අලුත් ඡන්ද ලක්ෂ පහ­ළොව තව­මත් තීන්දු­වක් අරන් නෑ | සිළුමිණ

අලුත් ඡන්ද ලක්ෂ පහ­ළොව තව­මත් තීන්දු­වක් අරන් නෑ

වසර පන­හ­කට අධික කාල­යක් ලාංකේය දේශ­පා­ල­නයේ සක්‍රී­යව නිර­තව සිටින ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණ­සේ­කර මධ්‍යස්ථ මත­ධා­රි­යෙකු ලෙස ප්‍රක­ටව සිටී. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කඳ­වුරේ පක්ෂ­යක් වන ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේක­ම්ව­රයා නොබෝ දින­කින් පව­ත්වන ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බ­ඳව සිළු­මිණ සමඟ කළ සම්මුඛ සාක­ච්ඡා­වයි මේ.

 ■ ඔබ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය දෙස බලන්නෙ කුම­නා­කා­ර­යෙන් ද?

නිද­හ­සින් පසු පව­ත්වන තීර­ණා­ත්මක සහ වැද­ගත් මැති­ව­ර­ණ­යක් මේ. රාජ්‍ය බලය මාරු වෙන­වාද නැද්ද යන්න තීන්දු කරන මේ මැති­ව­ර­ණය පෙර තිබූ මැති­ව­ර­ණ­ව­ලට සාපේ­ක්ෂව වඩාත්ම වැද­ගත් වේයැයි මං හිතන්නෙ. නිද­හ­සින් පසු අද තරම් ගැඹුරු ආර්ථික අර්බු­ද­යක් තිබෙන අව­ස්ථා­වක් මීට පෙර තිබුණේ නෑ. දැන් රට ගොඩ­න­ඟ­න්නට පෙර ගොඩ­ගැ­නී­මට සිදු­වෙලා තියෙන්නෙ.

රට ණය උගු­ලක හිර­වෙලා සිටින්නෙ. විදේශ ණය ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 55යි. දේශීය ණය ට්‍රිලි­යන් 13යි. රජය ණය අර­ගෙන ණය ගෙව­නවා. බණ්ඩා­ර­නා­යක මැති­නිය ජේ.ආර්.ට 78 රට බාර දෙන විට රාජ්‍ය ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 24%යි. අද එය 10%යි 12%යි. හරි අඩක්ම අඩු වෙලා. මේ දළ දේශීය නිෂ්පා­දි­තය පිට­ර­ට­ව­ලින් ගත් ණය ප්‍රමා­ණයේ වාරි­කය ගෙවී­මට පම­ණයි ප්‍රමා­ණ­වත්.

දහ­හ­තර ලක්ෂ­යක් වන රජයේ සේව­ක­යන්ට ලක්ෂ පහක් සිටින විශ්‍රා­මි­ක­යන්ට පඩි-නඩි ගෙව­න්නත් සල්ලි නෑ. නිද­හස් අධ්‍යා­ප­නය, සෞඛ්‍යය වගේම සංව­ර්ධ­න­යට ආදි සෑම දේක­ටම මුදල් නෑ.

අපේ ජාතික ආදා­ය­මෙන් සිය­යට 55ක් ලැබෙන්නෙ ඉහ­ළම පන්තියෙ සිය­යට 20ක ප්‍රමා­ණ­ය­ටයි. පහ­ළම ස්ථරයේ සිටින 20%කට ලැබෙන්නෙ 4%යි. මැද සිටින 60%ටම ලැබෙන්නෙ ඉතිරි කොටස, ඒ කියන්නෙ 41%යි.

ඒ නිසා රාජ්‍ය නාය­කයා තෝරා­ගැ­නී­මේදී මෙන්න මේ ආර්ථික ගැට­ලු­ව­ලට විස­ඳුම් දෙමින් රට ගොඩ­ගන්න පුළු­වන් කෙනෙක් පත් කර­ගත යුතුයි. ඒ නාය­ක­යාට හොඳ දැක්මක් තිබිය යුතුයි වගේම සංව­ර්ධන උපාය මාර්ග පිළි­බඳ පැහැ­දිලි අව­බෝ­ධ­යක් තිබිය යුතුයි.

ඒ වගේම සංව­ර්ධන උපාය මාර්ග­යන්ට අදාළ වන ප්‍රති­පත්ති තේරුම් ගැනීමේ හැකි­යාව තිබිය යුතුයි. ආර්ථික කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීම, කාර්ය­ක්ෂ­මතා පිළි­බඳ දැක්මක් අව­බෝ­ධ­යක් තිබෙන්න ඕනැ. එසේම දක්ෂ කණ්ඩා­ය­මක් වගේම යාන්ත්‍ර­ණ­යක් අනි­වා­ර්යයි. ඒ වගේම ගෝලීය වශ­යෙන් අභි­යෝග රැසක් හමු­වෙයි මේ මැති­ව­ර­ණය පව­ත්වන්නෙ. එහි ප්‍රමු­ඛ­තම දේ, මිනිස් සංහ­ති­ය­ටම බල­පාන ගෝලීය උෂ්ණ­ත්වය. අද ලෝක­ය­ටම මහත් බල­පෑ­මක් වෙලා තියෙ­නවා. එම ප්‍රශ්නය දූපත් රාජ්‍ය­යක් වන අපට විශාල ලෙස බල­පා­නවා.

ඊට අම­ත­රව සර­ණා­ගත ප්‍රශ්න, මූල්‍ය අර්බු­දය ලෝක­ය­ටම බලපා තිබෙ­නවා. ලෝකයේ ප්‍රබ­ලම රට­වල් අතර වෙළෙඳ යුද්ධ ආරම්භ වෙලා‍. මෙන්න මේ ප්‍රශ්න ගැන අව­බෝ­ධ­යක්, දැක්මක් තියෙන කෙනෙක් තමයි අද රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ. එම නිසා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් එවැනි ප්‍රශ්න තේරු­ම්ගන්නා කෙනෙක් ජන­තාව විසින් පත් කර­ගත යුතුයි.

 ■ මෙවර මැති­ව­ර­ණ­යේදී ඡන්ද­දා­ය­ක­යාගේ හැසි­රීම කෙබඳු වේද?

පාවෙන ඡන්ද විශාල ප්‍රමා­ණ­යක් තියෙ­නවා. අලුත් ඡන්ද ලක්ෂ පහ­ළො­වක් පමණ තියෙ­නවා. මං පෞද්ග­ලි­කව සොයා බැලුවා අලුත් ඡන්ද­දා­යක තරුණ තරු­ණි­යන් බොහෝ දෙනෙක් තවම තීර­ණය කරලා නෑ කාටද ඡන්දෙ දෙන්නෙ කියා. මේ මැති­ව­ර­ණ­යේදී එම ඡන්ද­දා­ය­ක­යන්ගේ ඡන්දය තීර­ණා­ත්මක වෙයි කියා සිත­නවා. ඔවුන් සම­හ­ර­විට ඡන්ද­පො­ළට ගිහි­ල්ලම තීන්දු ගනියි.

 ■ පැවැති අව­සන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබ එව­කට රජයේ ඇමැ­ති­ව­ර­යෙකු ලෙස හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ජය­ග්‍ර­හ­ණය කිරී­මට නොහැකි බවට ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් කළා. එදා එවැනි ප්‍රකා­ශ­යක් කළේ කුමන පද­න­ම­කින් ද?

2014 ජූලි මස 01 වැනිදා පක්ෂ නාය­ක­යන්ගේ රැස්වීම අව­ස්ථා­වේ­දීයි මං ඒ දේ කීවේ. මහින්ද ජනා­ධි­ප­ති­තුමා එදා ඉක්ම­නින්ම ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට යා යුතුයි කීවා. එත­කොට එතු­මාට තවත් අවු­රුදු දෙකක කාල­යක් තිබුණා. මං ඒ මොහො­තේම පැවැ­සුවා, ඡන්ද­යට යන්න එපා... දිනන්න බෑ... කියලා. ඒ සඳහා කරුණු රැසක් ගැනම සඳ­හන් කළා.

 ■ මොන­වද ඒ...?

හැම මැති­ව­ර­ණ­ය­ක­දීම බල­පාන ප්‍රධාන සාධ­ක­යක් තියෙ­නවා, පව­තින රජ­යට විරුද්ධ සමා­ජය සිය­යට ගණ­නක් ඇති වෙනවා. ඒ කල­කි­රුණු පිරිස. ඒ ප්‍රති­ශ­තය වැඩි වෙලා තිබුණේ. ඊට පසුව, සුළු­තර ඡන්දය. සිය­යට 30ක් සුළු­තර ඡන්ද. එම පිරිස දිනා­ගත්තෙ නෑ. යුද්ධය අව­සන් කොට විශාල වැඩ කොට­සක් කළා. නමුත් ජන­තාව දිනා­ගන්න කරන්න පුළු­වන් වැඩ කොට­සක් තිබුණා. ඒ දේවල් වුණේ නෑ. එත­කොට සිංහල බෞද්ධ ඡන්ද­ව­ලින් පම­ණක් දිනන්න බෑ. එතැන හිටපු සම­හරු තර්ක කළා. මං ඒ අයට සත්‍ය බොහෝම පැහැ­දි­ලිව පෙන්නුවා. අන්ති­මට මහින්ද ජනා­ධි­ප­ති­තුමා පැර­දුණා. පැර­දිලා ඔහු මුලින්ම ආවේ මගේ ගෙද­රට. ‘ඔබ එදා පක්ෂ නායක රැස්වී­මේදී කීව දේවල් පිළි­ගත්තෙ නෑ. නමුත් ඒ සියලු කාරණා පැහැ­දි­ලිව ඔප්පු වුණා‘ කියලා ගියා.

 ■ ඔබ, ඔය කියන කාරණා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට බල­පාන්නෙ නැද්ද?

ඒ කී දේවල් අදට ගැළ­පෙන්නෙ නෑ. එදා මහින්ද රාජ­පක්ෂ හිටියේ ආණ්ඩු බලයේ. මෙදා සැරේ සජිත් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සිටින්නෙ රාජ්‍ය බලයේ. මැති­ව­රණ සම­ය­කදි සිටින පව­තින රජ­යට විරුද්ධ සමා­ජය මෙදා සිටින්නෙ සජිත්ට. සජිත් ඔවුන්ගේ රජ­යෙන් වූ යම් යම් දේවල් ගැන විවේ­චන කර­නවා තමයි. කොහො­ම­හරි පහු­ගිය අවු­රුදු පහ තුළ රටට කිසිදු දෙයක් වුණේ නැති බව පිළි­ගන්න වෙනවා. නිෂ්පා­දන, වෙළෙ­ඳ­පොළ ආර්ථි­කය කඩා වැටිලා.

 ■ සිය­යට තිහක් පමණ වන සුළු ජාතීන්ගේ ඡන්ද නොස­ලකා හැර සිංහල බෞද්ධ ඡන්ද පද­නම මත ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත නොහැ­කියි නේද?

ජාති­වා­දය මොන තරම් ඇවි­ස්සු­වත්, ඒ දේවල් ගැන මිනිස්සු එත­රම් හිතන්නෙ නෑ. මොකද ඒ සෑම කරු­ණක්ම ආර්ථික කරු­ණු­ව­ලට යටයි. ඒ වගේම මුස්ලිම් ජන­යාගේ ඡන්ද පාස්කු ප්‍රහා­රය නිසා ගෝඨා­භ­යට පාවිච්චි වීම වැඩි වෙයි කියා හිත­නවා. මොකද මුස්ලි­ම්ව­රුන් බොහෝ දෙනෙකු ජීවත් වන්නෙ සිංහල ජන­තා­වත් සමඟ එක්වයි. මේ මොහො‍තේ ඔවුන් කල්පනා කර­නවා තමන්ගේ ආර­ක්ෂාව සඳහා සිංහල ජන­තා­වත් සමඟ එකට සිටිය යුතුයි කියා. දකුණේ සියලු මුස්ලිම් ජනයා සිංහල ජන­තා­වත් සමඟ බොහෝම සම­ඟි­වයි සිටින්නෙ. හැබැයි අන්ත­වාදි සුළු මුස්ලිම් පිරි­සක් සිටි­නවා.

අයි­එස් නාය­ක­යාගේ මර­ණ­යත් යම් ආකා­ර­ය­කට මුස්ලිම් ජන­යාගේ ඡන්ද­ව­ලට බල­පා­නවා. ඔහු මිය යෑම පිළි­බඳ මුස්ලිම් ජන­තාව සතුටු වෙනවා. දෙමළ ජන­යාගේ ඡන්දත් ගෝඨා­භ­යට වාසි­දා­යක ලෙස පාවිච්චි වෙන ආකා­ර­යක් පව­තින්නෙ. සිංහල බෞද්ධ පද­නම නොවෙයි මේ මැති­ව­ර­ණ­යේදී සාධ­කය වෙන්නෙ ආණ්ඩු විරෝ­ධ­යයි ආර්ථික අර්බු­ද­යයි.

 ■ මෙරට පැවැති සියලු ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­න්හි­දීම සක්‍රීය දේශ­පා­ල­නයේ නිර­තව සිටි කෙනෙකු ලෙස තවත් සති තුන­කින් පමණ පැවැ­ත්වෙන මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බ­ඳව ඔබ තබන අව­සන් විග්‍ර­හය කෙබඳු ද?

කවුරු ජය­ග්‍ර­හ­ණය කළත් විශාල අභි­යෝග රැස­කට මුහුණ දීමට සිදු වෙනවා. ජන­තාව විඳින පීඩ­න­යෙන් ගල­වා­ගැ­නී­මට කෙටි කාලීන වගේම මධ්‍ය කාලීන විස­ඳුම් ඉක්ම­නින්ම සෙවිය යුතුයි. යාප­නය ප්‍රමුඛ උතුරු පළා‍තේ ගිය­වර අපට ලැබුණේ සිය­යට 15ක් වගේ. මෙවර සිය­යට 20 පන්න­නවා. කොළඹ දිස්ත්‍රි­ක්කය හැම­දාම වගේම මෙව­රත් එජා­ප­යට වාසි වේවි. ගම්පහ ගිය­වර අපි පරා­දයි. මෙවර ගම්පහ අපි ජය ගන්නවා. අපේ ජය­ග්‍ර­හ­ණය රඳා පව­තින්නෙ ගම්පහ සහ කුරු­ණෑ­ගල කියන තීර­ණා­ත්මක දිස්ත්‍රික්ක දෙක මතයි. සම­ස්ත­යක් ලෙස ගත්විට ගෝඨාභය සියයට පනහ පන්නනවා. ප්‍රති­ඵල ගත් විට දෙවැනි මනා­ප­යක් ගැන හිතන්න අව­ශ්‍ය­තා­වක් වෙන්නෙ නෑ. හැබැයි මැති­ව­රණ වේදි­කා­වල කිය­වෙන ආක­ර්ෂ­ණීය ජය­ග්‍ර­හ­ණ­යක් නම් ගෝඨා­භ­යට ලබන්න අමාරු වෙයි.

 ■ මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා අමා­රුවේ දැමූ පිරිස ගෝඨා­භය රාජ­ප­ක්ෂත් ඒ වළ­ටම ඇද දමයි ද?

මං ගෝඨා­භ­යට වගේම සජි­ත්ටත් කිය­නවා වටේ සිටින පිරි­ස­ගෙන් ප්‍රවේ­ශම් වෙන්න කියා. ඔය දෙන්න­ගෙන් කවුරු දිනු­වත් ක්ෂණි­ක­වම ගත යුතු ක්‍රියා­මා­ර්ගය තමයි නුසු­දු­ස්සන් පැත්ත­කට කිරීම. මහින්ද ජනා­ධි­ප­ති­තු­මාට වැර­දුණේ මර්වින් සිල්වලා, සජින් වාස්ලා වගේ අය ළංක­ර­ගත් නිසා. එවැනි පිරිස් තවත් ඉතිරි වෙලා ඉන්නවා. මං දන්නවා ගෝඨා­භය කවුද කියලා... හැබැයි ඒ අයට ගෝඨා­භ­යත් එක්ක නම් සෙල්ලම් කරන්න හම්බ වෙන්නෙ නෑ. බොහෝ දෙනෙක් දැන­ටම බය­වෙලා ඉන්නෙ. ඒ වගේ අය දේශ­පා­ල­න­යෙන් ඉවත් කර දැමිය යුතුයි. ඊළඟ මහ­මැ­ති­ව­ර­ණ­යේදී මොන පැත්තෙ වුණත් කමක් නෑ හොරුන්ට ඡන්දය දෙන්න එපා කියලා මං ප්‍රසි­ද්ධියේ කිය­නවා.

ඡායා­රූ­පය - රුවන් ද සිල්වා

Comments