අපේ රටේ අලි - මිනිස් ගැටුම නිසා මැරෙන අලි සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙමින් පවතී. අලුත්ම දත්ත අනුව මේ වසරේ අලි 240ක්ද 2018 වසරේ අලි 319ක් අලි මිනිස් ගැටුම නිසා මියගොස් ඇත. වසර දෙකේම මිය ගොස් ඇති මිනිසුන් ගණන 165කට ආසන්න වේ.
මේ අනුව 1992 දි පමණ අලි මිනිස් ගැටුමට විදුලි වැට නියම විසඳුමක් ලෙස ඉදිරිපත් කළත් එය දැන් වන විට අසාර්ථක බව පෙනේ.
අලි ඇතුන් විදුලි වැට තරණය කිරීමට වියළි කොට ආදි අනුවර්තික ක්‍රියාමාර්ග යොදා ගැනීමත් අලුත් ගම්මාන ආදිය නිසා අලි පරපුරට කෑම බීම හිඟවීමත් නිසා අලින් ගම් වැදීම වැඩිවී තිබේ. අලි - මිනිස් ගැටුම ඉන් තවත් තීව්ර වී ඇත.
විශේෂයෙන් කැලෑ විනාශය අලුත් ජනපද බිහිවීම, මාර්ග අයිනේ ඇති බිම් පෙදෙස් අනවසරව අල්ලාගෙන ගොඩනැඟිලි ඉදිකිරීම නිසා අලි - මිනිස් ගැටුම උග්‍ර වී තිබේ.
අජිත් ඇපලදෙණිය |
මෙයට පිළියම් ලෙස ආදි කාලීන ගොවියා තම ගෙවත්ත වටේ පතොක් හා හණ වැව්වේය. ඒ ශාකවල කටු ඇනෙන විට අලි ගෙවත්තට ඒම වැළැක්විණි. නමුත් අලුත් ජනපදකරණය සමඟ ඒ පතොක් හා හණ ජීව වැට කපා තාප්ප ඉදිකිරීම ඇරඹුණි. නමුත් තාප්ප පෙරළාගෙන පවා අලි තම අවශ්‍ය ගමනාන්තය කරා යති.
විවිධ කාලගුණ ඍතු අනුව රටේ විවිධ ප්‍රදේශවල සිටින අලි කිලෝමීටර 100 - 150 දක්වා පවා රට පුරා සංචරණය කරති. අලි - මිනිස් ගැටුම වැඩිපුර ඇති වන්නේ අලින්ගේ මේ සුපුරුදු සංචරණ රටාවට මිනිසුන් විසින් යම් යම් බාධා පැමිණවීම නිසාය.
මේ අලි ගම් වැදීම දිගුකාලීනව වැළැක්විය හැකි කදිම විසඳුමක් ලෙස ජීව වැටි ක්‍රමයක් ලේක්හවුස් ආයතනයේ රියැදුරු මහතකු වන අජිත් ඇපලදෙණිය පෙන්වා දෙයි.
මම වසර 16 ක් අනුරාධපුරයේ රැකියාව කළා. එහේ ඉන්න කොට අලි ඇවිල්ලා ගෙවල් කඩන එක වගා විනාශ කරන එක නිතරම දකින්නට ලැබුණා. හැබැයි ඒ ගෙවල් හදලා තිබුණෙ අනවසර ඉඩම්වල. අලි යන මාර්ගයේ 1982 සිට 1996 කාලයේ මම දුටු ඒ අලි මිනිස් ගැටුම් නිසා ඒ පළාතේ අලින්ටත් මිනිසුන්ටත් තුවාල වුණා.
අලින්ට ඇසිඩ් ගහපු අවස්ථාත් තිබුණා. ඒ අලි පාරේ ඉස්කෝලෙට යන පුංචි ළමයකුත් මරා දැම්මා. ඒ පිළිබඳව මට ඇතිවූ දුක අනුව මේකට විසඳුමක් කල්පනා කළා.
ඒ අතර මම ලේක්හවුස් එකේ වැඩ කරන කාලේ 2008 සැප්තැම්බර් 27 වැනි දින ගිරිඋල්ලේ අපේ ගෙදරට අලි ඇවිල්ලා වී ගෝණි 20ක් බීලා ගිහිල්ලා තිබුණා. අම්මයි තාත්තයි පමණයි ගෙදර හිටියේ. මට හරියට බයක් ඇතිවුණා. දුකකුත් හිතුණා. අම්මලා විඳින දුක ගැන ඒ බිය මගේ අම්මට තාත්තාට නෙමෙයි අලි වැඩිපුර ගම් වදින හැම ප්රදේශවලම සියලු ජනතාව මුහුණ පාන ගැටලුවක් බව මට වැටහුණා. මේ ගැන වන ජීවී නිලධාරීන්ට කිව්ව. පිළියමක් කළේ නැහැ. ග්‍රාම නිලධාරිට, ප්‍රාදේශීය ලේකම්ට කිව්වට ගණන් ගත්තේ නැහැ. දුක අපිටමයි උරුම වුණේ.
ඒ අලි ටික කාලයක් බස්නාහිර පළාතේ මීරිගම පොල්කටුකැලේට වැදිලා සිටිය. පසුව මොනවා වුණා ද දන්නෙ නැහැ.
මේකට විසඳුමක් අපටම සොයන්න බැරිද කියල මම කල්පනා කළා. ඒ අනුව පතොක්, දූරියන්, බෝගන්විලා, හණ හා දෙහි යන ගස් වවලා අලි ගම් බිම්වලට ගොවි බිම්වලට ඒම වළක්වන්න පුළුවන් ද කියලා බැලුවා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ සමහර ගස් අලි විනාශ කළා.
පසුව මම තල් ගහ කෙරෙහි අවධානය යොමු කළා. තල් පැළයක් අලියකුට කන්න දැම්මම කන්නේ නැහැ. තල් ගෙඩිය නම් කනවා. ඒත් තල් ගහට කිසිම හානියක් අලින්ට කරන්න බැහැ. ඒකේ පැරැණි අතු කෑලි ගසේම තිබෙනවා. ඒ නිසා අලි ඒ ගස් තල්ලු කරන්න කැමැති නැහැ. ඒ තල් අතුවලත් කටු තිබෙනවා. ඒ අනුව තල් ගස් යම් රටාවකට වැව්වොත් අලින්ට ඒ තුළින් රිංගා යෑම අපහසු වන බව මට පෙනී ගියා. ඒ අනුව තමයි මම අපේ රෙට් අලි මිනිස් ගැටුම වළක්වන්න අලි ගම් වැදීම වළක්වන්න මේ තල් ගස් වැට යෝජනා කරන්නේ” ඇපලදෙණිය තම අරමුණ විස්තර කරයි.
ඇපලදෙණිය මහතා පවසන පරිදි නුවරඑළිය හැරුණු විට අන් සියලු දිස්ත්‍රික්කවල ඉතා හොඳින් වැඩෙන තල් ගස් සුවිශේෂ අයුරින් අලි වැටක් ලෙස එක ළඟ සිටුවූවොත් අලින්ට ගම්වැදීමට නොහැකිය. තල්පැළ පේළි 2 - 3 ක් අඩි 8න් 8ට පේළි 3ක් සිග් සැග් ක්‍රමයට සිටුවා ඒවා වැඩුණු පසු අලින්ට ඒ අතරින් රිංගා යෑමට අපහසු කිරීම මඟින් අලි මිනිස් ගැටුම අවම කළ හැකි බව ඇපලදෙණිය මහතා කියයි.
මේ අනුව ගම්බිම් හා ගෙවතු මායිම්වල මේ තල්වැට ඉදිකිරීම සුදුසුය. අඩි 6 - 6 හෝ අඩි 8 - 8 පරතරයට සිග් සැග් ක්‍රමයට සිටුවා ඒවා වැඩෙන තුරු රැක බලා ගැනීම කළ යුතුය. මේ තල් අලි වැටක් වසර 150ක් පවතින බවද ඔහු සාක්ෂි සහිතව පෙන්වා දෙයි.
Borassus යන උද්භිද නාමයෙන් හඳුන්වන හීයක් මෙන් හිරු මුදුන් වන දිශාවට නැගෙන තල්ගස වසර 140 - 150 පමණ ආයු කාලයක් පවතින, ශ්‍රී ලංකාවේ නුවරඑළිය වැනි අධික ශීත ප්‍රදේශවල හැර වෙනත් ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ඝර්ම කලාපීය රටවල වැඩෙන, තාල වර්ගයට අයත් ශක්තිමත් ශාකයකි. අපට මනා සම්පතක් වන අප්‍රිකාවට ආවේණික ශාකයක් විදියට පිළිගත හැකි තල්ගස, ලංකාවට විජය රජුන් පැමිණෙන විට ඉන්දියාවේ සිට තල් ඇට ගෙනැවිත් මෙහි රෝපණය කරන්න ඇතැයි විශ්වාසය තැබිය හැකිය.
මන්නාරම, තම්බපණ්ණි, යාපනයේ, උතුරු කරේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ විජය රජු පැමිණීමත් සමඟ රෝපණය වූ තල් ගස්වල ගෙඩි සැදී පසුව ඒවා මන්නාරම, යාපනය දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වූ තල්ගස්ය.
විශාල අතීතයක් ඇති මෙම තල්ගස උතුරේ දමිළ ජනතාව කප්රුක යනුවෙන් හඳුන්වන අතර, ඔවුහු මේ ගසින් විවිධ අවශ්‍යතා රැසක් ඉටු කර ගනිති.
උතුරේ දමිළ ජනතාවගේ මේ කප්රුක අද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුළු වශයෙන් ව්‍යාප්ත වී තිබුණත්, අනුරාධපුර, පොලොන්නරුව හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් දක්නට ලැබෙයි. කෙසේ වුවද තල්ගසේ වටිනාකම ලාංකික ජනතාව තේරුම් ගෙන නොමැති බව නම් පෙනෙයි. මෙම තල් ගසට කිසිම තැනක රසායනික පොහොර නොදමති. ඒ අනුව තල් ගස අද ලංකාවේ (ඕගනික්) ශාකයක් විදියට සැලකිය හැකිය.
තල්ගසින් අවශ්‍යතා රැසක් ලබාගත හැකිය. තල් ගසේ ගෙඩි හටගෙන මේරීමට පෙර තල් කුරුම්බා ලෙස පානය කිරීම ගුණාත්මක පානයකි. තල් ඇටවලින් තල් පැළ සාදා ගැනීමද පහසුවෙන් කර ගත හැක.
තල්ගෙඩි ඉදිණු පසු ළිපේ තබා පොත්ත ඇර සූරා කෑමටත්, එය වතුරට දියකර කැඳ බීමටත් තවද එයට හාල්පිටි මිශ්‍ර කර තල් කැටි වශයෙන් මස්කට් විදියට කෑමටත්, තල් කැවුම් හැදීමටත් හැකිය.
තල් ඇට දිය කර පැදුරක් එළා එය පැදුරට දමා අව්වේ වේළා විවිධ ආහාර සාදා ගත හැකිය. තවද තල් දිය කර උළුඳු පිටි දමා තෝසේ හැදීමත් සිදු කෙරේ.
තවද තල් ඇට පැළ කර (කොට්ටකිලම්ගු) ගලවා තම්බා කෑම ගුණාත්මක හා රසවත් ආහාරයකි. කොට්ට කිලම්බු වේලා ඒවා පිටි කර එයට මුං, කව්පි, කරපිංචා, ගම්මිරිස් සියල්ල දමා රසවත් බීමක් විදියට ගත හැක.
තල් ඇට සිටුවා මාස 3 ලැබෙන තල් පැළේ පළමු කොළ දෙක පොළොව මට්ටමට පැමිණි පසුව වසර දෙකක් පමණ යන විට අතු හට ගන්නා තල් පැළය වසර 4 - 5 අතර කාලයක් වන විට අඩි 6 පමණ උසට කොළ පිති හට ගෙන කඳ බේරෙන අවදියට පැමිණේ. වසර 10 අතර කාලයකින් පීදෙන තල් ගස පහළ අතු කිසිවක් කිසිවකුටත් ගැලවීමට නොහැකි විදියට තුන් ආකාරයකට විහිදී තිබෙයි. තල්පිති වල කටු ගසේ ආරක්ෂාවට ලැබුණු දායාදයක් ලෙසය. සතුන්ගෙන් වල් ඌරා, ඉත්තෑවා, වන අලියා වැනි සතුන් මේ හේතුවෙන් තල්යායක කිට්ටුවට යන්නේ නැත. තල් ගස අඩි 100 - 120ක් පමණ උසට වැඩෙන අතර ගසේ ආයු කාලය වසර 140ක් පමණ බව සනාථ කර ගත හැකිය. තවද තල් ගසේ කඳේ අඩි 15ක් පමණ දුරක් යන තල් අතු නොවැටුණත් ඒවා ගස මිය යන තෙක් ගසට ආරක්ෂාව සැපයීම විශේෂයකි.
තල් ගසේ වර්ග දෙකක් ඇත. ගැහැනු හා පිරිමි ගස් වශයෙන් හට ගන්නා තල් ප්‍ර භේදවල ගැහැනු ගසින් ගෙඩි හටගෙන සියලු ප්‍රයෝජන ලබා ගත්තත් පිරිමි ගසින් ප්‍රයෝජන ගත හැක්කේ ඉතා සුළු ප්රමාණයකි. තල්ගසින් වසරකට රු. 10,000, රු. 15,000ක් වැනි මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකි බව උතුරේ දමිළ ජනතාවගේ අදහසයි. මෙයින් ඔවුන් මුදල් උපයන්නේ තල්ගස්වල හැදෙන මල් කපා එයින් තෙලිජ්ජ ගෙන උණුකර පැණි බවට පත්කිරීමෙනි. එයින් ඉහළ ආයුර්වේද වටිනාකමක් ඇති තල් සූකිරි සිංහල වෙදකමට ඉතා අවශ්‍ය දෙයක් වෙයි. තවද විදෙස් වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති තල් සූකිරි අප රටේ නිෂ්පාදනය සිය ගුණයකින් වැඩි කළද ඒ ඉල්ලුම සපුරාලිය නොහැකි තරම්ය. අපට විදේශ විනිමය ලබාගත හැකි, තල් සූකිරි සෑදීම, තල් හකුරු සෑදීම, පැණි සෑදීම ඒවායින් විවිධ රස කැවිලි සෑදීමට යොදා ගනී.
තල් කොළයෙන් පොඩි පෙට්ටි සාදා එයට තල් පැණි පිරවීමෙන් වෙළෙඳපොළට තල් හකුරු ලැබෙයි. තවද තල්පැණි ද ඔවුන් බහුලව ප්‍රයෝජනයට ගන්නා දෙයකි.
තවද තල් කොළ වට්ටි පෙට්ටි, හකුරු පෙට්ටි, ඔප දැමූ අත් බෑග්, පැදුරු හා තල් අතු වැටවල ආවරණයට යොදා ගනී.
තල් පිති වලින් ආවරණය කරන වැටත් වසර ගණනක් පමණ සුනඛයන්ටවත් පැනීමට නොහැකි ආකාරයේ වැටකි.
තල් ගසේ වටිනාකම ඇගැයීමටත් තල් ගසින් විවිධ ප්‍රයෝජන ගැනීමටත් අලි මිනිස් ගැටුම් වැළැක්වීමට වවන මෙම තල් වැට ප්‍රයෝජනවත් වනු ඇත.