දිවි මියැසියෙන් සමුගත් ජීවමාන හඬ පෞරුෂය | Page 2 | සිළුමිණ

දිවි මියැසියෙන් සමුගත් ජීවමාන හඬ පෞරුෂය

ආචාර්ය පණ්ඩිත්  අමරදේවයන්  අභාවප්‍රාප්ත වී  තෙවසරක් සපිරීම  නිමිත්තෙන් මෙවර රසඳුන කලාපය එතුමාගේ ගුණ සැමරුම පිණිස වෙන්වේ. එතුමා සමඟ සමීපව ඇසුරු කළ ළබැඳියන්  පැවැසූ අදහස්වලින්  මෙම විශේෂාංගය  සැකසෙයි.

 

සංගීතයේ මුදුන් මල්කඩ ඔහුම මිස වෙන කවුරුද? කීර්ති පැස්කුවල්

එදාටත්, අදටත්, හෙටටත් අපගේ සංගීතයේ මුදුන් මල්කඩ පණ්ඩිත් අමරදේවයන් බව ස්ථිරයි. එවැන්නකු නැවත බිහිවේදැයි කියන්න බැහැ. එතුමා අප වෙනුවෙන් පරම්පරා ගණනකට බො‍හෝ දේ ඉතුරු කළා. එතුමාගේ තනුවල පුදුමාකාර රසයක් තිබුණා. ස්වර සප්තකය තුළ විවිධ විදිහට වෙනස්කම් කරමින් පුදුමාකාර රසයක් දනවන අයුරින් තනු සැකසුවා.

අමරදේවයන් වචනයේ පරිසමාප්ත අරුතින් ම උත්තම ගණයේ සංගීතඥයෙක්. නිරහංකාරිත්වය ඉහළින්ම පිහිටියා. තමන් එතරම් වියතෙක් කියා අහංකාර වුණේ නැහැ. ආධුනිකයන්ට අතහිත දුන්නා. එතුමා ගැන විශාල ගරුත්වයක් අපට තිබුණා. ඔහු නැවත අප අතරම ඉපදේවා!

 

ව්‍යුත්පත්ති ඥානය එක් කළේ ‘අමරදේව’ සර් විශාරද සුනිල් එදිරිසිංහ

මට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ ඇහෙන්න ගත්තේ අවුරුදු දහයේ ඉඳලා. මගේ අක්කලා දෙන්නා එතුමාගේ සංගීත පන්තියට යද්දි තනියට මං ගියේ. වරින්වර ඇසුණු මිහිරි හඬින් මගේ සිත ඇදගත්තා. සංගීතය පිළිබඳ මට උපතින් ලද හැකියාවට ව්‍යුත්පත්ති ඥානය එක් කළේ අමරදේවයන් කීවොත් නිවැරදියි. තව කෙනෙකුට අමරදේවයන් වෙන්න බැහැ. එතුමාගේ ගාන්ධර්වත්වය ගැන කියා නිමක් කරන්න බැහැ.

 

පර වී නොයන පරසතු මලකි  නීලා වික්‍රමසිංහ

අතුපතර විහිදුණු මහා නුගරුකකි ඔබ

ඇසූ පිරූ තැන් ඇති විද්වතෙකි ඔබ

නිහතමානිත්වයෙන් පැසුණු වී කරලකි ඔබ

කලා ලොවෙහි දිදුලන මහා පහන්ටැඹකි ඔබ

පර වී නොයන පරසතු මලකි ඔබ මට

 

පියාණෙනි.... මහ පහන් ටැඹ ඔබය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

මට හමු වුණේ මා කුඩා ක‍ාලෙදි. 2004 දී සර් සමඟ දෙබැටම දේදුනු විලස සුදිලෙන්නේ මගේම ගීයකට විදේශ සංචාරයකට එක් වූවා. මට දැනෙන්නේ ඔහු මහා ප්‍රාඥයෙක් වගේ. අපි ළඟ වුණත් පොඩි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නේ. අනුලා විද්‍යාලෙ සමීපව සර්ගෙ ගෙදර තියන නිසා මම එහෙ ගියා. සර් මට ගීත කියා දුන්නා. මට දුර ගමනක් එන්න හැකිවුණා.

අදටත් කොහෙ හරි ඉඳලා අප දිහා බලන් ඇති. ඔහුගේ ගීත නිර්මාණ තුළින් සංගීත ක්ෂේත්‍රය වෙනම ඉසව්වකට රැගෙන ගියා. සේකරයන් රසිකයන්ට ඥානාන්විත ගීත දුන්නා. ඒ ඉසව්ව දිහා බලාන හිටි පොඩි ළමයි ලෙස අපට, මාවත හෙළිකර දුන් මහා පහන් ටැඹ අම‍රදේවයන් තමයි.

 

අමරදේවයන්, සිංහල භාෂා විශාරදයෙකි. සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි

රටක් සැනසූ ජාතියේ ගාන්ධර්වයා ඔබයි. රටක් පිනවූ ජාතියේ ගාන්ධර්වයා ඔබයි. සුභාවිත ගීතයේ සුභාවිත සංගීතයේ අධිපතියා ඔබයි. අමරදේවයන් කවරෙක්දැයි හඳුන්වාදීම දුෂ්කරයි. ඒ ඔහු එක් පරාසයකට ලඝු කළ නොහැකි දැවැන්තයකු වූ බැවිනි. හෙළ හවුලේ ඇසුර ලද අමරදේවයන් සිංහල භාෂා විශාර‍දයෙකි. ඔහු ගැයූ ගී පද රචනාවන්ගේ වඩාත් උචිත වදන් යොදමින් ඔහු විසින් වෙනස් කළ අවස්ථා අප අසා ඇත. අමරදේවයන්ගේ සංගීතය එතුමන්ගේ නිර්මාණ තුළ පෘථුල පරාසයක විහිදී යයි. එම නිර්මාණ තුළ තමන්ගේ අනන්‍යතාව නිරතුරුවම සටහන් වුණා. අමරදේව සලකුණ තිබුණේ එතැනයි. මා විශ්වාස කරන්නේ එතුමන් ඉගෙනීමෙන් පමණක් ලබාගත් දේවල් නෙමෙයි. අමරදේවයන් කාගෙවත් හිතක් රිද්දන්න කැමැති කෙනෙක් නෙමෙයි. හැමවිටම බැලුවේ කවුරුත් සතුටින් තියන්නයි. මේ දෙරණේ තවත් අමරදේව කෙනෙක් බිහිවෙයි කියා මා හිතන්නෙ නැහැ. එවන් සාධනීය යුග සලකුණක් ඇස ගැටෙන මානයකවත් නැහැ.

 

සංගීත ප්‍රාඥයෙකු ලෙස කළ සේවාව අමරණීයයි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ

අපගේ සුභාවිත සංගීතය අද තියන තැනට ගේන්න කටයුතු කළ ප්‍රාඥයා අමරදේවයන් තමයි. සංගීත කලාව කියන එක අපට අයිති දෙයක් නෙමෙයි. නොයෙක් ක්‍රමවලට සංගීතය පැමිණිලා දේශීය අනන්‍යතාවය ගොඩනගා ගැනීමට තුන් දෙනෙක් මූලික වුණා.

ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා අමරදේවයන්. ආනන්ද සමර‍කෝන් හැකි තරම් දේශීයත්වයට නැඹුරු වුණා. සුනිල් සාන්තයන් භාරතීය සංගීතයට වඩාත් සමීප වුණා.

අමරදේව මේ දෙඅංශයම හොඳින් අවබෝධ කරගෙන අනිත් දෙන්නම පහුකරගෙන ගිහින් භාරතීය මහා රාගධාරී සම්ප්‍රදාය පදනම් කරගෙන චූල සම­්ප්‍රදාය එයට සම්මිශ්‍රණය කරලා අපේ අනන්‍යතාව තියන සංගීතයක් ගොඩනැඟුවා. ජාතියේ කටහඬ කියන්නේ ඒකයි. මහා සංගීත ප්‍රාඥයෙක් ලෙස එතුමා කළ සේවාව ශත වර්ෂ ගණනාවකට ප්‍රමාණවත්.

 

වියපත් නොවුණු තාරුණ්‍යයේ හදවත සන්තුෂ් වීරමන්

හෙළ සංගීතයේ ගාන්ධර්වයන් හැටියට හඳුන්වන ඔහු ලාංකික සංගීතයේ මහත් කාර්යභාරයක් ඉටු කළා. හෙළ සංගීතයේ හඬ මුළු සමාජයටම හඳුන්වා දීලා. අපේ හෙළ සංගීතයට නැවුම් බවක් මුසු කළා.

අපි පොඩි කාලේ ඉඳලා ඒ සංගීතය ඇහුවා. අපේකමක් දැනුණා. එතුමන් අවුරුදු 75දී ගැයූ ‘ගිමන්හරින’ ගීතය ගායනා කරන ආකාරයෙන් අවුරුදු 25 - 30 තරුණයෙක් ඉස්මතු වුණා. භාවාත්මක තාරුණ්‍යයේ භාවය (sole) ‘ගිමන්හරින’ ගීතය තුළ අසීමිතව ගැබ්වුණා. එතුමාගේ හදවත වියපත් වුණේ නැහැ.

 

කිසිවෙකුටත් අපහාස නොකළ ගාන්ධර්වයා භාතිය ජයකොඩි

අමරදේව මහත්මයාගේ අවසන් කාලෙදි සන්තුෂ් හා මම එතුමාව ළඟින් ඇසුරු කළා. අපි සමඟ එතුමා ගීත කීපයක් හැදුවා.

අන්තිම ගීතය හදද්දි තමයි අන්ත්‍රා වුණේ. එතුමා කාටවත් අපහාස කළේ නැහැ. ශාස්ත්‍රීය කියන සමහරු අනුන්ට අපහාස කරනවා. අමරදේවයන් එහෙම නෙමෙයි. කරන දේ ඉස්තරම්.

 

ලාංකේය සංගීතයේ ඉසිවරයාණෝ ලක්ෂ්මන් විජේසේකර

සංගීතය පැත්තෙන් ඉසිවරයෙක්. ඒ වගේ කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්. තරුණ පිරිසක් වුණත් කවුරුන් වුණත් දෙයක් කළොත් අගය කරනවා. පණ්ඩිතයෙක් වී කරලක් වගේ නැමෙන්න ඕනෑ. ලංකාවේ සරල සංගීතය අවබෝධ කරගෙන ලංකාවට අනන්‍ය වූ ගීත කලාවට පුරෝගාමී වූ ගුරුවරයෙක්. එතුමා වගේ කෙනෙක් ආයේ බිහිවෙයිද කියන්න බැහැ. එතුමා පණ්ඩිත අමරදේවයන්ම තමයි.

 

අමරදේවයන් හැදෑරීමට ඉඩ සැලසිය යුතුයි නවරත්න ගමගේ

මගේ සංගීත ජීවිතයේ මූලික අඩිතාලම දැමුවේ ඔහුයි. ‘ලෝමහංස’ නාට්‍යයට මාව තෝරාගන්න කියලා මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට කීවෙ අමරදේව මහත්මයයි. භවකඩතුරාවටත් ගියේ ඒ විදිහට.

සංගීත ඥානය නිර්මාණාත්මක භාවය දැනුම ලබාගන්න ඔහු තුළ තිබූ සුවිශේෂ ගුණය තුළින් තමයි ඔහුගේ කලාකාමී බව දිස්වෙන්නේ. විශාල පරම්පරා ගණනක වැඩ කිරීමේ නියමුවා ඔහුයි.

මා සමඟ ඇසුරුකම් පැවතුණ ඔහු හැම තිස්සෙම කියූ දෙයක් තමයි සංගීත සම්ප්‍රදායේ ආභාසය ලබන්න බටහිර, ‍අපරදිග, ජන සංගීත, නාඩගම්, න්‍යාය පත්‍ර තව තවත් ඇසුරු කළ යුතුයි කියලා.

එතුමා මාව තේරුම් අරගෙන මට මග පෙන්නුවා. අමරදේවයන්ගේ නිර්මාණ රටාව පාසල් පද්ධතියට ඇතුළු කළ යුතුයි. චිත්‍රපට, වේදිකා නාට්‍යය විශේෂයෙන් ගුවන් විදුලි නාට්‍ය කලාව තුළින් අමරදේවයන්ගේ හඬ ඉදිරියට ගත හැකියි.

 

ඒ හඬට සමාන වීම වාසනාවක් අසංක ප්‍රියමන්ත පීරිස්

පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතවලට ආසා කළා. විද්‍යාලයීය කලා උලෙළට අමරදේවයන්ගේ ගීත ගැයුවා. මොරටුව වේල්ස් කුමර විදුහලේ කලා උලෙළට අම‍රදේවයන් එද්දි මා තණ්හා ආශා ගීතය ගයනවා. එතුමා හිතලා තියෙන්නේ එතුමාගේ කැසට් පටයක් දාලා කියලා.

මා එතුමා සමඟ ජපානයේ ගියා පණ්ඩිත උපහාර උලෙළට. ම‍නෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සමඟ අපි ගීත 2 බැගින් ගැයුවා. එවන් කලාකරුවෙක් නැවත බිහිවෙයි කියලා හිතන්න බැහැ. එතුමා නිහතමානියි. ලංකාවට අහිමිවීම විශාල පාඩුවක්.

‍ හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි. ඔබ මිය ගියද රසික හදවත් තුළ සදානුස්මරණීයයි.

Comments