අාධ්‍යාත්මික දියුණුව, නිර්මාංසකරණය හා චක්‍ර ධ්‍යාන | සිළුමිණ

අාධ්‍යාත්මික දියුණුව, නිර්මාංසකරණය හා චක්‍ර ධ්‍යාන

මෙය මෑත කාලීන සමාජයෙහි විවාදයට බඳුන් වූ මාතෘකාවන් කිහිපයකි. අද අපි ඒ පිළිබඳව විද්‍යාත්මක හා යෝග විද්‍යාත්මක සංවාදයක යෙදෙමු.

සත්ත්ව ලෝකයෙහි වෙසෙන සත්ත්වයන් ශාක භක්ෂක, මාංස භක්ෂක හා සර්ව භක්ෂක ලෙස වර්ග කළ හැකිය. ශාකමය ආහාරමත පමණක් යැපෙන සතුන් අපි ශාක භක්ෂකයින් ලෙස හඳුන්වමු. අනෙකුත් සත්ත්වයකුගේ මාංශය ආහාර කොට ගන්නා සතුන් මාංස භක්ෂකයින් ලෙසත් ශාක ආහාර හා මාංස ආහාර දෙවර්ගයෙන්ම යැපෙන සත්ත්වයන් සර්ව භක්ෂකයින් ලෙසත් අපි හඳුන්වා‍ දෙමු. එම සත්ත්වයන් ගනු ලබන ආහාර අනුව ඔවුනටම අ‍ාවේණික වූ ගතිලක්ෂණ රාශියක් ජීව විද්‍යාත්මකව හඳුනාගත හැකිය. අප ජීවත්වන මිනිස් ප්‍රජාවෙහි සම්පූර්ණ නිර්මාංස ආහාරයෙන්ම යැපෙන අයත් මාංස ආහාරයට වැඩි නැඹුරුවක් දක්වන අයත් දැකගත හැකිය. බොහෝ කලක පටන්ම මෙම දෙපිරිස අතර නිර්මාංසකරණයෙහි හොඳ - නරක ගැන වාද විවාද හා සංවාද දැකගත හැකිය.

ජීව විද්‍යාත්මකව ජීවයෙහි හා ලෝකයෙහි පැවැත්මට සුර්යාලෝකය අත්‍යාවශ්‍යය. හිරුගෙන් තොර ලොවක් නැත. යෝග දාර්ශනිකයින්ගේ සොයාගැනීම් වන සූර්ය විද්‍යාව, සූර්ය නමස්කාර ක්‍රම ඊට මොනවට සාක්ෂි දරයි.

විද්‍යාත්මකව ශාක මත පතිත වන හිරු එළියෙන් 1% ක් ආහාර බවට පත්කරයි. එම ආහාර මත ශාක භක්ෂකයනුත් ඔවුන්ගේ මාංසයෙන් මාංස භක්ෂකයනුත් යැපෙති. එම කරුණ අනුව ශාක ආහාර මත යැපෙන නිර්මාංසිකයන්ට වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ. උදාහරණයක් ලෙස සිංහයින්, ව්‍යාග්‍රයින් වැනි මාංස භක්ෂක සතුනට සතුන් මැරීමට සුදුසු ප්‍රමාණයේ ශක්තිමත් ශරීරයක් ඇත. එහෙත් නිර්මාංසික සතකු වන අලියකු කරන ආකාරයේ බර එසැවීම, පෙරැළීම, ඇඳීමට තරම් ශක්තියක් එකී සත්ත්වයින් හට නොමැත. ලොව විශාලතම සත්වයා වන තල්මසා ද නිර්මාංසික සතෙකි.

ජීවත්වීමේ ආයු කාලය සලකන විටද නිර්මාංසි අලියා වැනි සතුන් සාපේක්ෂව වැඩි කාලයක් ජීවත් වෙයි.

තරුණකමට රහසක්

සත්ත්වයන් වයසට යාම සම්බන්ධව මුක්ත කණ්ඩක කල්පිතය නම් ජීව විද්‍යාත්මක මතයක් ඇත. ජීවී සෛල තුළ එක් රැස්වන රසායන විෂ නිසා ජානවල ඇතිවන වෙනස්වීම් වියපත් වීම වේගවත් කරන බව එම මතයෙන් කියැවෙයි. කෝප සහගත හැසිරීම මාංස භක්ෂක සතුන්ට ආවේණික චර්යයාවකි. එමෙන්ම ඔවුන්ගෙන් මියැදෙන සතුන් තුළද ගොඩ නැ‍ඟෙනුයේ කෝපය මුසු වූ බියකි. ඔවුන් දෙපාර්ශවයෙහිම සිරුරෙහි රුධිරයට ඇඩ්රිනලීන්, නොර් ඇඩ්රිනලීන් වැනි හෝමෝන නිදහස් වේ. එම හෝමෝන ස්‍රාවයෙහි බලපෑම සමනය වීමට පැය 48 ක් (දින 2ක්) ගත වන බව කියැවෙයි. ඒ අනුව අධික මාංස පරිභෝජනය සිරුර අකලට වියපත් කිරීමට මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවන බව සිතිය හැකිය.

එහෙත් ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ශාක ආහාරවලින්ම පමණක් යැපීමෙන් සිරුරට අත්‍යවශ්‍ය වන සත්ත්ව ප්‍රෝටීන නොලැබී යාමෙන් සෞඛ්‍ය ගැටලු හටගන්නා බවයි.

ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරනු ලබන යෝගාවචරයින් පවසනු ලබන්නේ මාංස ආහාර ගත්තද අපගේ ඉහළම ආයුකාලය වන වසර 100 කට වඩා අපිට ජීවත් නොවිය හැකි බවයි. තව වසර සිය ගණනකින් මරණය කල් නොදැමිය හැකි බවයි සත්ත්ව හිංසනයට එකහෙළාම විරුද්ධ වන ඔවුහු සත්ත්ව ආහාර සම්පූර්ණ නවතා සත්ත්ව ඝාතකයන්ට අනුබල නොදෙති.

යෝගා දාර්ශනිකයින් අප ගන්නා ආහාර ප්‍රධාන කාණ්ඩ 3කට වෙන් කරති. එනම්,

1. රජසික් ආහාර උදා:- මස්, බිත්තර, මාළු

2. තමස් ආහාර උදා:- ඕනෑවට වඩා පිසූ, කල්තබා ගත් ආහාර, කුළුබඩු වැඩිපුර යෙදූ ආහාර

3.සක්විති ආහාර උදා:- පිරිසිදු එළවළු, පලතුරු, ධාන්‍ය, කිරි

ඒ අතරින් රාගසිත්, දේවේශ සිත් වඩන රජස් ආහාරත්, අලසබව, නිදන සුලු බව වඩන තමස් ආහාරවලිනුත් වළකින බහුතරයක් යෝගීහු සක්විති ආහාරයෙන් යැපෙති.

එකී මතයන්ට වෙනස් අදහස් දරන යෝග දාර්ශනිකයින් ද දැකගත හැකිය. ඔවුනට අනුව නම් ඉහත සෑම ආහාරයක්ම තැනී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූලධාතූන්ගෙනි. ඒ නිසා සිය ආධ්‍යාත්මික ඉලක්කයට යන ගමනේදී එදිනෙදා තමාට ලැබෙන කුමන ආහාරයක් වුවද ඔවුහු පිළිගනිති. සිය අාධ්‍යාත්මික අරමුණට අධිෂ්ඨානයෙන් යුතුව පිය මනිති.

අාධ්‍යාත්මික ලෝකය අපගේ පියවි ඇසට දර්ශනය වන මානයන්ගෙන් ඔබ්බට ඈතට විහිදී ගිය එකකි. ඉන් පියවි ඇසට පෙනෙන ප්‍රමාණය 2% නම් 98% ක් ම දැකිය නොහැකිය.

මා හට හඳුනා ගැනීමට ලැබුණු විශේෂිත කුණ්ඩලනී යෝගියකුගේ අදහසක් මෙහි සටහන් තබමි. “මනුෂ්‍ය ලෝකයෙහි වෙසෙන අපගේ ගන්ධය නිසා සදෙව් ලෝ දෙවිවරු ගවු දහසක් ඈතින් සිට අප ඇසුර කරති. (මෙය බෞද්ධ කියමනකි.) නිතර මාංස අනුභව කරන අයගේ දුර්ගන්ධය ඉතා ප්‍රබලය. ඒ නිසා අපට උපකාර කිරීමට කැමැති දෙවියන් හා බලවේග පවා මාංශ අනුභව කරන අපගෙන් වඩා දුරස් වෙති. ඒ වෙනුවට අසුචි ආහාර මත යැපෙන ප්‍රේත, පිසාච වැනි අමනුෂ්‍ය කොටස් අප වෙත ආකර්ෂණය වෙති.

අපගේ මනිපුර ශක්ති මධ්‍යස්ථානය (නාභි චක්‍රය) හා සම්බන්ධ රිදී පැහැ ශක්ති කදම්භයකින් ආත්මය (soul) සිරුර හා සම්බන්ධව ඇත. මාංශ ආහාර පිරි සුසානයක් බඳු උදරයක් ඇත්තාගේ නාභි චක්‍රය හරහා ඇතුළුවන සමහර අමනුෂ්‍ය කොටස් සිරුරට හා මනසට නරක බලපෑම් කළ හැකිය.

යෝග යනු නිදහස් චින්තකයින් සඳහා වන දර්ශනයකි. ඒ නිසා නිර්මාංස වීම හෝ නොවීම ඔබගේම තීරණයකි. මෙවර ලිපියෙන් ඔබට හඳුන්වා දෙන අභ්‍යාසය ඔබ ගන්නා ඕනෑම ආහාරයක් පහසුවෙන් ජීර්ණය කරවන වූත් බොහෝ ප්‍රතිඵල ලබා දෙන අභ්‍යාසයකි.

වජ්‍රාසන යෝග ඉරියවුව

බර ආහාරයක් ලබාගත් විගස හෝ ආහාර ගන්නා අතර තුර ඔබට මෙම අභ්‍යාසයෙහි නිරත විය හැක. ඡායාරූපයෙහි පරිදි ඔබගේ පාද පතුල් මත දණහිස් තබා හිඳගන්න. කඳ ඍජුව තබා ගැනීමට මතක තබාගන්න. ආහාර වේල අවසානයේ ඉරියව්වෙහි රැ‍ඳෙමින් දෙනෙත් පියාගන්න. මනසෙහි අවධානය නාභිය මත රඳවන්න. ඒ වටා දීප්තිමත් කහ පැහැ ආලෝකයක් දක්ෂිණාවර්ථව උදරය තුළ භ්‍රමණය වන බව සිතින් මවා ගන්න. අවම වශයෙන් මිනිත්තු 05-10ක් පමණ වත් යෙදෙන්න.

අභ්‍යාසයෙහි ප්‍රතිඵල

* ගන්නා ඕනෑම ආහාරයක් පහසුවෙන් ජීර්ණය වෙයි.

* බර ආහාර වේලකට පසු ඇතිවන අලස බව, නිදිබර බව නැතිවෙයි. භාවනාවට උපකාරි වෙයි.

* රාත්‍රී කාලයේ යෙදුණු විට පසුදින ප්‍රබෝධවත්ව නින්දෙන් පිබිදිය හැකිය.

* ලිංගික ශක්තිය වර්ධනය වෙයි.

* සිරුරෙහි ශක්ති පථ (නාඩි) එක්රැස් වන කණ්ධස්ථානය ශක්තිමත් කරයි.

* කුණ්ඩලිනී ශක්තිය (ඔබ තුළ සැඟවුණු

ගුප්තමය ශක්තිය) අවධියට උපකාරී වෙයි.

Comments