ස්ට්‍රෙස්....ස්ට්‍රෙස්.... | සිළුමිණ

ස්ට්‍රෙස්....ස්ට්‍රෙස්....

අද ආත­ති­යට වැඩි­පුර බල­පාන්නේ මාන­සික ගැට­ලුයි

ආත්ම විස්වා­සය, අත්දැ­කීම් ආත­තිය අවම කරයි

නිති­පතා ව්‍යායාම, නින්ද මනස නීරෝගි කර­න්න හේතුයි

ස්ට්‍රෙස් එක යනු අද ගෙදර මාතෘකාවකි. බොහෝ විට ඒ සඳහා හේතු වන්නේ අද අපගේ කාර්යබහුල ජීවිතයයි. අපේ මනසටත්, සිරුරටත් විවිධ ආකාරයෙන් වදයක් වන ආතතිය වෛද්‍ය විද්‍යාත්මක ව දකින්නේ අපගේ ශරීරය, පරිසරයේ හෝ ශරීරය ඇතුළත සිදුවන යම්කිසි වෙනසකට මුහුණ දීමට සුදානම් වීමේ ස්වාභාවික ක්‍රියාවලියක් ලෙසය. උදාහරණයක් ලෙස විභාගයකට සූදානම් වීම යම් බාහිර වෙනසකි. රෝගී වීම අභ්‍යන්තර වෙනසකි. මේ අවස්ථා දෙකේදීම අපට ආතතියක් ඇති වෙයි. මානසික ආතතියද අපට බැහැර විය හෝ බැහැර කළ නොහැකි සෙයකි. ජෛව විද්‍යාත්මකව මෙවැනි වෙනස්කම් වලට ශරීරය හැඩ ගැස්වීම හඳුන්වන්නේ ‘ආතති ප්‍රතිචාරය‘ ලෙසිනි.

“ආතති ප්‍රතිචාරය” අපට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ කෙසේද?

මෙම ක්‍රියාවලිය ස්වාභාවික එකක් වුවද, ප්‍රතිචාරයට අදාල ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස වැඩියෙන් (too intense) ඇතිවීම නිසා, පුද්ගලයෙකුට අවශ්‍ය “පීඩාකාරී” අවස්ථාවට මුහුණ දීමට අපහසු වේ. උදාහරණයක් ලෙස විභාගයකට සුදානම් වූ දරුවකුට ආතතිය වැඩි වී, විභාගයට පිළිතුරු ලිවීම අපහසු වීම දැක්විය හැකිය. මෙම ක්‍රියාවලිය දිගටම පැවතියහොත් එනම් ශරීරය නැවත යථා තත්ත්වයට පත් නොවුවහොත් එය සෞඛ්‍ය ගැටලුවලට හේතු වේ.

අද එදා මෙන් වන සතුන්ට බයේ හෝ වෙනත් ස්වාභාවික විපත් හමුවේ ආතතිය ඇතිවන අවස්ථා අඩුය. ඒ වෙනුවට අද ආතතියට වැඩිපුරම බලපානනේ මානසික ගැටලුය. මෙවැනි ආතති දනවන අවස්ථාවල වෙනස හඳුනා ගැනීමට ශරීරයට නොහැකි නිසා සිදුවන්නේ ඉහත පැහැදිලි කළ ආතති ප්‍රතිචාරය හැමවිටම ක්‍රියාකාරී වී තිබීමයි. එමනිසා රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය, රුධිර පීඩනය, හදවත ගැහෙන වේගය වැනි මේ ක්‍රියාවලියේ දී වැඩිවන ක්‍රියාවලින් දිනපතාම වැඩිවී තිබීම මෙහිදී දක්නට ලැබේ. එය දිගු කාලීනව දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්ව ඇතිවීමටද, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බලපෑමෙන් නිතර නිතර ආසාදනවලට ගොදුරු වීමටද බලපායි. ඊට අමතරව ඇතැම් විට එය පිළිකා තත්ත්ව දක්වාම දුර දිග යන්නට ද පුළුවන.

අප ආතතියට ලක් වී ඇති බව දැනගන්නේ කෙසේද?

යමෙකු ආතතියට පත්ව ඇති විට ඔහුට දැනෙන දේ මානසික ලක්‍ෂණ හා ශාරීරික ලක්‍ෂණ ලෙස කොටස් 2 ට බෙදිය හැකිය. සාංකාව, දුක, තරහා යාම, නින්ද නොයෑම, කෑම අරුචිය/අධිකව ආහාර ගැනීම සහ අවධානය යොමු කිරීම අපහසු වීම මානසික ලක්‍ෂණ වන අතර හද ගැස්ම වැඩි වීම, අධික ව දහඩිය දැමීම, “ඔලුව වටා පටියක් බැන්දා සේ” දැනෙන ඔලුව කැක්කුම හා ඇඟ පතේ කැක්කුම් ශාරීරික ලක්‍ෂණ සේ දැක්විය හැකිය.

ආතතිය අවම කරගන්නේ කෙසේද?

අපගේ ශරීරයේ “ආතති ප්‍රතිචාරය” ඇති කරවන ඕනෑම අවස්ථාවක් “ආතති කාරකයක් - stressor” ලෙස හැඳින් වේ. රෝගී වීම ශරීරයට ආතතිය ඇති කරවන්නකි. එහෙත් අපට රෝගී වීම පාලනය කළ හැක්කේ එක්තරා දුරකටය. එනම් අප අයහපත් සෞඛ්‍ය පුරුදු පාලනය කර ගන්නා තරමට අපට ලෙඩ නිසා ඇතිවන ආතතිය පාලනය කරගත හැකිය.

යම් පුද්ගලයෙකුට අත්දැකීම් ඇති නම්, තමා ගැන තමාට විශ්වාසයක් ඇති නම් (self efficacy), ඔහුට මෙවැනි අවස්ථාවලට මුහුණ දීමේදී ඇතිවන ආතතිය අවමය. තම දෙමාපියන්ට අවශ්‍ය මාර්ගයේ දරුවාගේ අකමැත්තෙන් යන, එසේම පුංචි කාලයේ සිට වගකීමක් දරා නැති, ජීවන කුසලතා නැති, ආත්ම විශ්වාසයක් නැතිව හැදෙන දරුවකු වැඩිහිටියකු වූ විට, එවැන්නෙක් ඉතා සුළු වෙනසකින් පවා අධික ලෙස ආතතියට ලක්වීමට පුළුවන.

දෙමාපියන් විසින් දරුවකු රැක බලා ගන්නා ආකාරය, ඇති දැඩි කරනා ආකාරය, පසුකාලීනව එම දරුවා වැඩිහිටියෙකු වූ පසු, ජිවිතයේ ගැටලුවලට මුහුණ දෙන ආකාරයට දැඩි සේ බලපායි. විශේෂයෙන් ඔහු තුළ ඇතිවන ආතතිය අඩු වීම හෝ වැඩි වීම කෙරෙහි එය තදින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරගෙන ඇති කරුණකි. පුද්ගලයාගේ ගති ලක්ෂණ (characteristics) වර්ධනය වීම, කුඩා කල සිට දරුවා අත් දකින දේ, දෙමව්පියන්ගේ ආදරය, හා විනයක් ඇතිව දරුවා ලොකු මහත් කිරීම වැනි ඉතා වැදගත් කරුණු කිහිපයක් මත රඳා පවතී.

ආතතිය අවම කරගැනීම

ආතතියට හේතු කලින්ම හඳුනා ගෙන එවැනි අවස්ථාවලට මුහුණ දීමට පෙර සුදානමක් තිබීම වැදගත්ය. අපේ හැකියාවන්ට අනුව අපගේ ජීවන ඉලක්ක සැලසුම් කළ යුතුය. නිතිපතා ව්‍යායාම කිරීමද මනස සැහැල්ලු කරවයි. එමෙන්ම දිනකට පැය 7-8 ක් වත් නිදා ගැනීම වැදගත්ය. අඛණඩ නින්දක දී අපගේ මනස සහ ශරීරය නිරෝගී ව තැබීමට අත්‍යවශ්‍ය ඉතා වැදගත් ක්‍රියාවලින් රැසක් සිදු වේ. එය ආතතිය අඩු කිරීමට මහත් රුකුලකි. තමා කැමති පුද්ගලයින් සමග විනෝදයෙන් කාලය ගත කිරීම නිතිපතා කළ යුතුය. එසේම විනෝදාංශයක නිරත වීමද අත්‍යවශ්‍ය ය. මෙවැනි දේවල් වල නිතිපතා නිරත වන පුද්ගලයන්ට ආතතිවලට හේතුවන කාරකවලට සාර්ථකව මුහුණ දෙන බව පරීක්ෂණ වලින් ඔප්පු කර ඇත.

තමන්ට හැකි අවස්ථා වලදී වැඩවලින් ඉවත් වී නිවාඩුවක් ගත කිරීමෙන්, අධික වැඩ නිසා ඇතිවන ආතතිය අඩු කර ගත හැකි අතර එය අප නිරත වන කාර්යයන්වල ගුණාත්මක බව වැඩි වීමටද හේතුවක් වේ. ශාරීරික හා මානසික රෝග ගැටලු සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමද ආතතිය අඩු කිරීමට බලපාන තවත් එක් සාධකයකි.

ප්‍රශ්න/ ගැටලුවලට මුහුණ දෙන හිතකර ක්‍රම

එක් එක් පුද්ගලයා තමන්ට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ තමන්ට ම ආවේනික වූ ක්‍රමයකටය. එසේ වුවද එහිදී අපට ප්‍රශ්නවලට පහසුවෙන් මුහුණ දිම සඳහා අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. වඩා අත්දැකීම් ඇති අයෙකුගෙන් උපදෙස් ගැනීම ගැටලුවලට මුහුණ දීමේදී සහනයක් ගෙන දෙන එක් හේතුවකි. තමාට ඇති ගැටලුව පිළිබඳ තමන්ට විශ්වාසදායි පුද්ගලයකු සමග කථා කිරීම (ventilation) - අනික් පුද්ගලයාට ගැටලුව සම්බන්ධයෙන් උපදෙස් දීමට හැකියාවක් නොමැති වුවත්, ඒ පිළිබඳ ව තවකෙකුට පැවසීමෙන් ම ආතතිය යම් දුරකට අඩු කළ ගත හැකිය.

Comments