තරමක් පහළ ගිය වායු ගුණාත්මක දර්ශකය | සිළුමිණ

තරමක් පහළ ගිය වායු ගුණාත්මක දර්ශකය

කොළඹ නගරය හා වයඹ සහ උතුරු පළාත්වල වායු ගුණාත්මක දර්ශකය තරමක් පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි.

ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් කොළඹ නගරය ආශ්‍රිත වායු ගුණාත්මක දර්ශක අගය 40 ට අඩු විය යුතු වුව ද මේ වනවිට එම දර්ශක අගය 120 ක් ලෙස සටහන්ව ඇති බවයිෙ.

එහෙත්, ඊයේ එම අගය දැක්වුණේ 148 ක් ලෙසටයි.

ආසියාවේ රටවල් රැසකින් මේ දිනවල එවැනි තත්ත්වයක් වාර්තා වන වන අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං ප්‍රවාහය සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ ය.

මේ අතර අද උදෑසනවන විට නවදිල්ලි නගරය ආශ්‍රිත වායු දූෂණ තීව්‍රතාව පහළ අගයක් පෙන්නුම් කරමින් වාතයේ ගුණාත්මකභාවය තරමක් ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇතත්, වාතයේ ගුණාත්මකභාවය තහවුරුවන තෙක් බොහෝ පාසල්වල එළිමහන් ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 

නවදිල්ලි නගරයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගැණුනි.
 
ඉදිකිරීම් කටයුතු තාවකාලිකව තහනම් කිරීමට මෙන්ම අධික දුම නිකුත් වන පෞද්ගලික රථවාහන භාවිතය සහ කැළිකසල අවිධිමත් ලෙස පිළිස්සීම වැනි ක්‍රියා සීමා කිරීමට ද පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ලෝකයේ වැඩියෙන්ම දූෂිත නගර 10 අතරට ඉන්දියාවේ නගර 07ක් ඇතුලත් වන බව පර්යේෂණ මගින් හෙළි වී ඇත. මෙතෙක් එම ස්ථානයේ සිටියේ චිනට වන අතර මේ වනවිට චීනය පරිසර දුෂණය අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එයට හේතුවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ අග නගරය වන නව දිල්ලියේ පිහිටි උප නගරයක් වන ගුරුග්‍රාම් නගරය ලෝකයේ දූෂිතම නගරය ලෙස නම් කර ඇත.

එම නගරයේ වායු ගුණාත්මක දර්ශකය 135.8 ස්ථානයේ ගුරුග්‍රාම් නගරය පසුවන අතර එම නගරයේ සෑම කෙනෙකුටම එහි වායු දූෂණයේ බලපෑම ඇතිවනු ඇති බව වාර්තා මගින් පෙන්වා දෙයි.

එසේම ඉන්දියාව ලෝකයේ දූෂිත නගර වැඩිම ප්‍රමාණයක් ඇති රට බවටද පත්වී ඇත.

එසේම ලෝකයේ දූෂිතම නගර 20 අතරින් නගර 18ක් දකුණු ආසියානු නගර වේ. ඒ අතරට දකුණු ආසියානු රටවල අගනගර වන ලාහෝරය,දිල්ලිය, ඩකා යන නගර අයත් වේ.

මිනිසාට ජීවත්වීමට සුදුසු ගුණාත්මක වායුගෝලයක් පවතියිද යන්න "වායුගෝලයේ ගෝලීය ගුණාත්මකභාවය පිළිබඳ දර්ශකය" විසින් වාර්ෂිකව මැන බලන අතර, එහිදී වාර්ෂික වාර්තාවක් එළිදක්වනු ලබයි.

මෙම සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත්තේ ග්‍රීන්පීස් සහ එයාර් විෂුවල් සංවිධානය යන පරිසරය සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන දෙකක් විසිනි.

Comments