අළු මතින් නැගිටින පාස්කු ප්‍රහා­ර­යේ වින්දිතයෝ | සිළුමිණ

අළු මතින් නැගිටින පාස්කු ප්‍රහා­ර­යේ වින්දිතයෝ

දෙවි­යන් ඉදි­රියේ නිරු­වත් වූ ත්‍රස්ත­වා­දීන්ගේ අමා­නු­ෂික පළි ගැනීම් හමුවේ ජීවත් වීමේ වරම අහිමි වූ බැති­ම­තුන්ගේ ඛේද­වා­ච­ක­යට හෙටට (21) හරි­යට ම මාස හයක් පූර්ණය වේ. ජීව­තුන් අතර නැත්තන් වෙනු­වෙන් ජීව­ත්ව­න්නන් මුළු ජීවිත කාලය පුරාම දුක් සුසුම් හෙළනු ඇත. ඒ දුක් සුසුම් මුළු­ම­නින් ම දරා ගන්නට සවි­යක් වීමට නොහැකි වුවත්, ඒ රිදුණු හිත් යම් තර­ම­කට හෝ සුව­පත් කර­න්නට බොහෝ දෙනෙක් පෙළ ගැසෙ­මින් සිටිති. මේ ඒ අය පාස්කු ප්‍රහා­ර­යෙන් ආධ්‍යා­ත්මික ව හා භෞති­කව නංවා­ල­න්නට දායක වන්නන් ගේ කතා­වයි.

පාස්කු ඉරිදා උදෑ­සන (අප්‍රේල් 21) ශ්‍රී ලාංකි­ක­යන්ට අත් විඳි­න්නට සිදු වූයේ ඛේද­ජ­නක සිදු­වීම් මාලා­ව­කට ය. ජාතික ඛේද­වා­ච­ක­යක් වූ එදින ශ්‍රී ලාංකි­ක­යන්ගේ හද­ව­තින් කිසි­සේත්ම ඈත් නොව­න්නකි. මේ ම්ලේච්ජ ප්‍රහා­රයේ බල­පෑම තද­බල ලෙස දැනුණේ මේ රටේ සමාන්‍ය ජන ජීවිත කෙරෙහි ය. ඔවුන්ගේ එදි­නෙදා කට­යුතු සාමාන්‍ය පරිදි සිදු­කි­රී­මට ජන­තා­වට සති කිහි­ප­යක් ගත විය. ඒ ප්‍රහා­ර­යෙන් තිගැස්සී ගිය හද­වත් හි වේද­නාව තව­මත් පහව ගොස් නැත. මේ ප්‍රහා­ර­යත් සමඟ මෙරට සමා­ජ­යට මෙන්ම රජ­යට ද මුහුණ දෙන්නට වූ ප්‍රධාන ගැටලු අතර එයින් මිය­ගිය හා තුවාල ලද වින්දි­ත­යන් වෙනු­වෙන් සමා­ජීය හා මනෝ­මය සහන ලබා දීමත් විනා­ශ­යට පත් වූ දේව­ස්ථාන ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කිරී­මත් යන කරුණු මූලික ‍විය. මේ ගැටලු විස­ඳීම උදෙසා රජය උත්සුක විය. ඒ අතර කතෝ­ලික සභා­වද සාමාන්‍ය ජන­තා­වද සාමු­හි­කව, ලොව­ටම ආද­ර්ශ­යක් වන ලෙස මේ සඳහා කට­යුතු දියත් ‍කළෝ ය. කෙසේ නමුත් මේ බිහි­සුණු ත්‍රස්ත ප්‍රහා­රය සිදු වී හෙට දිනට (21) හය මසක් සපි­රෙයි.

හය මසක් ගත වූ දින මෙකී ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් මිය­ගිය හා තුවාල ලද වින්දි­ත­යන් හා දැඩි සේ අලා­භානි වූ දේව­ස්ථාන වෙනු­වෙන් රාජ්‍ය අංශ­යෙන් මෙන්ම මෙරට කතෝ­ලික සභා­වෙන් ද පොදු­ජන සමා­ජ­යට සිදු වූ මෙහෙ­වර කෙසේද යන්න සොයා බැලී­මට අපි උත්සුක වීමු. මන්ද මේ ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් ජන­තා­වට සහන සල­සත් දී ඒ වෙනු­වෙන් අදාළ පාර්ශ්ව­යන් ලද පැස­සු­ම්ව­ලට වඩා ලද විවේ­චන හා විව­රණ ද රාශි­යක් වූ බැවිනි.

වින්දි­ත­යන් වෙනු­වෙන් මූල්‍ය සහන

පාස්කු ප්‍රහා­ර­යෙන් මිය­ගිය හා තුවාල ලද වින්දි­ත­ය­නට රජය ලබා දුන් සහන මොන­වාද යන්න අප විමසා බැලුවේ රාජ්‍ය ප්‍රති­පත්ති හා ආර්ථික කට­යුතු අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක වන හානි පූර්ණ ආය­ත­න­යෙනි. එහි අධ්‍යක්ෂ ආනන්ද විජේ­පාල මහතා සඳ­හන් කර සිටියේ මේ වන විට පාස්කු ප්‍රහා­ර­යෙන් මිය­ගිය සියලු ම වින්දි­ත­යන් වෙනු­වෙන් ලබා දිය යුතු මූල්‍ය­මය සහන ඔවුන්ගේ ළඟ ම ඥාතීන් වෙත ලබා දී අව­සන් බවයි. ඔහු වැඩි­දු­ර­ටත් මෙසේ පැව­සීය.

'පාස්කු ප්‍රහා­රය සිදු වූ අව­ස්ථා­වේදී රජයේ විවිධ අමා­ත්‍යාංශ යටතේ මේ වින්දි­ත­යන් වෙනු­වෙන් විවිධ සේවා දියත් වුණා. ඒ අතර මේ මිය­ගිය ජන­තා­වගේ අව­මං­ගල්‍ය කට­යුතු වෙනු­වෙන් සහ තුවාල ලැබූ­වන්ගේ ප්‍රති­කාර කට­යුතු වෙනු­වෙන් මූල්‍ය සහන ලබා දීම සිදු වුණේ අප ආය­ත­නය ඔස්සේයි. මේ ප්‍රහා­රය නොසි­තුව වෙලා­වක සිදු වූ අති­ශය වේද­නා­ත්මක සිදු වීමක්. එදා යුද සමයේ දී වූ සිදු­වීම් වගේ නෙවෙයි.

මෙහි දී අපි කට­යුතු කළේ අමාත්‍ය මණ්ඩ­ලය ලබා දුන් තීර­ණ­යක් මතයි. ඒ අනුව ප්‍රහා­ර­යෙන් මිය­ගිය පුද්ග­ල­යන් වෙනු­වෙන් මිලි­ය­න­යක මුද­ලක් එක් පුද්ග­ල­යකු වෙනු­වෙන් පරි­ත්‍යාග කළා. ඒ වගේම තුවාල ලද පුද්ග­ල­යන් වෙනු­වෙන් ලක්ෂ පහක උප­රි­ම­ය­කට යටත්ව සහන ලබා දෙන්නට අපි කට­යුතු කළා. මේ මුදල් තුවාල ලද්දන් වෙත ලබා දුන්නේ වෛද්‍ය නිර්දේශ පද­නම් කර­ගෙ­නයි. අදාළ පුද්ග­ල­යන්ගේ රෝගී­භා­වය දුබ­ල­තාව (මාස හය­කට වැඩි කාල­යක්) ඉප­යීමේ ශක්තිය හානි වීම යන කාරණා එනම් දුබ­ල­තාව සිය­යට හැත්තෑ­ව­කට වැඩි සිය­ල්ලන් සඳහා ලක්ෂ පහක මුදල ලබා දුන්නා. එය සිය­යට පන­හක් බව වෛද්‍ය­ව­රුන් නිර්දේශ කළොත් එයින් භාග­යක මුදල් ලබා දුන්නා. තුවාල සුව වීමට යන කාලය හා රෝගී භාවයේ ප්‍රති­ශ­තය අඩංගු වෛද්‍ය නිර්දේශ මත තමයි මේ සියල්ල සිදු කළේ. ඒ වගේම බර­ප­තළ තුවාල ලැබූ­වන් හෝ දැඩි සත්කාර ඒක­ක­වල සිටින රෝගීන් මෙයින් අද­හස් නොකළ බවත් කිව යුතුයි. ඔවුන් සඳහා අද­ටත් දෙවන අදි­යර යටතේ වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය මූල්‍ය­ධාර ලබා දෙන්න අපි කට­යුතු කර­නවා.

විදේශිකයන්ටත් වන්දි

මේ අනුව අපිට වාර්තා වුණු මිය­ගිය 216ක් වෙනු­වෙන් මිලි­යන 216ක් මුද­ලක් පරි­ත්‍යාග කර අව­සන්. ඒ අත­රම තුවාල ලද 416ක් වෙනු­වෙන් මිලි­යන 78ක් ලබා දුන්නා.

මේ සිදු­වී­මෙන් පසුව අප ආය­ත­නයේ කණ්ඩා­යම් පහක් මේ සිදු­වීම් වාර්තා වූණු සෑම ප්‍රදේ­ශ­ය­කට ම ගියා. ඒ නිවෙ­ස්වල අය සමඟ කතා­බහ කරලා සහන ලබා දීමේ කට­යුතු වෙනු­වෙන් අවශ්‍ය ලිපි ලේඛන දළ වශ­යෙන් හඳු­නා­ගෙන හදි­සියේ ම ලක්ෂ තුන බැගින් ඔවුන් වෙත ලබා දුන්නා; අව­මං­ගල්‍ය කට­යුතු වෙනු­වෙන්. ඉන් පසුව අවශ්‍ය ලේඛන ලබා­ගෙන ඉතිරි මුදල් ලබා­දීම සිදු කළා. තුවාල ලැබූ­වන් 9 දෙනකු හැර අපට අය­දු­ම්පත් යොමු කළ සිය­ල්ලන් වෙනු­වෙන් මේ වන විට වන්දි මුදල් සියල්ල ලබා දී තිබෙ­නවා.' ඔහු පව­සයි.

මේ අතර දේව­ස්ථා­න­ව­ලට දුර පළා­ත්ව­ලින් පවා වන්ද­නා­මාන සඳහා පැමිණ සිටි පිරිස් මිය ගොස් තිබුණි. ඒ අනුව නුව­ර­එ­ළිය, මහ­නු­වර, මොණ­රා­ගල, අක්මී­මන, යාප­නය, වවු­නි­යාව වැනි ප්‍රදේ­ශ­ව­ලින් ද පැමිණි පුද්ග­ල­යන්ගේ මරණ වාර්තා විය. ඔවුන් සඳහා ද ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල ඔස්සේ අවශ්‍ය සහන ලබා දීමට හානි පූර්ණ ආය­ත­නය කට­යුතු කර ඇත.

'මේ අයගේ සිරු­රුත් කොළඹ සිට තමයි රැගෙන ගියේ. එවිට ඒ පුද්ග­ල­යන් අයත් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලින් ලක්ෂය බැගින් අව­මං­ගල්‍ය කට­යුතු සඳහා මුදල් ලබා­දෙ­න්නට කට­යුතු කළා. ' වැඩි දුර­ටත් ඔහු පව­සයි.

මේ ප්‍රහා­ර­යෙන් විදේ­ශි­ක­යන් 43 දෙනෙ­කුට ජීවිත අහිමි විය. ඒ අත­රින් රට­වල් දෙකක හත් දෙනෙකු වෙනු­වෙන් ද රජය මිලි­යන හතක මුද­ලක් වන්දි ලෙස ලබා දී ඇත.

'මේ සිද්ධි­යෙන් මිය­ගිය ජපාන ජාති­ක­යෙක් වගේම චීන ජාති­ක­යන් 6 දෙනෙකුට වන්දි ඉල්ලා තානා­පති කාර්යාල හරහා අයැ­දුම් කර තිබුණා. ඒ අනුව අපි ඔවු­න්ටත් වන්දි ලබා දුන්නා. නමුත් අනෙක් කිසිම රට­කින් වන්දි ඉල්ලුම් කර තිබුණේ නැහැ.'

වින්දිතයන් ගැන සමීක්ෂණයක්

මෙහිදී සම­හර පවු­ල්වල සියලු ම දෙනා මිය­ගොස් තිබූ අවස්ථා වාර්තා විය. එවැනි පවුල් වෙනු­වෙන් මුදල් ඔවුන්ගේ ළඟ ම ඥාතියා වෙත ලබා දීමට පිය­වර ගත් බව එනම් මව හෝ පියා, සහෝ­දර සහෝ­ද­රිය වෙත ලබා දීමට කට­යුතු කළ බව හානි පූර්ණ ආය­ත­නය පව­සයි.

එලෙ­සම මූල්‍ය සහන ලබා දුන් පම­ණින් මේ වින්දි­ත­යන්ට සිදු වූ හානිය පූර්ණය කළ නොහැ­කිය. ඔවුන් වෙත අධ්‍යා­ත්මික වශ­යෙන් ද සහන සැලැ­සිය යුතුය. මේ සඳහා ද හානි­පූර්ණ ආය­ත­නය කට­යුතු කර­මින් සිටියි.

'මේ වන විට මේ ප්‍රහා­ර­යෙන් වින්දි­ත­යන් බවට පත් වූ 709 දෙනා ගැනම අපි සමී­ක්ෂ­ණ­යක් සිදු කර තිබෙ­නවා. ඒ අය හට අවශ්‍ය ඉදිරි කට­යුතු සඳහා උප­කාර කිරී­මට හානි පූර්ණ ආය­ත­නය ලෙස අපි ඉදි­රියේ දී අවශ්‍ය වන ප්‍රති­පත්ති මාලා­වක් මේ වන විට සකසා තිබෙ­නවා. ඒ අනුව ඉදි­රි­යේදී ඒ ඔස්සේ ඔවුන්ගේ මනෝ සමාජ අව­ශ්‍යතා වෙනු­වෙන් කට­යුතු කරන්න අපි සූදා­නම්.'අධ්‍ය­ක්ෂවරයා පව­සයි.

අග්‍රා­මත්‍ය කාර්යා­ල­යෙන් අර­මු­ද­ලක්

මේ ප්‍රහා­ර­යෙන් විප­තට පත් වූවන්ට සහන සැලැ­සීම සඳහා අග්‍රා­මාත්‍ය කාර්යා­ල­යෙන් ද මිලි­යන පන්සී­යක අර­මු­ද­ලක් පිහි­ටු­වී­මට කට­යුතු කොට ඇත. රජ­යෙන් මිලි­යන සීයක මුද­ලක් ද අනෙ­කුත් පෞද්ග­ලික අධාර මඟින් ද මේ අර­මු­දල අරඹා ඇත. ඒ අනුව මෙම­ඟින් විප­තට පත් වින්දි­ත­යන් උදෙසා විදේ­ශීය ප්‍රති­කාර ලබා­ගැ­නී­මට මේ ඔස්සේ උප­කාර කර ඇත.

කතෝ­ලික සභා­වෙන් ආධ්‍යා­ත්මික හා මනෝ උප­කාර

කතෝ­ලික සභාව ද මේ අර­භයා විශාල දාය­ක­ත්ව­යක් ‍දැක්වීය. අද­ටත් මෙයින් පීඩා­වට පත් වින්දි­ත­යන් වෙනු­වෙන් කතෝ­ලික සභාවේ විවිධ ව්‍යාපෘති, වැඩ­ස­ට­හන් රැසක් මැල්කම් රංජිත් කාදි­නල් අග­ර­ද­ගු­රු හිමිපාණන්ගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් යුතුව සිදු වේ. කතෝ­ලික සභාවේ කරී­ටාස් සෙත් සරණ කොළඹ අග­ර­ද­ගුරු පදවි සමාජ සේවා ආය­ත­නයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාම­නා­යක පිය­තු­මන් ‍මේ පිළි­බඳ අප විමසූ අව­ස්ථාවේ පවසා සිටියේ මෙවැ­න්නකි.

'පාස්කු ප්‍රහා­ර­යෙන් කටු­වා­පි­ටිය හා කොච්චි­කඩේ දේව­ස්ථා­න­ව­ලින් පුද්ග­ල­යන් එක­සිය පන­හ­කට වැඩි පිරි­සක් මිය ගියා. ඒව­ගේම හාර­සී­ය­කට වැඩි පිරි­සක් තුවාල ලැබුවා. ඒ ප්‍රහා­රය වූ වෙලාවේ තුවාල ලැබූ­වන්ට කාදි­නල් පිය­තු­මාගේ උප­දෙස් මත රුපි­යල් පන­ස්ද­හස බැගින් ප්‍රති­කාර සඳහා අපි ලබා දුන්නා. මිය­ගිය පවු­ල්ව­ල­ටත් ලක්ෂය බැගින් අපට තිබෙන හැටි­යට අපි අව­මං­ගල්‍ය කට­යුතු වෙනු­වෙන් ලබා දුන්නා. ඉන්ප­සුව දෙවැනි අදි­ය­රේදී සෙත් සරණ ආය­ත­න­යෙන් ඒ ප්‍රදේ­ශ­වල නිවෙ­ස්ව­ලට අපේ පිය­තු­මන්ලා සහ කන්‍යා සොහො­යු­රි­යන් ගොස් මුදල් පරි­ත්‍යාග සහ අනෙ­කුත් අව­ශ්‍යතා සොයා බලා සිදු කරන්න කට­යුතු කළා. ඒ අත­රම මේ විප­තට පත් පවුල් වෙනු­වෙන් මනෝ සමා­ජීය උප­කාර, අධ්‍යා­ත්මික පෝෂණ වැඩ­ස­ට­හන් රැසක් දියත් කර­න්නට කට­යුතු කළා.' ලෝරන්ස් පිය­තු­මන් පව­සයි.

මේ වන විට පාස්කු ප්‍රහා­ර­යෙන් තුවාල ලද බොහෝ දෙනෙකු සුවය ලබා ඇත. ශල්‍ය කර්ම සඳහා බඳුන් වූවන්ද සුවය ලබ­මින් සිටියි. හි‍ස් කබල ගලවා ශල්‍ය­කර්ම සිදු කළ කුඩා දරු­වන් ද මේ වන විට සුවය ලබ­මින් සිටියි. ඉන් දරු­වන් හතර දෙනෙකු ම මේ වන විට නැවත පාසල් ගමන අරඹා ඇත.

'ඒත් තව­මත් කිහිප දෙනෙක් දැඩි සත්කාර ඒක­ක­වල ප්‍රති­කාර ලබ­නවා. ඒ අතර අංශ­යක් පණ නැතිව, අබා­ධිත ව දිවි­ගෙ­වන කිහිප දෙනෙ­කුත් ඉන්නවා. ඔවුන් වෙනු­වෙන් තව­දු­ර­ටත් ප්‍රති­කාර අව­ශ්‍යයි.' සෙත් සරණ ආය­ත­නයේ සම්න්ධී­ක­රණ නිල­ධා­රිනී රෝෂේල් පෙරේරා පව­සයි.

ලෝරන්ස් පිය­තු­මන් පව­සන පරිදි මේ වන විට මෙලෙස මිය­ගිය හා තුවාල ලද ජන­තා­වට මේ වන විට සෙත් සරණ පද­නම ඔස්සේ, රුපි­යල් මිලි­යන දෙසී­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක මුද­ලක් වින්දි­ත­යන්ගේ සුබ­සා­ධන හා සහන කට­යුතු වෙනු­වෙන් ලබා දී තිබේ.

එලෙ­සම කටු­වා­පි­ටිය ප්‍රහා­රය හමුවේ අස­රණ වූ වින්දි­ත­යන් වෙනු­වෙන් (කුලී නිවෙ­ස්වල ජීවත් වූ ප්‍රහා­ර­යෙන් පූර්ණ කාලීන ආබා­ධිත වූවන් වෙනු­වෙන්) නිවාස ඉදි­කි­රීමේ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරී­මට මේ වන විට පිය­වර ගෙන තිබේ. එය නාග­රික ජනා­වාස සංව­ර්ධන අධි­කා­රිය හා නිවාස සංව­ර්ධන අධි­කා­රිය එක්ව සිදු වෙයි. මේ සඳහා අවශ්‍ය ඉඩම් මිල දී ගැනීම වෙනු­වෙන් මිලි­යන පන­ස්තු­නක මුද­ලක් කතෝ­ලික සභාව වෙන් කර තිබේ. මෙහි ඉදි­කි­රීම් කට­යුතු සියල්ල රජය මඟින් සිදු වේ.

' මෙහි පළමු අදි­යර ලෙස නිවාස 14ක් ඉදි­ක­රන්න සැලැ­සුම් කර තිබෙ­නවා. මේ එක් නිවා­ස­යක් සකස් කරන්න රජ­යට ලක්ෂ විසි එකක් පමණ වැය වෙනවා. එය අදි­යර කිහි­ප­ය­කින් නිම­වී­මට නිය­මි­තයි.' ලෝරන්ස් පිය­තුමා පව­සයි.

මේ ප්‍රහා­ර­යෙන් කඩා වැටුණු ජීවිත නැවත නඟා සිටු­වී­ම­ටත් ආර්ථික වශ­යෙන් වගේම අධ්‍යා­ත්මික වශ­යෙන් ඔවුන් ශක්ති­මත් කිරී­ම­ටත් අප කට­යුතු කර තිබෙ­නවා. ඒ සියල්ල සිදු වන්නේ කතෝ­ලික සභාවේ අාධ්‍යා­ත්මික අංශ­යෙන්. එහි පිය­තු­මන්ලා සහ කන්‍යා සොහො­යු­රි­යන් නිත­රම මේ ප්‍රහා­ර­යට මුහුණ දී දිවි ගල­වා­ගත් අය අත­රට කණ්ඩා­යම් ලෙස ගොස් විවිධ වැඩ­ස­ට­හන් කර­නවා. ඒ වගේම මොවුන් මඩු පල්ලි වන්දනා සඳ­හාත් අපි රැගෙන යනවා. ඒ අත­ර­තුර ඔවු­නගේ සිත් සුව­පත් වන විවිධ සාකච්ජා හා විවිධ වැඩ­ස­ට­හ­න්ව­ලට ඔවුන් යොමු කර­නවා...' පිය­තු­මන් වැඩි දුර­ටත් පව­සයි‍.

මේ දුක්බර සිදු­වීම සුනාමි ව්‍යස­න­යට වඩා වෙනස් ම අත්දැ­කී­මක් වූ බව අප සමඟ කතා­බහ කළ ආය­තන ප්‍රධා­නීන්ගේ අද­හ­සයි. එනිසා මෙයින් විප­තට පත් වූ වින්දි­ත­යන් සමඟ කට­යුතු කිරී­මට සිදු වූයේ වෙනස් ම ආකා­ර­ය­කට බව ඔවුන් පව­සයි.

සෙත් සරණ පද­නම ඔස්සේ පරි­ත්‍යාග

' මේ ප්‍රහා­ර­යට ලක් වූණේ සමා­ජයේ ඉතා ම හොඳින් ජීවත් වූ මිනි­සුන්; ඔවුන් කාට­වත් අත­පාපු අය නෙවෙයි. ඉතා හොඳ සමාජ ආර්ථික මට්ටම් තිබූ අය. ඔවුන් අපෙන් දෙයක් ඉල්ලන අය කියලා හිතලා කට­යුතු කරන්න කිසි­සේත්ම අපට පුළු­වන් කමක් නැහැ. අපිට ඔවුන්ට බඩු­මළු උස්ස­ගෙන ගිහින් දෙන්න බැහැ. ඔවුන් එ්කට කැමැති නැහැ. එනිසා මොවුන්ට උප­කාර කිරීමේ දී අලුත් ක්‍රම­වේද භාවිත කර­මින් තමයි ඔවුන්ගේ අව­ශ්‍යතා ඉටු­කර දෙන්නට අපිට සිදු වන්නේ. මේ නිසා බඩු­මලු වෙනු­වට අපි ඔවුන්ට වවු­චර් ලබා දෙන්න කට­යුතු කළා. ඒ වගේම අනෙක් පැත්තෙන් අන­වශ්‍ය විදි­හට මේ අධාර ලබා ගන්න සූදා­නම් වන පිරි­ස­කුත් ඉන්න බව පෙනුණා. අපිට වග­කී­මක් තිබෙ­නවා; අපිට ලැබුණු පරි­ත්‍යාග හා මුදල් අවශ්‍ය කෙනාට නිය­මිත පරිදි අවශ්‍යතා හඳුනාගෙන ලබා­දීමේ. කතෝ­ලික සභා­වට ලැබෙන සියලු පරි­ත්‍යාග මේ වින්දි­ත­යන් වෙනු­වෙන් බෙදා­හදා දෙන්නේ සෙත් සරණ පද­නම ඔස්සේයි.' ලෝරන්ස් පිය­තු­මන් වැඩි දුර­ටත් පව­සයි.

ප්‍රහා­ර­යෙන් විනාශ වූ දේව­ස්ථාන ගොඩ­නැ­ගීම ද රජය උප­රිම අයු­රින් මේ වන විට සිදු කර තිබේ. කටු­වා­පි­ටිය හා කොච්චි­කඩේ දේව­ස්ථාන මේ වන විට යථා­ත­ත්ව­යට පත් කොට හමාර ය. මඩ­ක­ළ­පුව සියොන් දේව­ස්ථා­නයේ කට­යුතු මේ වන විට අව­සන් වෙමින් පව­තියි. මෙම දේව­ස්ථාන පිළි­ස­කර කිරීම සඳහා රජය මේ වන විට මිලි­යන ගණ­නක මුද­ලක් වැය කොට ඇත.

භෞතික සම්පත් එසේ ගොඩ­නැ­ඟුණ ද සිය ඥාතීන්, හිත­ව­තුන් අහිමි වූ මිනි­සුන්ගේ හද­වතේ තුවා­ලය සුව වීමට බොහෝ කල් ගත­වනු ඇත. ඒ අය වෙනු­වෙන් කළ­යුතු කාර්යය අප ඉදි­රියේ අදට ද ඉතිරි ව ඇති බැව් අපේ විශ්වා­ස­යයි.

 

Comments