එතුමා දරුවන්ට ආදරය නොඅඩුව ලබා දුන් පියෙක් | සිළුමිණ

එතුමා දරුවන්ට ආදරය නොඅඩුව ලබා දුන් පියෙක්

සුභානී අමරදේව නම් වු ඇය නම කියූ පමණින් ඔබ හඳුනනවා ඇත. ඇය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දෙවන දියණියයි... ඇය තම පියාණන්ව සලකන්නේ පූජනීයත්වයෙනි... ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමු ගෙන වසර තුනකි. ඒතුමාගේ ගුණානුස්මරණය සිහි කරමින් පසුගියදා විවිධ වැඩසටහන්ද පැවැත්විණි. එහෙත් මේ දියණියට නම් තවමත් තම ආදරණීය පියාණන්ගේ වියෝව දරා ගත නොහැකි වේදනාවක් බව මතු දැක්වෙන සටහන පසක් කරයි.

ඔහු අපට උත්තමයෙක්, ආදරණීය තාත්තා කෙ‌ෙනක් විදිහට තම දරුවන්ට දෙන්න පුළුවන් උපරිම සුව පහසුව ආදරය නොඅඩුව ලබා දුන් පියෙක්.

තාත්තා අපි අතර නැහැ කියලා හිතන්න මට දැණුත් ලැජ්ජයි. ඒ පංචස්කන්දය නැති වෙන්න පුළුවන්. හැබැයි අපටත් මේ රටටත් ජාතියටත් කවදාවත් එතුමා නැති වෙන්නේ නැහැ... එතුමාගේ ආශිර්වාදය මේ රටටත් මුලු ජාතියට තියෙනවා. මීට වසර තුනකට පෙර ඒ දවසේ තාත්තා නැති වුණා කියන පිණිවුඩේ ඇහුණු මොහොත... මටත් මගේ මහත්තයාටත් දැණු‌ෙන් මුළු ලෝකෙම නැති වුණා වගේ හැඟීමක්. ඔහු මගේ තාත්තාට දැඩිව ආදරය කළා.. එදා මගේ සැමියාට ඔහුවම පාලනය කර ගන්න බැරුව ගියා. නමුත් තාත්තා ගේ වෙන් වීම මට දැනෙන්න පටන් ගත්තේ ආදාහන කටයුතු කළ මොහොතේ..ඒ වෙලේ මම දරදඩු වෙලා හිටපු බව මගේ මහත්තයා කිවුවා. ඒ කම්පනය අදටත් එහෙමයි. ජිවිතකාලේම එහෙම තියේවී.

තාත්තා රෝගියෙක් විදිහට හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් තාත්තා නැති වෙන්න දවස් කිහිපයකට කලින් හරි අමුතු සිදුවීමක් වුණා.. දවසක් මගේම මල්ලිට මාව හඳුන්වලා දුන්නා, “ පුතා දන්නවාද මේ කවුද කියලා මේ තමයි මගේ බබි.. කියලා. තාත්තා ආදරේට මට කතා කළේ එහෙමයි.

ඔහු අපිට දැඩි ලෙස ආදරය කළා. පුදුම විදිහට අපේ සුව පහසුව අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලුවා. අපට වගේම රටේම දරුවන්ටත් ආදරේ කළා. අපි අපේ ගමන පටන් ගන්නකොටම තාත්තා අපෙන් වෙන් වුණා. මගේ උගත් කමෙන්, ඒ ලබා ගත් දැනුම, මගේ ගායන හැකියාවෙන් මම ඉදිරියට යයි කියලා තාත්තා හැමදාමත් බලන් හිටියා. මාව උනන්දු කළා. මම ගීත ගයන කොට එතුමා අහගෙන හිටියේ පුදුම ආසාවෙන්...තාත්තාගේ ඒ හීනේ කවදාහරි මම හැබෑ කරනවා.

ඒ මහා ගාන්ධර්වයාණන් පිටුපස දැවැන්ත ශක්තිය හා රැකවරණය වුණේ අපේ අම්මා. ඇය තමන්ගේ මුලු ජීවිතේම කැප කොට අමරදේව කියන මහා යුග පුරුෂයා ගේ ගමන් මගට උර දුන් පුදුම ශක්තිමත් කාන්තාවක්. සමහර අය ඇයට දොස් කියපු අවස්ථා තිබුණා. නමුත් අම්මා නැති නම් අමරදේව කෙනෙක් නැති තරම්... එතුමාව ආරක්ෂා කළේ ඇයයි. එතුමාගේ සියලු වගකිම් කරමතට ගත්තේ ඇය. එතුමිය ඒ විදිහට හැසිරුණේ නැත්නම් මේ යුග පුරුෂයා ට මේ තරම් ගමනක් එන්න බැහැ.

අපේ තාත්තා පුංචි දේකින් පවා ජීවිතය විඳින්න දැනන් හිටපු කෙනෙක්. සතෙක් ඇවිදින විදිහ බලන් ඉඳලා ඌටත් විහිලුවක් කරලා සතුටු වෙන කෙනෙක්. මොන දුකක්, මොන අසාධාරණයක් වුණත් රටට ජාතියට ධර්මයට ආදරය කළ උතුම් මනුෂ්‍යයෙක්. මෙරට සංගීතය, නව පරපුර වෙනුවෙන් වුවමනා කරන හැම අවස්ථාවකම තාත්තා නෑ, බැහැ නොකියා පෙනී ඉඳලා තියෙනවා.

එතුමා වගේ කෙනෙක් අපේ රට වෙනුවෙන් කළ සේවය හරියට ඇග­ැයුනා දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ ගැන පුදුම වේදනායි. තාත්තාගේ අවසන් විදෙස් ප්‍රසංගය තිබුණේ ඔස්ට්‍රේලියාවේ. ඒ ප්‍රසංගය අතරමග තාත්තා අසනීප වුණා. ඒ අසනීප තත්ත්වය තාත්තා නැති වෙන මොහොත දක්වා තිබුණේ. එතුමාට ඒ ප්‍රසංගය අතර මඟදී අමාරු වෙනවා. නමුත් පපුව අල්ලගෙන සින්දු කිව්වා තවමත් මගේ ඇස් ඉදිරියේ මැවෙනවා.

අද ජනප්‍රියත්වය හඹා ගෙන යන බොහෝ පිරිස ජනප්‍රියත්වය ලැබුණු පසු ඒ ජනප්‍රියත්වයටම ගරහනවා ඕනෑතරම් දකිනවා. නමුත් තාත්තාට මිනිස්සු දක්වපු ආදරේට තාත්තා කවදාවත් ගැරැහුවේ නැහැ. ඒ ජනාදාරයට ඔහු පුදුම විදිහට ගරු කළා. පෙරළා කෘත ගුණ සැලැකුවා. ගෙදරට කවුරුහරි දුරකතන ඇමැතුමක් දීලා තාත්තා එක්ක කතා කරන්න ඉල්ලුවොත් එතුමා විවේකීව ඉන්න වේලාවක හෝ කාන්සි පිට ඉන්න වේලාවට අම්මා කරන්නේ තාත්තාට ඒ ඇමැතුම නොදී පණිවුඩේ අහගන්න එක. නමුත් තාත්තා අහල පහළ හිටියොත් අනිවාර්යෙන්ම අම්මාටත් ටිකක් සැර කරලා රිසීවරය අරන් කතා කරනවා. ඔහු කාගෙවත් හිතක් නොරිදවපු උතුම් මනුස්සයෙක්. බොහෝ පින් කරලා මේ ලෝකෙට ඇවිල්ලා තවත් පින් කන්දක් රැස් කරගෙනයි එතුමා මේ ලෝකෙන් සමු ගත්තේ. ඔහු අපට දෙවි කෙනෙක්. ඒ යුග පුරුෂයාව හඳුන්වන්න මට නම් මේ විශ්ව භාෂාවේ වචන නැහැ.

ඡායාරූප -තිලක් පෙරේරා

දයාන් විතාරණ

Comments