මේ මොහොතේ බැරෑරුම් සමාජ වගකීමක් සාහිත්‍යකරුවාට තිබෙනවා | සිළුමිණ

මේ මොහොතේ බැරෑරුම් සමාජ වගකීමක් සාහිත්‍යකරුවාට තිබෙනවා

ප්‍රවීණ සාහිත්‍යධර ජයතිලක කම්මැල්ලවීර නිර්මාණ සම්භාවනා උලෙළක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී ඔහුගේ සාහිත්‍යය හා සමාජ ජීවිතයේ විවිධ පැතිකඩ නියෝජනය වන පරිදි උපහාර ග්‍රන්ථයක් ද ජනගත කෙරිණි. මේ එය මූලික කොටගනිමින් සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර සමඟ කළ සංලාපයකි.

ඔබේ නිර්මාණ කාර්ය හා සමාජ ජීවිතය අගයමින් පසුගියදා සහිත්‍ය සම්භාවනා උලෙළක් පැවැත්වුණා. මේ ආකාරයට පිදුම් ලැබීම නිර්මාණකරුවකුට කොයිතරම් වැදගත් ද?

ලේඛකයා මේ ආකාරයට නිසිපරිදි ඇගයීමට ලක්කරනව නම් මා ඊට කැමතියි. මෙවැනි දේ මඟින් සාහිත්‍ය නිර්මාණකරුවාට ලොකු උත්තේජනයක් ලැබෙනවා; තවතවත් කැපවීමෙන් මේ කාර්යයේ නිරත වෙන්න. ලේඛකයන්ට මෙවැනි උපහාර පිදීමේ උත්සව අප ඕනෑ තරම් දැක තිබෙනවා. බෙරගහගෙන නටාගෙන පැය ගණන් දේශන පහ හය පවත්වමින් කරන උත්සව. ඒවායෙන් ලේඛකයා කලකිරෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ.

මගෙන් මීට ප්‍රථම කිහිප දෙනෙකුම මේ ගැන අසා තිබුණා. නමුත් මා ඊට කැමති වුණේ නැහැ. සමහර උත්සව බෙරගහලා නැට්ටුවො නටල මහා ඉහළින් පවත්වන උත්සව බව පැවසුණත් මා ඒවා ප්‍රතික්ෂේප කළා. මට කවදාවත් එවැනි උත්සවයකට එකඟ වෙන්න බැහැ. එවැනි උත්සවවලින් නිර්මාණකරුවන් කරන මැදිහත් වීමට කැපකිරීමට නිසි ඇගයීමක් නොලැබෙන බව මා දන්නවා. ඒ නිසා පුහු ආටෝප සාටෝප නැති; ප්‍රශස්ති ගායනා නැති සාහිත්‍යයට නිසි ගෞරවයක් කළ හැකි පිරිසකට ඒ සඳහා මා අවස්ථාව ලබා දුන්නා. මේ උත්සවය සංවිධානය කළේ මේ රටේ ඉන්න ප්‍රවීණම ලේඛකයෝ කිහිප දෙනෙක් එකතුවෙලා. මහාචාර්ය සරත් විජේසූරිය, කීර්ති වැලිසරගේ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, කමල් පෙරේරා, විපුලි නිරෝෂණී හෙට්ටි ආරච්චි, දේවි ගාල්ලගේ, සුනන්ද කරුණාරත්න මේ අය එකතුවෙලා තමයි මේ උත්සවය සංවිධානය කළේ.

ඔබ අනිත් අයට ලබා නොදුන් අවස්ථාව මේ අයට ලබාදෙන්න හිතුවේ ඇයි?

මේ අය මං ළඟට එන්න කලින් ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරල තිබුණා. ඔවුන් ඇවිත් “සහෝදරයා වෙනුවෙන් අපි මේ වගේ දෙයක් කරන්න යනවා. ඒකට කැමතිද” කියල මගෙන් ඇහුවා. ඒ වෙනකොටත් ඔවුන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කිරීම සඳහා ලිපි එකතු කරමින් තිබුණා. ඒ ලිපි ලියන්නේ කවුරුද කියලත් ඒ අය මට දැනුම් දුන්නා. මේ පිරිස මගේ මැදිහත් වීම තේරුම්ගත් පිරිසක්; මේ උපහාර ග්‍රන්ථය වුණත් ඉතාම හොඳ එකක් වේවි කියල මට හිතුණා. හැබැයි මං පොඩි කොන්දේසි ටිකක් දැම්මා. බෙර ගහල නැට්ටුවො නටල මාව එක්කන් එන්න බෑ; එක දේශනයක් විතරයි කරන්න ඕන; ඒක මේ රටේ ඉන්න ගැඹුරු විචාරකයෙක් අතින් වෙනව නම් මං කැමැතියි කියල. ඒකට මේ අය එකඟ වුණා. මෙහිදි මගේ විනාඩි පහළවක පමණ ඩොකියුමන්ට්‍රි එකක් නිර්මාණය කරන්න ඒ අය බලා පොරොත්තු වුණා.

මාව සාමාන්‍ය පුද්ගලයෙක් විදියට මිසක් මහා ලේඛකයෙක් විදියට පෙන්නන්න උත්සාහ කරන්න එපා කියල මා ඒ අයට කිව්වා. මොකද මා ලියන්නේ බොහොම අඩුවෙන්. මා බොහෝවිට පොත්පත් කියවන මිතුරු ඇසුර ප්‍රාර්ථනා කරන; අධුනික ලේඛකයන්ට දිරිදෙන හා සමාජ වැඩවලට සම්බන්ධ වී සිටින කෙනෙක්. මං ලියපුවා ඔක්කෝම එකතු කළත් පිටු 2000ක් ඉක්මවන එකක් නැහැ. මගේ නවකතා වුණත් පිටු 250කින් එහාට ගිහින් නෑ. ඒ නිසා මං තොග ගණන් ලියන ලේඛකයෙක් නෙමෙයි. මා ලියන්න ගත කරන කාලයට වඩා කියවන්න ගතකරන කාලය වැඩියි. ඒ අනුව මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පිටපතක් සකස් කරල පෙන්නුව. ඒක සාධාරණ පිටපතක්. මං ඒකට කැමති වුණා. මලිත් හෑගොඩ තමයි ඩොකියුමන්ට්‍රි එක හැදුවේ.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති එයාගේ කතාව පටන් ගද්දි “මං දන්නේ නෑ මේ වාර්තා චිත්‍රපටය කවුද හැදුවේ කියල; ඔහු කවුරු වුණත් කම්මැල්ලවීරගේ දෘෂ්ටිය ඉතාම මැනවින් ග්‍රහණය කරගත්තු කලාකරුවෙක් කියල කිව්වා“. ඒ වගේම එදා වේදිකාවේ සිදුවෙච්ච හැමදෙයක්ම ඉතාම සරලයි. නමුත් ඊට අත්‍යාවශ්‍ය හැම දේම එකතු වී තිබුණා. මා සතුටට පත් කළ හොඳ උපහාර උලෙළක් ඒ විදියට සංවිධානය වී තිබුණා.

ඔබ සාහිත්‍යකරණයට අවතීර්ණ වෙන්නේ කම්කරුවකු, වෘත්තීය සමිති නායකයකු ආදී වශයෙන් බොහෝම දුෂ්කර ගමනක් පසු කර ඇවිත්. ඒ පසුබිම පිළිබඳ යම් සඳහනක් කළොත්?

මා ඉතාම දිළිඳු පවුලක උපන් දරුවෙක්. වයස අවුරුදු 30ක් වෙනකම්ම කෙනෙක්ට විඳින්න අමාරු කටුක අත්දැකීම් රාශියකට මා මුහුණ දුන්නා. වරක් දෙනගම සිරිවර්ධන ලේඛකයා මගේ ජීවිත කතාව ලියන්න ආවා. ළමා කාලයේ මගේ අත්දැකීම් විස්තර කරගෙන යනකොට ඔහුගේ අත වෙව්ලන්න ගත්තා. පෑන පැත්තකින් තිබ්බා. සහෝදරයා මට අද මෙතනින් එහාට ලියන්න බැහැ. මං ගිහින් වෙන දවසක එන්නම් කියලා ඔහු යන්න ගියා. ඒ තරමට ම මා සෑහෙන කටුක දුකක් වින්දා. ඒත් අත්දැකීම්වලින් මට විශාල පන්නරයක් ලැබුණා. මා පැය අටේ රැකියාවක් කළා නම් ඒ අවුරුදු තුනයි. මුලින්ම රැකියාවට ගියේ ‘දවස’ පත්තර කන්තෝරුවේ මුද්‍රණ අංශයට. මං රොටරියේ කුලීකාරයෙක් නැත්තම් මජං සූට් කාරයෙක් විදියට කටයුතු කරද්දි එහි හිටිය සේවකයන් එකතු කරගෙන වෘත්තීය සමිතියක් හැදුවා. ඔහොම ගිහින් නව සමසමාජ පක්ෂයේ ආරම්භයේ පටන් පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයෙක් වුණා. ඉන් ඉවත්වන තුරුම මා එහි දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට කටයුතු කළා. ඒ ජීවිතයේ මම වසර 17ක් පමණ ගත කළා. මේ කාලේ මට කටයුතු කරන්න ලැබුණේ ඉතාම පහළ මට්ටමේ කම්කරුවො එක්ක. සමහරු විවිධ මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච නාහෙට අහන්නේ නැති මිනිස්සු. ඒ ජීවිතය මගේ ජීවිතයට විශාල අත්දැකීම් රාශික් එකතු කළා.

ඒ කාලේ මගේ දෘෂ්ටිවාදය සකස් වුණේ මාක්ස්වාදී දර්ශනයෙන් වුණත් මට විශේෂයෙන් ම බලපෑවේ ට්‍රොට්ස්කිවාදය. ඒකට හේතු වුණේ මා ඒ පිළිබඳ කළ හැදෑරීමයි. ඒ මගින් තමයි මගේ සාහිත්‍යමය දෘෂ්ටිය පෝෂණය වුණේ. ප්‍රචාරකවාදයට නොවැටී එහෙත් සමාජයේ පෑගෙන පීඩාවට පත්වන ජනයාගේ ජීවිත ආශ්‍රයෙන් කොහොමද සෞන්දර්යාත්මක සාහිත්‍ය නිර්මාණයටක් කරන්නේ කියන දෘෂ්ටිමය මුවහත්භාවය මට ලැබුණේ ට්‍රොට්ස්කිවාදී දේශපාලනයෙන්. මා ලැබූ කටුක අත්දැකීම් සහ ට්‍රොට්ස්කිවාදී දේශපාලනය සමාජයට පිළිගත හැකි ලේඛකයෙක් බවට මා පත් කළා. 1987 දී මගේ පළමු නවකතාවට ඩී. ආර්. විජයවර්ධන සම්මානය හම්බ වුණා. සාහිත්‍යකරණයත් එක්ක කලින් කරපු දේට වඩා හොඳ දෙයක් ඊළඟට කළ යුතුය කියන නිරන්තර සිතුවිල්ල මට තිබුණා. ඒ නිසාම මට මාව ම අභියෝගයක් වෙන්න පටන් ගත්තා. මේ සාහිත්‍ය මගේ එළඹුම සිද්ධ වුණේ ඒ විදියටයි.

මේ සමාජය පවතින තත්ත්වයෙන් ඔසවා තබන්න සාහිත්‍ය නිර්මාණකරුවෙක් විදියට ඔබ ලබාදී තිබෙන දායකත්වය මොකක්ද? මේ මොහොතේ සාහිත්‍යකරුවාගේ සමාජ භූමිකාව විය යුත්තේ මොකක්ද?

මේ වගේ තීරණාත්මක මොහොතක කලාකරුවකුට කරන්න කාරණා දෙකක් තියෙනව කියල මා විශ්වාස කරනවා. එකක් තමයි තමන්ගේ පරිකල්පනමය හැකියාව; නිර්මාණාත්මක හැකියාව පාවිච්චි කරල මේ සමාජයට ඉදිරියට යෑමට බාධා හැටියට තියෙන අගතීන්වලට විරුද්ධව සමාජය දැනුවත් කිරීම. ජාතිවාදය, කුලවාදය, ආගමික අන්තවාදය ස්ත්‍රී විරොධීත්වය; සම්බන්ධයෙන් සංස්කෘති ගතව තිබෙන පරිහාණිකර තත්ත්වය; වෙනස් වෙන්නට තියෙන අකමැත්ත මෙන්න මේ අගතීන් නිසා තමයි සමාජය අද මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නේ. ඒ අගතීන් පැහැදිලි කර දීලා ඔබ ඉන්නේ මෙතනද? කියල ප්‍රශ්න කරන නිර්මාණ තමයි මා කර තිබෙන්නේ. සාහිත්‍යකරුවෙක් හැටියට මගේ භූමිකාව ඒකයි. නමුත් ඒ සඳහා සාහිත්‍යකරුවකු ලෙස ප්‍රචාරකවාදයට මා නැඹුරු වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. ප්‍රචාරකවාදී නොවී බොහෝම සංයමයෙන් එය කරන්න පුළුවන්. ඒනිසා අද සාහිත්‍යකරුවා තමන්ගේ නිර්මාණ ඔස්සේ මැදිහත් වෙනවාට වඩා ඍජු මැදිහත් වීමක් ඒ වෙනුවෙන් කරන්න ඕන. ප්‍රායෝගික මැදිහත් වීමක් ඔවුන්ගෙන් සමාජh මේ මොහොතේ ඉල්ලා සිටිනවා.

අද සරච්චන්ද්‍රගෙන් දයාසේන ගුණසිංහගෙන්, සුගතපාල ද සිල්වාගෙන් ලූෂන් බුලත්සිංහලගෙන් නාට්‍යකලාව සාහිත්‍ය කලාව හොඳින් හදාරපු සමකාලීන ලෝකය ගැන දන්න මාක්ස්වාදය ගැන දන්න අය පවා තමන්ගේ දැනුම උපයෝගී කරගෙන සමාජ විරෝධී ප්‍රජාතන්ත්‍රවිරෝධී පිරිස් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ පරස්පරය ඔබ දකින්නේ කොහොමද?

මේ පරස්පරය 1977 දී ආරම්භ කළ විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක ඇති වූ ප්‍රවණතාවක් විදියටයි මා දකින්නේ. බොහෝ අයට හරිහම්බ කරගන්න විවිධ මාවත් විවෘත වුණා. ඕනෑම සමාජයක යටිතලය කියන්නේ ආර්ථිකයට. ඒ ආර්ථිකය අනුව තමයි මතුමහල ගොඩනැගෙන්නේ. විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක පොදු සිතුවිල්ල කියන දේ වෙනුවට තමන් ගැන පමණක් හිතන හුදු ආත්මාර්ථය අරමුණු කර ගත් තැනකට මිනිස්සු ගමන් කරන්න පටන් ගත්තා. අද වෙද්දී මේ තත්ත්වය හොඳටම ඔඩු දුවලා හුදු භාණ්ඩ බවට සමාජ සම්බන්ධතා පත්වෙලා තියෙනවා. මිනිහකුට තමන් හිටගන්න ඕන තැනවත් නිශ්චය කරගන්න බැරිතරමට ඔහු විපරීත පුද්ගලයෙක් බවට පත්වෙලා. අද හොරු වෙනුවෙන් මේ අය පෙළ ගැහෙන්නේ තමන් ඇතුළෙත් තමන්ට නොදැනිම හොරෙක් ඉන්න නිසා. “හොරකම් කළත් කමක් නෑ; වැඩ කරනව නේ” කියන තැනට අද මේ සමාජය ඇවිත් තියෙනවා.

කොමියුනිස්ට් සමසමාජ ව්‍යාපාර මේ රටේ බිඳවැටීමත් එක්ක පොදු දියුණුවක් ගැන හිතන මානසිකත්වය බිඳ වැටුණා. එතනින් පස්සේ අනෙක් කෙනාට මොනව වුණාම මට මොකද, තනි තනි පුද්ගලයො විදියට අපි ගොඩනැගෙන්නේ කොහොමද? කියන ආකල්පයට මේ සමාජය ආවා. එදා ග්‍රාම සංවර්ධන සමිතියේ ඉඳලම මිනිස්සු දැනුවත් කළේ පොදු චින්තනයෙන් තමයි, සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන ස්ථාවරයේ ඉඳිමින්. මේ මතය සමාජගත කරන්න කලාකරුවා, ලේඛකයා, නාට්‍ය ශිල්පියා, සිනමාකරුවා මේ හැම කෙනෙක්ම කටයුතු කළා. අද එ් පොදු සිතුවිල්ල නැහැ. නවීන තාක්ෂණයත් මේ තත්ත්වයට එක්තරා විදියකට බලපෑවා. මං තාක්ෂණය ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මොකද තාක්ෂණය අපේ වගේ රටවල දැනුවත්ව යොදා ගන්නේ නැහැ.

රූපවාහිනිය නිසා සමාජයට වෙච්ච දේ 1984 දී දයාසේන ගුණසිංහ ඉතාම රමණීය විදියට ‘වෘත්තාකාර බන්ධනාගාරය’ කියන එයාගෙ කෙටි කතාවේ ලියල තියෙනවා. ඔහු එක ඡේදයක ලියනවා “අම්මාගේ දෑස රූපවාහිනී තිරය මත මැලියම් ගා ඇලවූවා වැනිය. කතාව නිමවී ඉදිරි ප්‍රසංගය එළඹෙන තුරු ඈ රූපවහිනි තිරය දෙස නොඉවසිල්ලෙන් බලා සිටී. එහෙත් කතාව නිමාවත් ම රූපවාහිනී තිරය කෑම මේසයක් බවට පරිවර්තනය විය. කුඩා දරුවෝ එහි පැමිණ බඩකට පුරා කිරි බී; මුව වටා රැඳුණු පෙණ බුබුළු දිවගින් පිසදමා ගත්හ. ඉන්පසු දුම් දමන සොසේජස් බඳුනක් පහළ විය.

ප්‍රති ප්‍රහාරයෙන් ජාතිය කුල්මත් කරන ක්‍රිකට් සූරයෙක් කඩුල්ල පැන සොසේජස් සුවඳ ඔස්සේ ඒ දෙසට දිව ගියේ ය. සාස්පාන තුළ තිබූ මස් කැබැල්ලක් ඇඟිලි තුඩින් ගත් සැමියෙක් බිරිය දෙස ප්‍රේමාන්විත බැල්මක් හෙළමින් උම් කියා තලු මැරීය. ” වෙළෙන්දන් අතට රූපවාහිනිය ගියාම වෙනදේ 84 දී මේ සාහිත්‍යකරුවා දැක්කා. අද අපි ෆේස්බුක් පවා පාවිච්චි කරන්නේ වැරදි විදියට. මුහුණු පොත කියන්නේ හුඟක් හොඳ සන්නිවේදන මාධ්‍යයක්. ඒත් අද මොකද වෙලා තියෙන්නේ. කෙනෙක් තමන්ගේ අදහසක් මුහුණු පොතේ පළ කළාම ඒක තමන් එල්බගත් අදහසට පටහැණි නම් ඒක විවේචනය කරන්නේ අමු තිත්ත කුණහරුපවලින්. මේ ආකල්ප වෙනස් කරන්න තමන්ගේ මතය විතරක් නෙමෙයි අනෙකාගේ මතයත් ඉවසන්න ඕන කියන දේ තේරුම් කරමින් මේ සමාජය ගොඩනඟන්න කලාකරුවා ඉදිරියට ආ යුතුයි. අපි හොරමුළක ඉඳගෙන හොරකම් කරන්න එපා කිව්වට ඒක ජනතාව පිළිගන්නේ නැහැ. ඒ නිසා තමන් හිට ගන්නේ කොතනද කියල ඔහුට හෝ ඇයට අවබෝධයක් තියෙන්න ඕන. මේ රටේ කලාකරුවො පොදු අරමුණක් එක්ක ඒකරාශී වෙලා ප්‍රායෝගිකව මේ වෙනස කරන්න දායක වෙනව නම් ඒ තමයි මේ මොහොතේ ඔවුන්ගේ කාර්යය වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ පෞද්ගලික වාසියට ඔහුත් ඇතුළත්ව පොදුමහත් සමාජයම අගතියට ඇද දැමීම නෙමෙයි.

Comments