මම ආව ගමන් විවාහ වෙන්න සූදානම් වෙන්න | සිළුමිණ

මම ආව ගමන් විවාහ වෙන්න සූදානම් වෙන්න

සුමියුරු ස්වරයෙන් ලෝකයක් සනහන ගායකයකු වුවද ඔබගේ ලෝකය වූයේ සිය නිවෙස බව මම දනිමි. ගමන් බිමන් යෑමට කැමැත්තක් දැක්වූ ඔබ සිය දරුවන් සමඟ නිතර ම මුහුදු වෙරළට යෑමට ප්‍රිය කළේ ය. ඔබ අසීමිත ලෙස සතුටු වූයේ දරුවන්, මා හා ගෙවූ හෝරා කිහිපයේදී වග මම දනිමි. නිරන්තරයෙන් ම ඔබ දරුවන්ට සොඳුරු පියෙකි. මට ආදරබර සැමියකු ද වූ බව නොරහසකි.

එතුමා හඳුන්වන්න මට මේ විශ්ව භාෂාවේ  වචන නැහැ - (  සුභානි අමරදේව )

තාත්තා අපෙන් සමු ගෙන වසර තුනක්..... මට නම් තාත්තා අපි අතර නැහැ කියලා හිතන්න අමාරුයි. ඒ පංචස්කන්ධය නැති වෙන්න පුළුවන්. හැබැයි අපටත් මේ රටටත් ජාතියටත් කවදාවත් එතුමා නැති වෙන්නේ නැහැ... එතුමාගේ ආශිර්වාදය මේ රටටත් මුළු ජාතියට තිබෙනවා. මීට වසර තුනකට පෙර ඒ දවසේ තාත්තා නැති වුණා කියන පණිවුඩේ ඇහුණු මොහොත... මටත් මගේ මහත්තයාටත් දැණුණේ මුලු ලෝකෙම නැති වුණා වගේ හැඟීමක්. ඔහු මගේ තාත්තාට දැඩිව ආදරය කළා. නමුත් තාත්තාගේ වෙන් වීම මට දැනෙන්න පටන් ගත්තේ ආදාහන කටයුතු කළ මොහොතේ.. ඒ වෙලේ මම දරදඩු වෙලා හිටපු බව මගේ මහත්තයා කිවුවා. ඒ කම්පනය අදටත් එහෙමයි. ජිවිතකාලේම එහෙම තියේවී.

තාත්තා රෝගියෙක් විදිහට හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් තාත්තා නැති වෙන්න දවස් කිහිපයකට කලින් හරි අමුතු සිදුවීමක් වුණා.. දවසක් මගේම මල්ලිට මාව හඳුන්වලා දුන්නා, “පුතා දන්නවාද මේ කවුද කියලා මේ තමයි මගේ බබි...“ කියලා. තාත්තා ආදරේට මට කතා කළේ එහෙමයි.

ඔහු අපිට දැඩි ලෙස ආදරය කළා. පුදුම විදිහට අපේ සුව පහසුව අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලුවා. අපට වගේම රටේම දරුවන්ටත් ආදරේ කළා. අපි අපේ ගමන පටන් ගන්නකොටම තාත්තා අපෙන් වෙන් වුණා. මගේ උගත් කමෙන්, ඒ ලබා ගත් දැනුම, මගේ ගායන හැකියාවෙන් මම ඉදිරියට යයි කියලා තාත්තා හැමදාමත් බලන් හිටියා. මාව උනන්දු කළා. මම ගීත ගයන කොට එතුමා අහගෙන හිටියේ පුදුම ආසාවෙන්... තාත්තාගේ ඒ හීනේ කවදාහරි මම හැබෑ කරනවා.

ඒ මහා ගාන්ධර්වයාණන් පිටුපස දැවැන්ත ශක්තිය හා රැකවරණය වුණේ අපේ අම්මා. ඇය තමන්ගේ මුළු ජීවිතේම කැප කොට අමරදේව කියන මහා යුග පුරුෂයාගේ ගමන් මගට උර දුන් පුදුම ශක්තිමත් කාන්තාවක්. සමහර අය ඇයට දොස් කියපු අවස්ථා තිබුණා. නමුත් අම්මා නැති නම් අමරදේව කෙනෙක් නැති තරම්... එතුමා ආරක්ෂා කළේ ඇයයි. එතුමාගේ සියලු වගකිම් කර මතට ගත්තේ ඇය. එතුමිය ඒ විදිහට හැසිරුණේ නැත්නම් මේ යුග පුරුෂයාට මේ තරම් ගමනක් එන්න බැහැ.

අපේ තාත්තා පුංචි දේකින් පවා ජීවිතය විඳින්න දැනන් හිටපු කෙනෙක්. සතෙක් ඇවිදින විදිහ බලන් ඉඳලා ඌටත් විහිළුවක් කරලා සතුටු වෙන කෙනෙක්. මොන දුකක්, මොන අසාධාරණයක් වුණත් රටට ජාතියට ධර්මයට ආදරය කළ උතුම් මනුෂ්‍යයෙක්. මෙරට සංගීතය, නව පරපුර වෙනුවෙන් වුවමනා කරන හැම අවස්ථාවකම තාත්තා නෑ, බැහැ නොකියා පෙනී ඉඳලා තියෙනවා. එතුමා වගේ කෙනෙක් අපේ රට වෙනුවෙන් කළ සේවය හරියට ඇගයුණා දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ ගැන පුදුම වේදනායි. තාත්තාගේ අවසන් විදෙස් ප්‍රසංගය තිබුණේ ඔස්ට්‍රේලියාවේ. ඒ ප්‍රසංගය අතරමග තාත්තා අසනීප වුණා. එතුමාට ඒ ප්‍රසංගය අතරමඟදී අමාරු වෙනවා. නමුත් පපුව අල්ලගෙන සින්දු කිව්වා තවමත් මගේ ඇස් ඉදිරියේ මැවෙනවා.

අද ජනප්‍රියත්වය හඹා ගෙන යන බොහෝ පිරිස ජනප්‍රියත්වය ලැබුණු පසු ඒ ජනප්‍රියත්වයටම ගරහනවා. නමුත් තාත්තාට මිනිස්සු දක්වපු ආදරේට තාත්තා කවදාවත් ගැරැහුවේ නැහැ. ඒ ජනාදරයට ඔහු පුදුම විදිහට ගරු කළා. පෙරළා කෘත ගුණ සැලැකුවා. ගෙදරට කවුරුහරි දුරකතන ඇමැතුමක් දීලා තාත්තා එක්ක කතා කරන්න ඉල්ලුවොත් එතුමා විවේකීව ඉන්න වේලාවක හෝ කාන්සි පිට ඉන්න වේලාවට අම්මා කරන්නේ තාත්තාට ඒ ඇමැතුම නොදී පණිවිඩේ අහගන්න එක. නමුත් තාත්තා අහල පහළ හිටියොත් අනිවාර්යයෙන්ම අම්මාටත් ටිකක් සැර කරලා රිසීවරය අරන් කතා කරනවා. ඔහු කාගෙවත් හිතක් නොරිදවපු උතුම් මනුස්සයෙක්. බොහෝ පින් කරලා මේ ලෝකෙට ඇවිල්ලා තවත් පින් කන්දක් රැස් කරගෙනයි එතුමා මේ ලෝකෙන් සමු ගත්තේ. ඔහු අපට දෙවි කෙනෙක්. ඒ යුග පුරුෂයාව හඳුන්වන්න මට නම් මේ විශ්ව භාෂාවේ වචන නැහැ.

ලංකාදීපයේ සංගීත කෙත හා ගායන කෙත පෝෂණය කළ පන්සිළු අප හැරදා ගොස් මේ සතියේ ඉරුදිනට තෙවසරකි. එහෙත් එවැනි කාලයක් ගත වුවද ඔහුගේ හැරයෑම පිළිබඳ මතකය අප හදවතේ සටහන් ව ඇත්තේ ඊයේ, පෙරේදා ලෙසිනි. අප මෙන්ම ඒ මතකයේ තවමත් ජීවත් වන තවත් කෙනක් ද සිටියි. ඒ පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරින්දෑ විමලා අමරෙදේව ය. ඈ සාලයේ ජීවමාන ප්‍රතිරූපයක් ලෙස පෙනී සිටින සිය සැමියාගේ සේයාරුව ජීවමාන අමරදේවයන් යැයි සිතන්නී ය. අදහන්නී ය. එයට ගෞරව කරන්නී ය. ඒ සමඟ සංවාදයෙහි යෙදෙන්නී ය. එහි පිහිට පතන්නී ය. ඒ නිසා ම ඔහු ඈ හැර ගිය ද ජීවමාන රූපයක් විලසින් තවමත් ඇගේ හදවතේ වෙසෙන සොඳුරු ගේය පද මාලාවක් වැන්න. ඈ මේ මතකයට නඟන්නේ ඔහු හා ගෙවූ ජීවිතයේ ඒ සොඳුරු මතක මංපෙතයි.

දවස් කිහිපයක සිට ම නීල වර්ණයෙන් බබළන අහස් ගැබ පෙනෙන මානයකවත් නැත. ඒ වෙනුවට අරක්ගත් ඇත්දළ පැහැය හා මුසු වුණු අඳුරු වලාකුළු සීරුවට වැටෙන දියබිඳු ලෙස සෙමෙන් සෙමෙන් මිහිකත සිපගනී. ඒ දියබිඳු මගේ සිතේ ඇති කරන්නේ ශෝකයකි. ඒ ඔබ හරියටම අප අතැර සමුගෙන ගියේ මෙවැනි දිනයක බව මට සිහිපත් වූ බැවිනි. නිවෙසේ හාන්සි පුටුවට වී ඔබ නැති සොවින් සිටින මගේ සිතට නැඟෙන්නේ වෙනදා ඔබ මෙහි ඉඳගෙන සිටින අපූරුව ය. ඒ අපූර්ව බව සිහි කරමින් මම අප මුණ ගැසුණු ඒ සොඳුරු අතීතය වෙත හැල්මේ දුවමි.

ඒ වන විටත් දහතුන් හැවිරිදි වියේ පසු වූ මම ගුවන්විදුලි යන්ත්‍රයට සවන් දීමේ පුරුද්දට කිසි කලෙකත් අතහැර දැමිය නොහැකි ලෙස බැඳී සිටියෙමි. සොඳුරු ගැයුම් රැගත් සරල ගී වැඩසටහනේ ප්‍රියතම අසන්නියක වූ මා එදිනත් පුරුද්දට මෙන් එයට ළං වූයේ මියුරු ගීයක සුවය විඳීමට ය. අවට පරිසරය සිසාරා පැතිර ගියේ කන්කලු ස්වරයකි.

“ ශාන්ත මේ රෑ යාමේ දේ

කුමුදු මලේ සිරියා

සඳ කාන්ති වැදී සෞම්‍යා......”

වෙනදා අසා නැති ඒ මියුරු ස්වරය කාගේ දෝයි මම කල්පනා කළෙමි. ඒ මෙතෙක් එවැනි මියුරු ස්වරයක් සරල ගී වැඩසටහනෙන් මා නොඇසූ බැවිනි. “ඇල්බට් පෙරේරා“යි ගීතය අවසානයේ නාමය නිවේදකයා පැවැසූයේ මා මෙලෙස කල්පනා සයුරේ ගිලෙමින් සිටිද්දී ය. වැඩසටහන අවසන් වූ පසුව ද මගේ මුවග රැඳුණේ ඒ ගීතයයි. ඒ නාමයයි. මගේ හදවතට හැඟුණේ එහි කුමක් හෝ තම යොවුන් සිත වසඟ කර ගන්නා ස්වරයක් ගැබ් වී ඇති බවකි. සිතේ පහළ වූ සිතිවිල්ලෙන්ම එයට පසුව සරල ගී වැඩසටහනට මා සවන් දුන්නේ ඔබගේ ස්වරය ඇසීමේ බලාපොරොත්තුව පෙරදැරිව ය. වරින් වර ගුවන්විදුලිය ඔස්සේ ඇසෙන ඔබගේ කටහඬට මා පෙම් බැන්දේ කාටත් හොර රහසේ ය.

මේ අතර අපේ නිවෙසට නිතර ආ ගිය කෙනෙකි. මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු, තාත්තාගේ ගජ මිතුරෙකි. ඔවුන් දෙදෙනා අතර මේ මිතුරුකම වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් බලපෑම් කෙරිණි. ඒ වාමාංශික දේශපාලනයයි. මේ නිසා ම පවුල් දෙක අතර ඇති වී තිබුණේ දැඩි හිතවත්කමකි. මගේ නර්තන හා ගායන දස්කම් පිළිබඳ ද දැන සිටි ඔහු ඔබගේ හමුවීම සඳහා වූ පරිසරය නිර්මාණය කළ තැනැත්තා විය. දිනෙක අහම්බයෙන් උත්සවයක් සඳහා නර්තනයකට මට ආරාධනා ලැබිණි. ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඉන්දියාවට යන ඇල්බට් නම් තරුණයකු වෙනුවෙන් ඔවුන්ගේ පාසලේ පැවැත්වෙන උත්සවයක් සඳහා ය. එක්වරම මගේ සිතට පිවිසියේ ගුවන්විදුලියේ ඇසුණු කන්කලු ස්වරයයි. “මේ ඔහු ම දැ”යි නිතර ම මගේ සිතේ නැඟුණේ පැනයකි. එදින මා යෙදුණේ ‘මංගලම්’ කියන නර්තන අංගයයි. මෙහි චන්ද්‍රරත්න මානවසිංහ, ප්‍රේමකුමාර එපිටවෙල යන ප්‍රවීණ ශිල්පීන් පවා පැමිණ සිටි බව ද මට මතක ය. උත්සවය අවසන් ව ඇල්බට්ගේ නිවෙසෙන් ආහාර ගත් පසුව තාත්තාගේ යහළුවා මා රථයකට නංවා නිවෙසට එව්වේ ය. එදින මම ඔබව දෑසින් දැක ගත්තෙමි. ඔබගේ ඇල්බට් පෙරේරා යන නාමය ඉන්දියාවට යන විට අමරදේව ලෙස වෙනස් කරන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. දිනෙන් දින ම ඔබ පිළිබඳ හදවතේ මෝරා වැඩුණු ප්‍රේමය නිසා මම විවිධාකාර වූ සිතිවිලිවලින් පීඬා වින්දෙමි.

“ අනේ හොරෙන් ගිහින් මට මේ වගේ කෙනෙකුට කන්න උයලා තියලා, රෙදි හෝදලා එන්න තියෙනවා නම් ” යැයි මම සිහින මැව්වෙමි.

කාලය ගෙවී ගියේ ය. දිනක් කලා භවන අසලින් ගමන් කරමින් සිටි එක්වර ම ඔබගේ දෙසවන ගැටුණේ මියුරු ජන ගී ගායනයක යෙදී සිටි මගේ ස්වරයයි.

“ගිරා මලිත්තෝ පැදුරේ රටා වියනා....”

ඒ ජන ගීයට සවන් යොමු කළ ඔබට හැඟුණේ තමා සොයන අපේකම රැදුණු ස්වරය එහි ගැබ්ව තිබෙනවා නොවේ දැයි කියා ය. මෙතෙක් අපේ දේශීය බවට හුරු වූ සංගීතයක් පිළිබඳ සිහින මවමින් උන් ඔබට, මගේ ජන ගී ස්වරයෙන් ලැබුණේ අමුතු ප්‍රාණයකි. ඒ ස්වරය ඔබගේ සංගීත ඥානය වෙනස් මගකට යොමු කරද්දී, දේශීය ස්වරයකට උරුමකම් කියූ මා ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයෙන් සමත් වන්නේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක ලෙස ය. මගේ දක්ෂතාව දුටු එකල ගුවන්විදුලියේ ප්‍රවීණ ගේයපද රචකයෙකු මෙන්ම නවකතාකරුවකු ලෙස ප්‍රකට මඩවල එස්. රත්නායකයන්, ඔහු මෙහෙයවූ ජන ගී වැඩසටහනට මා සහභාගි කර ගැනීමට දෙවරක් නොසිතුවේ ය. මා සහභාගි වූ මේ වැඩසටහනට තවත් අමුත්තකුව ද මඩවල එස්. රත්නායකයන් කැඳවා ගෙන තිබුණේ ය. ඒ සංගීතයට නැවුම් අර්ථයක් දෙන්න ඉදිරිපත්ව සිටි අමරදේව නම් තරුණයා ය. මගේ හිසේ මලක් පිපිණි. මීට පෙර දැක තිබුණ මුත් අප දෙදෙනා අතර සෙනෙහස ලියලෑමට බලපෑවේ මේ හමුවීම ය. ඒ සෙනෙහස ලියලා වැඩෙන්න බලපෑ අනෙක් හේතුවක් ද තිබිණි. ඉන්දියාවට ගිය ගමන ය. ඉන්දියාවට යන ගමනට මකුලොළුව මහතා මා ද තෝරාගෙන තිබිණි. අප දෙදෙනාගේ ම සිතේ තිබුණු ප්‍රේමය කාටත් හොරා මෝරා වැඩීමට මෙය අපූරු කාලයක් විණි. පෙම් කරන කාලයේ වුවද අප දෙදෙනා පිළිබඳ තිබුණේ මනා වැටහීමකි. ඒ නිසා ම අප දෙදෙනා අතර අඬදබරවලට පවා තහනම් කලාපයකි. ඒ වගට අපූරු උදාහරණයකි මේ

‘නල - දමයන්ති’ මුද්‍රා නාටකය වේදිකා ගතවූ සමය. නල - දමයන්ති වේදිකාවට නැඟෙන මොහොත ඔබගේ ජීවිතයේ සොඳුරුම අවස්ථාවකි. ඒ සොඳුරු බව විඳීමට ඔබ මට ද ආරාධනා කළේ ය. එහෙත් නාට්‍යය අවසන් වූ පසුව ඔබටත් නොපවසා ම මම බස් රථයට නැඟුණේ නාට්‍යය ඔස්සේ විඳි රසය ඔබ දුටුව හොත් වෙනස් වන්න ඉඩ තිබුණු නිසා ය. ඔබ මා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව ම මම දනිමි. එනමුදු එදින ඔබ හමුවීමට මගේ සිත මට ඉඩ නුදුන්නේ ය.

මෙලෙස සොඳුරු අයුරින් ගලා ගිය ඒ බැඳි හාදකම අවසන් කිරීමට කාලය උදා වූයේ නොසිතූ මොහොතක ය.

“මම ආව ගමන් විවාහ වෙන්න සුදානම් වෙන්න.”

ඒ වරක් ඔබ වි‍දෙස් සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය සමයේ දී මට එවූ ලිපියේ සඳහන් කියුමකි. ගහෙන් ගෙඩි එන්නා සේ ඔබ කළ යෝජනාව දුටු මගේ සිතට එක්වර ම ඇති වූයේ බියකි. ඒ වන විටත් ඔබ නියැළෙන කලා කටයුතුවලට මගේ උපරිම සහයෝගය ලබාදීමට මම තීරණය කර තිබූ හෙයින් මම ඒ අදහසට එකඟ වූයෙමි. ඔබ පිවිස සිටි මඟේ ඔබ බොහෝදුර ගමනක නිරත වන වග මා දත්තේ එකල ම ය. ඒ අනුව ඉන්දියන් කොට්න් සාරියකින් සැරැසී සිටි මාත්, සුපුරුදු ලෙස ජාතික ඇඳුමෙන් සැරැසී සිටි ඔබත් 1963 වසරේ අගෝස්තු 27 වැනිදා අතිනත ගත්තේ කලා ලොවේ පතාක යෝධයන් දෙදෙනෙකු සාක්කිකරුවන් කරමින් ය. ඒ අන් කවුරුන් හෝ නොව ඒ එච්.එම්. ගුණසේකර හා මහගමසේකරයන් ය.

අපි සෙමෙන් සෙමෙන් අපේ ය කියා ජීවිතයක් ගොඩනඟන්න වෙහෙස ගත්තෙමු. ලොකුදුව ප්‍රියංවදා අපේ කැදැල්ලට සපැමිණෙන්නේ බත්තරමුල්ල නිවහනේදී ය. රත්මලාන නිවහනේදී සුභානි දුවත්, රංජන පුතාත් අපගේ කැදැල්ලට ආලෝකය රැගෙන පැමිණියහ. අප අපේ ම කියා නිවෙසක සිහිනය සැබෑ කරගත්තේ නුගේගොඩ චැපල් ලේන් එකේ කුළියට සිටි අවස්ථාවේ ය. නාවින්නේ මේ නිවහන ගොඩනැඟුණේ මහන්සියෙන් ඔබ හම්බ කළ මුදලෙන් ය. නර්තන ගුරුවරියක ලෙස සේවය කළ මා නිවෙසේ සම්පූර්ණ බර කරට ගත්තා ය. නිවෙසේ කිසිදු බරක් ඔබට නොදුන් මම ඔබට, ඔබගේ නිර්මාණවල නිදහසේ නියැළීමට අවශ්‍ය පරිසරය සකසා දුන්නෙමි.

නිර්මාණ කටයුතු සඳහා ඔබ අවදි වන්නේ පාන්දර දෙකට ය. එසේ අවදි වී තනන තනු වයන්නේ උදෑසන අවදි වන මට ඇසෙන්න ය. එලෙස ඔබ ගීත ගැයුවේත්, ගීතවලට තනු යෙදුවේත්, මියුරු සංගීත ඛණ්ඩ තැනුවේත් නිසල පරිසරයක වාසය කරමිනි.

නිතර ම කලා ලොවේ අයගෙන් අපේ නිවෙස පිරී ඉතිරි තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිතර ආ ගිය අයුරු මට අද ද සිහිපත් වෙයි. එච්.එම්. ගුණසේකර, මහගමසේකර ඇතුළු බොහෝදෙනකු මධුවිත තොලගාමින්, ගී ගැයූ අයුරු මනරම් ය; එවිට ගීතය, සංගීතය ගැන පමණක් නොව සාහිත්‍යයේ විවිධ ඉසව් පිළිබඳ ද, කතා කරන්න හෝරා ගණන් ගත කළ අයුරු මට මතක ය. ඒ නිසා ම එදවස් ගෙවුණේ බොහෝ සුන්දරව ය.

සුමියුරු ස්වරයෙන් ලෝකයක් සනහන ගායකයකු වුවද ඔබගේ ලෝකය වූයේ සිය නිවෙස බව මම දනිමි. ගමන් බිමන් යෑමට කැමැත්තක් දැක්වූ ඔබ සිය දරුවන් සමඟ නිතර ම මුහුදු වෙරළට යෑමට ප්‍රිය කළේ ය. ඔබ අසීමිත ලෙස සතුටු වූයේ දරුවන්, මා හා ගෙවූ හෝරා කිහිපයේදී වග මම දනිමි. නිරන්තරයෙන් ම ඔබ දරුවන්ට සොඳුරු පියෙකි. මට ආදරබර සැමියකු ද වූ බව නොරහසකි.

එහෙත් අද ඉතිරිව ඇත්තේ ඔබ සමඟ ගෙවූ ඒ සොඳුරු මතකයන් පමණකි. ඔබ මා තනි කර යන්නම යන්නට ගියේ ය. සෙමෙන් සෙමෙන් හාත්පස ගලා එන්නේ සැඳෑ අඳුරයි. මම ඒ සැඳෑ අඳුරට එන්න ඉඩදී එහි සැඟවෙමි.

“මළහිරු බසිනා සැන්දෑ යාමේ

ඔබගෙන් සමුගන්නම්

අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී

ඔබගෙන් සමු ගෙන මා යන්නම්...”

ඡායාරූප-දයාන් විතාරණ

Comments