කියවීමේ මාසයේ, අපගේ කියවීම් හා ලිවීම් පිළිබඳ විමසුමක් | සිළුමිණ

කියවීමේ මාසයේ, අපගේ කියවීම් හා ලිවීම් පිළිබඳ විමසුමක්

අද ජීවත් වන මිනිසාගේ ආර්ථික සදාචාරාත්මක, මානසික ස්වභාවය පිළිබිඹු කරන ඉතා පැහැදිලි කැඩපතක් ලෙස අපට පෙනී යන්නේ ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ යි. රටේ ජනතාව පොත් කියවීමෙන් ඈත්වීමේ වේගය පිළිබඳ එක්තරා මාපකයක් ලෙස එය හැඳින්වීම බොහෝදුරට නිවැරදි වන බව අපගේ අදහසයි. අප එසේ කියන්නේ දවසක්, දෙකක්, පැයක් හමාරක් හෝ බැලූබැල්මට පෙනී ගිය තත්ත්වයක් පමණක් සැලකිල්ලට ගෙන නොවේ. මේ වන විට වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින පොත් කියවන්නන්ගේ ඒ සංඛ්‍යාත්මක පරාභවය පැහැදිලිව පෙනී යන්නේ පොත් ප්‍රදර්ශනයට යන-එන දහස් සංඛ්‍යාත ජනී-ජනයා දෙස යෝනිසෝමනසිකාරයෙන් යුතුව බලා සිටින විටයි.

මහ පිරිසක් පොත් ප්‍රදර්ශන භූමියට ඇදී එන්නේ නම් පොත් කියවීමේ අඩුවක් ගැන කතා කළ හැකි දැයි මෙහිදී කිසිවකු ප්‍රශ්න කිරීමට ද බැරි නැත. මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබීමට නම් ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාව බරට බරේ ඔසවාගෙන යන පොත්මලු කිසියම් වූ පරික්ෂාවකට ලක් කළ යුතුම ය. මෙහිදී අප ‘පොත්’ යනුවෙන් අදහස් කරන්නේ අභ්‍යාස පොත්, විෂය පොත්, ප්‍රශ්නෝත්තර කට්ටල ආදිය නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි. මේ ලිවීමේදී අප ‘පොත්’ යන්නෙන් විශේෂයෙන් අර්ථ දක්වන්නේ නිර්මාණ සාහිත්‍යය මිස යම් යම් විෂයයන් සඳහා අතිරේක කියවීම් ලෙස නම් කර ඇති කෘති නොවේ.

ආර්ථික වශයෙන් නම් කිසිවකුට ඍජු ලාභ-වාසි සලසා නොදෙන සාහිත්‍ය නිර්මාණ මිලදී ගැනීමේ ආශාවෙන් ම පොත් ප්‍රදර්ශනයට ඇදී එන පාඨක සංඛ්‍යාව බින්දුවට බැස ඇති බවක් මින් අදහස් නොවේ. එහෙත් වසර හත අටකට පෙර ඇතැම්විට දහයකට පෙර මේ ප්‍රදර්ශන භූමියේ පොත් අලෙවිසලක රැඳී සිටි නිර්මාණාත්මක ලේඛකයකුට අත්සන සහිතව තමාගේ පොත් ලබාගැනීමට වැලනොකැඩී ඇදී ආ පාඨක පිරිස හමුවේ පෑන කොපුවේ රැඳවීමට හෝ ඉස්පාසුවක්, අවකාශයක් නොවූ අයුරු අපට සිහි කළ හැකි ය. අපගේ අදහසට, දැක්මට අනුව නම් මේ වන විට වඳ වී යන සත්ත්වයන්ගේ ගොඩට ඇතුළු කළ යුතුව ඇත්තේ ඔවුන් ය.

දරුවනට පොත් කියවීම හුරු කළ යුතුය යන හැඟීමක් බොහෝ වැඩිහිටියනට ඇති බව තේරුම් යන්නේ ඔවුන් බොහෝවිට ළමා පොත් අසුරා ඇති රාක්කයක්, පොත් මැස්සක් අසල නතර වන නිසා ය. තමන් කුඩා කල කියවූ අතිශයින් ජනප්‍රිය රුසියානු ළමා පොත්වල ආස්වාදය දරුවනට ද ලබාදීමේ පරාර්ථකාමී චේතනාවක් බොහෝ වැඩිහිටියන් තුළ වන බව ද පොත් ප්‍රදර්ශනය ප්‍රකට කරයි. එහෙත් ඒ ළමයින් සඳහා ම පමණි. වැඩිහිටියකු වශයෙන් පොත් කියවීමේ ආස්වාදය තමනට ද උරුම බව ඔවුනට අමතක වී තිබේ. නැතහොත් ඊට වඩා වැදගත් යැයි සිතෙන වෙනත් කටයුතු සඳහා කාලය වැය කළ යුතු බව, කාලයට මිලක් නියම වී ඇති බව ඔවුහු සිතා සිටිති. මේ මිල නැතහොත් වටිනාකම් ඔවුන් තක්සේරු කරන්නේ ආර්ථික විද්‍යාවේ කෝණමානවලිනි. වෙනත් කවර වූ හෝ විද්‍යාවක් මෙහිදී ඔවුනගේ සැලකිල්ලට යොමු නොවේ.

අපට හිතෙන හැටියට නම් අර්බුදයේ මූලය පවතින්නේ මෙතැන ය. මේ ව්‍යාකූල චක්‍රයට අනුව අධ්‍යාපනය ලැබිය යුතු වන්නේ විභාග වැට තරණයට ය. විභාග වැට තරණය කළ යුත්තේ හොඳ රැකියාවක් ලබාගැනීමට ය. හොඳ රැකියාවක් ලබාගත යුත්තේ හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා ය. ඔවුන් ව්‍යාකූල ලෙස වටහාගෙන ඇත්තේ මෙන්න මේ ‘හොඳ’ යන්නයි. බිලියන ගණනින් මුදල් ඉපයූ ලෝකයේ මහා ධනවතුන් හදිසියේ සියදිවි නසා ගැනීමට පෙළඹුන අවස්ථා මෙන් ම එවැන්නන් සියල්ල හැරදා හුදෙකලාව වනවැදුණු අවස්ථා පිළිබඳ වාර්තා ද අපට අසන්නට දකින්නට ලැබෙයි. ඒ, කුමක් නිසා දැයි සිතන්නට අප යොමුවන්නේ නැත. එවැනි ප්‍රශ්නයක් දෙස ඍජුව බලන්නට හෝ අපට කාලයක් වේලාවක් ඇත්තේ ද නැත. එසේ නම් පිටු හත් අටසියයක පොතක් කියවීම සඳහා කාලය ගතකිරීම නාස්තියක් ලෙස හැඟීයාමේ කවර නම් අරුමයක් ද?

කිසිදු ජීවිතාවබෝධයකින් තොරව, පරලෝකයට ඇති බිය නිසාම පින්දහම් කරන්නෝ, සිල්සමාදන් වන්නෝ බොහෝ ය. මේ පරලොව බිය වැඩියෙන්මත් අවදි වන්නේ වියපත්වීමට සමගාමීව ය. නොතේරෙන පාලි ගාථාපාඨයකට සාධුකාර දීම එකකි. හොඳ සාහිත්‍ය නිර්මාණයක් පරිශීලනයෙන් අත්පත් කරගතහැකි වින්දනාත්මක ජීවිතාවබෝධය තවත් එකකි. භේදභින්නවීම්වලින් තොර සාධුචර්යාවක් ගොඩනගාගැනීමට අවකාශයක් විවර වන්නේ මේ කවරකින් ද යන්න හඳුනාගත යුතුවන්නේ තමතමන් ය. හරියටම කියන්නේ නම් පොතක් කියවීම යනු ද එක්තරා භාවනාමය ප්‍රයත්නයකි. ඒ සඳහා ද එක්තරා සමාධියක් අවශ්‍ය ය.

නව අදහස්, නව නිර්මාණ කෙරෙහි පාසල් දරුවන්, විද්‍යාර්ථීන් යොමු කිරීම සඳහා අවශ්‍ය වන නෛසර්ගික විදග්ධභාවය ඇත්තේ කීයෙන් කීදෙනකුට ද යන ප්‍රශ්නය ද සමඟිනි, මේ තත්ත්වය ගැන කතා කළ හැකි වන්නේ. නෛසර්ගික විදග්ධ භාවය පිළිබඳ අපූරු නිර්වචනයක් මට දකින්නට ලැබුණේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක විසින් (සුනිල් සාන්ත අනුස්මරණ දෙසුම 2016) පරිවර්තනය කරනු ලැබූ ටෝනි ඩොනල්ඩ්සන්ගේ දෙසුමක පාදක සටහනකිනි. යට දැක්වෙන්නේ එයයි.

නෛසර්ගික විදග්ධතාව යන පදය අද වරදවා යොදාගනු ලැබේ. එය වාණිජ ක්‍ෂේත්‍රයේ හෝ දේශපාලන ක්‍ෂේත්‍රයේ හෝ විශේෂ දක්ෂකමක් පෑ පුද්ගලයන් හැඳින්වීමට යෙදෙන බව පෙනේ. එහෙත් සැබෑ නෛසර්ගික විදග්ධයෝ ඒ පටු සීමා අතික්‍රමණය කෙරෙති. ඔවුහු අප තුළ පුදමය ද භක්තිය ද දනවති. නෛසර්ගික විදග්ධතාව යනු ඉහළ දැනුමක් හෝ විශ්වකෝෂමය දැනුමක් හෝ ඇති බව නොවේ; ශූර වූ වානිජමය හෝ දේශපාලනමය හෝ ක්‍රියාදාමයක් සැලසීමේ හැකියාව ද නොවේ. නෛසර්ගික විදග්ධයෝ අනුන් දක්නා දේම නිරික්ෂණය කරමින් එහි අමුත්තක් ද හඳුනා ගනිති. අනුනට නොහැකිවූ පිම්මක් පැන අලුත් දෙයක් සොයා ගනිති.

කතාන්දර නොදන්නා මවුපියන් සෙවණේ හැදී වැඩී, සාහිත්‍ය රස නොහඳුනන ගුරුවරුන් ඇසුරේ විෂයයක් වශයෙන් පමණක් සාහිත්‍යය හදාරන සිසුනට අප තුළ පුදුමය හා භක්තිය දනවන නවෝත්පාදන බිහිකිරීමට හැකියාවක් තිබිය හැකිද? ඒ පිළිබඳව වගඋත්තර කරුවන් කළ යුත්තේ කවුරු ද?

මේ අධ්‍යාපන ක්‍රමය, විෂයමාලාව ගැන මෙහිලා සඳහන් නොකරන්නේ මේ ලිපිය පොතක් විය හැකි නිසා ය. කෙසේ වුව ද ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන පිරුළ නිර්මාණය වී තිබුණේ කලකට පෙර ය. මෙකල බිහි වෙන සෑම පොතක්ම කියවීමට ගියහොත් කියවන්නාට අත්විඳින්නට සිදුවන ඛේදවාචකය වචනවලින් කියාපෑම ද අසීරු ය.

කවර තත්ත්වයක් යටතේ වුව දරුවකුගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට නම් දරුවාට මුලින්ම ලබා දිය යුතු වන්නේ කියවීමට රුචිකර පොත් ය. එවැනි පොත් පිළිබඳ නිසි විමසීමක නොයෙදී, බොහෝ විට ලේසියටත් පහසුවටත් සිදු කෙරෙන්නේ ඕනෑම සම්මාන උත්සවයකින් සම්මාන දිනන හා සම්මාන සඳහා නිර්දේශ වන කෘති පමණක් කියවීම සඳහා නිර්දේශ කිරීමයි. මෙහිදී අදාළ සම්මානය ඉහළට ඔසවා තැබූ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රාමාණිකත්වය අදාළ නොවන කරුණක් ලෙස සැලකෙයි. (සම්මාන විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ගේ රසවින්දනයේ හා දැනුමේ පරිමාව පිළිබඳ බරපතළ ලෙස සාකච්ඡා කෙරුණු පසුගිය යුගයේදී වුව එහි වෙනසක් සිදුවී නැත). මෙහිදී ද ක්‍රියාවට නැගෙන්නේ මේ රටේ හැම ක්‍ෂේත්‍රයකටම අදාළ වන ඇඟ බේරාගැනීමේ පිළිවෙතයි.

ඉහළින් ඇගැයුණ නීරස කෘතියක් කියවන්නට උත්සාහ කරමින් දුක්විඳින පාසල් දරුවකුගේ සිතේ මතුවන නිසැක ප්‍රශ්නය වන්නේ ‘හොඳම පොත මෙය නම් අනෙක්වා කොහොමට ඇද්ද?’ යන්නයි. බලධාරීන්ගේ අවධානය නිසිලෙස යොමු නොවන සැලකිය යුතු ප්‍රශ්නයක් වන්නේ ද මෙයයි. (මෙහිදී අප කතා කරන්නේ සියලුම සම්මානලාභි පොත් සම්බන්ධයෙන් නොවන බවට ද අවධාරණය කළ යුතුයි.)

රුචිකර කියවීමක් සඳහා කාලයකට පෙර අප යොමු කළ (අපට මතක ඇති) පොත් කිහිපයක් ද තිබේ. ඒ අතීතය දෙස පසු හැරී බැලීමේදී නිසැකයෙන්ම ඉදිරියට ඇදී එන්නේ ටී.බී. ඉලංගරත්නයන්ගේ ‘අඹ යහළුවෝ’, ‘විලම්බීත’, ‘තිලක’, ‘මංගලා’ සහ කරුණාසේන ජයලත් ලියූ පොත් බහුතරයකි. පොත් කියවීම සඳහා අප නැඹුරු කළ අපගේ මුල්ම අභ්‍යාසයන් වූයේ මේවා ය. ‘යොවුන් සාහිත්‍යය’ නම් වූ සාහිත්‍ය ශානරයක් එවකට පැවතුණේ නම් ඉලංරත්නයන්ගේ ‘අඹ යහළුවෝ’ වෙනුවෙන් ප්‍රදානය කළ යුතුව තිබුණේ කවර පරිමාණයේ සම්මානයක් ද?

කනගාටුවට මෙන් ම පුදුමයට ද හේතු වන්නේ කියවීමේ රුචිය වර්ධනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සංවාද, සම්මන්ත්‍රණ අතරවාරයෙහිදී මේ ලේඛකයන්ගේ නම් හෝ කිසිවකුට මතක් නොවීමයි.

හොඳ කියවීමක් සඳහා හොඳ ලිවීමක් ද අත්‍යවශ්‍ය ය. ලේඛකයා ලියන්නේ පාඨකයා සඳහා වන බැවින් පාඨකයා පිළිබඳ වගකීමෙන් ලේඛකයාට නිදහස් වීමට බැරි ය. එහෙත් සිංහල සාහිත්‍යය, විශේෂයෙන් නවකතාව ඔස්සේ සතුටුදායක මට්ටමින් පාඨකයාට තෘප්තිමත් විය හැකි අලුත් කියවීමකට මේ වනවිට මංපෑදී ඇත්තේ ද?

කෙටිකතාකරුවා, කවියා මෙතැනදී නවකතාකරුවා පසුකර ඇත්තේ යැයි බොහෝ දෙනා කියති. කෙසේ වුවද බොහෝ පාඨකයන් දැන් දැන් සොයා එන්නේ පරිවර්තන සාහිත්‍යය යැයි ප්‍රකාශකයෝ ද පවසති. පාඨකයා පරිවර්තන සාහිත්‍යය කෙරෙහි නැඹුරුවීමට හේතු යුක්ති සොයා බැලීමට මෙහිදී අපට සිදුවෙයි. ආඛ්‍යාන විලාසයෙන්, සන්දර්භයෙන් නැවුම් වූ නවෝත්පාදන (වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නව්‍ය වූ නවකතා) බිහිකිරීමට සිංහල නවකතාකරුවා අසමත් වී සිටින්නේ ද යන ප්‍රශ්නය දෙස ගැඹුරින් විමසා බලන්නට සිදුවන්නේ මෙතැනදී ය. සිංහල නවකතා පිළිබඳ අර්බුදයක් සැබැවින්ම ඇත්තේ නැතැයි කීමට ප්‍රමාණවත් වන තරමේ නවකතා මෙකල බිහිවන්නේ ද? සංඛ්‍යාත්මකව බැලූවිට අතිමහත් යැයි කිව හැකි නවකතා අතරේ මුලින් කී වර්ගයේ නවකතා ඇත්තේ කීයෙන් කීයක් ද? ඇල්ඩස් හක්ස්ලි නම් වූ ලේඛකයා Brave new world නම් වූ නවකතාව ලියා පළ කර ඇත්තේ 1932 දී ය. ඒ වර්තමාන නවලොව දිවැසින් දුටුවකු ලෙස ය. (අසිරිමත් නව ලොව නමින් මෙය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කේ. ඒ. එන්. පෙරේරා ය.) උතෝපියානු සංකල්පය විවේචනය කරමින් වසර 80කට පෙර ලියැවුණු මේ නවකතාව ප්‍රකට කරන්නේ ද නවකතාකරුවාගේ අතින්ද්‍රියඥානයයි. මේ හැරුණු විට විද්‍යා ප්‍රබන්ධ ලෙස වර්ගීකරණය කෙරෙන ආතර් සී. ක්ලාක්ගේ ඇතැම් පොත්වලින් මෙන් ම ඇතැම් විදේශීය නිර්මාණවලින් ද අපට හඳුනාගත හැකි වන්නේ මේ ස්වභාවයයි.

අවතාර, භූතයන්, ගන්ධබ්බයන්, පාෂාණ යුගයේ කතාකරන මත්ස්‍යයන් හා පිටසක්වළ ජීවීන් ද කරළියට නගමින් බිහිවූ විශිෂ්ට නවකතා අපට කියවන්නට ලැබී ඇත්තේ ද ලෝක සාහිත්‍යයෙනුයි.

මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා, ඔහුගේ ජීවන ගැටලු, රැකියාව, විවාහය, මරණය සංයෝග, වියෝග ආදිය නවකතාකරුවාට වස්තුබීජ සපයන බව සැබෑ ය. එහෙත් ඉන් ඔබ්බෙහි වන පැවැත්මේ ගැටලුව ද ඔහුට අමතක කිරීමට බැරි ය. මේ ගැටලුවට කර උර දී සිටින ඇතැම් නවකතාකරුවෝ ජීවත්වීමේ මායාව හඳුනා ගැනීමට උත්සුක වූවෝ වෙති.

බූකර් සම්මානලාභී නයිජීරියානු ලේඛක බෙන් ඔක්රිගේ Astonishing the gods නම් වූ නවකතාවේ අවිනිශ්චිත චාරිකාවක යෙදී සිටින මුඛ්‍ය චරිතයට අතරමගදී තවත් කිසිවකුගේ සේයාවක් මුණගැසෙයි. ඒ වූ කලී තටු සිඳ දැමූ පරෙවියකු කෙරෙහි අවධානයෙන් පසුවන්නෙකි.

‘ඔබට ඇහෙනව ද පරෙවියාගේ හැඬීම?’

‘නැහැ’

‘කොහොමටවත් ඇහෙන්නේ නැද්ද?’

‘නැහැ’

‘ඔබට මොනවත්ම ඇහෙන්නේ නැද්ද?’

‘නැහැ. ඒ වුණාට මට සෝකයේ හඬක් ඇහෙනව’

‘ඒ කියන්නේ වේදනාවක්?’

‘ඔව්. වේදනාවක්’

‘ඔබට දැනෙන්නේ නැද්ද වේදනාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා?’

‘නැහැ. ඇත්තවශයෙන්ම නැහැ. ඇයි ඔබ මගෙන් මේ විදිහට ප්‍රශ්න කරන්නේ? නිකන් හිටගෙන ඉඳන් කතාකරනව හැරෙන්නට ඔබට බැරිද ඒ අහිංසක කුරුල්ලා වෙනුවෙන් යමක් කරන්ඩ?’

එවිට තරුණයාගේ රුව දුර්වල ලෙසින් මෙසේ උත්තර දුන්නේය.

‘ඔව්. මම යමක් කරන්ඩයි ගියේ. එහෙනම් ඔබත් ඒ ගැන හිතල තියෙනවා වගෙයි. ඔබ මොකක්ද කරන්ඩ හිතන්නේ?’

‘මම දන්නේ නැහැ’

නැවතත් නිහඬතාවක් ඇති විය. රුව මඳක් ඉදිරියට නැඹුරුව මෙසේ ඇසුවේය.

‘ඒ වේදනාවෙන් කියවෙන්නේ මට ජීවිතය ලබාදෙන්න. නැත්නම් මා මරාදමන්න කියල.’

‘මට තේරෙන්නේ නැහැ.’

‘මේ කුරුල්ලා කියන්නේ මට වෙදකම් කරන්ඩ නැත්නම් මාව මරා දමන්ඩ කියල’

‘ඒ වුණාට මට බැහැ ඌව මරන්ඩ’

‘එහෙනම් ඔබ ඌට ජීවිතේ ලබාදෙන්ඩ’

‘මම දන්නේ නැහැ ජීවිතේ ලබාදෙන්නේ කොහොමද කියල’

‘දන්නේ නැහැ?’

‘නැහැ’

‘එහෙනම් ඔබ මොනව ද මෙහේ කරන්නේ?’

‘කොහෙ ද?’

‘මෙහෙ. මේ දූපතේ? මේ චතුරස්‍රයේ? මේ මොහොතේ?’

‘මම දන්නේ නැහැ’

‘දන්නේ නැහැ?’

‘මොන විකාර කතාවක් ද කියන්නේ?’

‘විකාරයක් නෙවෙයි. මම මෙහෙ පවතිනව තමයි. මොකක් හරි හේතුවක් නිසා. නමුත් හේතුව මම දන්නේ නැහැ...’

Astonishing the gods- සිංහල පරිවර්තනය: සේනාරත්න වීරසිංහ -

විශ්ව සාහිත්‍ය විචාර රචනා)

තමාගේ දැනුම් සීමාවෙන් ඔබ්බෙහි පවතින යම් යම් දැ දැනගැනීමේ කුහුල, ඒ නිරික්ෂණය පරිකල්පනාත්මක අවකාශයක් විවර කර ඇත්තේ කොතරම් අපූර්වාකාර ලෙසින් ද?

 

Comments