ස්වයංජාත නොවූ ලිවිසැරියක් සමඟ දිවිසැරියෙන් සමුගත් සමරවීර විජයසිංහ | සිළුමිණ

ස්වයංජාත නොවූ ලිවිසැරියක් සමඟ දිවිසැරියෙන් සමුගත් සමරවීර විජයසිංහ

සාහිත්‍ය ලේඛනයේ යෙදෙන පිරිස් අතර නිහඬතාව සහ හුදෙකලා බව ප්‍රියකරන්නන් හිඟ නැත. මෙරට පමණක් නොව, ලොව පුරා විවිධ රටවල විවිධ බසින් නිර්මාණකරණයේ නියැළී සිටි සහ සිටින එවැනි ලේඛක ලේඛිකාවන් ගැන අපි අසා ඇත්තෙමු. බොහෝවිට ඔවුන්ගේ ලිවිසැරිය ඔස්සේ පමණක් දැනගන්නට ලැබෙන තොරතුරු හැර ඔවුන්ගේ දිවිසැරිය ගැන වැඩි යමක් දැනගන්නට ලැබෙන්නේ නැති තරම් ය. සිය නිර්මාණවලට ඉඩදී පසෙකට වී සිටින ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණ නිර්මාණකරණය, සාහිත්‍යය හෝ සමාජ දේශපාලනය ගැන කතා කරන්නේ නැත. ඔවුන් වෙනුවෙන් කතා කරන්නේ ඔවුන්ගේ නිර්මාණ ම පමණි. මෙයට වසර කිහිපයකට පෙර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් ස්වීඩන් ජාතික ලේඛක ටෝමාස් ට්‍රාන්ස්ට්‍රෝමර් සහ පෝලන්ත ජාතික ලේඛිකා විස්වාවා සිම්බෝර්ස්කා වැනි ලේඛක ලේඛිකාවන් හුදෙකලාවට ප්‍රිය කළ එවැනි නිර්මාණකරුවන් ලෙස ප්‍රකට ය. ඔවුන්ගේ නිර්මාණවල පවා වරින් වර ඒ හුදෙකලාව පිළිබඳ ඡායාමාත්‍ර ගැබ් ව තිබිණි. මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ හුදෙකලාවට වඩාත් ආසක්ව සිටි ලේඛකයකු ලෙස පසුගියදා දිවිසැරිය නිමා කළ ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ සැලකිය හැකිය. මෙරට සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට ප්‍රසාදනීය දායකත්වයක් සැපයූ දක්ෂ ලේඛකයකු වූ ඔහු මහා ඉවසීමකින් සහ උපේක්ෂා සහගත සංයමයකින් යුතුව නිර්මාණකරණයේ යෙදුණා විනා සාහිත්‍ය සමාජයේ පැවැති සාද සංවාද හෝ උත්සව යනාදියට සහභාගි වූයේ නැත. මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීමේ කැමැත්තක් ඔහුට තිබුණේද නැත. පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඔහු ඇමතූ අයකුට පවා ඔහු බොහෝ විට පැවැසුවේ සාහිත්‍යයට ප්‍රිය කරන අයකු සමඟ නිවී සැනසිල්ලේ කතාබහ කිරීමට කැමැත්තක් ඇතත් මාධ්‍ය ඔස්සේ කීමට තරම් දෙයක් නම් තමන්ට නැති බව ය. ඔහුගේ ඒ ගති ස්වභාවය හරිහැටි දන්නේ කිහිප දෙනකු පමණි. ඒ නිසාම ඔහුගේ ලිවිසැරිය ගැන විනා දිවිසැරිය ගැන දන්නා අය ද විරල ය. ඒ කෙසේවෙතත්, එක් වරක් හෝ ඔහු හමුවූ අයෙකුට ඔහුගේ නිහඬ, හුදෙකලා දිවිසැරිය ඔස්සේ ගලා ගිය සුන්දර ලිවිසැරිය පසුපස සිටි අපූරු චරිතය කිසිදා අමතක නොවන තරම් හෘදයංගම සහ සංවේදී විය.

නවකතාව සහ කෙටිකතාව සිය ප්‍රකාශන මාධ්‍යයන් ලෙස තෝරාගෙන සිටි ඔහු නව සාහිත්‍ය රීතීන් හඹා නොගොස් යථාර්ථවාදී රීතියෙහි රැඳී සිටින්නට වැඩි කැමැත්තක් දැක්වූ ලේඛකයෙකි. ඔහු ලියූ ප්‍රථම නවකතාව ‘බවතුරු යට’ නමින් වර්ෂ 1996 දී පළ විය. එයින් පසුව ඔහු ‘වැස්ස වලාහක’, ‘කෙලෙස් පර්වත ’ සහ ‘ස්වයංජාත ’ යන නවකතා මෙන්ම ‘ඉර මුදුන’ නමින් කෙටිකතා සංග්‍රහයක් ද, ‘ගම්වැසි වදනරුත්’ නමින් වර්ණනාත්මක කල්පිතයක් ද ලියා පළ කළේ ය. ඔහුගේ ‘කෙලෙස් පර්වත ’ නවකතාව වර්ෂ 2005 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද, ‘ස්වයංජාත ’ නවකතාව වර්ෂ 2008 දී ස්වර්ණ පුස්තක සම්මානයෙන් ද පිදුම් ලැබීය. ස්වර්ණ පුස්තකය හිමිකර ගත් ප්‍රථම නවකතාව ද වූ එය පසුව රූප මාධ්‍යයට ද නැඟිණි. ‘ස්වයංජාත ’ නවකතාව රචනා කිරීමෙන් වසර පහකට පසු ඔහු ලියූ අලුත්ම නවකතාව ‘තැප්පා සේම ගිනි’ නමින් පළ විය. නිර්මාණකරණයේදී වැඩි කලබලයක් නොපෙන්වූ ඔහු ඒ නවකතාව පිළිබඳව අප පැවැත්වූ එක්තරා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනි අදහසක් පළකළේ ය.

“අවුරුදු හතරක් පමණ කාලයක් පුරා මම මේ නවකතාව ලිව්වා. මේ නවකතාවට පසුබිම් වුණේ 71 කැරැල්ල සිදු වූ කාලයයි. ඒ කාලය සම්බන්ධ යම් යම් අත්දැකීම් මටත් තියෙනවා. හැබැයි මම කැරැල්ලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කැරැල්ල සම්බන්ධයෙන් මම අහපු දැකපු දේවල් ඇසුරින් කතාවක් ලියන්න මට උවමනාවක් තිබුණා. කැරැල්ල පසුබිම් කරගත්තාට මේ කතාවෙන් කියැවෙන්නේ කැරැල්ල ගැන හෝ මාක්ස්වාදී දේශපාලනය ගැන නෙවෙයි. මේ කැරැල්ල කිසියම් පුද්ගලයන් කිහිප දෙනකුට බලපෑවෙ කොහොමද කියන එක ගැනයි මම මේ කතාවෙන් කියන්න උත්සාහ කළේ.”

ඔහුගේ මේ අදහස්වලින් ඔහුගේ ලිවිසැරිය ගැන මෙන්ම දිවිසැරිය ගැන ද කිසියම් දළ අවබෝධයක් ලබාගත හැකිය. ඔහු පැවසූ පරිදිම ඒ නවකතාව ලිවීමට ඔහු වසර හතරක් කාලයක් ගත්තේ ඔහුට හදිසියෙන් නවකතා ලියා පළකිරීමේ වුවමනාවක් නොතිබූ බැවිනි. ඒ වන විට ස්වර්ණ පුස්තක සම්මානය ද හිමිකරගෙන සිටි ඔහුට නැවතත් වරක් ඒ සම්මානය වෙනුවෙන් නවකතා ලිවීමේ හදිසියක් තිබුණේ නැත. එසේම ඔහුගේ අදහස්වලින් කියැවෙන වඩාත් ම වැදගත් කරුණ වන්නේ ඔහු සිය නිර්මාණවලදී වැඩි අවධානයක් යොමු කරනුයේ පුද්ගල සබඳතා කෙරෙහි වන බව ය. ඔහුගේ සියලු නිර්මාණ පාඨක ප්‍රසාදය දිනාගත්තේ ද ඒ නිසාම වන්නට ඇත. සිය නිර්මාණවලින් ඔහු සැමවිටම ස්පර්ශ කළේ පුද්ගල භාව ය. සමාජ දේශපාලන අර්බුද ගැන අමුඅමුවේ පල්හෑලි ලියනවා වෙනුවට සියුම් මනෝභාවයන් පිළිබඳ වින්දනාත්මක ප්‍රබන්ධ කතා රචනයට ඔහු කැමැත්තක් දැක්වූයේය. ලේඛකයකු ලෙස ඔහුගේ විශේෂත්වය වූයේද එයම යැයි සිතිය හැකිය.

අප සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ඔහු නවකතා රචනය ගැනද මෙවැනි අදහසක් පළ කළේය.

“නවකතා ලියන්න ඕන මෙන්න මේ විදිහටයි කියලා කියන්න පුළුවන් පිළිගත් හෝ සාධු සම්මත ක්‍රමයක් නැහැ. නවකතාවක් මූලිකවම රස විඳින්න පුළුවන් වෙන්න ඕන. නවකතාවක් ප්‍රහේළිකාවක් වුණත් ඒක කියවන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට සමහරු තමන් කාලයක් තිස්සේ ලිය ලියා හිටපු රීතිය වෙනස් කරලා අලුත් රීතිවලින් ලියන්න උත්සාහ කරනවා. ඔවුන් එහෙම කරන්නේ සම්මාන ලබාගැනීමේ අදහස ඇතිව කියලා හිතන්න පුළුවන්. අලුත් රීතීන් හොයාගෙන යන්න ඕන. නමුත් රීතිය නවකතාව තුළින් පහළ විය යුතු දෙයක්. ආකෘතිය හදලා ඒ තුළට රීතීන් බලෙන් රිංගවීමට යෑම නොකළ යුතු දෙයක්. නමුත් තමන්ගේ සුපුරුදු රීතිය වෙනස් කරලා තමන්ගේ කෘතිවලට බලෙන් රීතීන් රිංගවමින් ලියපු අයට සම්මානත් ලැබිලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නවකතාවේ වගේම සම්මානවලත් කිසියම් අර්බුදයක් තියෙන නිසායි.”

මේ අදහස්වලින් පිළිබිඹු වන්නේ ඔහු කෙබඳු ලේඛකයකු වූයේ ද යන්නයි. සැබැවින්ම ඔහු වෙනස් ආකාරයකට සිතූපැතූ හුදෙකලා ලේඛකයකු විය. එහෙත් ඒ හුදෙකලාව ඔස්සේ ගලා ආ අදහස් ඉතා සුන්දර, වින්දනීය හා සුපාඨනීය විය. එය කිසිසේත්ම ස්වයංජාත නොවූ ලිවිසැරියක්ම වූයේ නිහඬ හා හුදෙකලා දිවියක් ගත කළ නමුදු ඔහු බොහෝ අත්දැකීම්වලින් පිරිපුන්ව සිටි බැවිනි.

Comments