අයෝධ්‍යා ඉඩමේ අයිතිය කාටද ? | Page 2 | සිළුමිණ

අයෝධ්‍යා ඉඩමේ අයිතිය කාටද ?

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ආන්දෝලනාත්මක අයෝධ්‍යා ඉඩම් නඩුව පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

1949 වසරේදී අයෝධ්‍යාවේ පිහිටි අක්කර 2.77 ක භූමි ප්‍රමාණයේ හිමිකම වෙනුවෙන් පාර්ශව 3ක් අතර සටනක් ආරම්භ විය.

හින්දු ආගමිකයින් නියෝජනය කරන දෙපාර්ශවයක් පවසන්නේ එම භූමිය රාම දෙවිඳුන් උපන් ස්ථානය බැවින් එහි හින්දු කෝවිලක් ඉදිකළ යුතු බවයි.

එහෙත් එම ස්ථානයේ පවතින මුස්ලිම් දේවස්ථානය ඉවත් කර ගත නොහැකි බව, තවත් පාර්ශවයක් අවධාරණය කරන්නේ එම ඉඩම තමුන්ට අයත් භූමි ප්‍රදේශයක් යැයි පවසමින් ය.

අයෝධ්‍යාවේ පිහිටි එම ඉඩම සම්බන්ධයෙන් ඇති වූ ගැටුම් වලදී පුද්ගලයින් 2000 ඉක්ම වූ පිරිසකට දිවි අහිමි විය.

2010 වසරේදී එම භූමියේ හිමිකම වෙනුවෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අලහාබාද් මහාධිකරණය නියෝග කළේ අදාළ පාර්ශව 3ට ඉඩමේ සම කොටස් හිමිවන බව ය.

එහෙත් එම නියෝගයෙන් සෑහීමකට පත්නොවූ පැමිණිලි පාර්ශවය, එය අභියෝගයට ලක් කරමින් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය.

වසර ගණනාවක් යනතුරු සළකා නොබැලූ එම පෙත්සම මීට මාස කිහිපයකට ඉහතදී විභාගයට ගැනීම ආරම්භ විය.

ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අඛණ්ඩව දින 40ක කාලයක් එය විභාග කෙරුණි.

ඉන්දීය ඉතිහාසයේ අඛණ්ඩව දීර්ඝ කාලයක් විභාගයට ගැනුණු දෙවැනි නඩුව මෙයයි.

ලබන 17 වැනිදා විශ්‍රාමයාමට නියමිත එරට අගවිනිසුරු රංජන් ගොගෝයිගේ තීරණාත්මක අවසන් නඩු තීන්දුවද මෙය වනු ඇති.

නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට 12,000 ඉක්ම වූ ආරක්ෂක භටයින් පිරිසක් යොදවා තිබේ.

ප්‍රාන්තයේ සියලු පාසල්, උසස් අධ්‍යාපන ආයතන, පුහුණු මධ්‍යස්ථාන ඇතුළු ජනරාශිය බහුල සියලු ස්ථාන මේ වනවිටත් වසා දමා අවසන් ය.

හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා හෙලිකොප්ටර් පවා යොදවා ඇත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි ප්‍රාන්ත රජය දැනුම් දී ඇති පසුබිමකදී ය.

නඩු තීන්දුව කුමක් වුවත් සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Comments