‍රග්බි ලෝක කුසලානය එංගලන්තයට ද ද. අප්‍රිකාවට ද | සිළුමිණ

‍රග්බි ලෝක කුසලානය එංගලන්තයට ද ද. අප්‍රිකාවට ද

2014 අන්තර්ජාතික රග්බි පාලක මණ්ඩලය කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයයි. එහිදී තරග කළේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි. එහිදී සත්කාරක රට වූයේ නවසීලන්තයයි. මෙම අවසන් මහා තරගය ඉතා තියුණු විය. අවසානයේදී එංගලන්තය කනිෂ්ඨ ලෝක ශුරයෝ වූහ. ඒ ලකුණු 21-20 ක් වශයෙන් ද. අප්‍රිකාව පරදවමිනි.

එම තරගයේදී දකුණු අප්‍රිකානු නායකයා වූයේ ඇන්ධ්‍රේට් පොලාර්ඩ්ය. එංගලන්ත සම නායකත්වය දැරුවේ මාරෝ ඉටෝජිය. ඔවුන් මේ වන විට ජගත් රග්බි ක්‍රීඩාවේ සුපිරිතම තරු යුගලයක් බවට පත් වී සිටිති. එමෙන්ම ඔවුන් දස්කම් අතරත් රැඳී සිටිති. ඊට ආසන්නතම නිදසුන මෙවර රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව තරගවල වීරයින් වූයේත් ඔවුන් නිසාය.

25 හැවිරිදි පොලාර්ඩ් සහ ඉටෝජි වසර 05කට පමණ පසුව යළිත් වතාවක් ලෝක කුසලාන අවසන් මහා තරගයකදී හමුවුහ. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය. එය ඊයේ (02) පැවැත්වීමට නියමිතව තිබුණේ ජපානයේ යෝකොහාමා ජගත් ක්‍රීඩාංගණයේදීය. නැවතත් ලෝක ශූරයෝ වීමට නම් එම අවසන් තරගයේදී මෙම සුපිරි තරු යුගලය දස්කම් අතර අනිවාර්යෙන්ම සිටිය යුතුව තිබිණි. මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය ලකුණු 19-07 කින් පරාජය කරමිනි.

අනෙක් අවසන් පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. එහිදී දකුණු අප්‍රිකාව ලකුණු 19-16 කින් වේල්සය පරාජය කළේය. මෙම අවසන් පූර්ව තරගත් පැවැත්වූයේ යෝකොහාමා ජගත් ක්‍රීඩාංගණයේදීමය. එහිදී එංගලන්ත- නවසීලන්ත තරගය නැරැඹූ පිරිස 68,843 කි. වේල්සය - දකුණු අප්‍රිකාව අතර තරගය 67,750 ක් නැරැඹුහ. එංගලන්තය - නවසීලන්තය අතර තරගය ඇරඹෙන විට ජගත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව නවසීලන්තය ප්‍රථම ස්ථානයේ විය. එංගලන්තයට දෙවැනි ස්ථානයයි. එසේ වුවත් තරගයේ ආරම්භයේ සිටම එංගලන්තය ඉතා විශිෂ්ට ලෙස තරග කළහ.

බොහෝ විචාරකයන්ට අනුව දෙරට අතර රග්බි සංගම් ක්‍රීඩා ඉතිහාසයේ නවසීලන්තයට එරෙහිව එංගලන්තය ක්‍රීඩා කළ හොඳම තරගයත් මෙය වේ. මෙම තරගය එංගලන්තයේ බිලී වුනිපෝලා සහ නවසීලන්තයේ කෝඩි ටේලර්ගේ 50 වැනි ටෙස්ට් තරගත් වුහ. බිලිගේ වැඩිමහල් සො‍හොයුරු මාර්කෝත් මෙම තරගයට ක්‍රීඩා කළේය. මෙම සොහොයුරන් 2015 ලෝක කුසලානයටත් ක්‍රීඩා ක‍ළහ.

නවසීලන්තය හෙවත් ඕල් බ්ලැක්ස් 1987, 2011 සහ 2015 ලෝක ශූරයෝය. ඔවුන් මෙවර උත්සාහ කළේ එය හැට්ට්‍රික් ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමටයි. මෙම තරගයට පෙර ඔවුන් අවසන් වරට ලෝක කුසලාන තරගයක් පරාජය වී තිබුණේ 2007 වසරේදීය. එවර අර්ධ අවසන් තරගයකදී ප්‍රංසය ලකුණු 20- 18 ක ජයක් ලැබීය. ගත වූ කාලය තුළදී නවසීලන්තය පිට පිට ලෝක කුසලාන තරග 18 ක් ජය ගෙන තිබුණි.

ලෝක කුසලාන තරගයකදී එංගලන්තය විසින් නවසීලන්තය පරාජය කළේ ප්‍රථම වරට මෙවරය. එමෙන්ම නවසීලන්තය හමුවේ එංගලන්තය රග්බි තරගයක් ජය ගත්තේ වසර 07 කට පමණ පසුවයි. 2012 වසරේදී ඔවුන්ට ලකුණු 38 -21 ක ජයකි. එමෙන්ම විදෙස් රටකදී නවසීලන්තය හමුවේ එංගලන්තය තරගයක් ජය ගත්තේ වසර 16 කට පසුවය. 2003 වසරේදී වෙලිංග්ටන් නුවරදී ඔවුන්ට ලකුණු 15 – 13ක ජයකි.

ලෝක කුසලාන තරගයක ප්‍රථම අර්ධයේදී නවසීලන්තයට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට නොහැකි වූයේ වසර 28 කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 1991 තරගාවලියේදී ඔවුන් මෙම අමිහිරි අත්දැකීම ලැබූහ. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ලද ලකුණු 16-06 ක පරාජයේදීය.

එමෙන්ම සමස්ත තරගවලදී නවසීලන්තය ඉහත අත්දැකීම ලැබුවේ වසර 07 කට පමණ පසුවය. 2012 වසරේදී එංගලන්තය 38 - 21ක ජයක් ලැබූ විටත් නවසීලන්තයට ප්‍රථම අර්ධයේදී කිසිඳු ලකුණක්වත් වාර්තා කිරීමට හැකි වූයේ නැත. මෙම ජයත් සමඟම එංගලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ට පත් විය. එවැනි දස්කමක් ඔවුන් අවසන් වරට දක්වා තිබුණේ 2004 වසරේදීය.

මේ පරාජය නිසා නවසීලන්තයට අංක 03 දක්වා පහතට යෑමට සිදුවිය. එය ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දීමෙන් පසුව නවසීලන්තය හිමිකර ගත් පහළතම සම ස්ථානයයි. අනෙක් අවසන් පූර්ව තරගයේදී වේල්සයේ ගාරෙත් ඩේවිස් සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. ඒ අනුව මෙවර ලෝක රග්බි කිරුළ හිමිකර ගන්නේ රතු රෝස කණ්ඩායම නමින් ප්‍රචලිත එංගලන්තය හෝ ස්ප්‍රිංග් බොක්ස් නම පටබැඳී තිබෙන දකුණු අප්‍රිකාව විසිනි. ඔවුන්ගෙන් කවුරුන් වුවත් ලෝක කුසලාන ජයග්‍රහණය ඔවුනට ආගන්තුක නැත.

එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ සිවුවැනි වතාවටයි. මීට පෙර 1991, 2003 සහ 2007 වසරවලදීය. මින් 2003 ලෝක ශූරයෝය. එවර පරාජය වූයේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි. එම අනුශුර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ එඩී ජෝන්ස්ය. 59 හැවිරිදි එඩී මෙවර එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරුවා වීම විශේෂත්වයකි.

එංගලන්තය අනුශූරයෝ වූයේ 1991 සහ 2007 වසරවලදීය. ඒ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව හමුවේදීය. එම 2007 ලෝක ශුරයෝ වන විට එඩී ජෝන්ස් එම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය. මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ 46 හැවිරිදි රැසී ඊරැස්මස්ය. දකුණු අප්‍රිකාව ලෝක ශුරතාව හිමිකර ගත්තේ නම් එය රැසීට අපූරු උපන්දින තෑග්ගක් වනු නියතය. ඒ ඔහුගේ 47 වැනි උපන්දිනය නොවැම්බර් 05 වැනි දිනට යෙදී තිබෙන බැවිනි.

රැසී 1997 – 2001 අතර කාලයේදී අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. එහිදී ඔහුට තරග 36කි. රැස්කර ගත් ලකුණු ගණන 35 කි. ඔහු 1999 වසරේදී ජාතික කණ්ඩායමේ නායකත්වයත් දැරීය. එමෙන්ම එම වසරේදී ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකුත් විය.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර රග්බි ටෙස්ට් තරග පැවැත්වෙන්නේ 1906 වසරේ සිටය. ඒ අනුව මෙවර අවසන් මහා තරගයට පෙර දෙරට අතර පැවැති මුළු ටෙස්ට් තරග ගණන 42කි. එහිදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණ 25කි. එංගලන්තයට ජය 15කි. ජය පරාජයක් නැති තරග 02කි.

දෙරට අවසන් වරට තරග කළේ 2018 වසරේදීය. එම තරගයෙන් එංගලන්තය ඉතා තියුණු ජයක් ලැබීය. ඒ ලකුණු 12- 11ක් වශයෙනි. වෙනත් රටවලදී ඔවුන් තරග 04 කට ක්‍රීඩා කර තිබේ. එහිදීත් දකුණු අප්‍රිකාව ඉදිරියෙන්ය. ඔවුනට ජයග්‍රහණ 03කි. එංගලන්තයට ජයග්‍රහණයකි.

මෙවර අවසන් මහා තරගයට පෙර දෙරට ලෝක කුසලාන තරග සතරකට ක්‍රීඩා කර ඇත. එහිදීත් දකුණු අප්‍රිකාවට ජය 03කි. එංගලන්තයට ජයක් පමණකි. ඔවුන්ගේ ලෝක කුසලාන මුල්ම හමුව 1999 තරගාවලියේදීය. එය අර්ධ අවසන් තරගයකි. ලකුණු 44 – 21 කින් දකුණු අප්‍රිකාවට ජය අත් විය.

2003 තරගාවලියේ මුල් වටයේ තරගයකදී එංගලන්තය ජය ගත්තේ ලකුණු 25 – 06 කිනි. 2007 තරගාවලියේ දී මේ දෙරට අවස්ථා දෙකකදී තරග කළේය. එහිදී ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි. ඒ මුල් වටයේදී ලකුණු 36 – 00 කිනි. එමෙන්ම අවසන් මහා තරගයේදී 15 – 06 කින්ය. ගත වූ කාලයේදී මෙවර අවසන් මහා තරගයට පෙර මේ දෙරට ටෙස්ට් තරග සතරකට ක්‍රීඩා කර තිබේ. එහිදී දෙරටටම ජයග්‍රහණ 02 බැගිනි.

“අවසන් මාස 18 ක කාලය තුළදී අපි එංගලන්තය සමඟ තරග 04ක් තරග කළා. එහිදී දෙපිළටම ජය 2-2 බැගින් හිමි වුණා. ඔවුන් ක්‍රීඩා කරන හැටි අපිට හුරුපුරුදුයි. ඒ නිසාම අපිට අවස්ථාවක් තිබෙනවා කියලා අපි සිතනවා.” අවසන් තරගයට පෙර දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු රැසී පැවසීය.

මෙම වසරේදී දකුණු අප්‍රිකාව දස්කම් අතර නිරතුරුවම රැඳී සිටීමට සමත් වූයේය. මෙම අවසන් මහා තරගයට පෙර ඔවුන් මේ වසරේදී පරාජය වී තිබුණේ තරගයක් පමණකි. ඒ මෙවර ලෝක කුසලානයේ මුල් වටයේදී නවසීලන්තය හමුවේය.

කිසියම් හෙයකින් ඔවුන් ලෝක ශූරයන් වුවහොත් එය වාර්තාගත වනු ඇත. එනම් ලෝක කුසලාන තරගාවලියක මුල් වටයේ තරගයක් පරාජය වී ලෝක ශුරයෝ වූ ප්‍රථම රට බවට ඔවුන් පත් වන බැවිනි. වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන රග්බි තරගාවලියක් වේ. එය හැඳින්වෙන්නේ රග්බි ශුරතාවලිය නමිනි. ඊට නවසීලන්තය, ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සහභාගි වේ.

මෙවර එම ශුරතාව හිමිකර ගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් මෙම ශුරතාව හිමිකර ගත්තේ සිවුවැනි වතාවටයි. ඒ 1998, 2004, 2009 සහ 2019 වසරවලදීය. මෙවර රග්බි ශුරතාවලියේදී වැඩිම ලකුණු ගණනක් එනම් 42ක් රැස් කළේ ඇන්ඩ්‍රේ පොලාර්ඩ් විසිනි. මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරාම දස්කම් දැක්වූ පොලාර්ඩ් අවසන් මහා තරගයේදීත් දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවයි.

පොලාර්ඩ් 1994 වසරේ මාර්තු මස 11 වැනිදා උපත ලැබීය. ඔහුගේ උස අඩි 6 අඟල් 02කි. හෙතෙම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකි. වෘත්තීමය මට්ටමින් ඔහු මේ වන විට ප්‍රංස‍යේ මොන්ට්පෙලියර් කණ්ඩායමට ක්‍රීඩා කරයි. ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ 2014 වසරේ සිටය. අවසන් මහා තරගයට පෙර ඔහු ටෙස්ට් තරග 47 කදී ලකුණු 435 ක් රැස් කරගෙන තිබේ. ඊට උත්සාහක දිනුම් 06 කි. පොලාර්ඩ් ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩා කරන්නේ ෆ්ලයි හාෆ් ස්ථානයේය. නමුත් ඔහුට සෙන්ටර් ක්‍රීඩකයකු ලෙසටත් ක්‍රීඩා කළ හැකිය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකානු නව වාර්තාවක් පිහිටු වීමටත් හෙතෙම සමත් වූයේය. එනම් ලෝක කුසලාන තරගාවලියන්හිදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයන් අතර මුල් ස්ථානයට පත් වීමෙනි. මීට පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ පර්සි මොන්ට්ගොමරිය. 2007 ලෝක ශුර කණ්ඩායමේ සාමාජිකයකු වූ පර්සි ලකුණු 111ක් රැස් කර තිබුණි. එහි දෙවන ස්ථානය යානි ඩි බියර්ටය. ඔහුට ලකුණු 97 කි.

පොලාර්ඩ් 2015 ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කළේය. එවර තෙවැනි ස්ථානය හෙවත් ලෝකඩ පදක්කම හිමි වූයේත් දකුණු අප්‍රිකාවටයි. ගත වූ කාලයේදී පොලාර්ඩ්ගේ ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් වූයේ විවිධාකාර ‍රෝග සහ ආබාධයන්ට විටින් විට ඔහු ලක්වීමයි. එසේ වුවත් මේ වන විට ඔහු ආබාධවලින් තොරව ක්‍රීඩා කරයි.

පොලාර්ඩ්ගේ දායකත්වය දකුණු අප්‍රිකාවට බලපාන ආකාරයටම එංගලන්තයටත් මාරෝ ඉටෝජි වැදගත්ය. ඔහුගේ දස්කම් උපරිමයෙන් දක්නට ලැබුණේ නවසීලන්ත‍යට එරෙහිව අවසන් පුර්ව තරගයේදීය. ඔග්හෙනෙමාරෝ මයිල්ස් ඉටෝජි 1994 වසරේ ඔක්තෝබර් 28 වැනි දා උපත ලැබීය. ඔහුගේ උස අඩි 6 අඟල් 5 කි. හෙතෙම ලොක් සහ ෆ්ලැන්කර් වැනි ස්ථානවල ක්‍රීඩා කරයි.

ඉටෝජි එංගලන්තයේ උපත ලැබුවත් ඔහුගේ මවුපියන් නයිජිරියානු ජාතිකයෝය. පාසල් සමයේදී ඔහු පැසිපන්දු, පාපන්දු සහ මලල ක්‍රීඩාවලත් නිරත විය මේ වන විට ඔහු වෘත්තීමය මට්ටමින් එංගලන්තයේ සැරසන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. ඔහු ජගත් මංගල තරග වරම ලැබුවේ 2016 වසරේදීය. දැනට ටෙස්ට් තරග 33කදී ලකුණු 10 ක් රැස් කරගෙන තිබේ.

2015 ලෝක කුසලාන පුහුණු සංචිතයට ඉටෝජි ඇතුළත්ව සිටියත් ඔහුව අවසන් කණ්ඩායමට තෝරා ගත්තේ නැත. එම නිසා මෙවර ඔහු සහභාගි වන්නේ සිය මංගල ලෝක කුසලාන තරගාවලියටයි. මෙවර අවසන් මහා තරගය නැරැඹීමට බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුත් ජපානයට ගියේය. ඔහු එංගලන්ත රග්බි පාපන්දු සංගමයේ අනුශාසකවරයා ද වේ.

රග්බි ලෝක කුසලාන තරගාවලියන් හැරී කුමරුට කිසිසේත්ම ආගන්තුක නැත. එංගලන්තය 2003 ලෝක කුසලානය හිමිකර ගත් විට හෙතෙම කණ්ඩායම දිරිමත් කළේ ක්‍රීඩාංගණයට පැමිණ තරගය නරඹමිනි. එමෙන්ම 2015 ලෝක ශුර නවසීලන්තයට කුසලානය පිරිනැමුවේත් හැරී කුමරු විසින්මය.

මෙවර අවසන් මහා තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් සමස්තයක් ලෙස ගත් විට එය එංගලන්තයට සාර්ථක තරගාවලියක් ලෙසට සැළකිය හැකිය. ඒ 2015 තරගාවලිය සමඟ සසඳන විටය. 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට වූයේ එංගලන්තයයි. එහෙත් එහිදී ඔවුනට මුල් වටයෙන්ම ඉවත් වීමට සිදු වුයේය. එවැනි අත්දැකීමක් ලැබූ ප්‍රථම සත්කාරක රට වූයේත් එංගලන්තයයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ තත්ත්වය ඊට වෙනස්ය. ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ සෑම විටම ඒ ශුරතාව හිමිකර ගෙන තිබේ. 1995 සහ 2007 ඊට නිදසුන් වේ. එමෙන්ම එම ජයග්‍රහණ ඔවුන් අත්කර ගෙන තිබෙන්නේ වසර 12ක කාල පරතරයක් තුළදීය. ඔවුන්ගේ 2007 ශුරතා ජයග්‍රහණය සහ 2019 අතර කාල පරතරයත් වසර 12කි.

Comments