කවි මඬල | සිළුමිණ

කවි මඬල

යළිත් ඔබ පැමි­ණෙන්න

දකින හැම මුහු­ණ­කම
ඔබේ වත පෙනෙන්නේ
සිතන හැම මො‌හො‌තකම
ඔබ ගැනයි සිතෙන්නේ

එක්ව සිටි කාලයේ සතුට
යළි දැනෙන්නේ
ඔබෙන් තො‌ර ලෝ‌කයක්
ගැන නෑනෙ සිතෙන්නේ

එදා අප ළඟින් හිඳ
මැවූ ඒ‌ පෙම් පැතුම්
මෙදා මම තනිව හිඳ
සිහි­ක­රමි අපෙ රැගුම්

නො‌දරු­වෙකු ලෙසින් ඔබ
ගියත් මා තනි­ක­රන්
මා දුකින් සතුටු වුණේ
ඔබෙ සතුට ගැන සිතන්

ඔබ පැතූ මාලිගා
අද දවසෙ සුන් වෙලා
ගතින් එක­ලෙස වුණත්
සිතින් දෙදෙ­නෙකු වෙලා

ඔබ කෙරෙහි මා තැබූ
සනෙහෙ නැත අඩු­වෙලා
යළිත් ඔබ පැමි­ණෙන්න
මා සිටිමි මග බලා


චන්ද්‍ර­සිරි ජය­වීර

-----------------

දැවී ගිය සුවද...

වීදි අතර සැරි­ස­රන.
මිනිස් හිස් ගොඩක් මැද
හොයන්නේ මම
සුවද දැනි හිතක්
දැවී හළු වී යන
සුවද දුම් කූරක්

අභි­යස නිවෙ­න්නට
නැතිද එවන් හිතක්
සිල්ලර කාසි පන­මට.
ගත්තත් සුවද දුම් කූරක්

ඒ හද­වතේ සුවද
මනින්නෑ කාසි­යෙන් කව­දත්
පුංචි උන්ගේ හිනාව..

අහ­න්නට ගත් වෙහෙ­සක්
ඒ හිනා­වට හේතුව.
පුංචි හදු­න්කූ­රක්..

දැවි දැවී හළු­වු­නත්..
දැනෙන්නේ දස­තින්ම සුව­දක්..
ගිනි­යම් වෙවී දැවු­නත්.
ජීවි­තෙත් හදු­න්කූ­රක්…

ටිෂානි ශෂී කුමාරි
----------------

අකමැතියි මං...

කියත අතැති
මිනිස් රුවය
මා නොදැ­කිය
යුතුම දසුන

ජෝ. නව­රත්න

----------------

තාත්තා

මගේ ජීවිතේ සුන්දර තරුණ ම කාලේ
ඔබ අප හැර­ගියා අප නොසි­තපු වේලේ
එදා පටන් මේ දක්වා අද කාලේ
ඔබ සිහි­වෙ­නවා තනි­යෙන් සිටිනා වේලේ...

යකඩ ගොඩක් යට වැතිරී වැඩ කෙරුවේ
දාඩිය කඳුළු අප වෙනු­වෙ­න්මයි හෙළුවේ
අප බඩ­කට පුර­ව­න්න­මයි ඔබ නිත­රම සිතුවේ
අපගේ සතුට දියු­ණුව නිති ඔබ පැතුවේ...

මා අද­හන උතුම් දහ­මෙහි ඇති අයුරු
මගේ පියා ඇත විඳි­මින් දිව ඉසුරු
ගෙවන දිනෙක උදේ දවල් රෑ කළු­වර අඳුරු
ඔබ සිහි­කර පුදමි නොසිතා දිව මසුරු

චන්ද්‍ර­සිරි ගෝමස්

-----------------

අහස ගොරවා

වැසි වසින හව­සක
වැසි වැටෙන හෝ හඬ
දෙස­වන පතිත වන
අකුණු සැර පම­ණක්
තනි­වට ඇවිත් යන
තෙත­බ­රිත සීතල
සිත වෙලා­ගන්නා කල

කාන්සිය අවුත්
මගේ තනි­යට
විසිරී යන­විට
වැසි බිඳු
පොළො­වට පති­තව
සැඟවී යයි
සොඳුරු බව

සැඟ­වුණු අතී­තෙක
මතක දිග­හැරේ
මට ද නොදැ­නිම
තවම වැසි වසී
නොනැ­වතී

සෝෆා­වක
මම තනිවී
තවම සිතමි
දුරස්ව ගිය මඟක්

ප්‍රියාශා රන්වල

------------------

ආද­රය

කාලයේ මාරුතේ දිවි නැසී ගිය ආදරේ
ඔබ අසල නැති මතක ශේෂ වී මගේ සිතේ
කිසි­දි­නක හිමි නොවන නුඹෙ නෙත් කැඩ­පතේ
මම සොයමි ආදරේ එයයි මගෙ ජීවිතේ

සුමිත් ප්‍රේම­ලාල් ප්‍රිය­ද­ර්ශන

-----------------

මකන්නට බැරි මතක

නිතර හමු­නො­වුණු තැන්වල පවා
අත­රමං මතක වල වැළ­පුණ
මට වගෙම ඔය හිතත් සොය­න්නැති
හමු­නොවී අහ­ම්බෙන් වෙන්වුණ ...

අතැර යන මගක හිඳ හඩ හඩා
පරණ කඳු­ළක වේදනා හැලුණ
රළු පරළු ගලෙක වැල්ලක පවා
තවම දැවෙ­නවා ඇති පෙර රිදුම ...

නොතිර ගෙත්තම් කළත් හීන­වල
සොඳුර නුඹ­මය හෙටත් මග බැලුම
තෙතට නෙත කූද්දන කඳු­ළ­කට
බැහැ මක­න්නට එහෙම මතක හැම ....

පූජිකා සම­ර­වි­ක්‍රම
 

-----------------

නි: රු: ත්: ත: ර:

හමු­වුණා නෙත් දෙකක - උණු කඳුලු පේලි­යක්
කෙළ­ව­රෙම බංකු­වක - හිතින් ගිය මහ දුරක්
සුසුම් ලන පොඩි හිතක - ලසෝ ගිනි මහ මෙරක්
තුරුලු කර­ගෙන ලැමට - සෙනෙ­හ­සින් ඇම­තු­මක්
දුවේ නුඹ තනි­ව­මද - හිතේ දුක බර වැඩිද
ළඟින් මම හිඳි­න්නද - නුඹේ දුක අහ­න්නද
විර­ස­කව හිරු සදුට - වස­න්තය නෑ අපට
උසා­වියෙ නීති­යට - හරි බයය් පුංචි මට
මං අය්ති අම්මාට - පොඩි මල්ලි අප්පාට
චූටි නංගිත් අරන් - යන­වාලු දුර රටක
එක පතක බත් කන්ට - උණු­හු­මට ගුලි වෙන්ට
ගොලු දොලේ මාලුන්ට - කට පුරා බත් දෙන්ට
සම­න­ලුන් අල්ලන්ට - යළිත් පාසල් යන්ට
උන් එන්නෙ කව­දාද? - ආයෙ මට දැක ගන්ට

නෙතු වේහැල්ල.

Comments