තමන් සතු යමක් අනුන්ට දී සතුටු විය හැකි යමෙකු වේ නම් ඒ ඉතා කලාතුරකිනි. එවැන්නක් කිරීමට තමන් සතුව සුවිසල් මනුස්සකමකුත්, මවුපියන්ගෙන් ආ පුරුද්දකුත් තිබිය යුතු බව පසක් වන්නේ එවැනි පරිත්‍යාග කරන්නවුන්ගේ වත ගොත හාරා අවුස්සා බලද්දීය. එවැනි මහා පරිත්‍යාගයක් පිළිබඳ පසුගියදා අපට අසන්නට ලැබුණේ මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ උත්සවයේදීය.
මහනුවර නගරයේ වටිනාම ස්ථානයක පිහිටි ‘අක්කර එකයි රූඩ් එකයි පර්චර්ස් තිස්පහක ඉඩම ’ එම්. පි. මීරා සයිබු මහතා විසින් රෝහලට පරිත්‍යාග කළේ එහිදීය.
දසක ගණනාවකට පෙර මීරා සයිබු මහතාගේ සීයා විසින් මීරා සයිබු බ්‍රදර්ස් සමාගමට රුපියල් තිස් පන්දහසකට මිලදි ගනු ලැබු උඩතලංගේ වත්ත ඉඩම රෝහලට ඉඩම් පවරාගැනීමේ කටයුත්තේදී කිසිදු වන්දි මුදලක් ලබානොගෙන පරිත්‍යාග කොට තිබේ. එදා එසේ පරිත්‍යාග කරනු ලැබූ ඉඩමේ සියලු ඔප්පු පිඹුරුපත් එම්. පි. මීරා සයිබු මහතා සහ පවුලේ ඥාතින් විසින් එදින උත්සවයේදී රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරුන් ඉදිරියේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත බාර දෙනු ලැබුවේ කිසිදු ලෝබකමකින් තොරවය.
එම පරිත්‍යාගය ජාතික වශයෙන් වටිනා පරිත්‍යාගයකි. එය සමස්ත රටේ පොදු ජනයා වෙනුවෙන් කරන උතුම් පරිත්‍යාගයකි. රටේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකට සෙත සලසන මහනුවර ශික්ෂණ රෝහල දැන් ජාතික රෝහලකි.
රෝහලට අයත් වී තිබූ ඉඩම් අක්කර පනස් අටෙන් හරි අඩක්ම මුලදී අනවසර පදිංචිකරුවන්ගේ ගොදුරක් බවට පත් වි තිබිණි. නාගස්තැන්න, දෙයියන්නෙවෙල, හන්තාන , සහ බෝගම්බර යන ග්‍රම නිලධාරි වසම් හතරකට අයත් රෝහල් භුමිය සංවර්ධනය වෙද්දි ඉඩම ක්‍රමයෙන් කුඩා වූයේ අනවසර පදිංචිකරුවන්ගේ ආක්‍රමණය නිසාය.
හාරදහසකට අධික රෝගීන් පිරිසක් බාහිරවද තුන්දහසක් පමණ නේවාසිකවද ප්‍රතිකාර ලබන මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසාම ලංකාවේ කිසිදු රෝහලකට නොහැකි වු ප්‍රථම හදවත් බද්ධය සිදු කිරිමට හැකි විය. අනෙකුත් සියලුම විශේෂඥ සේවා සිදු වෙද්දි රෝහලේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම තදබල ගැටලුවක් වූ බැවින් ඉඩ ඇති සෑම තැනම පොදු ජන යහපත පිණිස ගොඩනැගිලි ඉදි විණි.
මෙතෙක් එකම ජාතික රෝහල වූ කොළඹ ජාතික රෝහලින් ඔබ්බට මහජනතාවට වඩාත් පහසු තැනක ජාතික රෝහලක් බිහි වන්නේ නම් එය මධ්‍යම පළාතේ සියලු පහසුකම් සපිරි මහනුවර ශික්ෂණ රෝහලය. මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ප්‍රමුඛ රෝහල් බලධාරින්ගේ දැඩි ඉල්ලීම් හමුවේ වත්මත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත සියලු අඩුපාඩුකම් වසර දෙක තුනක් තුළ සපුරාලමින් පසුගියදා ජාතික රෝහලක් බවට පත්කෙරිණි.
ජනතාව වෙනුවෙන් ඒ සියල්ල සපිරෙද්දි රෝහල සතු දෑ අන්සතු වීම රෝහලේ සංවර්ධනයට දැඩි බාධාවක් වී තිබේ. රෝහල් භුමිය තුළ අනවසර පවුල් දෙසිය විසි පහක් ජීවත් වෙති. රෝගීන්ගේ පහසුව සඳහා ඉදිකිරීම් කිරීමට මුදල් තිබියදීත් අනවසර පදිංචිකරුවන් අවහිරයක් වී තිබේ. එම ඉඩම් නැවත රෝහලට ලබාගැනීමට රෝහල් බලධාරීහු දැඩි පරිශ්‍රමයක් දරති. විසිදෙනෙකුට විරුද්ධව නීති මඟට ගොස් ඇති අතර මේ වන විට පවුල් දෙකක් ඉවත් කර තිබේ. තවත් පවුල් පහක් ඉවත් කිරීමට අධිකරණ නියෝග ලැබී තිබේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මැදිහත් වීම මත අනවසර පදිංචිකරුවන් සඳහා හන්තාන වතුයායෙන් අක්කර එක හමාරක් වෙන් කොට ඇති අතර තවත් අක්කර තුනහමාරක් ලබාගැනීමට නියමිතය.
රෝහල් පරිශ්‍රයේ තිබෙන අනවසර ඉදිකිරීම් හේතුවෙන් රෝහල් පටුමඟ එන්න එන්නම අවහිර වී තිබේ. බෝගම්බර සිට වකුගඩු ඒකකය දක්වා මාර්ගය මං තිරු හතරකට පුළුල් කිරීමට රුපියල් කෝටි තුනක මුදලක් අනුමත වි තිබේ. රෝහල් පටුමඟේ විටින් විට පවතින අධික වාහන තදබදය විනාඩි තිහ පැය දක්වාද පවතින අවස්ථාද ඇත. එවැනි අවස්ථාවල රෝහලට රැගෙන එන රෝගියෙකුට එම තදබදය තුළ ගෙවන කාලය දැඩි අවදානම් සහගතය. එම වාහන තදබදයට හසු වී පසුගිය වසර කිහිපයේ ප්‍රතිකාර ප්‍රමාදව රෝහල පෙනි පෙනි හෘද රෝගීන් තිදෙනෙකු සහ එක් ඇදුම රෝගි දරුවෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහලට අයත් බිම්කඩ විසි හතරෙන් පළමු බිම්කඩ රෝහලට පරිත්‍යාග කර තිබුණත් ඔප්පුව තිබුණේ මීරා සයිබු මහතා අතය. ඔහු එය නියමාකාරව පිළියෙල කොට මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග කළේ මෙතරම් වටිනා ඉඩමක් පරිත්‍යාග කිරීම පිළිබඳ රැස්ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළක් එක් කරමිනි.
රෝහලට අඩුපාඩුවක්ව පවතින වෛද්‍ය, හෙද නිල නිවාස පද්ධතිය, මානසික සුවතා මධ්‍යස්ථානය, වයස්ගත වුවන් වෙනුවෙන් වන රෝහල් ඒකකය, වාහන අංගණය ඇතුළු ව්‍යාපෘති රාශියක් ඉදිකිරීමට අනවසර පදිංචිකරුවන් රෝහලට අයත් භූමියෙන් ඉවත් වන තුරු රෝහල් අධිකාරිය බලා සිටී.
විභාග වන සියලුම නඩුවලදී අවසානයේදී නියෝග ලබුණේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිමටය. ඒ අනුව නීති මඟට නොයන්නැයි අනවසර පදිංචිකරුවන් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ. රජය සමඟ එක් වී ඔවුනට හැකි සහනයක් ලබා දිමටද රෝහල් බලධාරීහු කටයුතු කරති.