය. එහි පැමිණි දා සිටම ඇය මා හා බොහෝ යහළු වුවාය. අපි නවකතා පොත් බෙදාගෙන කියවන්නට විමු. පත්තර බලන්නට විමු. ඇතැම් හැන්දෑවල ජෑම් ගස යටට වී පල්හෑලි දොඩවන්නට විමු.

“අනුර එක්ක යාළු වුණේ අටේ පන්තියේ ඉන්දැද්දි. ඒ යාළුකම හුඟක් දුර දිග ගියා. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුණා. අනුර සමත් වුණා. එයා කොළඹ ඉස්කෝලෙකට ආවා. ඒත් අපේ ආදරේ ඒ විදිහටම තිබුණා. ගමේ ආවාම එයා මාව හමු වුණා. අපි හිතා ගත්තා මොන ප්‍රශ්න තිබුණත් විවාහ වෙනවා කියලා. අපේ ගෙවල්වලින් කැමති වුණේ නෑ. එයාගේ ගෙවල්වලින් කැමති වුණෙත් නැ. අනුර මට ලියපු ලියුම් තාමත් මා ගාව තියෙනවා. අපි හරි ආදරෙන් හිටියා. එත් අපිට වෙන් වෙන්න වුණා. එයා රස්සාවක් ලැබිලා දුර පළාතකට ගියා. එයා මුලින් මට ලිව්වා. ඒත් මොකක්දෝ හේතුවක් නිසා අපි දුරස් වුණා. අවුරුදු ගාණකින් මම අනුරව දැකලා නැහැ. හැන්දෑවේ අර පිරිමි ළමයා දැක්කාම මට මතක් වුණේ අනුරව. මට හිතෙන්නෙම ඒ හිටියේ එයා කියලා. අපි හෙටත් යමු ද පුස්තකාලේ...”

සුරම්‍යා අක්කා දිලිසෙන කඳුළු අතින් පිසදමින් කියන්නට වුවාය. එය කාරුණික ඉල්ලිමකි.

“මට ගෙදරින් බඳින්න කෙනෙක් හොයන කොට තමයි මම නැන්දලාගේ ගෙදර ආවේ. මට අනුරගෙ මතකය අමතක කරන්න අමාරුයි.”

ඇත්තටම ඒ සිටියේ අනුර දැයි කියන්නට ඇය දන්නේ නැත. පුළුවන් හැම වේලාවකම ඇය මාවත් ඇදගෙන පුස්තකාලෙට ගියාය. මා ගෙදරින් බැණුම් ඇසු වාර ද අනන්තය. ඇයත් සමඟ තිබූ මගේ සම්බන්ධතාව ගිලිහි ගියේ යළිත් පාසල් ආරම්භ වූ නිසාය.

ඉන්පසු සුරම්‍යා අක්කා තනිවම පුස්තකාලයට ගියාය. ඇය ගෙන ආ පොතක් ඉඳහිට මට ද ලැබිණි. කාලය ගෙවිණි. ඇය පිළිබඳ සොයන්නට මට කාලයක් නොවිණි.

“මට එයාව හමු වුණා.”

“කාවද අනුර අයියාව ද”

“නෑ සඳුන්ව ”

“ඒ කවුද ...?”

“අර මඟදි එදා දැක්කේ.... එයා මා එක්ක කතා කළා...”

එක් හැන්දෑවක පිච්චමල් වැලේ මල් කඩමින් සිටියදී ඇය පැවැසුවාය. පැහැදිලි කතාවක් අසා ගන්නට නොලැබිණි. ඒ අක්කලා අවට සිටි බැවිනි.

කාලය ගෙවිනි. දිනක් පාසල ඇරි ආ විට අක්කා ඇඟට කඩා පැන්නාය.

“අන්න අරකි යන්න ගිහිල්ලා. තව පොඩ්ඩෙන් උඹත් කුණු ගොඩක පැටලෙනවා. ... ආතක් පාතක් නැති එවුන්. පාරෙදි හමු වුණ කොල්ලෙක් එක්ක යන්න ගිහිල්ලා තියෙන්නේ...”

පොඩි අක්කාගේ කියවිල්ල කන්දොස්කිරියාවකි. ඇය මේ කියන්නේ එකත් එකටම සුරම්‍යා ගැනය. සුරම්‍යා යන්නට ඇත්තෙ අනුර සමඟ නොව ඔහුගේ රුවට සමාන රුවක් තිබූ තරුණයා සමඟය.

“ඉතිං එයා ආදරේ කළේ අනුර අයියාටනේ.”

මට කියැවිණි. පොඩි අක්කාගේ රැවිල්ලට මගේ කතාව නතර විනි.

අල්ලපු ගෙදර සුරම්‍යාගේ පෙම් පලහිලව්ව එසේය. කාලයක් යන තුරුම මට සුරම්‍යා සිහි විය. කාගෙන්වත් ඈ ගැන අසන්නට බයක් දැනිනි. බොහෝ කාලයකට පසු යළි සුරම්‍යා සිහිපත් වුයේ එක් ගීතයක් ඇසීමේදිය. යම් උවමනාවක් සඳහා මා ඔහු ඇමතුවෙමි. වාර කිහිපයක්ම දුරකථනයට ඇමතුවද එයින් අසන්නට ලැබුණේ ගීතයක කොටසක් පමණි. ඒ ගීතයේ පද පෙළ සරල වුවත් එහි සංගීතයත් ගායන ශිල්පියාගේ කටහඬත් අපූරු යැයි සිතිණි. එනිසා මා නොදැනුවත්වම ඒ ගැන උනන්දු විමි.

ගීතය ගයන්නේ වෙනකෙක් නොව මා ඇමතුම ගත් කෙනාමය. අරුමය නම් ඒ පද වැලේ නිමැවුම්කරු ද ඔහුම වීමය. ඒ වෙනකෙක් නොව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරී ධම්මික උදයකුමාරය.

ගීතය කීහිප වරක් ඇසිමේදි මට මගේ පාසල් වියේදි හමු වූ සුරම්‍යාගේ කතාව සිහි වුවද ධම්මිකට මේ ගීතය ලියන්නට පාදක වී ඇත්තේ ද ඒ හා සමාන අත්දැකීමකි.

“දවසක් මම හැටන් ප්‍රදේශයේ පදිංචි යාළුවෙකුගේ සාදයක සින්දු කියන්නට ගියා. මේ ගමනෙදි මගේ යාළුවා මට කිව්වා සින්දුවක් ලියලා හොඳ ගායකයකුට කියලා කියවලා දෙන්න කියලා. ඔහු මට ඔහුගේ කතාව කිව්වා. ඒ කතාව මෙහෙමයි. මගෙ මිතුරා පාසල් කාලයේ ඉදලාම ගැනු ළමයෙක් එක්ක යාළු වෙලා ඉදලා තියෙනවා. නමුත් කාලෙකදි ඒ ගැනු ළමයා වෙන කෙනෙක් ව කසාද බැඳලා රට අත්හැරලා ගිහිල්ලා. ඔට පස්සේ මගෙ යාළුවත් විවාහ වෙලා. දරුවෝ ලැබිලා ඉන්න අතරේ දවසක් ඔහුට අතර මඟකදි අර ගැනු ළමයා වගේ ගැනු ළමයෙක් මුණ ගැහිලා. මෙයා ඒ ගැනු ළමයාගේ පස්සෙන් ගිහිල්ලා. ඇය කියලා මේ ඔහු හොයන කෙනා නොවෙයි කියලා. කෙසේ හෝ මේ දෙන්නා අතර සම්බන්ධයක් ඇති වෙලා. ඇයට බොරු කරන්න බැරි නිසා ඔහු කියලා තියෙනවා ඔහු විවාහක බව. මේ ප්‍රේම සම්බන්ධය අතරමඟ නතර වෙලා. නමුත් ඔහුගේ සිතේ ඇය වෙනුවෙන් තිබුණ සෙනෙහස ඇයට කියා ගන්නත් වෙන් වීමට හේතුවත් කියා ගන්න ඕන වෙලා. ඒ නිසා මේ හැම දේම කියලා ඔහු මට කිව්වා කාට හරි කියලා ගීතයක් ලියලා දෙන්න කියලා. ඒ ගීතය ඇයටත් යවන්න ඕන කියලා. මේ කතාව අහලා ඉවර වෙලා මම නිහඬව ආවා. හැටන් ගිහිල්ලා එන දවසේ මගේ වාහනයේ සංගීත කණ්ඩායමේ කිහිප දෙනෙකුත් සිටියා. මම එක මල්ලි කෙනෙකුට කිව්වා මම මේ කියන වචන ටික ලියාගන්න කියලා.

“ඇසට ගැටුණා රුවක්

උමතු විය පෙම් හැඟුම්

සදා පෙම් කළ ඇයද කියලා

මසිත හැඩුවා හොරෙන්..”

මුලින්ම ඔය වචන ටික ලියැවුණා. එදා කොල කෑල්ලත් සාක්කුවේ දාගන ආව මම ගෙදර ඇවිල්ලා තමයි ඉතිරි ටික ලිව්වේ. නිරායාසයෙන්ම පද ටික ලියැවුණා. මම මිත්‍රයාට මේ වචන ටික යැව්වා. ඔහු ඒ ගැන සැහීමකට පත් වුණා. ඉන් පසු තමයි සංගීතවේදී සරත් ද අල්විස් මහත්මයාට දුන්නේ තනුවක් නිර්මාණය කරන්න කියලා. මා ගැයු මේ ගීතය ගැන බොහෝ දෙනෙකු ඇගැයුම් කළා.

කාර්යබහුල වෘත්තීය ජීවිතයෙන් මිදි මිනිසුන් කලාව සමඟ අනුගත වීම කොතරම් නම් යහපත් දැයි සිතෙන්නේ තවත් සිතක් සංවේදි කිරීමට සමත් නිර්මාණ බිහි කරන විටය.

ධම්මික ගයන මේ සරල ගීතයද එසේ යැයි මට සිතේ. මට අතීත සුරම්‍යා මතක් වුයේ එනිසා වන්නට ඇත. මෙය අසන ඔබට සුරම්‍යලා පමණක් නොව මේ සමාජයේ සිටින දහසකුත් පෙම්වතුන් සිහිවනු නොඅනුමානය.

Comments