අසිරිමත් ගම්පියසක සිහිනය | සිළුමිණ

අසිරිමත් ගම්පියසක සිහිනය

හිරු කුමරා කන්ද උඩින් එබී බලයි. සියොත් කැල නිල්වන් අහසේ පියඹති. පුංචි මල් කැකුළු මුළු පරිසරයම සුවඳවත් කරමින් විකසිත වෙයි. ගොවි මහතෙක් කඩිසර ගමනින් උදැල්ල ද කර තබාගෙන කෙත් යාය දෙසට පියමනියි. තැන තැන කුකුළෝ හඬ නඟති. සමනල්ලු, මී මැස්සෝ මල් පැණි සොයා පියඹති. මේ සියල්ල ගම්මානය අවදි වන ලකුණු ය.

සුදු කොක් රෑනක් මෙන් පුංචි ළමයි පාසල වෙත පියනඟති. කුඹුරේ වක්කඩ ළඟ දිය බුබුළු කිරි පැහැයෙන් මතු වෙයි. තිත්ත පැටවු සතුටින් නටති. සුදු සේලයක් මෙන් දිය ඇල්ල ගලා බසියි. ගල් අතරින් මේ ගංගාව ගලන විට ගමේ සුන්දරත්වය වැඩි වෙයි.

සැන්දෑ යාමය කෙමෙන් කෙමෙන් උදා වෙයි. හිරු අපරදිග අහසේ ගිනි බෝලයක් මෙන් දිස් වේ. ඉන් අනතුරු සුළු මොහොතකින් හිරු කඳු අතරේම සැඟවී යයි. කෑම සොයා ගිය සියොත් කැල පෙරළා කැදලි කරා පියඹති. මා වවුලෝ එකිනෙකා ගුවනට එක්වෙති. ඈතින් ඇසෙන ගොවියන්ගේ පැල් කවි ගායනය පරිසරයේ නිහඬ බවට අමුතු හැඟුමක් එක් කරයි.

ඇත්තෙන්ම මේ ගැමි සිරියාව ම‍ටත් විඳ ගැනීමට හැකි වුව හොත් මා ඉතා වාසනාවන්ත කෙනෙක් යැයි මට සිතේ.

ඩී.එම්. හිමාෂා අමන්දි 
8 ශ්‍රේණිය, 
සෝමානන්ද දහම් පාසල, 
හැඟව

Comments