සිංහල ගීතයේ පිරවිය නොහැකි හිඩැස | Page 2 | සිළුමිණ

සිංහල ගීතයේ පිරවිය නොහැකි හිඩැස

කුඩා වියේ සිට මහලු විය තෙක් අපේ හිත්වලට මොනතරම් ගීත දැනෙනවද..?

අපි හිතට සමීප ගීත කොතෙක් නම් මුමුනනවද..?

අපේ ජීවිත දවසින් දවස වෙනස් වෙද්දී අහන්න කැමැති ගීතවලත් කොයිතරම් වෙනසක් සිද්ධවෙනවද..?

ඇත්තම කියනවා නම් කෙනෙකු අහන්න කැමැති ගීතයකින් ඔහුගේ හෝ ඇයගේ හිත බොහොම අපූරුවට කියවන්නත් පුළුවනි. ඒ සියල්ල අතර ගීතයකින් අපට අහන්න ලැබෙන මියුරු හඬකට පුළුවනි මුළු ජීවිතයම වුණත් වෙනස් කරන්න. එවැනි ගායන ශිල්පීන් සිටින්නේ අතළොස්සයි. ඔවුන් අප අතරේ සදාකාලිකව විරාජමානව බැබළෙන්න ගන්නවා.

අතීතයේ සිට ලොව පුරා එවැනි ජීවමාන ශ්‍රේෂ්ඨයන් (Living Legends) බිහිවුණා. පසුකාලෙක ජීවිතයෙන් සමුගෙන ගියත් එම ගායන ශිල්පීන් රසික ජනතාව අතර තව තවත් බැබළෙන්නේ ඔවුන් සතු කුසලතාව පමණක් නෙවෙයි වාසනා ගුණයත් නිසාමයි. ‘හෙළයේ මහා ගාන්ධර්වයා‘ ගෞරවනීය නාමයෙන් පිදුම් ලැබූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් එවැනි විරාජමාන චරිතයක්. සිංහල ගීත සාහිත්‍යයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් තබා මීට වසර තුනකට පෙර අප අතරින් වෙන් වී ගිය මේ මහා යුග පුරුෂයා තවත් යුග ගණනාවක් කිසිදු ජාති භේදයකින් තොරව අපේ රටේ ජන හදවත් තුළ ලැගුම් ගනීවි.

සංගීතය කියන්නේ කොහොමත් විශ්ව භාෂාවක්නේ. මේ විශ්ව භාෂාවෙන් මොනතරම් දේවල් නම් කරනවද..?

හරියට ඔසුවක් වගේ. ජීවිතය සුවපත් කරවනවා. ඒ නිසා භාෂා පරාසයකට විහිදී ගිය මේ සංගීත ක්ෂේත්‍රය ජාතිය, ආගම, කුලය, භාෂාව අතර කොටුවුණු විෂයකුත් නෙවෙයි.

අදටත් අමරදේවයන්ගේ ගී සමුදාය අපේ රටේ සෑම ජාතියකටම අයත් සංගීතකාමින් එක හා සමානව රස විඳින්නේ ඒ නිසයි. ඒ හඬ තුළ තිබෙන්නේ මහා අමුතු සංවේදිත්වයක්, හදවත් ස්පර්ශ කරන්නට සමත් පුදුමාකාර සෞම්‍ය බවක්, ලාලිත්‍යයක් වගේම හදවතේ ඇතිවී නැතිවී යන හැම දුක් කන්දක්ම එක මොහොතකින් මකා දැමිය හැකි ආකර්ෂණීයත්වයක්.

ඔහු සිරුරෙන් කුඩා පුද්ගලයෙකු වුණත් ඕනෑම උත්සවයක, ප්‍රිය සම්භාෂණයක වුණත් ඉහළ තලයේ ප්‍රභූවරුන් මැද වුණත් පෞරුෂය අතින් හුඟාක් උසට පෙනුණා. අන් සියලු දෙනා අතරින් වඩ වඩාත් කැපී පෙනුණා. අමරදේවයන් සමීපව ඇසුරු කරන්නට තරම් ලොකු වාසනාවක් තිබූ, පසුකාලීනව බොහෝ විශිෂ්ට කලාකරුවන් මේ මහා යුග පුරුෂයා ගැන මතකය සිහිපත් කරද්දී ඒ අතරින් ඉස්මතු වන වැදගත්ම කාරණාව තමයි අමරදේවයන් පෞරුෂය අතින් පමණක් නෙවෙයි මනුස්සකම අතිනුත් ඉහළින් සිටි බව.

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ රන් සලකුණ බවට පත්වෙන්න ඔහුට පෘථුල සංගීත දැනුම විතරක් නෙවෙයි එවැනි ගුණාංගත් බලපාන්නට ඇති. යුග ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවකගේ ආදරය දිනාගන්න ඒ ගුණාංගයත් හේතු වෙන්නට ඇති.

ඔහු මුළු ජීවිතයම කැප කළේ සංගීතය වෙනුවෙන්. අමරදේවයන්ම ඒ කාලයේ කී පරිදි ඔහු රැස් කළේ ධනය නෙවෙයි. ‘කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත් වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා.’ ඔහු එකළ එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී එසේ කියා තිබුණා. දෙස් විදෙස් ජනප්‍රියත්වයට ඉහළින්ම පාත්‍ර වුණත් ඔහු සතු සරළකම, අව්‍යාජත්වය, නිහතමානීත්වය අද කාලයේ සමස්ත ගායන පරපුරටම හැම අතින්ම ආදර්ශයක්; එහෙම පිටින්ම ‘අයිකන්‘ එකක්.

Comments