අතේ පත්තු වුණ කොටි නැටුමේ ඇත්ත කතාව | Page 2 | සිළුමිණ

අතේ පත්තු වුණ කොටි නැටුමේ ඇත්ත කතාව

කුත් 11 දා රාත්‍රි 11.15ට පමණ සේරු­නු­වර කඳ­වුරේ හමුදා නිල­ධා­රීන් දෙදෙ­නකු විසින් ටී-56 අවි­යක් සමඟ එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­යෙක් සේරු­නු­වර පොලිස් ස්ථාන­යට රැගෙ­න­විත් භාර දෙනු ලැබීය. ඒ එල්ටී­ටීඊ සාමා­ජි­කයා සූදා­නම්ව සිටියේ යැයි කියන්නේ එල්ටී­ටී­ඊයේ හිටපු සන්නද්ධ අංශ නාය­ක­යකු මෙන්ම නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­ය­කුව සිටි වින­යා­ග­මුර්ති මුර­ලි­ද­රන් නොහොත් කරුණා අම්මාන් මරා­දැ­මී­ම­ටය.

මේ කියන එල්ටී­ටීඊ සාමා­ජි­කයා කිලි­නො­ච්චියේ අම්බා­ල්කු­ලම්හි පදිං­චි­ක­රු­වෙකි. තිස් හය වියැති ඔහු ජෝෂප් පීටර් රොබි­න්සන්ය. ඔහුගේ එල්ටී­ටීඊ නාමය තීපන්ය. ඔහු පොලී­සි­යට භාර දෙමින් හමුදා සාමා­ජි­ක­යන් සඳ­හන් කරන්නේ කිලි­වෙඩ්ඩි පාලම ආස­න්න­යේදී මේ සැක­කරු රාත්‍රී 10.15ට පමණ අත්අ­ඩං­ගු­වට ගත් බවකි.

හමු­දාව පාර්ශ්ව­යෙන් මේ අත්අ­ඩං­ගු­වට ගැනීමේ කථාව කියැ­වෙන්නේ තීපන් රැඳී සිට ඇත්තේ මාර්ගයේ සිට මී. 20ක් පමණ කැලෑ­බද ප්‍රදේ­ශ­යට වන්නට බවය. ඔහු සමඟ තවත් අයකු සිටි බවද කියති. හමුදා සාමා­ජි­ක­යන්ට ඔවුන් ගැන ඇති වන්නේ සැක­යකි. පරීක්ෂා කිරී­මට සූදා­නම් වන විට ඔවුන් දෙදෙනා පලා යන්නට වූ අතර හසු වන්නේ තීපන් පමණි. ඔහු සමග ටී-56 ගිනි අවි­යක් පොලී­සි­යට භාර දෙනු ලැබීය. අවිය තිබුණේ යැයි කියන්නේ බිම වැටීය. ඒ තීපන් සහ පලා­ගිය පුද්ග­ලයා රැඳී සිටියේ යැයි කියන ස්ථාන­යේය. විශේ­ෂ­ත්වය එම ගිනි අවියේ අනු­ක්‍ර­මික අංකය මකා දමා තිබී­මය. ‍

තීපන් කියන කතාව

එහෙත් තීපන් පව­සන්නේ වෙනස්ම ආකා­රයේ කතා­වකි. ඒ කතාව අනුව ඔහු හමු­දාව විසින් අල්ලා­ගනු ලැබ ඇත්තේ එදින සවස 3ට පම­ණය. කිලි­නො­ච්චියේ සිට ඔහු සේරු­නු­ව­රට එන්නේ කරුණා අම්මාන් ඝාතන සැල­සු­ම­ක­ටය. ඒ සඳහා ඔහු මෙහෙ­යවා ඇතැයි කියැ­වෙන්නේ ප්‍රංස­යෙනි. සියල්ල සිදු වන්නේ ජංගම දුර­ක­ත­නය ඔස්සේය. ඒ වට්ස්ඇප් සහ වයි­බර් ඇම­තුම් මඟිනි. කරුණා අම්මාන් ඝාතන සැල­සු­මට ඔහු සම්බන්ධ වන්නේ යැයි කියන්නේ වයස අවු­රුදු එක­හා­මා­රක් වන සිය දරු­වාගේ හද­වත් සැත්ක­මට අවශ්‍ය ලක්ෂ පහක මුදල් පොරො­න්දු­ව­ක­ටය.

කිලි­නො­ච්චියේ සිට ඔහු එන්නේ මඟී බස් රථ­ය­කිනි. ත්‍රිකු­ණා­ම­ල­යට එන ඔහු සේරු­නු­ව­රට රැගෙන එන්නේ සැල­සු­මට සම්බන්ධ පුද්ග­ල­යෙකි. ඒ යතු­රු­පැ­දි­යක නංවා­ගෙ­නය. අන­තු­රුව ඔහු භාර කෙරෙන්නේ ත්‍රිරෝද රථ රියැ­දු­ර­කු­ටය. ත්‍රිරෝද රථ­යට නංවා­ගනු ලැබූ තීපන් ඔහු රැගෙන යන්නේ සේරු­නු­වර පිහිටි නිවෙ­ස­ක­ටය. නැව­තත් තීපන් ත්‍රිරෝද රථ­යක නංවා­ගෙන වාකරේ දෙසට රැගෙන යන්නේ ඔහුට ලද දුර­ක­තන ඇම­තු­ම­කට අනු­වය. හමුදා අත්අ­ඩං­ගු­වට ඔහුව පත් වන්නේ ඒ යන අත­ර­තු­ර­දීය.

තීපන් පව­සන්නේ “උඹ ගාව ගංජායි කුඩුයි තියෙ­නව නේද?“ යැයි ප්‍රශ්න කර­මින් ත්‍රිරෝද රථ රියැ­දුරු පන්නා තමා හමුදා සාමා­ජි­ක­යන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් බවකි. අන­තු­රුව සිය දෑස් රෙදි කඩ­කින් බැඳ වාහ­න­යක නංවා­ගෙන යම් ස්ථාන­ය­කට රැගෙන ගිය බවද තීපන් කියයි. තීපන් අනු­මාන කරන්නේ ඒ තැන හමුදා කඳ­වු­රක් වන්නට හැකි බවය. එහි සිටි හමුදා සාමා­ජි­ක­යන් ඔහු සමඟ අද­හස් හුව­මාරු කර­ගෙන ඇත්තේ සුහ­ද­වය. ඒ කන්න බොන්න පවා දෙමිනි. එම කතා­බහ අත­ර­තුර පොහොර උර­යක දැමූ ටී-56 අවි­යක් පෙන්ව­මින් “කරුණා අම්මාන් මරන්න නේද මේක ගෙනාවේ?“ යැයි විමසූ බවද තීපන් කියයි. ඒ අවිය තමාට අයත් එකක් නොවන බව පැවැ­සී­මෙන් පසු නැව­තත් ඔහුගේ දෑස් ගැට­ගැ­සෙන්නේ රෙදි පටි­ය­කිනි. ඒ රෙදි පටිය ඉවත් වන්නේ සේරු­නු­වර පොලී­සි­යට කිට්ටුව-පාත­ක­දීය.

තීපන් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට

තීපන් සේරු­නු­වර පොලිස් ස්ථාන­යට භාර දෙන­වාත් සමඟ පොලිස් මූල­ස්ථා­න­යෙන් නියෝ­ග­යක් ලැබෙන්නේ හමු­දාව විසින් රැගෙන පැමිණි සැක­කරු ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට භාර දෙන ලෙස­ටය. ඒ අනුව මූලික සට­හන් පම­ණක් පොලිස් පොත්වල තැබූ සේරු­නු­වර පොලී­සියේ නිල­ධා­රීන් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට තීපන් භාර­දෙන්නේ ටී-56 අවි­යද සම­ඟිනි.

කොළ­ඹින් සේරු­නු­ව­රට ගිය ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් තීපන් කොළ­ඹට රැගෙන එන අත­ර­තුර කිලි­නොච්චි පොලිස් ස්ථාන­යට දැනුම් දෙන්නේ අම්බා­ල්කු­ලම්හි පිහිටි තීපන්ගේ නිවෙස පරී­ක්ෂා­වට ලක් කරන ලෙස­ටය. ඒ අනුව කිලි­නො­ච්චිය පොලී­සියේ නිල­ධා­රීන් කිහිප දෙන‍කු තීපන්ගේ නිවෙස පරීක්ෂා කරන්න යන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ භට කණ්ඩා­ය­මක්ද සම­ඟිනි. ඒ වන විට නිවෙසේ සිටින්නේ තීපන්ගේ 23 වියැති බිරි­යත්, වයස අවු­රුදු එක­හ­මා­රක දරු­වාත්, බිරි­යගේ 28 හැවි­රිදි සහෝ­ද­රි­යත් පමණි. ඒ අය සිය භාර­යට ගත් කිලි­නොච්චි පොලී­සියේ නිල­ධා­රීන් විශේෂ කාර්ය බළ­කායේ භට­යන් සමඟ නිවෙස සෝදිසි කරන්න ගත්තේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යෙන් ලද උප­දෙස් අනු­වය. ඒ සෝදි­සිය අත­ර­තුර විශේෂ කාර්ය බළ­කායේ සෙබ­ළකු තීපන්ගේ බිරි­යගේ අතෙහි වූ ජංගම දුර­ක­ත­නය සිය­තට ගෙන පරීක්ෂා කරන්නේ අහඹු ලෙසිනි. රතු පැහැති කාප­ට්ටු­වක් මත ඇතිරූ අවි ආයුධ තොග­යක් සහිත ඡායා­රූප පෙළක් දුර­ක­තන තිර­යෙන් මතු වන්නේ එවි­ටය. කොටි නායක වේලු­පිල්ලේ ප්‍රභා­ක­රන්ගේ රුව සහිත ටී-ෂර්ට් කිහි­ප­යක්ද එහි දක්නට විය. ඒ එක් ඡායා­රූ­ප­යක කොනක ඇගේ රුවද දක්නට ලැබිණි.

“මම මොකුත් දන්නේ නැහැ. මහ­ත්තයා තමයි හැම දෙයක්ම දන්නේ“ ඒ ආයුධ ගැන ප්‍රශ්න කරන විට ඇය බියෙන් වෙව්ල­මින් පව­සන්න වූවාය.

අස්සක් මුල්ලක් නෑර මුළු නිවෙ­සම නැව­තත් විශේෂ කාර්ය බළ­කායේ සෝදි­සි­යට ලක් වන්නේ ඒත් එක්කම ය. නිවෙ­සට පිට­තින් වහ­ලත් බිත්ති­යත් අතර කොන්ක්‍රීට් සිවි­ලිම අස්සෙන් ජංගම දුර­ක­ත­නයේ සට­හන්ව තිබුණු අවි-ආයුධ තොගය මතු වන්නේ ඒ සෝදි­සි­යේ­දීය. ටී-56 අවි­යක්, දුර විදින අර්ධ ස්යංක්‍රීය රයි­ෆ­ල­යක්, අත්බෝම්බ 05 ක්, මිලි මීටර් 9 සහ මිලි­මී­ටර් 7 වර්ගයේ අවි වලට යොදන පතො­රම් 71ක්, ටී-56 අවි­ව­ලට යොදන පතො­රම් 154 ක්, සී-04 වර්ගයේ පුපු­රන ද්‍රව්‍ය ඇතුළු යුද උප­ක­රණ රැසක් මෙන්ම ප්‍රභා­ක­රන්ගේ රුව ඇතු­ළත් ටී-ෂර්ට් 04ක්ද ඒ අතර විය. මේ ගැන කිලි­නොච්චි පොලී­සිය ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට දැනුම් දෙන විට තීපන් සිටින්නේ කොළ­ඹට රැගෙ­න­විත්ය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ඒ වන විට සිටියේ සියල්ල වමා­ර­මිනි. යාප­නය කොන්ඩා­විල් හී වල­දමා තිබුණු ක්ලේමෝ බෝම්බ දෙකක් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් ගොඩ ගන්නේ ඒ අනු­වය. ඒ එක් බෝම්බ­යක් කිලෝ ග්රෑම් 15ක් බරැති ය. බොම්බ දෙකේම බර කිලෝ 30කි. ඒවා යුද්ධය අව­සන් වක­වා­නු­වේදී එල්ටී­ටී­ඊය විසින් සැඟවූ ඒවාය. තීපන් පව­සන්නේ කිලි­නො­ච්චියේ නිවෙ­සින් සොයා­ගත් ආයු­ධත් එසේ ගොඩ­ගත් ඒවා බවය. ඒ ටී-56 අවිය හැරුණු කොටය. මේ ආයුධ ගොඩ ගන්නේ මුල­තිව් කැලෑ­වෙනි. ඒ 2018 වස­රේ­දීය. ඒ ආයුධ අතර ක්ලේමෝ බෝම්බ ඇතුළු ආයුධ ගොන්නක්ම තිබී ඇති බව සඳ­හන්ය. තීපන්ගේ කිලි­නො­ච්චියේ නිවෙ­සින් සොයා­ගන්නේ එලෙස ගොඩ­ගත් ආයු­ධ­ව­ලින් කොට­සකි. ඉතිරි කොටස ඇත්තේද පොලිස් භාරයේ ය.

ප්‍රංස ඇම­තු­ම­කින් හසු­රු­වනු ලබන තීපන්ගේ ඉති­හා­සය

ඒ ආයුධ කොටස පොලී­සි­යට හසු වන්නේ ඒවා ගොඩ ගෙන කිලි­නො­ච්චි­යට රැගෙන එන අත­ර­තු­ර­දීය. ඒ අතර වූයේ ක්ලේමෝ බෝම්බ ඇතුළු ආයුධ ගොන්නකි. ත්‍රිරෝද රථ­යක පට­වා­ගත් ඒ ආයුධ මුල­තිව් සිට රැගෙන එමින් සිටි­යදී පොලී­සි­යට හසු වන්නේ ඔඩ්ඩු­සු­ඩා­න්හි­දීය. ඒ රථ වාහන අංශයේ පොලිස් නිල­ධා­රීන්ගේ හදිසි පරී­ක්ෂා­වට ත්‍රිරෝද රථය ලක් වීමෙනි. එහිදී ත්‍රිරෝද රථ රියැ­දුරු ඇතුළු දෙදෙ­නකු පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වූවත් එහි සිටි­යෙක් පලා­යන්නේ පොලිස් ඇසට වැලි ගස­මිනි. එදා ඒ පලා යන්නේ තීපන්ය. ඒ ගැන හෙළි වන්නේද තීප­න්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමු­වේය.

තීපන් පව­සන්නේ ඒ ආයුධ පවා ගොඩ­ගත්තේ ප්‍රංසයේ සිට දුර­ක­ත­නය ඔස්සේ ලැබෙන උප­දෙ­ස්ව­ලට අනුව බවය. යාප­න­යෙන් ගොඩ­ගත් ක්ලේමෝ බොම්බ දෙක ඇති තැන් පවා තමන් දැන­ගන්නේ යැයි තීපන් පව­සන්නේ ප්‍රංස ඇම­තු­මෙනි.

විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය වෙමින් ඇති ආකා­ර­යට අනුව තීපන් හමුදා ඔත්තු­ක­රු­වෙකි. තීප­න්ගෙන් හෙළි වී ඇති තොර­තු­රු­ව­ලට අනුව ඔහු එල්ටී­ටී­ඊයේ සන්නද්ධ අංශ සාමා­ජි­ක­යකු ලෙස එක්ව ඇත්තේ 2007 වස­රේ­දීය. ඔහුට එල්ටී­ටීඊ සාමා­ජි­ක­යකු ලෙස එක් වීමට සිදුව ඇත්තේ එල්ටී­ටීඊ සාමා­ජි­කා­වක වූ වැඩි­ම­හල් සහෝ­ද­රිය අස­නීප තත්ත්ව­යක් නිසා සංවි­ධා­න­යෙන් ඉවත් වීම හේතු­කොට ගෙන ඒ හිදැස පුර­ව­න්න­ටය. තීපන් සඳ­හන් කරන ආකා­ර­යට අනුව ඔහු රැඳී සිට ඇත්තේ රාධා බල­කායේ ය. අව­සන් යුද සමයේ ඔහු රැඳී සිට ඇත්තේ යාප­නයේ මුරු­සි­විල් සහ වරණි ඉදිරි ආර­ක්ෂක වලල්ලේ ය. 2009 වසරේ යුද්ධය නිමා­වී­මත් සමග හමු­දා­වට භාර වන ඔහු පුන­රු­ත්ථා­ප­නය වීම­කින් තොරව හමු­දා­වට සේවය කරන්නේ ඔත්තු­ක­රු­වකු ලෙසිනි. යුද්ධය නිමා වීමෙන් පසු සාමාන්‍ය ජන­තාව අතර සැඟවී සිටි එල්ටි­ටීඊ සාමා­ජි­ක­යන් හඳු­නා­ගැ­නී­මට පවා හමු­දාව තමා යොදා­ගත් බවද තීපන් කියා ඇත.

ඔත්තු­ක­රු­වකු ලෙස දීම­නා­වක්ද ලබ­මින් වසර තුන­කට ආසන්න කාල­යක් හමු­දා­වට සේවය කළ තීපන් කටාර්හි රැකි­යා­වක් සඳහා පිටත්ව යන්නේ ඔහු මෙහෙ­යවූ හමුදා නිල­ධා­රීන්ගේ ආශී­ර්වා­ද­යද ඇති­වය. එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­යන් සැල­කිය යුතු පිරි­සක් එකල කටාර්හි සේව­යට ගොස් සිට ඇති අතර, ඒ අය අත­රද සිටි වැඩි දෙනෙක් හමුදා ඔත්තු­ක­රු­වෝය. තීපන් එරට රැකි­යාවේ නිරත වන්නේ විදුලි කාර්මි­ක­යකු ලෙසිනි. වසර කිහි­ප­යක් කටාර්හි රැකි­යාවේ නිරත වූ තීපන් නැවත මෙර­ටට එන්නේ 2014 වස­රේය. විවා­හ­යක් කර­ගන්නේ ඒ පැමිණි පසු­වය. විදුලි කාර්මි­ක­යකු ලෙස සාමාන්‍ය දිවි පෙව­තක් ගත කළ තීපන් තමාට හිත­වත් හමුදා නිල­ධා­රීන් සමඟ පැවැති සම්බ­න්ධ­කම්ද දිග­ටම පව­ත්වා­ගෙන ගියේය.

තීපන් දැන් එක්දරු පියෙකි. වයස අවු­රුදු එක­හා­මා­රක් වන ඒ දරුවා හද­වත් රෝගි­යෙකි. වෛද්‍ය නිර්දේ­ශය වී ඇත්තේ ශල්‍ය­ක­ර්ම­යකි. ඒ වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ පහක මුද­ලක් ඔහු සූදා­නම් කර­ගත යුතුය. විදුලි කාර්මි­ක­යකු වූ තීපන්ට ඒ මුදල සොයා­ගැ­නීම යනු සිහි­න­යකි. කටාර්හි තමා සමඟ එකට සේවයේ නිර­තව සිටි මිතු­ර­කුට ඔහු සිය දරු­වාගේ ශල්‍ය­ක­ර්මය ගැන කියා උදවු ඉල්ලන්නේ එබැ­විනි. ඒ මිතු­රාද තීපන් මෙන් එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­යෙකි. ප්‍රංස­යෙන් තීපන්ට දුර­ක­තන ඇම­තු­මක් ලැබෙන්නේ ඒත් එක්ක­මය. ඒ පුද්ග­ලයා පෙනී සිටින්නේ එල්ටී­ටීඊ ඩය­ස්පෝ­රාවේ සාමා­ජි­ක­යකු ලෙසිනි. දරු­වාගේ ශල්‍ය­ක­ර්ම­යට අවශ්‍ය මුදල් ලබා­දී­මට පොරොන්දු වන ඔහු ඒත් සම­ඟම තීපන් මෙහෙ­ය­වන්ට ගත්තේය. ඔඩ්ඩු­සු­ඩා­න්හිදී පොලී­සි­යට හසු වන ආයුධ පවා ඔහු ඇලැක්ස් නමැති හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­කයා සමඟ එක්ව මුල­තිව් සිට ඔඩ්ඩු­ඩාන් වෙත රැගෙන එන්නේද ප්‍රංස­යෙන් ලද උප­දෙ­ස්ව­ලට අනු­වය. කිලි­නො­ච්චියේ පිහිටි තීපන්ගේ නිවෙසේ සිවි­ලිම අස්සේ සඟවා තිබි­යදී සොයා­ගත් ආයුධ උතුරේ තැන තැන වළ­දමා තිබි­යදී ගොඩ­ගත් ඒවාය. තීපන්ගේ බිරි­යගේ අත වූ ජංගම දුර­ක­ත­න­යෙන් හමු වන ඡායා­රූප ලබා­ගෙන ඇත්තේ ඒ ආයුධ තොර­තුරු ප්‍රංස­යට යව­න්න­ටය. ඒ එවන් ඡායා­රූප කිහි­ප­යක් තමාට එවන ලෙස ප්‍රංස­යෙන් ලද ඉල්ලී­ම­කට අනු­වය.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තීපන් පවසා ඇත්තේ අනු­ක්‍ර­මික අංක මකා දැමූ ටී-56 අවිය මෝටර් රථ­ය­කින් පැමිණි අයකු තමාට දුන් බවකි. ඒ පුද්ග­ලයා කවු­රු­න්දැයි තීපන් අද­ටත් දන්නේ නැත. ඒ පිටු­ප­සද සිටින්නේ ප්‍රංසයේ සිට ඔහු මෙහෙ­ය­වන පුද්ග­ල­යාය. ඔහු තීපන්ට වරින් වර මුදල් දී තිබිණි. වැඩිම මුදල වන්නේ රු. 50,000කි. ඒ මුදල ලැබෙන්නේ ගිනි අවි­වල ඡායා­රූප වෙනු­වෙනි.

එහෙත් දරු­වාගේ ශල්‍ය­ක­ර්ම­යට අවශ්‍ය රු. ලක්ෂ පහක මුදල නම් එක­වර ඔහු අතට පත් වූයේ නැත. ප්‍රංස ඇම­තු­ම්කරු ලක්ෂ 5 වෙනු­වෙන් තීප­න්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණා අම්මාන් මරා­දැ­මීම ය. ඉකුත් 11 වෙනිදා කිලි­නො­ච්චියේ සිට ඔහු ත්‍රිකු­ණා­ම­ල­යට එන්නේ ඒ වෙනු­වෙනි.

ඔත්තු­ක­රුවෝ

එදා නාලක සිල්වා යටතේ ක්‍රියා­ත්මක වූ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීහු තවත් සුවි­ශේෂ කාර­ණා­වක් හෙළි කළහ. ඒ හමුදා ඔත්තු­ක­රු­වන් ලෙස කට­යුතු කරන හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන් වළ­දැමූ අවි-ආයුධ ගොඩ ගැනීම් පිටු­පස සිටින බවකි. ඔවුන් මෙහෙ­ය­වනු ලැබුවේ ප්‍රංසයේ සහ ස්විට්ස­ර්ල­න්තයේ සිටය. ඒ හෙළි කිරීම් නිසාම හමු­දාවේ බුද්ධි අංශ සහ නාලක සිල්වා අතර ගැටුම් හට­ගත් බව ප්‍රසිද්ධ රහ­සකි. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන සහ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්ව­රුන් ඝාතන කුම­න්ත්‍ර­ණ­ය­කට නාලක සිල්වාගේ නම ඈඳ­මින් නාමල් කුමාර නමැත්තා හෙළි­ද­ර­වු­වක් කර­න්නේත්, නාලක අනි­වාර්ය නිවාඩු යැවෙ­න්නේත් ඒත් එක්ක­මය.

ඔඩ්ඩු­සු­ඩා­න්ව­ලින් පසු නැව­තත් එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­යන් ආවි-ආයුධ රැස් කිරී­මක් ගැන වාර්තා වන්නේ මෙව­සරේ ජන­වාරි 1දා අලු­යම වව්නි­යාව පුලි­ය­න්කු­ලමේ පූතූර් කෝවිල අස­ලදී පොලිස් පරී­ක්ෂා­ව­කදී පුද්ග­ල­යකු ආයුධ මල්ලක් අත­හැර පලා­යෑ­මක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­ක­දීය. ඒ මල්ලේ අත්බෝම්බ හත­රක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝ­ල­යක් විය.

මල්ලෙහි තිබුණු ජංගම දුර­ක­තන දෙකක් ඔස්සේ පරී­ක්ෂණ පැවැත්වූ පොලී­සිය සැක­පිට අට දෙන­කුම අත්අ­ඩං­ගු­වට ගත්තේය. වැඩි දෙනෙක් හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යෝය. ඔවුන්ව මෙහෙ­යවා තිබුණේ ප්‍රංසයේ සහ ස්විට්ස­ර්ල­න්තයේ සිටය. විම­ර්ශ­න­ව­ලින් හෙළි වන්නේ පොලී­සිය දැක ආයුධ පාර්ස­ලය අත­හැර පලා­යන්නේ ආනන්ද රාසා නැමැති එල්ටී­ටී­ඊයේ හිටපු ප්‍රබල සාමා­ජි­ක­යකු බවයි. ආනන්ද රාසා ගැන මත­කය නැව­තත් අලුත් වන්නේ ඊට මාස කිහි­ප­ය­කට පසු රාජ්‍ය බුද්ධි සේවයේ තොර­තු­ර­කට අනුව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් පාතා­ල­යට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය සහ අවි ජාවා­ර­ම්වල නිර­තව සිටි එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­යන් පිරි­සක් වේය­න්ගො­ඩදී අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සම­ඟිනි. එදා ආනන්ද රාසා අත­හැර යන ආයුධ පර්ස­ලය පාතා­ල­යට දෙන්නට රැගෙන එමින් සිටි එකක් බව හෙළි වන්නේ එවි­ටය.

පාතා­ලය සමඟ එක්ව සිටි ඒ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන් මෙහෙ­යවා තිබුණේ ස්විට්ස­ර්ල­න්ත­යෙන් සහ ප්‍රංස­යෙනි. ඒ එල්ටී­ටීඊ ඩය­ස්පෝ­රාව විසිනි. දෙමළ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්ඒ සුම­න්ති­රන් මහතා ඝාතන සැල­සු­මක් ගැනද එහිදී හෙළි විය. ඒ ඝාතන සැල­සු­මට යොදා­ගැ­නී­මට සඟවා තිබුණු ක්ලේමෝ බෝම්බ­යක් කොළඹ අප­රාධ කොට්ඨා­සය විසින් සොයා­ගන්නේ අත්අ­ඩං­ගු­වට ගත් එල්ටී­ටීඊ සැක­ක­රු­වන්ගේ තොර­තුරු ඔස්සේය.

සිව­රූ­බන්

පුලි­ය­න්කු­ලමේ අවි බෑගයේ කථාව එසේ විස­ඳෙන විට පලෙයි රෝහලේ අධි­ක­රණ වෛද්‍ය සින්න­යියා සිව­රූ­බන්ව අත්අ­ඩං­ගු­වට ගන්නේ නැව­තත් එල්ටී­ටී­ඊයේ නැඟි­ටී­මක් ගැන කතා­වක් එළි­යට එමිනි. ඔහුව අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ යුද හමු­දාව විසිනි. වැඩි­දුර විම­ර්ශන සිදු වන්නේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය යට­තේය. එහිදී වෛද්‍ය සිව­රූ­බ­න්ගෙන් ප්‍රශ්න කොට අවි ආයුධ රැසක්ද සොයා­ගැ­නී­මට ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සමත් විය. ඒ ආයුධ අතර ඒකේ-47 වර්ගයේ ගිනි අවි­යක්ද අත්බෝම්බ 11ක්ද පත­රොම් සහ පුපු­රන ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක්ද විය. ඒ පුපු­රන ද්‍රව්‍ය සහ ආයුධ ඔහුට ලැබෙන්නේ හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­ය­න්ගෙනි. ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීහු ඒ අයද අත්අ­ඩං­ගු­වට ගත්හ. මේ සියලු දෙනාම මෙහෙ­ය­වන බව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට පෙනී ගියේ ස්විට්ස­ර්ල­න්ත­යෙනි. උග්‍ර ජාති­වා­දි­යකු මෙන්ම එල්ටී­ටීඊ හිත­වා­දි­ය­කුද වන වෛද්‍ය සිව­රූ­බන් සංවි­ධා­නා­ත්ම­කව යම් පිරි­සක් විසින් මෙහෙ­යවා ඇති බවද පෙනී ගියේය. සිව­රූ­බන්ට ගිනි අවි ලබා­දෙ­න්නේද ඔහුව මෙහෙ­ය­ව­මින් සිටි අය­මය. ඒ අවි­වල අනු­ක්‍ර­මික අංකය තිබෙන්නේ මකා දමාය.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ විම­ර්ශ­න­ව­ලින් හෙළිව ඇති ආකා­ර­යට වෛද්‍ය සිව­රූ­බන්ට ආයුධ ලබා­දීම සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගන්නා අය අතර හමුදා බුද්ධි අංශ සමඟ ඉතා කිට්ටු­වෙන් සම්බ­න්ධ­කම් පව­ත්වන හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන්ද සිට ඇත. ඒ එක් සාමා­ජි­ක­යකු ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේ හමුදා බුද්ධි අංශය නොස­න්සුන් කර­මිනි. මේ අත්අ­ඩං­ගු­වට ගැනීම හමුදා බුද්ධි අංශයේ ඉහළ නිල­ධා­රි­ය­කුට ඔහු දැරූ තන­තු­රද අහිමි වන තර­ම­ටම බල­පෑ­වේය.

නැවත මතු වන කරුණා අම්මාන් ඝාතන කතාව

නැව­තත් කරුණා අම්මාන් ඝාතන තැතක් ගැන කතා­වක් මැති­ව­රණ උණු­සුම අස්සේ මතු වන්නේය. ඒ වෛද්‍ය සිව­රූ­බන් ත්‍රස්ත විම­ර්ශන ඔස්සේ වැද­ගැ­ම්ම­කට නැති චරි­ත­යක් බවට පත්ව තිබි­ය­දීය. එවර චරි­තය තීපන්ය.

පසු­ගිය 11 දින ත්‍රිකු­ණා­ම­ල­යට යන්නැයි කියා තීපන්ට දැනුම් දෙන්නේද ප්‍රංස ඇම­තු­ම්ක­රුය. පොදු ප්‍රවා­හන මඟී බස් රථ­ය­කින් ත්‍රිකු­ණා­ම­ල­යට යන තීපන්ව පිළි­ගන්නේ යතු­රු­පැ­දි­ය­කින් පැමිණි අයෙකි. තීප­න්වත් ඔහු­වත් මුණ­ග­ස්ස­න්නේද ප්‍රංස ඇම­තු­ම්ක­රුය. ත්‍රිකු­ණා­ම­ලයේ බස් නැව­තුම් පොළෙන් තීපන් යතු­රු­පැ­දි­යට ගොඩ කර­ගත් ඒ පුද්ග­ලයා ඔහු රැගෙන යන්නේ සේරු­නු­ව­රට ය. එහිදී ඔහු භාර කෙරෙන්නේ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණි අය­කු­ටය. ඒ පුද්ග­ලයා තීපන් රැගෙන යන්නේ සේරු­නු­වර පැත්තේ ඇති නිවෙ­ස­ක­ටය. මඳ වේලා­වක් ඔවුන් දෙදෙනා ඒ නිවෙසේ රැඳී­සි­ටි­යහ. ඒ, කරුණා අම්මාන් ඝාතන සැල­සුම් සමඟ අවශ්‍ය ආයුධ රැගෙන එන පුද්ග­ල­යා­ගෙන් ඇම­තු­මක් ලැබෙන තුරුය. ඇම­තුම ලැබෙන්නේ ත්‍රිරෝද රථ­යෙන් තීපන් රැගෙන පැමිණි පුද්ග­ල­යා­ටය.

ඒ ඇම­තු­මෙන් කල­බල වන ඒ පුද්ග­ලයා “බඩු අර­ගෙන ඇවිල්ල. ඉක්ම­නට යමු“ යි පව­ස­මින් තීපන් ත්‍රිරෝද රථ­යට ගොඩ කර­ග­ත්තේය. ඒ කල­බ­ලය නිසාම බැටරි ආරෝ­ප­ණය කිරී­මට නිවෙසේ විදු­ලිය හා සම්බන්ධ කර තිබුණු සිය ජංගම දුර­ක­තන දෙක අතට ගන්නට තීපන්ට මත­ක­යක් නොවීය. ඔහුට සිය ජංගම දුර­ක­තන දෙක මතක් වන්නේ ඒ යන ගම­නේදී හමු­දාව විසින් ඔහු අල්ලා­ගෙන දෑස් බැඳ කඳ­වු­ර­කට රැගෙන ගිය පසු ඒ ජංගම දුර­ක­තන දෙක ඔහු­ගෙන් ප්‍රශ්න කළ හමුදා නිල­ධා­රි­යකු අත තිබෙනු දුටු විටය. ඒ ජංගම දුර­ක­තන දෙක දැන් ඇත්තේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස භාර­යේය.

මේ සියලු කාරණා සියුම්ව අධ්‍ය­ය­නය කළ විට පෙනී යන්නේ සැබෑ ලෙසම මේ සියල්ල සිදුව ඇත්තේ පිට­ප­ත­කට අනුව බවකි. ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ විම­ර්ශන අව­සා­නයේ ඒ සියල්ල නුදු­රේ­දීම රටට හෙළි වනු ඇත.

Comments