බඩල්ගම සියඹලාවක් යටදී ඇරැඹුණු ගෙවල් හැදීමේ විප්ලවය | සිළුමිණ

බඩල්ගම සියඹලාවක් යටදී ඇරැඹුණු ගෙවල් හැදීමේ විප්ලවය

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් 1987 වර්ෂය ජගත් නිවාස වර්ෂය ලෙස ප්‍රකා­ශ­යට පත් කෙරුණේ එව­කට මෙරට අග­මැ­තිව සිටි ආර්. ප්‍රේම­දාස මහතා 1980 දී එක්සත් ජාතීන්ගේ 35 වැනි සභා වාර­යේදී සිදු කළ කතාවේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. ජගත් නිවාස වසර ආරම්භ වූ 1987 ජන­වාරි 01 දා අනු­රා­ධ­පුර ශ්‍රී මහා බෝධිය අබි­යස සිට තරුණ කණ්ඩා­ය­මක් පාග­ම­නක් ආරම්භ කළහ. ‘සෙවණ පාග­මන’ ලෙස හැඳින්වූ ඊට නාය­ක­ත්වය දුන්නේ පී. හැරි­සන් තරු­ණයා ය. මේ පා ගම­නට එක් වූ පිරිස දොළොස් දෙනෙකි. දින 10ක් පුරා මඟ ගෙවා කොළ­ඹට ළඟා වූ මේ පිරිස උත්ස­ව­ශ්‍රී­යෙන් පිළි­ගනු ලැබූවේ අග­මැති ආර්. ප්‍රේම­දාස මහතා විසිනි.

මේ තරුණ කණ්ඩා­යම දැක් වූ උප­හා­ර­යට තමන් ඉටු කළ යුතු යුතු­කම කුම­ක්දැයි අගමැ­ති­තුමා විමසා සිටියේ ඔවුන්ට කළ ගුණ දැක්වී­මක් වශ­යෙනි. ඔවුන්ගේ එකම ඉල්ලීම වුයේ තමන් ජීවත් වන නොදි­යුණු ගම්මා­නය උදා කළ ගම්මා­න­යක් ලෙස දියුණු කළ යුතු බවයි. මේ අනුව අග­මැ­ති­තු­මාගේ උප­දෙස් පරිදි මිහි­න්තලේ මැති­ව­රණ කොට්ඨා­සයේ ඉහළ කෝන්ගස් වැව ගම්මා­නය අංග සම්පූර්ණ උදා කළ ගම්මා­න­යක් බවට පත් විය. මෙයින් ඉහ­ළ­කෝ­න්ගස් වැව ජන­තා­වට අලු­තින් නිවාස 35 ක් සහ වැඩි­දි­යුණු කළ නිවාස 24ක් හිමි විය. ප්‍රජා ශාලා­වක්, බුදු මැඳු­රක් සහ පුස්ත­කා­ල­යක් ඊට එකතු වූ අතර ආර්ථික වටි­නා­ක­ම­කින් යුතු බඩ ඉරිඟු, දුම්කොළ ගෙවතු වගා­වක් වශ­යෙන් පටන් ගැනිණි. ඉහ­ළ­කෝන් ගස් වැව උදා කළ ගම්මා­නය විවෘත කළේ 1988 පෙබ­ර­වාරි 27 වැනි දාය.

එදා සෙවණ පා ගමන මෙහෙය වූ පී. හැරි­සන් තරු­ණයා අද එක්සත් ජාතික පක්ෂයේ අමා­ත්‍ය­ව­ර­යෙකි. ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් වූ පසුව සිරිසේන කුරේ නිවාස ඇමැති වූ අතර නියෝජ්‍ය නිවාස ඇමැති වූයේ පී.හැරිසන් ය.

ඉන්න හිටින්න තැනක් නැති, හිසට වහ­ලක් නැති දුප්පත් ජන­තාව වෙනු­වෙන් නව නිවාස සාදා දීමේ උදා­ගම් වැඩ­පි­ළි­වෙළ ආරම්භ කළේ අග්‍රා­මාත්‍ය රණ­සිංහ ප්‍රේම­දාස මැති­තු­මාය. ඒ 1978 ජුනි 23 වැනිදා යාප­හුව මැති­ව­රණ කොට්ඨා­සයේ ‘බඩ­ල්ගම’ උදා­ග­ම්මා­නය විවෘත කිරී­මෙනි. ‘හිසට සෙව­ණක් - හිතට නිව­නක්” යන තේමා පාඨ­යෙන් යුක්ත උදා­ගම් වැඩ­පි­ළි­වෙළ බඩ­ල්ගම ආරම්භ කිරී­මට හේතු වූයේ 1978 මාර්තු 31වැනි දින අග­මැති ආර්. ප්‍රේම­දාස මැති­තුමා ඒ ප්‍රදේ­ශයේ කළ සංචා­ර­යේදී කුල­හීන ජන කොට්ඨා­ස­යක් පොල්අතු සෙවිලි කළ වරිච්චි බිත්ති­ව­ලින් තැනූ පැල්ප­ත්වල දුක සේ දිවි ගෙවන අයුරු දැක හද­වත කම්පා වීමෙනි. එහි ඇතැම් අය දිවි ගෙවූයේ ගරා වැටුණු පැල්ප­ත්ව­ලය. මෙයින් හද­වත උණු වූ අග­මැ­ති­තුමා කෙළින්ම ගියේ මහව පොලිස් ස්ථාන­ය­ටය.

“මට ටෙලි­ෆෝන් කෝල් එකක් ගන්න පුළු­වන්ද?” ඔහු පොලිස් සැර­ය­න්ගෙන් ඇසුවේ 1978 යුගය වන විට අද මෙන් ජංගම දුර­ක­තන තබා ස්ථාවර දුර­ක­ත­න­වත් රටේ ව්‍යාප්ත වී නොති­බුණු නිසාය. සර­ම­කින් හා බුෂ්කෝට් එක­කින් සැරසී සිටි මේ පුද්ග­ලයා කවු­රු­දැයි නොදන්නා පොලිස් සැර­යන් “තමුසෙ කොහෙ ඉඳ­ලද?” යනු­වෙන් විම­සීය. “මම ප්‍රේම­දාස” යනු­වෙන් අග්‍ර­මාත්‍ය ආර්. ප්‍රේම­දාස ඊට පිළි­තුරු දුන්නේය. එයින් චකි­ත­යට පත් වූ පොලිස් සැර­ය­න්ව­රයා අග­මැ­ති­ව­ර­යාට හිඳ ගැනී­මට පුටු­වක් පිරි­නැ­මීය. එහෙත් කාරු­ණි­කව එය ප්‍රති­ක්ෂේප කළ ඔහු බංකුවේ වාඩි වී, කොළඹ සිටින තම නිල­ධා­රින් කීප­දෙ­න­කුට කතා කළේය. ඊට පසු දින, එනම් අප්‍රේල් 01 වැනි දින ඔවුන්ට යාප­හුවේ බඩ­ල්ග­මට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නේය. අප්‍රේල් 01 වැනි දින මෝඩ­යන්ගේ දවස නිසා මෙය විශ්වාස කිරී­මට මැළි වූණත් අව­දා­න­ම­කට මුහුණ දීමට අකැ­මැති වූ නිල­ධා­රීන් බඩ­ල්ග­මට යන විට අග­මැති ආර්. ප්‍රේම­දාස මහතා සැමට පෙර එම ස්ථාන­යට ගොස් සිටි­යේය. එහි සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට සුදුසු ස්ථාන­යක් නොමැති නිසා සිය­ඹලා ගසක් යට කුඩා මේස­යක් සහ බංකු කීප­යක් තබා­ගෙන ඓති­හා­සික සාක­ච්ඡාව පව­ත්වනු ලැබීය. 1978 අප්‍රේල් 01 දින සිය­ඹලා ගස යට පැවැති මේ සාක­ච්ඡාව යාප­හුව බඩ­ල්ගම උදා­ග­ම්මා­නය බිහි කිරීමේ අඩි­තා­ලම විය. උදා­ගම් ව්‍යාපා­රයේ තිඹි­රි­ගෙය ලෙස සැල­කෙන මේ සිය­ඹලා ගස අද­ටත් ආරක්ෂා කරනු ලැබේ. එවන්ස් කුරේ විසින් රචිත ‘ජන­සෙත සැදු ජන­පති සෙවණේ’ කෘතියේ මේ තොර­තුරු සඳ­හන් වී ඇත.

ගම් උදා භූමියේ බලා සිටින ප්‍රේමදාස මහතා

ඊළ­ඟට අවශ්‍ය වූයේ මේ නිවාස ඉදි කිරීමේ වැඩ­ස­ට­හ­නට නමක් දැමී­මයි. විවිධ අය විවිධ නම් යෝජනා කළහ. ගමට උදා­වක් ඇති වී තිබෙන නිසා “උදා­ගම” යනු­වෙන් නම් කිරීම වඩා හොඳ බව පෙන්වා දුන්නේ පළාත් පාලන නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍යාං­ශයේ සහ­කාර ලේකම් (ප්‍රවෘත්ති) සහ පසුව ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් (ප්‍රවෘත්ති) ලෙස උස­ස්වීම් ලැබූ, අග­මැ­ති­තුමා ඉතා සමී­පව ඇසුරු කළ එවන්ස් ගුණ­ලාල් කුරේය. ඉන්ප­සුව නිවාස තනා ඉදි කරනු ලබන ගම්මාන ප්‍රදේ­ශ­යට ආවේ­ණික නමක් සමඟ ‘උදා­ගම’ ලෙස හඳු­න්වනු ලැබීය.

එහෙත් මෙය නිවාස ඉදි කිරී­මට පම­ණක් සීමා වූයේ නැත. ඒ ප්‍රදේ­ශයේ මංමා­වත් ඉදි කිරීම, රෝහල් සහ පාසල් දියුණු කිරීම, වෙළෙඳ ස්ථාන ආරම්භ කිරීම, අලුත් රැකියා මාර්ග බිහි­වීම ජල සම්පා­දන කට­යුතු ඇති කිරීම ඇතුළු ‍පොදු කට­යුතු රාශි­යක් ඊට සම­ගා­මීව ඇති විය. ඒ සම­ඟම ප්‍රදේ­ශයේ ආර්ථික, සමා­ජීය හා ආග­මික ප්‍රබෝ­ධ­යක් ජනිත විණි.

නැති බැරි අයට නිවාස ලබා දී ඒ සම­ඟම ආර්ථික හා සමා­ජීය සංව­ර්ධ­න­යක් ඇති කිරීමේ “උදා­ගම්” සංක­ල්පය ආර්. ප්‍රේම­දාස මහතාට ලැබුණේ සර්වෝ­දය ව්‍යාපා­ර­යෙන් බව අපට අනු­මාන කළ හැකිය. ඊට හේතුව ඒ.ටී. ආරි­ය­රත්න රචනා කළ “ජනා­ධි­පති ප්‍රේම­දාස පුර­වැසි මමයි” කෘතියේ ඒ බව සඳ­හන් වී තිබී­මයි. එය මතු දැක්වේ.

“සර්වෝ­දය ක්‍රියා­ත්මක කරන ග්‍රාමෝ­දය වැඩ­ස­ට­හන අනුව රජයේ ‍ග්‍රාමෝදය වැඩ­ස­ට­හ­නක් ආරම්භ කිරී­මට උදව් වන ලෙස එතුමා අපෙන් ඉල්ලා සිටි­යේය. කුරු­ණෑ­ගල බඩ­ල්ගම ගැන ද සඳ­හන් කළ එතුමා එහි සේවය සඳහා සේව­ක­යෙක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි­යේය. එහි කට­යුතු බාරව වැඩ කිරීම සඳහා අපේ ළාබාල සේව­ක‍යෙකු වූ සුමිත් රූප­සිංහ මල්ලී යැවී­මට ද, ස්ථානය දැක බලා­ගෙන මගේ අද­හස් දීමට ද පොරොන්දු වී එම පොරො­න්දුව ඉෂ්ට කළෙමි. එම උදා­ගම විවෘත කිරී­මෙන් පසු දීප ව්‍යාප්තව ගම් උදා වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කර දීමට මම එකඟ විමි. ඒ සඳහා මැති­ඇ­මැ­ති­ව­රුන්ද නිල­ධා­රීන් ද දම්සක් මන්දි­ර­යට ගෙන්වා පුහුණු කිරීමේ වැද­ග­ත්කම පෙන්වා දුන්නෙමි.”

(ජනා­ධි­පති ප්‍රේම­දා­සයි පුර­වැසි මමයි)

කෙසේ වෙතත් ජන­තා­වගේ නිවාස ප්‍රශ්න­යට විස­ඳුම් සෙවී­මට ආර්. ප්‍රේම­දාස මහතා විසින් ගනු ලැබූ ප්‍රථම පිය­වර මේ උදා­ගම් සංක­ල්පය නොවේ. ඔහු අග­මැති ඩඩ්ලි සේනා­නා­යක මහතාගේ පාලන සමයේ පළාත් පාලන උප ඇමැති වශ­යෙන් කට­යුතු කළ 1965 – 1970 කාලයේ පවා ඒ කෙරෙහි අව­ධා­නය යොමු කර තිබේ.

 ඉදිවන උදා ගමක මංගල පස් පිඬැල්ල කපමින්

“එකල ප්‍රේම­දා­සගේ ව්‍යාපෘ­ති­ව­ලින් එකක් වූයේ ගමින් ගම යා කෙරෙන කුඩා පූට්ටු පාලම් තැනී­මය. කොළඹ නග­රයේ තිබූ විශාල වගු­රක නිවාස, සාප්පු හා විනෝ­දා­ස්වා­දය පිණිස උයන් ආදි­යෙන් සම­න්විත ආදර්ශ නග­ර­යක් තැනී­මට ඔහුට අවශ්‍ය විය. සැල­සු­මක් වශ­යෙන් යහ­පත් වුවද ආර්ථික සම්ප­ත්වල අර­පි­රි­මැස්ම ගැන සිතූ ඩඩ්ලි එයින් උද්දා­ම­යට පත් වූයේ නැත.”

(අර­ලිය ගහ මැඳුරේ ස්පන්ද­නය -50 වස­රක අත්දැ­කීම් - බ්‍රැඩ්මන් වීර­කෝන්)

එදා ඩඩ්ලි සේනා­නා­යක අග­මැ­ති­ව­රයා වෙතින් ප්‍රති­ක්ෂේප වූ සිය අද­හස මල්ඵල ගැන්වීම සඳහා ආර්. ප්‍රේම­දාසයන්ට 1978 වන තුරු බලා සිටින්න සිදු විය. ආර්. ප්‍රේම­දාස මහතා දැඩි අධි­ෂ්ඨා­න­ය­කින් අප්‍ර­ති­හත ධෛර්ය­යෙන් සිය ඉල­ක්කය සපුරා ගැනී­මට කට­යුතු කළ නාය­ක­යකු බව හෙළි වන එක් නිද­සු­නක් ලෙස මෙය දැක්විය හැකිය.

1978 දී ආරම්භ කළ උදා­ගම් වැඩ­පි­ළි­වෙළ ගැන පෞද්ග­ලි­ක­වම සොයා බැලී­මට කට­යුතු කළ ආර්. ප්‍රේම­දාස මහතා මේ කට­යුතු මෙහෙ­ය­වී­මට ඩන්ස්ටන් ජය­ව­ර්ධන, ආර්. පාස්ක­ර­ලිං­ගම්, සුසිල් සිරි­ව­ර්ධන,ඩබ්ලිව්. ඩී. අයි­ල­ප්පෙ­රුම වැනි අය තෝරා පත් කළේය. ඔහු කිසිම විටෙක ‘නැත’ යන පිළි­තුර භාර ගැනී­මට සූදා­නම් නොවූ බව අර­ලිය ගහ මැදුරේ ස්පන්ද­නය - 50 වස­රක අත්දැ­කීම්” කෘති­යෙ­හිලා බ්‍රැඩ්මන් වීර­කෝන් සඳ­හන් කරයි. අඩු විය­දම් තාක්ෂ­ණය, සැප­යුම් කළ­ම­නා­ක­ර­ණය ගැන නිර­තුරු සොයා බැලූ අග­මැති ආර්. ප්‍රේම­දාස මැති­තුමා උදා­ගම් සම්බ­න්ධව ප්‍රග­තිය සමා­ලෝ­ච­නය කළේය. මේ සඳහා අර­මු­දල් රැස් කිරී­මට අජන්තා විජේ­සේන වැනි අය බඳවා ගනු ලැබීය. සෙවණ අර­මු­දල ආරම්භ වූයේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි.

සෑම මාස­ය­කම උදා­ග­මක් විවෘත කෙරුණු අතර, ඒ ප්‍රදේ­ශයේ මන්ත්‍රී­ව­රුන්, ආග­මික නාය­ක­යන් සහ ටව­ර්හෝල් කලා­ක­රු­වන් එක් වූ මේ අව­ස්ථාව උත්ස­ව­ශ්‍රී­යෙන් පැවැ­ත්විණි. මේ උත්සව සභාව ඒ මොහොතේ ජාතික වැද­ග­ත්ක­මින් යුතු විවිධ කරුණු හුවා දැක්වී­මට අග­මැ­ති­තුමා හොඳ අව­ස්ථා­වක් කර ගත්තේය. එයින් ජාතික වැද­ග­ත්ක­මින් යුතු කරුණු ගමේ බිම් මට්ටම දක්වා පැති­රිණි. අග­මැ­ති­තු­මාගේ උප­න්දි­නය යෙදී තිබුණු ජුනි 03 වැනි­දාට ඈත පළා­තක “ගම්උ­දාව” ඇර­ඹුණු අතර එය දින 10ක් පුරා උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්විණි. ඈත පළා­තක උදා­ග­මක් විවෘත කිරී­මෙන් අන­තු­රුව මේ “ගම්උ­දාව” ආරම්භ විය. ආර­ම්භක දිනය අග­මැ­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි. සෙසු දින විවිධ ඇම­ති­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු වූවත් ආර්. ප්‍රේම­දාස මහතා උත්සව භූමියේ ම රැඳී සිටියේ අඩු පාඩු සහ නර­ඹ­න්නන්ගේ ප්‍රති­චාර දැක­බ­ලා­ගැ­නී­ම­ටය. සංගීත සංද­ර්ශන, මෙරි‍ගෝ රවුන්ඩ්, කතුරු ඔංචිල්ලා සර්කස් වැනි විනෝ­දා­ස්වා­දය ගෙනෙන අංගෝ­පාංග රැස­කින් සහ වෙළෙඳ කුටි රැස­කින් ගම්උ­දාව සම­න්විත විය. කිසිදා ගුවන් යාන­යක්, නෞකා­වක් ඇතු­ළ­තට නොගිය ඈත දුෂ්කර ගම්වැ­සි­යන්ට ඒවා නැර­ඹී­මට ගම්උදා භූමියේ ආකෘති සකස් කර තිබිණි.

යාපහුව බඩල්ගම ප්‍රථම උදා ගම ගැන කතා කළ සියඹලා ගහ අසල ඇති ස්මාරකය

අග­මැති ආර්. ප්‍රේම­දාස මහතාගේ නිවාස වැඩ පිළි­වෙළ ‘උදා­ගම්’ සහ ‘උදා කළ ගම්මාන’ යනු­වෙන් කොටස් 2කින් යුත්ත විය. උදා­ගම් යනු­වෙන් හැඳි­න්වූයේ අලුත් ඉඩ­ම්වල ඉදි­වන අලුත් නිවා­ස­වල සිදු කෙරෙන පදිංචි කිරීම්ය. මේ නිවාස ඉදි කෙරුණේ රජයේ කොන්ත්‍රා­ත්ක­රු­වන් විසිනි. පැරණි ගමක තෝරා­ගත් ‍කොටසක් වැඩි දියුණු කර යටි­තල පහ­සු­කම් සැප­යීම උදා කළ ගම්මා­න­වල දැකිය හැකි විශේ­ෂ­ත්වය විය. ඒ හැර නග­ර­යෙන් බැහැර විශාල වප­ස­රි­යක නිවාස යෝජනා ක්‍රම අරඹා, ආදර්ශ ගම් ලෙස විවෘත කෙරුණේ මේ වැඩ­පි­ළි­වෙ­ළේම දිගු­වක් ලෙසිනි. රද්දො­ළු­ගම, මත්තේ‍ගොඩ, රන්පො­කු­ණ­ගම ඊට නිද­සුන් කීප­යකි. මේ ආදර්ශ ගම්මාන නිසා එකී ප්‍රදේශ සංව­ර්ධ­නය වී ඇති ආකා­රය අද­ටද දැක­ගත හැකි ය.

“ප්‍රේම­දාස මිනි­සුන්ගේ නිවාස අව­ශ්‍ය­තාව තේරුම් ගෙන තිබුණේ කොළඹ මුඩුක්කු පෙදෙ­ස්ව­ලින් ලද අත්දැ­කීම් මතය. නාග­රික ධන­ව­තුන් සිතා සිටින පරිදි සුන්දර ගැමි ජීවි­ත­යක් ඒ වන විට නොපැ­වතී හෙයින් ගම්බ­දට ද නිවාස ප්‍රශ්නය තදින් දැනුණි. දස­ලක්ෂ ගණන් ජන­තාව ජීවත් වූයේ නිසි පහ­සු­ක­ම්ව­ලින් තොරව සෞඛ්‍ය සම්පන්න නොවන නිවා­ස­ව­ලය. ප්‍රේම­දාස දැවැන්ත නිවාස යෝජනා සංක­ල්ප­යක් සක­ස­මින් එය ක්‍රියා­ත්මක කර­න්නට වෙහෙ­සුණි. ඔහුගේ නිවාස ක්‍රම­වල නිවාස ලැබුවෝ අලි­යාට කති­රය ගැසු­වෝම නොවුහ. කිසිදු ආකා­ර­යක භේද­ය­කින් තොරව සාමාන්‍ය ජන­තා­වට ඔරොත්තු දිය හැකි මුද­ල­කට නිවාස ලබා ගත හැකි විය. ආර­ම්භයේ එය සම්පූ­ර්ණ­යෙන්ම රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ පැවැති නමුදු එය දිගු කාලි­නව පවත්වා ගෙන යා නොහැකි නිසා එයින් උගත් පාඩම් අනුව ඔහු නව ක්‍රම හඳුන්වා දුනි. ඒ සඳහා බොහෝ දෙනෙ­කුගේ දාය­ක­ත්වය ලබ­මින් පෞද්ග­ලික අංශය ද මැදි­හත් කර ගනි­මින් රාජ්‍ය විය­දම් අඩු කර ගැනී­මට ඔහුට හැකි විය.” (අර­ලි­ය­ගහ මැදුරේ ස්පන්ද­නය - 50 වස­රක අත්දැ­කීම් - බ්‍රැඩ්මන් වීර­කෝන්)

ආර්. ප්‍රේම­දාස මහතාගේ ගමේ සංක­ල්පය‍ට නිද­සු­නක් වශ­යෙන් රත්ම­ලානේ යසෝ­රා­පුර දැක්විය හැකිය. එය ආරම්භ කළේ මහ­ගොඩ සුමෙත්තා දස­සිල් මෑණි­යන්ගේ ඉල්ලී­ම­කට අනු­වය. රත්ම‍ලානේ ගොවි­කම් පෙදෙ­සට වැඩම කළ සුමෙත්තා මෑණියෝ ආරා­ම­යක් තනා­ගෙන වාසය කළ අතර ඒ අවට අහිං­සක ජන­තාව පැල්පත් තනා­ගෙන දිවි ගෙවුයේ දුෂ්කර අන්ද­මිනි. වරක් නුව­ර­එ­ළියේ නාය­යෑ­ම­කින් අනාථ වූ දරු­වන් පිරි­සක් ගැන සැල වී සුමෙත්තා සිල් මෑණි­යන් එහි වැඩම කර දරු­වන් කීප දෙනකු රැගෙන ආවේ ඇයට ආර්ථික හැකි­යා­වක් ඇති නිසා නොවේ. දරු­වන් වෙනු­වෙන් ඇගේ කුලුණු බර හද­වත උණු වූ නිසාය. ඈ මෙම දරු­වන් ජීවත් කිරී­මට දරන වෑයම වරක් පුව­ත්ප­තක පළ විය. එය දුටු අග­මැති ආර්. ප්‍රේම­දාස මහතා ආරා­ම­යට ගියේ මොර­ටුව ජය­ග­ත්ගම උදා­ගම විවෘත කිරී­මට යන අත­ර­ම­ග­දීය. ජල විදු­ලිය වැනි පහ­සු­කම් කිසි­වක් එහි නොමැති බව දුටු ප්‍රේම­දාස මහතා ආරා­මයේ සංව­ර්ධ­නය සඳහා අවශ්‍ය මොන­වා­දැයි විමසා ඇත. එහිදී මෑණි­යන් පැව­සුවේ “මේ අවට අහිං­සක දරු පවුල් 230 ක් ඉන්නවා. ඒ අයට ඉඩ­ම්වල අයි­ති­යක් නැහැ. ඔවුන්ට ඉඩ­ම්වල අයි­තිය ලැබු­ණොත් ඔවුන් මාව බලා­ග­නිවී” යනු­වෙනි. සුමෙත්තා දස­සිල් මෑණි­යන්ගේ උදාර ගුණය ගැන පැහැ­දුණු අග­මැ­ති­තුමා ඔවුන් උදෙසා නිවාස අයි­තිය ලබා දෙමින් යසෝ­රා­පුර උදා කළ ගම්මා­නය ඉදි කළ අතර ආරා­මය වැඩි දියුණු කර ගැනී­මට සෙවණ අර­මු­ද­ලින් රු. ලක්ෂ­යක් පරි­ත්‍යාග කළේය.

ය‍සෝදරා ආරා­මය මුල් කර ගනි­මින් යසෝරා පුර ලෙස එකී ගම්මා­නය නම් කළ ද ඒ ඒ ප්‍රදේ­ශයේ ඓති­හා­සික හෝ ආග­මික වටි­නා­කම අනුව ගම්මා­න­යට නමක් යෙදීම සාමාන්‍ය සිරිත විය. එහෙත් වාර්ෂික ගම්උදා උත්ස­වය හා අදා­ළව තැනූ ගම්මා­නය සඳහා නමක් දීමේ දී ලංකාවේ සිය­ලු­දෙ­නා­ටම සහ­භාගී විය හැකි ආකා­ර­යට දින­මිණ පත්‍රය අනු­ග්‍ර­හ­යෙන් “ගමට නමක්” නම් වූ තර­ග­යක් පැවැ­ත්වූයේ එවන්ස් කුරේ මහ­තාගේ යෝජ­නා­ව­කට අනු­වය. නම් අත­රින් ප්‍රථ­ම­යෙන් තෝරන නමට රු. 25,000/- ක්ද තවත් නම් 15 කට රු. 5000.00 බැගින් රු. 75,000 /- ක් ද පිරි­නැ­මුණේ ලංකා බැංකුව විසිනි.

එමෙන්ම ගම්උදා සංව­ත්සර වෙනු­වෙන් පළ කළ ආරා­ධනා පත්‍ර සහ විස්තර පත්‍රිකා සියල්ල හෙට්ටි­ගොඩ සිද්ධා­ලේප සමා­ගමේ විය­ද­මෙන් ද වර්ණ ඡායා­රූප සහිත සංව­ත්සර ග්‍රන්ථය ලිවර් සමා­ගමේ විය­ද­මෙන්ද මුද්‍ර­ණය කරනු ලැබුවේ රජයේ මුදල් ඒ සඳහා වැය නොක­ර­මිනි.

1978 වසරේ උදා­ගම් ව්‍යාපා­රය ඇර­ඹුවේ වසර 5ක් තුළ නිවාස ලක්ෂ­යක් ඉදි කිරීමේ ඉල­ක්ක­යෙනි. සැබැ­වින්ම වසර 5ක් වන විට නිවාස එක් ලක්ෂ පනස් තුන් දාහක් ඉදි කිරී­මට හැකි විය. ඉන් පසුව ඊළඟ වසර 5 තුළ නිවාස දස ලක්ෂය දක්වා ඉල­ක්කය දීර්ඝ වූ අතර එය ද 1989 වන විට සම්පූර්ණ කර ගත හැකි විය. ඉන් පසුව ඉල­ක්කය නිවාස ලක්ෂ 15 දක්වා පුළුල් විය. එහෙත් එව­කට ජනා­ධි­පති තන­තුර හෙබවූ ආර්. ප්‍රේම­දාස මහතාගේ හදිසි අභා­ව­යත් සමඟ නිවාස ලක්ෂ 15 ඉල­ක්කය සපුරා ගැනී­මට නොහැකි වූ බව සඳ­හන් කළේ නිවාස සංව­ර්ධන අධි­කා­රියේ වත්මන් සභා­පති ලක්වි­ජය සාගර පල­න්සූ­රිය මහ­තාය. “වසර 2000 දී සැමට සෙවණ” යන උදාර සංක­ල්ප­යට 1993 දී විරා­ම­යක් දීමට සිදු වූයේ ඒ අයු­රිනි.

Comments