අමරදේවයන් සතුවූ සාහිත්‍ය දැනුම කිසිවකුට සම කළ නොහැකියි | Page 2 | සිළුමිණ

අමරදේවයන් සතුවූ සාහිත්‍ය දැනුම කිසිවකුට සම කළ නොහැකියි

‘අමර ගීයේ’ සාහිත්‍යමය ගුණ වරුණ

ඇත්තටම  කුමාරතුංග  මුනිදාසයන්ගේ  සාහිත්‍යය ඔහුගේ වියරණවලින්  ආවරණය වුණා.  එදිරිවීර  සරත්චන්ද්‍රයන් හා  කුමාරතුංග  මුනිදාසයන් ප්‍රතිපක්ෂ  පුද්ගලයන්  දෙදෙනෙක්. ඔවුන්ගේ නිර්මාණ, භාෂාත්මක හා සාහිත්‍යමය  වැඩකටයුතු  සියල්ලේදීම ඔවුන් දැරුවේ එකිනෙකට ප්‍රතිපක්ෂ මත.  ඒත් අමරදේවයන් මේ දෙදෙනාගේම ඇසුර ලැබීමට තරම්  භාග්‍යවන්ත වුණා.

ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ පිය පදවිය උසුලන, හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන්, ලාංකේය රසික හද මනසෙහි අමරණීය අමර ස්වරයක් වී අවසන්ය. අමර සර සජීවීව දෙසවනට නොඇසුණද අමරස්වර සදා කාලයෙන් සදාකාලයට ජීවමානය.  අමරදේවයන් දිවි මියැසියෙන් නික්මී තෙවසරක් ගතවන මොහොතේ අමර ගීයෙහි සාහිත්‍ය රස ගුණ සොයා අපි යෙදුණු සෞන්දර්ය චාරිකාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ සිදු කළ සුහද පිළිසඳරකි මේ.  අමරදේවයන්ගේ ගීත සාහිත්‍යය කෙරෙහි සිංහල සාහිත්‍යය සිදු කළ බලපෑම ඔබතුමා දකින්නේ කොහොමද?

සිංහල සංගීත ඉතිහාසයේ සිංහල සාහිත්‍යයත් සමඟ වැඩිපුරම ගනුදෙනු කළ සංගීතඥයා වශයෙන් අමරදේවයන් හැඳින්විය හැකිය. ලංකාවේ බිහිවුණ විශිෂ්ටතම සංගීතඥයන් තිදෙනාටම තමන්ගේ සංගීත නිර්මාණ කෙරෙහි සාහිත්‍යමය පදනමක් තිබුණා. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත සහ ඩබ්ලිව්. ඩී. අමරදේවයන්. ආනන්ද සමරකෝන් තමන්ගේ ගීත තමන් විසින් ම රචනා කර ගායනා කළා. ඒ ගීත ඉතා හරවත් සාහිත්‍යමය හා භාෂාත්මක ගුණයක් ඇති ගීත. ඒ වගේම සුනිල් සාන්ත ඔහුගේ සාහිත්‍යමය හැකියාව තම නිර්මාණවලින් පෙන්නුම් කළා. ඔහු සංගීතයට සාහිත්‍යමය වටිනාකමක් එක් කළා. ආනන්ද සමරකෝන් සමඟ සුනිල් සාන්ත සාහිත්‍යයේ හා සංගීතයේ සුසංයෝගයක් ඇති කරනවා. මේ යුගයේ තමයි අමරදේවයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ. ඒ යුගයේ ගීත නිර්මාණවලට වඩා තනු සඳහා පද රචනා නිර්මාණය කිරීමයි සිදු කළේ. නාඩගම්, නූර්ති නාට්‍ය යුගවල මෙය සිදු කළා. මුල් වතාවට පද රචනාවකට තනු යෙදීමේ කාර්යය සිදු කළේ ආනන්ද සමරකෝන්. ඉන් පසු අමරදේවයන් සුනිල් සාන්තයන්ගේ, ආනන්ද සමරකෝන්ගේ විශිෂ්ට පද රචනාවලට තනු නිර්මාණය සිදු කළා.

ඇත්තටම අමරදේවයන්ගේ සංගීත ජීවිතය යුගවලට බෙදුවොත් ඔහුගේ සංගීතමය එළඹුමට වඩා සාහිත්‍යමය එළඹුම අනුව තමයි එය වර්ග කරන්න පුළුවන්. එක් එක් යුගවල විශිෂ්ට සාහිත්‍යධරයන් ඇසුරේ තමයි ඔහුගේ නිර්මාණ පෝෂණය වෙන්නේ. ඔහුගේ සංගීත ජීවිතයේ ඔහුට ප්‍රථමයෙන් ම මුණගැහුණු විශිෂ්ට සාහිත්‍යධරයා වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. මුලින්ම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන විට ඔහු තනු නිර්මාණය කරමින් ගායනා කරන්නේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ හරවත්, අලංකාර සාහිත්‍යමය නිර්මාණ. අමරදේවයන් ප්‍රථමයෙන් ම පුවත්පතක පළ වුණු චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ “ගලක කෙටුණු පිළිම ඇසේ” කියන නිර්මාණය තමයි ගායනා කරන්නේ. ඒ වගේම මුල් කාලයේ මහබෝ වන්නම වැනි විශිෂ්ට පද රචනා අමරදේවයන් විසින් තනු යොදා ගායනා කළා. ගායනය කිරීමට තනුවක් යෙදීමට සුදුසු නිර්මාණ මේ සාහිත්‍යධරයන්ගේ නිර්මාණ අතරින් සාහිත්‍යමය ගුණයෙන් විශිෂ්ට පද රචනා තෝරා ගැනීමට අමරදේවයන්ට තිබුණු සාහිත්‍යමය හැකියාව විශේෂයි.

අමරදේවයන්ගේ සංගීත ජීවිතයේ කඩඉම නැතිනම් හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙන්නේ මහගමසේකරයන් සමඟ නිර්මාණකරණයේ නිරත වූ සමයයි. අමරදේව - මහගමසේකර සුසංයෝගය ඔහුගේ සංගීත ජීවිතයේ විශාල ප්‍රබෝධයක් ඇති කළා. ගුවන් විදුලියේ මධුවන්ති වැඩසටහනින් මහගමසේක‍රගේ හරවත් පදමාලා, අමරදේවයන්ගේ රසවත් තනුවලට ගායනා කළා. ඇත්තටම ඒ පද රචනා තනුවෙන් වෙන් කරලා හඳුනාගන්න බැරි තරම් ඓන්ද්‍රීය ලෙස බැඳී තිබුණා. පද මාලාවේ අර්ථය, රසය කෙරෙහි සංගීතයේ රිද්මය හොඳින් ම ගැළපුණා. ඔහු වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය කලාව තුළත් තමන්ගේ නිර්මාණ හැකියාව පෙන්නුම් කළා. චිත්‍රසේනයන්ගේ කරදිය, නළ දමයන්ති වැනි මුද්‍රා නාට්‍ය එයට හොඳම උදාහරණ. ඒ වගේම නාට්‍ය කලාව තුළත් සේකර - අමරදේව සුසංයෝගය හරි අපූරුවට ගැළපෙනවා. සිංහල ගීතාවලියේ විශිෂ්ටතම ගීතයක් වුණ “ඈත කඳුකර හිමවු අරණේ” ගීතය නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීතයක්. ඒ වගේම සිනමාව තුළදීත් මහගමසේකර - අමරදේව සුසංයෝගය හරි අපූරුවට ගැළපුණා. අමරදේවයන්ගේ චිත්‍රපට ගීත කෙරෙහි අවධානය යොමු කළොත්, ඒ ගීත සියල්ලම පසුපස ඉන්නේ සේකරයන්. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ “හාරිච්චි බෝරිච්චි” ගීතය එවැනි ගීතයක්. චිත්‍රපටයේ ඒ අවස්ථාවට හා නිරූපණයට උචිත පදමාලාව රචනා කිරීමට මහගමසේකරයන් සමත් වෙනවා. ඒ වගේම ‘සාරවිට’ චිත්‍රපටයේ “සිරි සාර බුලත් විට කාලා බලන්” ගීතය හා තනුව “ආදරයයි - කරුණාවයි” චිත්‍රපටයේ “ගලන දොළේ පිනිබිඳුවයි ආදරේ” වැනි ගීත ගැන සඳහන් කළ යුතුයි.

මහගමසේකරයන්ගෙන් පසුව අමරදේවයන්ගේ නිර්මාණ කෙරෙහි සාහිත්‍යමය හෙවණැල්ල ව‍ැටෙන්නේ මඩවල එස්. රත්නායකගෙන්. ගුවන් විදුලියේ “ටිකිරිලියා” වැඩසටහනින් ජන ගීතය තුළින් සිංහල සංගීතයක් නිර්මාණය කරන්න මඩවල එස්. රත්නායකයන් සහ අමරදේවයන් උත්සාහ කළා. ඒ වගේම ගුවන් විදුලි සරල ගී වැඩසටහන් තුළ මින්දද හී සර වැනි ගීත අමරදේවයන් තනු නිර්මාණය කරමින් ගායනා කළා. ඒ වගේම නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ “මහද නීල ගගන තලේ” ගීතය වගේම සිනමා සංගීතය තුළ “සිහින සතක් මැද විමනක් සැදුණයි” ගීතය මඩවල එස්. රත්නායකයන්ගේ හා අමරදේයන්ගේ අපූර්ව භාවාත්මක හා විශිෂ්ට සාහිත්‍ය ගීත නිර්මාණ.

අමරදේවයන්ගේ සංගීත ජීවිතයේ මීළඟ සාහිත්‍යධරයා බවට පත්වෙන්නෙ ඩෝල්ටන් අල්විස්. ගුවන් විදුලියේ විජය ගීත වැඩසටහන තුළින් ඩෝල්ටන්ගේ පද රචනා කෙරෙහි අමරදේවයන්ගේ තනුව හා හඬ මුසුවුණා. ‘නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි’ වැනි ගීත නන්දා මාලිනිය ගායනා කරන ‘උඩඟු ලියන් ගොතා බඳින’ වැනි ගීත සිංහල සංගීතයට එකතු වෙන්නෙ මේ සුසංයෝගයෙන්. ‍

මේ සාහිත්‍යධරයන්ට අමතරව අමරදේවයන්ගේ නිර්මාණ කෙරෙහි සම්බන්ධ වුණ තවත් සාහිත්‍යධරයන් ගැන මතක් කළොත්?

ඔව්, ඇත්තටම ප්‍රධාන වශයෙන් අමරදේවයන්ගේ නිර්මාණවලට පාදක වෙන ඉහත පිරිසට අමතරව විමල් අබේසුන්දර, අරීසෙන් අහුබුදු, රත්න ශ්‍රී විජේසිංහ වැනි සාහිත්‍යධරයන් අමරදේවයන්ගේ නිර්මාණ පසුපස හිටියා. අමරදේවයන්ගේ සමස්ත ගීතාවලිය තුළ කුලරත්න ආරියවංශයන්ගේ “පාවෙලා නිල්වලාවේ” ගීතය. කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ගේ “කුමරියක පා සලඹ සැලුණා”, “කබාය ඉරිලා ඊට කමක් නැහැ” වැනි ගීත ලූෂන් බුලත්සිංහලයන්ගේ “කොළොම්තොට නැත මහලු වී” වැනි ගීත විශේෂයි. මෑත කාලීනව රත්න ශ්‍රී විජේසිංහයන්ගේ “සුදු නෙළුම කෝ සොරබොර වැවේ” වැනි ගීත තුළින් අමරදේවයන් සිය සංගීත නිර්මාණ තුළ ඇති විශිෂ්ටත්වය රසාලිප්ත බව පෙන්නුම් කළා පමණක් නොවේ එකී සංගීතයට උචිත සාහිත්‍යමය වටිනාකමක් ඒ පද රචනා තුළ අන්තර්ගත වුණා. විශේෂයෙන් ම අමරදේවයන් ඉතා වාසනාවන්ත සංගීතඥයෙක්. ඔහුට කුමාරතුංග මුනිදාසයන් හා එදිරිවීර සරත්චන්ද්‍රයන් යන මහා සාහිත්‍යධරයන් දෙදෙනාගේම ආභාසය ලැබුණා. ඇත්තටම කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍යය ඔහුගේ වියරණවලින් ආවරණය වුණා. එදිරිවීර සරත්චන්ද්‍රයන් හා කුමාරතුංග මුනිදාසයන් ප්‍රතිපක්ෂ පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන්ගේ නිර්මාණ, භාෂාත්මක හා සාහිත්‍යමය වැඩකටයුතු සියල්ලේදීම ඔවුන් දැරුවේ එකිනෙකට ප්‍රතිපක්ෂ මත. ඒත් අමරදේවයන් මේ දෙදෙනාගේම ඇසුර ලැබීමට තරම් භාග්‍යවන්ත වුණා.

අමරදේවයන්ගෙ ගීත නිර්මාණ අතරින් විශිෂ්ටතම සාහිත්‍යමය ගුණයක් තිබෙන නිර්මාණ කිහිපයක් ගැන සඳහන් කළොත්?

ඇත්තටම අමරදේව ගීතාවලියේ ගීත අතරින් “සන්නාලියනේ” ගීතය විශිෂ්ට නිර්මාණයක්. ජීවිතයේ උපත, විවාහය, මරණය යන විශේෂ අවස්ථා තුනම ප්‍රකාශ වන ගීතයක්. මෙහිදී අමරදේවයන්ගේ තනුව හා ගායනය ඉතාමත් විශිෂ්ටයි. මෙම අවස්ථා තුන තුන් ආකාරයක හැඟීම්, අවස්ථාවන් ප්‍රකාශ කරන්නේ. නමුත් අමරදේවයන් එකම තනුවෙන් මේ ගීතය සමබරව, රසවත්ව නිර්මාණ කරන ආකාරය වැදගත් නව නළු රසයෙන්. ඒ අවස්ථා තුනේදීම කරුණා රසය ජනිත වෙනවා. සන්නාලියනේ හොඳ නිර්මාණයක් වෙන්නෙ ඒ නිසා. ඒ වගේම “පටු අදහස් නම් පවුරින් ලෝකය” යන ගීතයත් වැදගත්. අදටත් අදහාගන්නට බැහැ අපිට ඒ තරම් ගැඹුරු අදහසක් තිබෙන පද වැලකට තනුවක් කොහොම නිර්මාණය කළා ද කියලා. ඒ වගේම ඒ ගීත පොදු ජනතාව අතර අදටත් ජනප්‍රියයි. මඩවල එස්. රත්නායකයන් විසින් රචනා කළ ‘මින්දද හී සර’ ගීතය ප්‍රේමය, ශෘංගාරය විචිත්‍රවත් ලෙස චිත්‍රණය කරනවා. ඒ වගේම ඒ ගීතයේ තනුව හා ගායනය අමරදේවයන් ඉදිරිපත් කරන්නෙ රසිකයා ධ්‍යානගත කරමින්. වචනයේ ගැඹුර පද මිහිර ඉතා විශිෂ්ටයි.

‍ඩෝල්ටන් අල්විස්ගේ “උඩඟු ලියන් ගොතා බඳින” ගීතයත් අමරදේවයන්ගේ විශිෂ්ට තනුවක්. නන්දා මාලිනිය ගායනා කරන මේ ගීතය සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් නොවන කෙනෙක් ගීතයක් සඳහා තෝරා ගන්නේ නැහැ. එහි ගැඹුරු පදරුත් සමඟ මනාව සුසංයෝග වන සංගීතය ඉතාමත් විශිෂ්ටයි. විශේෂම කාරණය ඒ ගීත ජනප්‍රිය වෙනවා. ජනතාව අතර තවම ඒ ජනප්‍රියත්වය රැඳී තිබෙනවා. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ “සුදු නෙළුම කෝ සොරබොර වැවේ” ගීතයත් එවැනි ගීතයක්. දැරියකගේ මරණය වස්තු විෂය කොටගෙන රචනා වන මේ ගීතය තනුව හා රිද්මය සමඟ මනාව ගැලපීම නිසා ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වෙනවා. එහි තිබෙන සාහිත්‍යමය ගුණය නිසාම ඒ ගීතයේ වටිනාකම ඉහළයි. අමරදේවයන් අභාවප්‍රාප්ත වන තුරුම සිව් වසරක් අඛණ්ඩව ජනතා සම්මාන දිනා ගන්නවා. ඔහුගේ ජනප්‍රියත්වය සදාකාලිකයි. ඒ ජනප්‍රියත්වය උදෙසා ඔහුගේ ගීත හේතු වුණා. ඒ වගේම අරීසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත “ගිලෙම් ඔබේ ගුණ මූදේ” වැනි ගීතවලත් ඒ සාහිත්‍යමය ගුණය හොඳින්ම පේනවා.

නූතන පරම්පරාවට අමරදේවයන්ගෙන් ලැබිය හැකි පූර්වාදර්ශය විශාලයි. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස?

නූතන පරම්පරාව සමස්තයක් විදියට “අමරදේව” කියන චරිතය නොදන්නා තරම්. අම‍රදේවයන් පූර්වාදර්ශයට ගැනීමට නම් ඔහු හැදෑරිය යුතුයි; අධ්‍යයනය කළ යුතුයි. එහෙත් අමරදේව අධ්‍යයනය කරන බවක් වර්තමාන පරම්පරාවෙන් දැකගන්න බැහැ. අරුතක් නැති පදවැලකට රූප රචනයක් කරලා සමාජජාලයකට මුදා හැරීම තමයි ඔවුන්ගේ එකම හීනය. අමර‍ෙද්ව ජනප්‍රිය වුණේ මිනිසුන් අතර. නමුත් වර්තමාන පරම්පරාව ජනප්‍රියත්වය හොයන්නෙ වෙනම තැනකින්. අමරදේවයන්ගේ ආභාසය ලැබුණ අවසන් පරම්පරාවේ සාමාජිකයො තමයි සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ සමඟ ජානක වික්‍රමසිංහ වැනි අය. නමුත් වර්තමානයේ සංගිත ක්ෂේත්‍රයේ අමරදේවයන්ගේ ආභාසය ලබන කිසිවෙක් දැකගත නොහැකියි. කනගාටුවට කරුණත් එයමයි.

අමරදේවයන්ගේ අවසන් ගීතය “බලා වැලපෙමි” ගීතය පිළිබඳ යමක් අවසන් වශයෙන් දැනගන්න කැමතියි.

උමාරියා සිංහවංශත් සමඟ ගායනා කරන අමරදේවයන්ගේ අවසාන ගීතය අතිශය වැදගත්. ඇත්තටම අමරදේවයන්ට තමන්ගේ අනුප්‍රාප්තිකයන් සමඟ ඕනෑම කාලයකට සරිලන පරිදි ගැළපීමේ, මුසු වීමේ හැකියාව තිබුණා. ඔහු පළමුවෙන්ම යුග ගීතයක් ගායනා කරන්නෙ සිරිමතී වෙත්තසිංහ සමඟ. ඒ “රසයි කිරියි නෑ දියාරු” යන ගීතය. අමරදේවයන් ඒ ගායන පෞරුෂයම නූතන පරම්පරාවේ උමාරියා සිංහවංශ සමගිනුත් ඔප්පු කරනවා. අමරදේවයන්ට හොඳ ඉවක් තියෙනවා දක්ෂතාව ගැන. ඔහු නිහතමානී සංගීතඥයෙක්. උමාරියාගේ දක්ෂතාව සමඟ ඒකාත්මික වන්නට ඔහු තීරණය කළේ ඒ නිසා විය යුතුයි.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ මහා ප්‍රතාපවත් පෞරුෂය හිමි අමරදේවයන්ට සංගීතය මෙන්ම සාහිත්‍යය පිළිබඳව ද හසළ දැනුමක් තිබිණි. ඔහුගේ ඒ සාහිත්‍ය සෙවණැල්ලට විශිෂ්ට සාහිත්‍යධරයන්ගේ ඇසුර, ඔහු සතු භාෂා ඥානය හා රස වින්දන ශක්තිය ප්‍රබල සාධකයක් විය. නාද සිත්තම් වැනි කෘති රචනා කිරීමෙන් ඒ පිළිබඳව නිදසුන් සපයා ගත හැකිය. අමරදේව ගීතාවලියේ සාහිත්‍යය රසය සොයා ගිය සෞන්දර්ය චාරිකාවට මෙසේ මඳ විරාමයක් තබන්නේ අමරණීය අමර සර යුග යුග රැව් දේවා යන පැතුම සමඟිනි.

ඡායාරූප - දයාන් විතාරණ

Comments