‍මාලිංග, දසුන්ගෙන් ඉගෙනගන්න | සිළුමිණ

‍මාලිංග, දසුන්ගෙන් ඉගෙනගන්න

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු පළමු විස්සයි 20 තරගය අවසානයේ ලසිත් මාලිංග ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නිවැරැදි එල්ලය හා දිශාව සොයා ගැනීමට නොහැකි වූ බවය. මේ තරගය අපට සහ තරුණ ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක්. ඔස්ට්‍රේලියාවට හොඳ උස වේග පන්දු යවන්නන් සිටිනවා. ඊළඟ තරගවලදී එය හසුරුවා ගන්නේ කොහොමද කියලා සැලසුම් හදා ගන්න ඕනෑ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ් ඕවල් පිටියේ පැවැති දෙරට අතර පළමු විස්සයි 20 තරගය තනිකරම ඒක පාර්ශ්වීය තරගයක් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදු වූයේ රිසි සේ පහර කෑමට සහ ඔවුන්ගේ පන්දු යවන්නන්ට රිසි සේ කඩුලු පූජා කිරීමටය. තනිකරම ගිනි කෙළි සංදර්ශනයක් වූ දෙරට අතර පළමු විස්සයි 20 තරගය ෆින්ච්, වෝනර් සහ මැක්ස්වෙල් විසින් තනි භුක්තියට ලියා ගත් තරගයක් විය. ඔස්ට්‍රේලියානු මුල් පෙළ පිතිකරුවන් තිදෙනාගේ ප්‍රහාරයත්, පන්දු යවන්නන්ගේ සාමුහික දක්ෂතා කදිමට දැක ගත හැකි වූ මෙකී තරගයේදී වාර්තා පිට වාර්තා තබමින් තරගය ජය ගැනීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට එන විට පිට පිට තරග හතරක් නවසීලන්තයට එරෙහිව තරගයක් සහ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම පරාජය කරමින් පැමිණි ජයග්‍රාහී ගමන නතර කර දැමීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් තරග හතරම මුලින් පන්දුවට පහර දෙමින් මේ ජයග්‍රාහී ගමනට අවතීරණ විය. එහෙත් ලසිත් මාලිංග නැවත නායකත්වය බාර ගැනීමෙන් අනතුරුව කාසිය වාසිය දිනා ගෙනත් මුලින් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේ කුමන පදනමකින්දැයි නොදනිමු. ලකුණු බන්දේසියක තබා තිබූ ඇඩිලේඩ් තණ තීරුවේ අඩු දුර හතරේ සිමාවන් දැක දැකත් මාලිංග ගේ ටිකිරි මොළේ වැඩ කළේ ඒ ආකාරයට ය. කාසියේ වාසිය අහිමි වීමෙන් අනතුරුව පන්දුවට පහර දීමේ අවස්ථාව තමන්ට ලැබුණු පසු හිස නමා එකී අවස්ථාව ලබා ගත් ඔස්ට්‍රේලියානු මුල් පිතිකරුවන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතක නොවන පාඩමක් ඇඩිලේඩ් පිටියේදී කියා දෙන්නට වැය කළේ කඩුලු දෙකක් පමණි.

පසුගිය පාකිස්තාන් තරගාවලියේදී පන්දු යැවීමෙන් ඉදිරියෙන් සිටි නුවන් ප්‍රදීප් සහ විශේෂයෙන් කසුන් රාජිත ඇඩිලේඩ් තණතීරුවේ වෙනස වටහා නොගෙන පන්දු යැවීම නිසා දැඩි ප්‍රහාරයකට ලක්වූහ. මෙයින් වැඩිම හානිය සිදු වූයේ කසුන් රාජිතටය. පාකිස්තානු විස්සයි 20 තරග තුනේදී පන්දු වාර 11ක් යවා ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත් කසුන්ට මේ තරගයේදී සිය පන්දු වාර 4දී වාර්තාගත ලකුණු 75ක් තම පන්දු යැවීම ඉදිරියේ සටහන් කර ගැනීමට ද සිදු වීම අවාසනාවකි. සිය මුල් පන්දු වාර දෙකට ලකුණු 32ක් ඔස්ට්‍රේලියානුවන් කසුන්ගෙන් උදුරා ගනිද්දි, තෙවැනි පන්දු වාරය ද කසුන්ට ලබාදීමට තරම් ඉක්මන් වීම තුළ මාලිංගගේ නායකත්වයේ අදුරදර්ශිභාවය මැනවින් ප්‍රකට විය. එකී පන්දුවාරයට ලකුණු 25ක් ලබා ගනිද්දිත්, ඉන්නොනැවතුණු මාලිංග හතර වැනි පන්දුවාරය ද කසුන්ට ලබා දෙන්නේ අවමන් සහගත වාර්තාවකට පහසුවෙන්ම ගොදුරු කරමින්ය.

මේ ලසිත් මාලිංගගේ පවා බහින කලාවේ අවසාන අඩියට පැමිණ ඇති කාලයයි. ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලන්සුව වූ ස්ටර්ලිං පවුම් 125,000ක් වැනි වැඩි මුදලකට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් හය දෙනා අතර සිටි මාලිංගව කිසිදු කණ්ඩායමක් විසින් එහිදී ගෙන නොතිබුණි. එකී අති විශාල මුදලට අලෙවි වී තිබුණේ ඔස්ට්‍රේලියාවේ වෝනර්, ස්මිත් සහ මිචෙල් ස්ටාර්ක් පමණි. ඒ අනුව පන්දු 100 තරගාවලියට කිසිදු ලාංකේය ක්‍රීඩකයෙකු අලෙවි නොවීම තුළ අපේ ක්‍රිකට් ගමන් මඟ පිළිබඳ මෙරටින් එළියේ පවතින චිත්‍රය පැහැදිලිය. මේ අතර ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් සහ මුජිබ් රහුමාන් ස්ටර්ලිං පවුම් 125,000 කටත් නේපාල ක්‍රීඩක සන්දීප් ලම්චානි ස්ටර්ලිං පවුම් 100,000 කටත් අලෙවි විම තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන පැහැදිලිය.
ලෝකය මේ ආකාරයට ඉදිරියට යද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් විශ්වාසය තබා ඇත්තේ කකුල් කැඩුණු අශ්වයන් මත බව නවතම ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ආකාරය අනුව පැහැදිලිය. ඒ අනුව ඉදිරි මාස 14ක කාලය තුළ කාණ්ඩ පහක් යටතේ ක්‍රීඩකයන් තිස් හතර දෙනෙකු ගිවිසුම් ගත කර ඇති අතර ඒ අනුව වැඩිම මුදලක් වැය කරමින් කොන්ත්‍රාත් කාලය අලුත් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටය. ඒ අනුව ඇන්ජලෝට හිමිවන මුදල ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 236කි. දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් එකී ගිවිසුම් ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගෙන සිටිති.

දිමුත්ට සහ සුරංගට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 181ක් හිමි වෙයි. මෙකී ගිවිසුම්ගත ක්‍රීඩකයන් අතරින් සුවිශේෂී ක්‍රීඩකයා වන්නේ අකිල ධනංජයයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වසරක තරග තහනමක් පනවා තිබියේදීත් ඉදිරි මාස 14 ක කාලය සඳහා රුපියල් ලක්ෂ 91ක ගිවිසුම්ගත මුදලක් අකිලට වෙන් කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් මේ වසරේ ගෙවී ගිය මාස දහයට ම ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 02කි. එක්දින තරග 11කි එකඳු විස්සයි 20 තරගයක් වත් ක්‍රීඩා කර නොමැති අතර, 2018 දී ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයකී.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ආකාරයට ගමන් කිරීමෙන් නව මඟකට පිවිසීමට හැකි වෙතැයි සිතිය නොහැකිය. ඒ සඳහා බොහෝ වෙනස්කම් කළ යුතුය. චන්දික හතුරුසිංහ ඉවත් කිරීමෙන් ඇති වූ පුහුණුකාර ධූරය තවමත් හිස්ය. පසුගිය පාකිස්තාන් මෙන්ම ඔස්ට්‍රේලියානු තරගාවලියේදී ද වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොමේෂ් රත්නායකයි. මේ අතර ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධූරය සඳහා එංගලන්තයේ මාක් රාම්ප්‍රකාශ්ගේ නම ඉහළින්ම කියැවෙන නමුත් තවමත් ඒ සඳහා ද ස්ථීර නිගමනයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පැමිණ නැති බව පැහැදිලිය.
එමෙන්ම ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයේ කඩඉම පැන ගත යුතුව තිබේ. ලසිත් මාලිංග දිගින් දිගටම ඔප්පු කරමින් සිටින්නේ තමා අසාර්ථක නායකයෙකු බවය. ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම පරාජය කිරීමට නායකත්වය දුන් දසුන් ශානක මේ වන විටත් ඕනෑම කණ්ඩායමක් යටතේ කණ්ඩායමක් සමඟ පිටියට පිවිසීමට තමා සුදුසු බව ඔප්පු කර තිබේ. විස්සයි 20 තරගයක ඇත්තේ ඉක්මන් තීන්දු තීරණ ගැනීමේ හැකියාවයි. ඒ අතින් මාලිංගට වඩා දසුන් බොහෝ ඉදිරියෙන් සිටින බව පැහැදිලිය.

2014 ශ්‍රී ලංකාව බංග්ලාදේශයේදී ඉන්දියාව පරාජය කරමින් විස්සයි 20 කිරුළ දිනාගන්නේ මාලිංගගේ නාමමාත්‍රික නායකත්වය ‍යටතේ බව පැහැදිලිය. ඒ තරගාවලියේ මාලිංග නායකයෙකු ලෙස මහා දෙයක් කළ බවක් පෙනෙන්නට නැත. සංගා, මහේල සහ ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ගේ මඟ පෙන්වීමෙන් මාලිංග ඉදිරියට ගියා මිසක නායකයෙකු ලෙස කළ දෙයක් පෙනෙන්නට නැත. ඒ අතින් බලද්දී දසුන්, මාලිංගට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව පැහැදිලිය. මේ බව අසන්ත ද මෙල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කවදා තේරුම් ගනිවිද යන්න නොදනිමු.

ලසිත් මාලිංග විස්සයි 20 තරගවල නායකයෙකු ලෙස 2015 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලෙකැලේදී තරගයක් ජය ගැනීමෙන් අනතුරුව 2019 නවසීලන්තයට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම තරගයක් ජය ගැනීම අතරතුර ජයගෙන ඇත්තේ තරග හතරකි. එකී කාලය (2015 – 19) තුළ මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පරාජය වී ඇති තරග සංඛ්‍යාව 14කී.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේ අඛණ්ඩව තරග හතරක් ජයගෙන තිබූ පසුබිමකය. ඒ නවසීලන්තයට එරෙහිව තරගයක් සහ පාකිස්තානයට එරෙහිව තරග තුනක් වශයෙනි. මේ තරග හතරේදී ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව අවසන් වරට ලකුණු හඹා ගොස් විස්සයි 20 තරගයක් ජයගෙන ඇත්තේ 2018 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ පිටියට පිවිස තිබේ.

ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවේදී රැස් කළ වැඩිම විස්සයි 20 ලකුණු සංඛ්‍යාව ද මෙය වෙයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව සිය විස්සයි 20 තරග ඉතිහාසයේ විශාලම ලකුණු පරතරයකින් ජයගත් තරගය ද මෙයයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව වැඩිම කඩුලු සංඛ්‍යාවකින් පරාජය කර ඇත්තේද ශ්‍රී ලංකාවයි. ඒ 2007 දී කඩුලු 10කිනි. වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය. ඒ පන්දු 58ක් ඉතිරිව තබා ගනිමින්ය. ඒ කඩුලු 10කින් ජයගත් 2007 තරගයයි. ‍ඩේවිඩ් වෝනර්ගේ පළමු අන්තර්ජාතික විස්සයි 20 ශතකය මෙය වන අතර, 2018 පෙබරවාරි 21 දා නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරගය මෙය වීමද විශේෂත්වයකි.

කුසල් මෙන්ඩිස් 2016 එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි 20 තරගයේ පටන් 2019 ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්හි පැවැති තරගය දක්වා පැවැති තරග 14දී ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. 2017 දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේ පටන් 2018 දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය දක්වා කුසල් තරග කළ තරග අතරින් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 7කි. සම වූ තරගයකි.


දසුන් දක්ෂයෙක්  - ලසිත් මාලිංග


දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම පාකිස්තානයට ගිහින් ලෝකයේ විස්සයි 20 අංක එකේ කණ්ඩායම පරාජය කරලා, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණු ඉදිරි අනාගත ක්‍රිකට් සාර්ථක කර ගන්න තවත් ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා කියලා මුළු ලෝකයට ම පෙන්නලා ආවා.

පාකිස්තාන් තරගාවලියට යන්න බැරි වුණේ ක්‍රීඩකයන් තුන්දෙනෙකුට විතරයි. කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක් වුණා. හොඳ තත්ත්වයේ හිටියත් යන්න වෙන්නේ නෑ. ඊට අමතරව ගිය නැත්තේ මමයි කුසල් ජනිත් සහ නිරෝෂන් දික්වැල්ල. අපි තමයි අවසන් තරගාවලියට ක්‍රීඩා කළේ. ක්‍රීඩකයන් තුන් දෙනකුගේ අඩුව පෙන්වන්නේ නැතුව අත්දැකීම් අඩු ලාබාල ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා.

දැන් හොඳ ශක්තිමත් විස්සයි 20 ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඔස්ට්‍රේලියානු තරගාවලියේදිත්, පාකිස්තාන් තරගාවලිය නිමා කළා වගේ හොඳින් ඉවර කරන්න බලනවා. තණතීරු වෙනස් වෙන්න පුළුවන්. පටන් ගත්ත දේ තව තැනකදි හොඳට කරන්න බලනවා. මානසිකත්වය හොඳ තැනක තියා ගෙන තණතීරුවලදි හොඳින් මුහුණ දුන්නොත් අපට ලෝක කුසලානයට යන ගමන සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ලෝක කුසලානය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේදී. මේ හොඳ අවස්ථාවක් අපට අප ගැන දැනගන්න. විස්සයි 20 තරගවල තීරණ ගන්න ‍කොට ඒවා ඕවර 50 තරග සහ ටෙස්ට් තරගවලට වඩා ඉක්මනින් ගන්න ඕන.

සමහරවිට තරගයක් ජය ගන්න තමන් ගන්න එක තීරණයක් වටිනවා. ක්‍රීඩකයන්ගේ දක්ෂතාව වගේ ඔවුන් ඒ අවස්ථාවලදි ගන්න තීරණත් හරියට වැදගත් වෙනවා තරග තීරණවලට. අපට වැදගත් වන්නේ තරගයක් හසුරුවන විදිය සහ ගන්න තීරණයයි. හැම දෙයක් ම බලලා තරග දිනවන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෝ 15ක් තේරුවොත් අඩුම තරග කරන්න 11 - 12 ක් ලෙහෙසියෙන් ම තෝර ගන්න පුළුවන් වෙනවා. අවසන් 11 දෙනා තෝර ගත්තම තනියම තරග දිනවන ක්‍රීඩකයන් 7ක්වත් ඉන්න ඕනෑ. ලෝක කුසලාන ගමනෙදි කවුරු නායකයා වුණත් හොඳ ක්‍රීඩකයන් පිරිසක් කණ්ඩායමේ ඉන්න ඕන.

මගේ ලොකු බලාපොරොත්තු නෑ. කෙටි කාලීන බලාපොරොත්තු විතරයි තියෙන්නේ. මම මේ නායකත්වය බාර ගන්න කොට කිව්වොත් කවුරු නායකයා වුණත් හොඳ විස්සයි 20 ටීම් එකක් හදලා තියෙන්න ඕනෑ කියන එක. පාකිස්තාන් තරගාවලියට එක් නොවීම මම ගත්ත හොඳ තීරණයක් කියලා හිතෙනවා. දැන් අපට අලුත් දක්ෂ නායකයෙක් ඉන්නවා. ඒක හොඳ දෙයක්. දසුන් ශානක ඒ තරගාවලිය හොඳට ඉවර කළා.

 

Comments