ලෝක ගුවන් යානා සිති­යම වෙනස් කළ යාප­නය ගුවන් තොටු­පොළ | සිළුමිණ

ලෝක ගුවන් යානා සිති­යම වෙනස් කළ යාප­නය ගුවන් තොටු­පොළ

යාප­නය  ගුවන් තොටු­පො­ළට පැමිණි  පළමු ගුවන් යානය
යාප­නය ගුවන් තොටු­පො­ළට පැමිණි පළමු ගුවන් යානය

තිස් අවු­රුදු යුද්ධය අව­සන් වීමත් සමඟ අපේ රට අන්ත­ර්ජා­තික වශ­යෙන් ඇතිවූ සබ­ඳතා වැඩි­වීම නිසා සංචා­රක ව්‍යාපා­රයේ මෙන් ම ආන­යන හා අප­න­යන ආර්ථි­කයේ වේග­වත් පිම්මක් ඉදි­රි­යට ඇදී ගියේ ය.

එම නිසා අන්ත­ර්ජා­තික වශ­යෙන් සබ­ඳතා තර කර ගැනීම පිණිස ගුවන් ගමන් පහසු කර ගැනීම මෙන් ම කඩි­නම් කර ගැනීම ද අවශ්‍ය වූයේ ය.

මේ නිසා නව ගුවන් තොටු­පොළ ආරම්භ කිරීමේ අව­ශ්‍ය­තා­වක් මතු විය. මත්තල ගුවන් තොටු­පොළ ඉදි­වූ­යේත් කටු­නා­යක ගුවන් ධාවන පථය පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­කට ලක් කෙළේත් ඒ නිසා ය.

උතුරු නැඟෙ­න­හිර සංව­ර්ධ­නයේ පිය­ව­රක් ලෙසින් හා අන්ත­ර්ජා­තික සබ­ඳතා තර කිරීමේ පිය­ව­රක් ද වශ­යෙන් පලාලි ගුව­න්තො­ටු­පොළ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව රජයේ අව­ධා­නය යොමු වුණේ ඒ අනු­වය.

පලාලි ගුවන් තොටු­පොළ යුද සමයේ භාවිත කෙරුණේ යුද කට­යුතු සඳහා වන අතර තුවා­ල­ ලත් සෙබ­ළුන් කඩි­න­මින් රෝහ­ල්ගත කිරී­ම­ටත් මිය­ගිය අය කොළ­ඹට රැගෙන ඒම­ටත් ගුවන් තොටු­පොළ වැඩි වශ­යෙන් භාවිත කෙරුණි.

ත්‍රිවිධ හමුදා සහ පොලී­සිය නිල­ධා­රීන්ගේ ගුවන් පහ­සුව ද ඒ හරහා සැල­සුණ අතර ලයන් එයාර් යාන­යට ත්‍රස්ත­වා­දීන් පහ­රදී බිම හෙළා එහි සිටි ගුවන් මඟීන් හා කාර්ය මණ්ඩ­ලය ඝාත­නය කිරී­මත් සමඟ සිවිල් ගුවන් ගමන් අත් හිටුවනු ලැබිණි. යුද කට­යුතු සඳහා ම වෙන්වූ ගුවන් තොටු­පො­ළක් බවට පලාලි පත්වූයේ එයින් පසු­වය.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් යාප­නය ගුවන් තොටු­පොළ විවෘත කළ අව­ස්ථාව. අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ, ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණ­තුංග ඉන්දීය මහ කොම­සා­රිස් තරං­ජිත් සිං සන්ධු අමා­ත්‍ය­ව­රුන් වන  රවි කරු­ණා­නා­යක. ජෝන් අම­ර­තුංග මහ­ත්ව­රුද ඒ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

මේ නිසා එය අභ්‍ය­න්තර ගුවන් තොටු­පො­ළක් ලෙස සංව­ර්ධ­නය කෙරෙන අතර එය අන්ත­ර්ජා­තික වශ­යෙන් පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­කට ලක් කිරී­මට රජය තීර­ණය කළේ ය. ඒ අනුව පලාලි ගුවන් තොටු­පොළ අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළක් ලෙස සංව­ර්ධ­නය කිරීමේ කට­යුතු සඳහා කැබි­නට් අනු­මැ­තිය හිමි­වුණි. ඒ ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණ­තුංග මහතා ඉදි­රි­පත් කළ කැබි­නට් පත්‍රි­කා­ව­කට අනු­වය. ඒ අනු­මැ­තිය ඔස්සේ පසු­ගිය ජූලි මස 05 වැනිදා ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණ­තුංග මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති උත්ස­ව­ය­කදී පලාලි ගුවන් තොටු­පොළ සංව­ර්ධ­නය කිරීමේ කට­යුතු ආරම්භ කරන ලදී.

ඒ සඳහා වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 2250 කි. එයින් රුපි­යල් මිලි­යන 1950ක් ශ්‍රී ලංකා රජ­යෙන් ද රුපි­යල් මිලි­යන 300ක් ඉන්දීය රජයේ ආධාර ලෙසින් හිමි විය.

අක්කර දහස් ගණ­නක වප­ස­රි­යක් පුරා විහිදී ඇති පලාලි ආර­ක්ෂිත කලා­පයේ ගුවන් තොටු­පො­ළට ද විශාල භූමි­යක් හිමිව තිබුණි. ගුවන් තොටු­පොළ යාප­නය අර්ධ­ද්වී­පයේ අධි ආර­ක්ෂක කලා­ප­යක් තුළ පිහිටා තිබීම නිසා එහි ආර­ක්ෂාව පිළි­බ­ඳව කිසිදු ගැට­ලු­වක් ඇති නොවී­මද මේ සංව­ර්ධ­න­යට වඩාත් විශාල රුකු­ලක් විය.

ඒ අනුව ගුවන් තොටු­පළේ සංව­ර්ධන කට­යුතු අදි­යර 3ක් යටතේ සිදු කිරී­මට යෝජනා වූ අතර පසු­ගි­යදා වන­විට එහි පළමු අදි­යරේ වැඩ කට­යුතු නිමා කරන ලදී.

1 අදි­යර යටතේ මීටර් 950ක දිග­කින් යුත් ගුවන් ධාවන පථය සම්පූ­ර්ණ­යෙන් අලු­තින් ඇති­රීම සිදු කෙරිණි‍.

ඒ අනුව අන්ත­ර්ජා­තික ගුවන් ගමන්හි යෙදෙන ආසන 72 ට අඩු කුඩා මඟී ගුවන් යානා වන [email protected] - 100 වර්ගයේ ගුවන් යානා ගොඩ බැස්ස­වී­මට හා ගුවන් ගත කිරී­මට පලාලි ගුවන් තොටු­පො­ළට හැකි­යාව ලැබේ.

ජූලි මස 5 වැනිදා අර­ඹන ලද ධාවන පථයේ පූර්ණ අලු­ත්වැ­ඩියා කට­යුතු දැන් නිමවා ඇත. ඒ අනුව මඟී පර්යන්ත කට­යුතු ද මේ වන­විට නිමවා ඇත. එසේ ම ආර­ක්ෂි­තව අන්ත­ර්ජා­තික ලෙස ගුවන් ‍යානා මෙහෙ­යුම් කට­යුතු සිදු කර­න්නට අවශ්‍ය සන්නි­වේ­දන කට­යුතු ද ස්ථාපිත කර ඇත. ඒ බව පැහැ­දි­ලිව විද්‍යා­මාන කර­මින් පසු­ගිය 15 වැනිදා අඟ­හ­රු­වාදා ඉන්දි­යාවේ චෙන්නායි සිට පලාලි දක්වා පළමු ගුවන් යානය අත්හදා බැලීම් චාරි­කා­වක් සඳහා මෙර­ටට පැමි­ණියේ ය. ඉන්දීය ජාතික ගුවන් සේව­යට අයත් එයාර් ඉන්දියා ගුවන් සමා­ගමේ අනු­බද්ධ ගුවන් සමා­ග­මක් වන ‘එලා­යන්ස් එයාර්’ සමා­ග­මට අයත් මේ ගුවන් යානය මෙර­ටට පැමි­ණී­මත් සම­ඟම එය මෙරට ගුවන් ඉති­හා­ස­යට අලුත් පිටු­වක් එක් කෙරිණ‍. ඒ මෙරට 3 වැනි අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පොළ ලෙසින් පලාලි ගුවන් තොටු‍පොළ එක් කර­මිනි.

ඒ එක් කිරීම් නිල උත්ස­වය පැවැ­ත්වුණේ පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා (17) උදෑ­සන ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙනි. මේ අව­ස්ථා­වට අමාත්‍ය අර්ජුන රණ­තුංග මහතා ද ඉන්දීය මහ කොම­සා­රිස් තරං­ජිත් සිං සන්ධු මහතා ද එක් විය. රවි කරු­ණා­නා­යක, ජෝන් අම­ර­තුංග, විජ­ය­කලා මහේ­ෂ්ව­රන්, මාවෙයි සේනා­ධි­රාජා යන මැති ඇමැ­ති­ව­රුන් ද උතුරු පළාත් ආණ්ඩු­කාර සුරේන් රාඝ­වන් මහතා ද ඒ සඳහා එක් වූහ.

ජනා­ධි­ප­ති­ව­රයා පසුව පලාලි ගුවන් තොටු­පොළ ‘යාප­නය අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පොළ’ ලෙසින් නම් කර­මින් එහි සමරු ඵල­කය විවෘත කරන ලදී. ගුවන් ගමන් පර්ය­න්තය ද ජනා­ධි­ප­ති­ව­රයා විසින් විවෘත කළ අතර අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඇතුළු පිරිස ද ඊට එක් වූහ.

දෙවන ලෝක යුද්ධ සමයේ ‘එයාර් සිලෝන්’ නමින් දකුණු ඉන්දීය ගුවන් සේවා­වන්හි ගම­නා­න්ත­යක් ලෙස පලාලි ගුවන් තොටු­පොළ භාවිතා කර ඇත. එත­රම් දීර්ඝ ඉති­හා­ස­යක් මේ ගුවන් තොටු­පො­ළට හිමිවේ.

එවන් ඉති­හා­ස­යක් හිමි ‍ගුවන් තොටු­පො­ළක් දේශීය හා විදේ­ශීය ජන­තා­වගේ ප්‍රයෝ­ජ­නය පිණිස වැඩි දියුණු කිරීම ආරම්භ කිරී­මට ඇමැති අර්ජුන ‍රණතුංග මහතා තීර­ණය කෙළේ ය. ඒ අනුව හිමිවූ කැබි­නට් අනු­මැ­ති­යෙන් හය මසක් ඉක්ම යාම­ටත් පෙර පලාලි ගුවන් තොටු­පොළ අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළක් බවට පත් කර­න්නට හැකි විය.

අර්ජුන රණ­තුංග ඇමැ­ති­ව­රයා පෙන්වා දෙන්නේ එක­වර විශාල මුද­ලක් වැය කර සමස්ත ගුවන් තොටු­පො­ළම නවී­ක­ර­ණය කිරී­මට කට­යුතු නොකළ බවත් 1 අදි­යර යටතේ ප්‍රති­සං­ස්ක­ර­ණය කරනු ලබන විය­දම ලබා ගන්නා අතර ඊළඟ අදි­යර ක්‍රියා­ත්මක කරනු ලබන බවයි.

විශේ­ෂ­යෙන් ම මෙම ගුවන් තොටු­පොළ සංව­ර්ධ­නය කිරී­මේදී යුද හා ගුවන් හමු­දාව විශේෂ දාය­ක­ත්ව­යක් ලබා­දුන් බව ද ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේ ය.

අර්ජුන රණ­තුංග ඇමැ­ති­ව­රයා ලෝක වාර්තා දෙක­කට හිමි­කම් ලබා­ගත් බවත් ඉන් පළ­මු­වැන්න ක්‍රිකට් ලෝක කුස­ලා­නය මෙර­ටට ලබා­දී­මත් දෙවැන්න කෙටි කල­කින් අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළක් ඉදි­කි­රී­මත් බව අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා පෙන්වා දුන්නේ ය‍.

එමෙන් ම ගුවන් තොටු­පොළ සංව­ර්ධ­නය ඉදිරි අදි­යර ක්‍රියා­ත්මක වීමෙන් පසුව මැද පෙර­දිග සිංග­ප්පූ­රුව, තායි­ල­න්තය හා මැලේ­සි­යාව වැනි රට­ව­ලින් ද පලාලි දක්වා ගුවන් ගමන් සිදු­කෙ­රෙන බව ද එතුමා පැව­සීය. යුද්ධ­යෙන් විනාශ වූ උතුරු නැගෙ­න­හිර ආර්ථි­කය පලාලි ගුවන් තොටු­පොළ හරහා යළි ස්ථාප­නය කිරී­මට කට­යුතු යොදන බව කී අග­මැ­ති­ව­රයා ඉදි­රි­යේදී යාප­නය හා කොළඹ අතර සිවිල් ගුවන් ගමන් ද යළි ආරම්භ කරනු ලබන බව ද කීය.

පලාලි ගුවන් තොටු­පොළ ශ්‍රී ලංකාවේ අන්ත­ර්ජා­තික සබ­ඳතා වැඩි දියුණු කිරී­මට, විශේ­ෂ­යෙන් ඉන්දි­යාව හා සබ­ඳතා වැඩි දියුණු කිරී­මට බෙහෙ­වින් ඉව­හල් වනු ඇත. ඉන්දීය රජ­යෙන් ද ඒ සඳහා රුපි­යල් මිලි­යන 300ක් ලබා දුන්නේ එහෙ­යිනි.

විශේ­ෂ­යෙන් ම ඉන්දි­යාව බලා ගමන් ගන්නා උතුරේ දෙමළ ජාති­ක­යන්ට කොළ­ඹට පැමිණ තම කාලය වැය කිරී­ම­කින් තොරව යාප­නයේ සිටම පලාලි දක්වා ගොස් ඉන්දි­යා­වට ගමන් කිරී­මට පහ­සු­කම් සල­සා­ගත හැකි ය.

මේ වන­විට චෙන්නායි හා හයි­ද්‍රා­බාද් දක්වා ගමන් ගන්නා ගුවන් මඟී­න්ගෙන් වැඩි පිරි­සක් උතුරේ ද්‍රවිඩ ජන­තාව බව හෙළිවී ඇත. එම නිසා එය එම ජන­තා­වට පම­ණක් නොව ඉන්දි­යාවේ සිට උතුරු පළා­තට පැමි­ණෙන ජන­තා­වට ද මේ ගුවන් තොටු­පොළ හරහා විශාල සෙතක් වනු ඇත.

උතුරේ නිෂ්පා­දන කොළ­ඹට රැගෙන විත් ඉන්දි­යාව ඇතුළු රට­ව­ලට අප­න­ය­නය කිරී­මට වඩා කඩි­න­මින් පලාලි හරහා අප­න­ය­නය කිරී­මට හැකි­යාව ලැබෙනු ඇත.

එමෙන් ම චෙන්නායි දක්වා වන ගුවන් කාලය විනාඩි 45 ක් දක්වා අඩු­වීම නිසා ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ද අඩු­වනු ඇත. එය ද මෙරට සියලු දෙනා­ටම ආර්ථික වාසි­යක් වනු ඇත. පලාලි ගුවන් තොටු­පොළේ ගුවන් ගමන් පාලක මැදි­රිය ඉදි­කි­රීම සඳහා ඉන්දීය රජය මඟින් ආධාර ලබා දුන්නේ ය. ගුවන් තොටු­පො­ළට පම­ණක් නොව මෙරට දුම්රිය සේවය, කන්ක­ස­න්තුරේ වරාය මෙන් ම දකුණේ ධීවර වරා­යන් සංව­ර්ධ­නය කිරී­මට ද රුහුණු විශ්ව විද්‍යා­ලයේ සම්ම­න්ත්‍රණ ශාලා­වක් ඉදි­කි­රී­මට පූර්ණ ආධාර ලබාදී ඇතැයි ඉන්දීය මහ කොම­සා­රිස් තරං­ජිත් සිං සන්ධු මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය‍.


ගුවන් යාන­යට ජල උප­හා­ර­යක්

යාප­නය අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පොළ නිසා උතුරේ පම­ණක් නොව උතු­රු­මැද නැඟෙ­න­හිර සිටින ජන­තා­වට ද පලාලි දක්වා ගොස් ඉන්දි­යාව ඇතුළු ගුවන් යානා සේවා සප­යන රට­වල් කරා ගමන් කිරී­මට හැකි­යාව ලැබෙනු ඇත. ඒ හරහා දඹ­දිව වන්ද­නා­වට යන්නන් උදෙසා ද යම් සහ­න­යක් ලැබෙනු ඇත.

පලාලි ගුවන් තොටු­පොළේ සෙසු අදි­යර ක්‍රියා­ත්මක වීමෙන් පසු ලක්වාසී සියලු ජන­තා­වට විශාල සෙතක් සැල­සෙන්නේ එය පරි­පූර්ණ අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළක් ලෙස සංව­ර්ධ­නය වන නිසා ය. ඒ අනුව 2 අදි­යර යටතේ ප්‍රධාන ගුවන් ධාවන පථය කිලෝ­මී­ටර් 1.5ක් දක්වා අලු­තින් ම සකස් කිරීම සිදු කෙරේ. එය සම්පූර්ණ කිරී­මෙන් පසුව ගුවන් තොටු­පොළ වර්ග කිලෝ­මී­ටර් 1800 ක ගුවන් අව­කා­ශ­යක් ආව­ර­ණය වන පරිදි ගුවන් යානා හැසි­ර­වී­මට හැකි­වනු ඇත.

ව්‍යාපෘ­තිය අව­සන් අදි­යර වන 3 වන අදි­ය­රේදී ප්‍රධාන ගුවන් ධාවන පථය කිලෝ­මී­ටර් 2.3ක් දක්වා සම්පූ­ර්ණ­යෙන් ම අති­රීම සිදු කෙරේ.

එම අදි­යර නිම කෙරෙන්නේ මඟී පර්ය­න්ත­යන් සිය­ල්ලම අන්ත­ර්ජා­තික ප්‍රමි­ති­යට සකස් කිරී­මත් සම­ඟිනි. ඒ සියලු කට­යුතු සම්පූර්ණ කිරී­මත් සමඟ AL – 320, AL – 321 වැනි ගුවන් යානා මෙහෙ­යුම් කට­යුතු සිදු කිරී­මට පලාලි ගුවන් තොටු­පො­ළට හැකි­යාව ලැබෙනු ඇත.

කටු­නා­යක අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පොළ මෙන් ම මෙරට තවත් අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළක් ලෝක ගුවන් යානා සිති­ය­මට එක්වන්නේ මෙරට සංව­ර්ධ­නය නව මං පෙතක් පෙන්නුම් කර­මිනි.

පලාලි ගුවන් තොටු­පොළ හරහා උප­රිම ප්‍රයෝ­ජ­නය ලබා ගැනී­මට නම් ගුවන් තොටු­පොළ දක්වා විශේෂ ප්‍රවා­හන සේවා­වක් ක්‍රියා­ත්මක කළ යුතු ය. විශේ­ෂ­යෙන් ම යාප­නය - පලාලි මාර්ගයේ ගමන් කර ගුවන් තොටු­පො­ළට යන මාර්ගය වෙනු‍වට මේ වන­විට යාප­නය - කන්ක­සන්තු‍රේ මාර්ගයේ කීර­මලේ හන්දි­යෙන් හැරී මාවි­ත්ත­පු­රම් හරහා නව මාර්ග­යක් පලාලි ගුවන් තොටු­පොළ දක්වා ඉදි­කර ඇත. ඒ - 9 මාර්ගයේ සිට එම මාර්ග­යෙන් ගුවන් තොටු­පො­ළට ළඟා­වී­මට කිලෝ­මී­ටර් 4.1ක් ගමන් කළ යුතු ය. ඒ සඳහා ගුවන් ගමන් හා සම්බ­න්ධව ප්‍රවා­හන සේවා ආරම්භ කළ යුතු වන්නේ එලා­යන්ස් ගුවන් සේවාව දින­පතා ම චෙන්නායි දක්වා ගුවන් සේවා ආරම්භ කිරී­මට කට­යුතු කර ඇති හෙයිනි. ඉදි­රි­යේදී දේශීය මෙන්ම ඉන්දි­යාවේ වෙනත් ගුවන් සමා­ගම්ද ඉන්දි­යාවේ අනෙක් ගම­නා­න්ත­යන් සදහා ගුවන් ගමන් ඇරැ­ඹෙනු ඇත.

සේයාරූ - සුදත් මල­වීර

 

Comments