බදුල්ලේදීත් බස්නාහිරට ජය | සිළුමිණ

බදුල්ලේදීත් බස්නාහිරට ජය

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ 45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ බදුල්ලේදී නිමාවට පත්වුණි.

මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ශ්‍රී ලංකා වාර්තාවක් හෝ නව තරග වාර්තාවක් සටහන් නොවූ ප්‍රථම ජාතික ක්‍රීඩා උලෙළ බවට පත්වෙමින් ඉතිහාසගත වීම ය.

පුරා දින පහක් මුළුල්ලේ පිටියේ තරගවලට අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරග වාර්තා බිහි නොවීමට මෙය හේතුවක් වූ බව ඊට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සඳහන් කළහ.

බදුල්ල ‘වින්සන්ට් ඩයස්’ ක්‍රීඩා පිටිය නවීකරණය කිරීමෙන් පසුව පැවැති ප්‍රථම ක්‍රීඩා උත්සවය මෙය වූ අතර තරග පවත්වාගෙන යෑම සඳහා ක්‍රීඩා පිටිය සකසන්නන් මෙන් ම ඊට එක්වූ සිසු ක්‍රීඩා නිලධාරීන් ලබාදුන් සහයෝගය අගය කළ යුතුමය.

ක්‍රීඩා පිටිය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 300 කට අධික මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වැයකර තිබූ අතර රාත්‍රි කාලයේදී පවා ක්‍රීඩා කිරීමේ හැකියාව එකතු කරමින් විදුලි ආලෝක කුලුනු ඉදිකර තිබුණි.

වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැති 45 වැනි ජාතික ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 99, රිදී 78 ලෝකඩ 81, ලබාගත් බස්නාහිර පළාත පිට පිටම 41 වැනි වතාවටත් සමස්ත ශූරතාවය දිනාගනු ලැබීය.

රන් 51, රිදී 38, ලෝකඩ 60 දිනාගත් වයඹ පළාත් කණ්ඩායම දෙවැනි ස්ථානයත් රන් 32, රිදී 33, ලෝකඩ 44 දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම තෙවැනි ස්ථානය සතු කරගත්හ.

මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව තත්පර 13.9 ක කාලයක් සටහන් කළ බස්නාහිර පළාතේ ලක්ෂිකා සුගන්ධි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මානය දිනාගත් අතර පිරිමි උස පැනීමේ ඉසව්ව ජයගත් කළ දකුණු පළාතේ උෂාන් තිවංක දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ මීටර් 2.12 ක උසක් තරණය කරමින් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ලැබුණු මෝටර් රථ දෙකක් මෙම දෙදෙනාට හිමි විය.

මේ අතර තනි තරග ඉසව්වක ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් 15,000 දෙවන ස්ථානය 10,000 සහ තෙවන ස්ථානයට 6000 ක් වශයෙන් තෑගි මුදල් පිරිනැමිණි.

කණ්ඩායම් තරග ඉසව්වවලදී ප්‍රථම ස්ථානය දිනාගන්නා කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට රුපියල් 6000, දෙවන ස්ථානය සඳහා 4000, සහ තෙවන ස්ථානය සඳහා 2000 ක මුදලක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබූ අතර ලබන වසරේදී මෙම තෑගි මුදල වැඩි කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මීට අමතරව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 20,000 ක් පිරිනැමීම ද සිදු කෙරිණි.

ක්‍රීඩාව ගමට ගෙන යන අරමුණින් සහ කොළඹින් පිටත පිහිටි ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ජාතික මහා ක්‍රීඩා උලෙළ බදුල්ලේ පැවැත්වූ අතර ක්‍රීඩා පිටියේ තත්ත්වය සහ වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවට පත්වූ බව ඔවුන් සඳහන් කළහ.

පළාත් ක්‍රීඩා උත්සව මේ ආකාරයට පවත්වා ජාතික මහා ක්‍රීඩා උලෙළ කොළඹදී පැවැත්විය යුතු බව ඔවුන් බහුතරයකගේ කැමැත්ත විය.

බදුල්ල නගරයේ පිහිටි කුණු කසළ අංගණය ද ක්‍රීඩකයන්ට ගැටලුවක් වූ අතර වරින් වර ක්‍රීඩාංගණය හරහා දැඩි දුඟදක් හමා යෑම නිසා ක්‍රීඩකයන්ට හිසරදය වැනි අසනීප තත්ත්වයන්ට ගොදුරුවීමට සිදු විය.

අවස්ථා ගණනාවකදීම මෙම කුණු කසළ අංගණය ඉවත් කිරීමට තමන් දැඩි උත්සාහයක් ගත් බවත් එය තවමත් සිදු කරගැනීමට නොහැකි වූ බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වීමට ඉල්ලුම්පත්‍ර යොමු කර ඊට සහභාගි ‍වීම මගහැර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී වසර දෙකක තරග තහනමක් පනවන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය.

දක්ෂතම ක්‍රීඩිකාව ලක්ෂිකා සුගන්ධි - කඩුලු මතින් දිවයෑම

මීටර් 100 මට මගේ හොඳම කාලය වාර්තා කිරීමට හැකි වුණා. ඒ ගැන සතුටුයි. මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට හැකියාවක් තිබුණා. වැස්ස නිසා හිත ගැස්සිලා තිබුණේ. තත්පර 13.9 කින් තරගය නිමා කිරීම නිසා මට අද මෝටර් රථයක් ලැබුණා. එය ලබාදීමට කටයුතු කළ සියලුම දෙනාට හදවතින් ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ක්‍රියා තුළින් අප තවත් දිරිමත් වෙනවා.

දක්ෂතම ක්‍රීඩකයා උෂාන් තිවංක - උස පැනීමේ ඉසව්ව

මීටර් 2.12 ක උසක් තරණය කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා. වර්ෂාව ඇද හැලෙද්දී ක්‍රීඩාපිටිය මඩ බරිතව තිබියදීත් මට මේ දක්ෂතාවයට පැමිණීම පිළිබඳවත් ගොඩක් සතුටුවෙනවා.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරී පත්වී මෝටර් රථයක් ලබාගැනීම ද අමතක නොවන සිද්ධියක්. කෙසේ හෝ ආසියානු මෙන් ම ඔලිම්පික් තරගාවලියකදී ලංකාවට කුසලානයක් ගෙන ඒම මගේ සිහිනයක්.

ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා

ක්‍රීඩාවට උපරිම සහයෝගය ලබා දෙමින් ක්‍රීඩාව නැංවීම අපගේ වගකීමක් වෙලා තිබෙනවා.

මා ක්‍රීඩා ඇමැතිවරයා හැටියට ඉතා සතුටින් මේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. ක්‍රීඩා කියන්නේ ‍රටක ජීවනාලිය.

මලල ක්‍රීඩාව පමණක් නොවෙයි සියලුම ක්‍රීඩා ඉහළ නංවන්නට අපගේ රජය කටයුතු කළා අප ඉදිරියේදීත් කටයුතු කරනවා.

බදුල්ල පුරවරයට මෙම ක්‍රීඩා උලෙළ ගෙන ඒම තුළින් අප අරමුණු කළේ කොළඹින් පිටතට ක්‍රීඩාව ගෙන යෑම මෙන් ම මේ ප්‍රදේශවල ක්‍රීඩකයන්ගේ උනන්දුව වැඩි කිරීමටයි‍.

Comments