කළ­කම් පලදී එල්ලු­ම්ග­හට යන කොට­කෙ­තන ඝාත­කයා | සිළුමිණ

කළ­කම් පලදී එල්ලු­ම්ග­හට යන කොට­කෙ­තන ඝාත­කයා

 

තු­රු­මැද පළාතේ සිය ආධි­පත්‍ය පතු­රු­වා­ගෙන සිටි දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා සිය සහ­ච­ර­යන් යොදා­ගෙන සිදු කළ කලැ­ත්තෑවේ ද්විත්ව මිනී­මැ­රුම් හැටේ දශ­කයේ රටම කතා වූවකි.

එම අප­රා­ධය ඇසින් දුටු කිසි­වෙකු ‍නොවූවත් එකි­නෙ­කට සම්බන්ධ වන විද්‍යා­ත්මක සාක්ෂි හෙවත් පර­වේ­ෂ­ණීය සාක්ෂි පද­නම් කර­ගෙන දුන් තීන්දුව මත ඇල්ෆ්‍රඩ් සොයිසා සහ ඔහුගේ සහ­ච­ර­යෙක් එල්ලා මරා දමනු ලැබූහ.

ඉන් වසර 45කට පසු මෑත කාලයේ මහත් ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් රත්න­පුර, කොට­කෙ­තන පළමු ද්විත්ව ඝාත­න­යට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කෙරුණේ පසු­ගිය 15 වැනි­දාය.එය කලැ­ත්තෑවේ නඩුවේ තීන්දුව සිහි­ග­න්වයි. කොට­කෙ­තන පන්සල මාවතේ විසූ 52 හැවි­රිදි නයනා නිල්මිණි සහ ඇගේ දිය­ණිය වූ 17 හැවි­රිදි කාවින්ද්‍යා චතු­රංගි සෙල්ල­හේවා දෙදෙ­නාගේ ඝාත­කයා වූ ලොකු­ග­ම­හේ­වගේ දර්ශන හෙවත් රාජු නමැ­ත්තාට එදින කොළඹ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා මරණ දඬු­වම නියම කළේ දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු­වය. ඇසින් දුටු කිසිදු සාක්ෂි­යක් නැතිව පර­වේ­ෂ­ණීය සාක්ෂි සහ ඩීඑන්ඒ සාක්ෂි සට­හ­න්ව­ලින් ලැබුණු තොර­තුරු මත විත්ති­ක­රුට මරණ දඬු­වම නියම කරනු ලැබීය.

රත්න­පුරේ, ‍කොටකෙ­තන, පන්සල පාරේ සුරම්‍ය නිවෙසේ විසූ නයනා නිල්මිණි සහ රෝහිත සෙල්ල­හේවා දෙදෙ­නාට දරුවෝ දෙදෙ­නෙකි. වැඩි­ම­හල් පුත්‍රයා කුසල් සෙල්ල­හේවා කොළඹ රැකි­යා­වක නිර­තව සිටි­යේය. රෝහි­තද කොළඹ ප්‍රදේ­ශයේ ආර­ක්ෂක අංශයේ රැකි­යා­වක නිරත වූයේය. ඔවුන් දෙදෙනා නිවෙ­සට ගියේ සති­ය­කට දෙක­කට වරකි. එහෙත් නිවෙසේ විසූ­වන් පිළි­බඳ රෝහිත සහ කුසල් නිත­රම පාහේ දුර­ක­තන ඇමැ­තුම් දෙමින් සොයා බැලු­වේය. නිවෙසේ විසුවේ නයනා සහ දිය­ණිය කාවින්ද්‍යා පමණි. කාවින්ද්‍යා රත්න­පුර ෆර්ගි­යු­සන් බාලි­කාවේ උස­ස්පෙළ පන්තියේ ඉගෙ­නුම ලබ­මින් සිටි­යාය.

 

 

දිය­ණි­යගේ විවාහ උත්ස­ව­ය

2008 වසරේ ජුලි 21 වැනි දා කොට­කෙ­තන විසූ පනස් හය­වැනි වියේ පසුවූ සෙල්ල­යියා මාරි­යා­නම් කාන්තාව කපා­කොටා ඝාත­නය කෙරිණි. එම ඝාත­න­යෙන් පසු කහ­වත්ත ප්‍රදේ­ශයේ අමා­නු­ෂික කාන්තා ඝාතන වැලක්ම සිදු විණි. 2012 වසර වන විට අබි­ර­හස් ලෙස සිදුවූ එවැනි කාන්තා ඝාතන සංඛ්‍යාව අට දක්වා ඉහළ ගියේය. ඒ ගැන නොයෙ­කුත් කට­කතා පැති­රිණි. ඒ ඝාතන භූත­යෙකු සිදු කරන බවට බොහෝ දෙනෙක් පව­ස­න්නට වූහ.

නයනා නිල්මි­ණිගේ නිවෙ­සට යාබද මීටර් දහ­යක පහ­ළො­වක දුරින් විසුවේ දර්ශන හෙවත් රාජුය. පතල් රැකි­යාවේ නිර­තව සිටි­යත් රාජු ගමේ ප්‍රක­ටව සිටියේ කසිප්පු ජාවා­ර­ම්කා­ර­යෙකු ලෙසයි. මිරිස්ස ප්‍රදේ­ශ­යෙන් කොට­කෙ­ත­නට සංක්‍ර­ම­ණය වීම නිසා මිරිස්ස ගෙදර නමින් ප්‍රක­ටව සිටි රාජු­ලාගේ පවුලේ සහෝ­දර සහෝ­ද­රියෝ විශාල පිරි­සකි. නය­නාගේ පවුලේ අයත් රාජුගේ පවුලේ උද­වි­යත් කුලු­පග මිතු­රන් ලෙස ජීවත් වූහ.

රාජුගේ වැඩි­ම­හල් සහෝ­ද­රයා හේවා­ග­මගේ ධර්ම­සි­රිය. එවක ධර්ම­සිරි එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යෙකි. ඔහු එස­මයේ රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙකු වන ජෝන් සෙනෙ­වි­ර­ත්නගේ සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රි­යෙකු ලෙසද කට­යුතු කර­මින් සිටි­යේය. වත්මන් රජ­යට පෙර පැවැති රජය සමයේ ධර්ම­සිරි සහ ඔහුගේ සහෝ­ද­ර­යන් කොට­කෙ­තන ප්‍රදේ­ශයේ වෙන­මම බල­ප­රා­ක්‍ර­ම­යක් ස්ථාපිත කර­ගෙන සිටියේ දේශ­පා­ලන හයි­යෙනි.

මුලින් ධර්ම­සිරි කොට­කෙ­තන රාජු වෙසෙන නිවෙසේ විසු­වත් පසුව ඔහු එම නිවෙස රාජුට දී කොළඹ ප්‍රදේ­ශයේ පදිං­චි­යට ගියේය. ධර්ම­සි­රිගේ පවුලේ උද­විය එම නිවෙ­සින් ගිය පසු රාජු සමඟ ඔහුගේ බිරිය මොර­පි­ටි­යගේ රසිකා චාන්දනී හෙවත් බට්ටි සහ දරු­වන් සිවු­දෙනා එම නිවෙසේ වාසය කළහ.

2011 ඔක්තෝ­බර් මාසයේ රාජුගේ අයියා, ධර්ම­සි­රිගේ දිය­ණි­යගේ විවාහ උත්ස­ව­යට රාජු විසූ නිවෙස ලක­ලැ­හැස්ති වෙමින් තිබිණි. ඊට අස­ල්වැසි නිවෙසේ වූ නයනා සහ කාවින්ද්‍යා ද බොහෝ සේ උදවු උප­කාර කෙරුවේ නිවෙස් අස්පස් කර­මින් සෑම කට­යු­ත්ත­ක­ටම එක් වෙමිනි. එසේම ධර්ම­සිරි සම­ඟද නය­න­ලාගේ පවුලේ උද­වි­යට දැඩි මිත්‍ර­ත්ව­යක් තිබූ හෙයින් දිය­ණි­යගේ විවා­හයේ දෙවන මනා­ලිය වූයේද ඝාත­න­යට ලක් වූ කාවින්ද්‍යා දිය­ණි­යය.

දිනක් නයනා සහ කාවින්ද්‍යා විවාහ උත්ස­ව­යට එම නිවෙස අස්පස් කර­මින් සිටින අතරේ කාවි­න්ද්‍යාට පිටි වැනි කුඩක් සහිත කුඩා පැකැ­ට්ටු­වක් හමු විය. ඇය එය මවට පෙන්වූ­වාය. ඇගේ දෙලෝ රත් වුණේ එය මත්කුඩු පැකැ­ට්ටු­වක් බව දැනුණු විටයි. ඒ වන විටත් රාජු­ලාට ගමේ බොහෝ දෙනෙ­කු­ගෙන් දෝෂා­රෝ­ප­ණය එල්ල වෙමින් තිබුණේ මත්කුඩු ජාවා­රම් කරන බව­ටයි. ගම්මුන් පව­සන දෑ ඇත්ත බව සිතූ නයනා, කුඩු පැකැ­ට්ටුව ඒ මොහො­තේම රාජුගේ බිරි­යට දෙමින් දොස් කීවේ ගමේ අය කියන කතා සත්‍ය පව­ස­මිනි. එදින ඇතිවූ නෝක්කා­ඩුව දිගින් දිග­ටම පැවැ­තිණි. ඒ අතර සිදුවූ නෝක්කා­ඩුව හේතු­වෙන් දිනක් රාජු නය­නාට මරණ තර්ජ­නද එල්ල කර ඇත. එසේ කාලය ගත­වෙද්දී නය­නාගේ නිවෙ­සට සුපු­රුදු පරිදි කොළඹ සිටින ස්වාමි­යා­ගෙන් සහ පුත්‍ර­යා­ගෙන් ඇමැ­තුම් ලැබිණි. 2012 ජන­වාරි 31 දිනද රාත්‍රියේ ඇම­තුම් ගන්නා රෝහි­තට සහ කුසල්ට නිවෙසේ වූ දෙදෙ­නා­ගෙන් කිසිදු පිළි­තු­රක් නොලැ­බිණි. අන­තු­රුව පෙබ­ර­වාරි 02 වැනිදා රාත්‍රියේ නිවෙ­සට එන රෝහි­තට දක්නට ලැබුණේ තම බිරිය නිවෙසේ කාම­ර­යක ඇඳක් මත ක්‍රෑර ලෙස ඝාත­නය කර තිබූ ආකා­ර­යයි. දිය­ණිය කාවින්ද්‍යා ගැන සොයා බැලු­වත් ඇයද නිවෙසේ නොවූ­වාය.

 

පළමු ද්විත්ව ඝාත­න­ය

 

දෙවැ­නිදා දහ­වලේ රෝහි­තගේ නිවෙ­සට කිලෝ­මී­ටර් හත­ර­කට පමණ ඈතින් වූ ඕපා­ත­වත්තේ තිබී තරු­ණි­ය­කගේ මළ­සි­රු­රක් හමු­විණි. එය හඳුනා නීම සඳහා රත්න­පුර රෝහ­ලට යවා තිබිණි. එම තරු­ණි­යගේ සිරුර ගැන සොයා බලද්දී එදින රාත්‍රි­යේම රෝහි­තට දැන­ග­න්නට ලැබුණේ එසේ ඕපා­ත­වත්තෙ ඝාත­නය කර සිටියේ තම දිය­ණිය බවයි.

එම ද්විත්ව ඝාත­නය ගැන මුලින්ම විම­ර්ශන ආරම්භ කළේ කහ­වත්ත පොලි­සි­යයි. දින කිහි­ප­යක් ගත වෙද්දීම ගම්වා­සී­න්ගෙන් චෝදනා එල්ල වූයේ අප­රා­ධ­යට සම්බන්ධ සැක­ක­රු­වන් නිදැල්ලේ සැරි­ස­රන බවත් කහ­වත්ත පොලි­සිය සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට උන­න්දු­වක් නොද­ක්වන බව­ටයි. එම ඝාතන දෙකත් සමඟ කහ­ව­ත්තෙන් එක දිගට වාර්තා වූ කාන්තා ඝාතන ප්‍රමා­ණ­යද 10 දක්වා ඉහළ ගියේය. පසුව එම ඝාත­නය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් නතර වූයේ 2015 වස­රේයි.

 

දේශ­පා­ලන බල­ම­හි­මය

කාන්තා ඝාතන වැලේ පළමු වරට ද්විත්ව ඝාත­න­යක් ලෙස වාර්තා වූ එම ඝාත­න­යන්ද එම ප්‍රදේ­ශයේ පැතිර ගිය 'භූතයා'ගේ ගිණු­මට බැර කර­මින් බොහෝ දෙනෙක් කතා­න්දර කිය­න්නට වූහ.

එහෙත් එව­කට පොලි­ස්ප­තිව සිටි එන්. කේ. ඉලං­ග­කෝන් මහතා උප­දෙස් මත මේ පරී­ක්ෂණ සඳහා රත්න­පුර අවට පොලිස් ස්ථාන­ව­ලින් විම­ර්ශන කණ්ඩා­යම් ඇතු­ළුව කොළඹ අප­රාධ කොට්ඨා­සය සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වද විම­ර්ශ­න­ව­ලට එක් කළේය. ඒ ලංකා ඉති­හා­සයේ එක් සිදු­වී­ම­කට වැඩිම පොලිස් කණ්ඩා­යම් ප්‍රමා­ණ­යක් එක් කළ අව­ස්ථාව ලෙස ඉති­හා­ස­ගත වෙමිනි. ඒ අනුව නය­නාගේ සහ කාවි­න්ද්‍යාගේ ඝාත­ක­යන් කොටු කර­ගැ­නී­මට පොලිස් කණ්ඩා­යම් 15ක්ම යෙද­විණි. මුල සිටම ඝාත­නයේ සැකය එල්ල වී තිබුණේ නය­නාගේ නිවෙ­සට යාබද නිවෙසේ විසූ රාජු කෙරෙ­හිය. සිද්ධි­යෙන් දින හත­ර­කට පසු කහ­වත්ත පොලි­සිය රාජු අත්අ­ඩං­ගු­වට ගත්තද පසුව මුදා­හ­ළේය. රාජුගේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට එරෙ­හිව ඔහුගේ සහෝ­ද­රයා ධර්ම­සිරි කහ­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට දැඩි වාග් ප්‍රහා­ර­යක් එල්ල කර තිබිණි. ඒ ධර්ම­සි­රිට තිබූ දේශ­පා­ලන බල­ම­හි­මය නිසායි.

කෙසේ හෝ සිවු වතා­වක් පමණ වරි­න්වර පොලි­සි­යට කැඳ­ව­මින් රාජුගේ ප්‍රකාශ ලබා­ග­ත්තේය. පසුව ඝාත­න­යෙන් දින 34කට පසු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට රාජු, ඔහුගේ බිරිය රසිකා සහ දරුවෝ කැඳ­වනු ලැබූහ. එහිදී රාජුගේ දිය­ණිය ඇය දුටු සියල්ල එකින් එක පැවැ­සීය. රාජුගේ දිය­ණිය පවසා තිබුණේ 31 වැනි දා රාත්‍රියේ ලේ පෙරා­ගෙන නිවෙ­සට පැමිණි තාත්තා එක්ව­රම සාලයේ පුටු සෙටියේ වාඩි වී මව­ගෙන් වතුර වීදු­රු­වක් ඉල්ලා­ගෙන බිවූ බවත් ඔහු පුටුවේ වාඩි වන විටදී ඇඟේ තිබූ ලේ පුටුවේ සහ බිත්තියේ ගෑවුණු බවයි. පසුව තාත්තා එම ලේ පැල්ලම් මැකී­මට බිත්තියේ තීන්තද ආලේප කළ බවයි.

එම ප්‍රකා­ශය රාජු සහ ඇගේ බිරිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට කදිම හෝඩු­වා­වක් වූයේය. ඒ අනුව සිදු කළ විම­ර්ශ­න­ව­ලදී රාජුට සහාය වූ ත්‍රිරෝද රථ රියැ­දු­රෙකු වූ සනත් නන්දන හෙවත් චූටි සහ රාජුගේ සහෝ­ද­රයා වූ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී ධර්ම­සි­රිද මාතර ප්‍රදේ­ශයේ සැඟවී සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගත්තේ ඝාත­න­යට අනු­බල දීමේ චෝදනා මතයි.

ඔවුන්ගේ පාපෝ­ච්චා­රණ මත එකී ඝාත­නයේ සුල-මුල හෙළි කර­ගැ­නී­මට පොලි­සිය සමත් විය. ආස­න්නම හේතුව වී තිබුණේ 2012 ජන­වාරි 29 වැනි දා රාජුගේ සහෝ­දර ධර්ම­සි­රිගේ පුත්‍රයා වන වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සුබ­සා­ධක නිල­ධා­රි­යකු ලෙස සේවය කළ මිහි­ලක නමැත්තා තිහ­ගොඩ පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගැනී­මයි. මිහි­ලක අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ මාතර ප්‍රදේ­ශයේ කෝටි­පති ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් කප්පම් ගැනීමේ සිද්ධි­යක් මුල් කර­ගෙ­නයි. එහෙත් මිහි­ලක සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවා­රම් කළ රාජු ඇතුළු පවුලේ සැම සිතුවේ මිහි­ලක පොලි­සි­යට අල්ලා දුන්නෙ නයනා බව­ටයි.

රාජු මිහි­ලක සමඟ එක්ව කලෙක සිටම ජාඇළ ප්‍රදේ­ශයේ මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු සමඟ ජාවා­ර­මක් කර­ගෙන ගොස් තිබූ බව පසුව පොලි­සිය අනා­ව­ර­ණය කර­ග­ත්තේය. එම නිසා නයනා නුදු­රේ­දීම තමා­වද පොලි­සි­යට අල්ලා දෙතැයි බිය වූ රාජු තම බිරිය සමඟ එක්ව ජන­වාරි 31 වැනිදා රාත්‍රියේ නයනා සොයා ඇගේ නිවෙ­සට ගොස් ඇත. මත්ද්‍රව්‍ය පාන­යෙන් මත් වී සිටි රාජු, බිරිය ලවා නය­නාට කතා­කොට දොර­ගුළු හැර නිවෙ­සට ගොස් තම බිරිය ඉදි­රි­යේ­දීම නයනා සහ කාවින්ද්‍යා දිය­ණිය ‍ඝාතනය කර ඇති බව හෙළි­විණි. පසුව හිත­ව­තෙකු වූ සනත් සමඟ ත්‍රිරෝද රථ­යෙන් කාවි­න්ද්‍යාගේ සිරුර ඕපා­ත­ව­ත්තට රැගෙන ගොස් දූෂ­ණ­ය­කොට කරාබු ජෝඩු­වද ගල­වා­ගෙන ගොස් තිබුණේ ඇය දූෂ­ණ­ය­කොට ඝාත­නය කළ අප­රා­ධ­යක් බවට හැඟ­වී­ම­ටයි. එහෙත් සියල්ල හෙළි වීමෙන් පසු ඇසින් දුටු සාක්ෂි කිසි­වක් නැති වුවත් පර­වේ­ෂ­ණීය සාක්ෂි මත අධි­ක­ර­ණය රටම කතා කළ කොට­කෙ­තන මුල්ම ද්විත්ව ඝාත­නයේ මවට සහ දිය­ණි­යට අත්වූ ඛේද­නීය ඉර­ණ­මට යම් සාධා­ර­ණ­යක් ඉටු­කළ බව පෙනේ.

එහෙත් රාජු මරණ දඬු­වම ප්‍රකාශ කරන මොහොතේ විත්ති කූඩුවේ සිට පැවැ­සූවේ, “මේ සිද්ධි­යට මගේ සම්බ­න්ධ­යක් නැහැ. මේක සීඅ­යි­ඩීය ගොතපු කතා­වක් “ යනු­වෙනි.

එහෙත් එම කරුණ විත්ති­කරු හෙවත් රාජුට මරණ දඬු­වම නියම නොකි­රී­මට ප්‍රමා­ණ­වත් නොවන බව විනි­සු­රු­ව­ර­යාගේ තීර­ණය විය.

 

Comments