ස්වෛරී­ත්වය වෙනු­වෙන් නිර­න්ත­ර­යෙන් පෙනී සිටිනවා | සිළුමිණ

ස්වෛරී­ත්වය වෙනු­වෙන් නිර­න්ත­ර­යෙන් පෙනී සිටිනවා

දේශයේ නිද­හස සහ ස්වෛරී­ත්වය වෙනු­වෙන් නිර­න්ත­ර­යෙන් පෙනී සිටින තමන් ඊට හානි වන කිසිදු කට­යු­ත්තක නිරත නොවන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එම අද­හස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ දී පසු­ගි­යදා පැවැති මාධ්‍ය හමු­ව­කට සහ­භාගී වෙමිනි. එහිදී මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළි­තුරු මෙසේය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­ස­මට පොරො­න්දු­වක් ලබා දී තිබෙ­නවා. ඔබගේ රජ­යක් යටතේ එම පොරො­න්දුව සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන්නේ කෙසේද?

ගෝඨා­භය රාජ­පක්ෂ- අපි දන්නේ නැහැ ඒ අය වර්ත­මාන රජය සමඟ කිනම් එක­ඟ­තා­ව­කට එළැ­ඹිලා කියලා. කෙසේ නමුත් එක්සත් ජාතීන් ඇතුළු අනෙ­කුත් මානව හිමි­කම් සංවි­ධාන සමඟ සුහ­දව කට­යුතු කර­න්නට සූදා­නම්.

ප්‍රශ්නය - ඔබගේ මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය තුළ ඉදි­රි­පත් කර ඇති ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරීම සඳහා මුදල් සොයා­ගන්නා ආකා­රය කුමක්ද?

මහින්ද රාජ­පක්ෂ - ඔය ප්‍රශ්න­යම අපෙන් ඇහුවා 2005දීත්. අපි යුද්ධය පටන් ගන්න­කොට ඇහුවා මුදල් කොහෙන්ද කියලා. අපට එහෙම ගැට­ලු­වක් මතු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබ යුද හමු­දා­වට නාය­ක­ත්වය දෙන සමයේ හමු­දා­වට යටත් වුණු සිවිල් වැසි­යන් හට කුමක්ද වුණේ? ඔවුන් කොහෙද?

ගෝඨා­භය රාජ­පක්ෂ - ඔබට වැර­දී­මක් වෙලා තියෙ­නවා. මම කව­දා­වත් යුද හමු­දා­වට නාය­ක­ත්වය දුන්නේ නැහැ.

ප්‍රශ්නය - ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙස සිටි­යදී යටත් වුණු අයට මොකද වුණේ?

ගෝඨා­භය රාජ­පක්ෂ- මම ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙස සිටි­යදී හමුදා භාර­යට පත් වූ 13,784ක් පුන­රු­ත්ථා­ප­නය කොට නැවත සමා­ජ­යට මුදා හැර තිබෙ­නවා. එප­ම­ණක් නොවෙයි අපි ඔවුන්ට හමු­දාවේ මෙන්ම සිවිල් ආර­ක්ෂක බළ­කායේ රැකියා පවා ලබා­දුන්නා. මම හිත­නවා අපි තමයි මේ ලෝක­යේම සාර්ථ­කම පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළේ කියලා.

ප්‍රශ්නය- එයින් කියැ­වෙන්නේ කිසිදු පුද්ග­ල­යකු අතු­රු­දන් වී නැති බවද?

ගෝඨා­භය රාජ­පක්ෂ - අතු­රු­දන් වූ පුද්ග­ල­යන් සහ හමු­දා­වට යටත් වූ පුද්ග­ල­යන් කියන්නේ කොට්ඨාස දෙකක්. හමු­දාවේ පවා හාර­ද­හ­ස­කට වැඩි පිරි­සක් මෙහෙ­යු­ම්වල දී අතු­රු­දන් වී සිටි­නවා. ඕනෑම යුද මෙහෙ­යු­මක දී හඳු­නා­ගත නොහැකි මෘත ශරීර සංඛ්‍යා­වක් තිබෙ­න්නට පුළු­වන්. මම ඇස් දෙකෙන් දැක තිබෙ­නවා යාප­නයේ දී එවැනි තත්ත්ව­යන්. ඔවුන් අතු­රු­දන් වෙලා යැයි කියන්නේ ඔවුන්ගේ මවු­පි­යන් ඇතුළු ඥාතීන්ට මෘත ශරීර දක්නට නොලැ­බීම නිසයි.

ප්‍රශ්නය - සම­හ­රුන් කිය­නවා යටත් වුණු ඇතැම් පුද්ග­ල­යන් ආපසු නොපැ­මිණි බව? ඔබ කියන්නේ ඔවුන් බොරු කිය­නවා කිය­ලද?

ගෝඨා­භය රාජ­පක්ෂ - ඕනෑ කෙන­කුට ඕනෑ දෙයක් කියන්න පුළු­වන්. ඒවා අනු­මාන පම­ණයි. අපි පුද්ග­ල­යා­ගෙන් පුද්ග­ල­යාට හොයා බලා තිබෙ­නවා. එවැනි කිසිම සිද්ධි­යක් වාර්තා වී නැහැ.

ප්‍රශ්නය- මේ ප්‍රශ්නය මහින්ද රාජ­පක්ෂ මහ­තාට, ඔබ මෙතෙක් දෙමළ ජාතික සන්ධා­නය සමඟ සාක­ච්ඡා­වක් කර තිබෙ­න­වාද?

මහින්ද රාජ­පක්ෂ - තවම නැහැ.

ප්‍රශ්නය- ආර්. සම්බ­න්ධන් මහතා ප්‍රකාශ කර තිබෙ­නවා ඔවුන්ගේ සහ­යෝ­ගය නැත්නම් ප්‍රශ්න­යක් ඇති වෙයි කියලා. ඔබ තීර­ණ­යක් අර­ගෙන තිබෙ­න­වාද දෙමළ ජාතික සන්ධා­නය සමඟ සාක­ච්ඡා­වක් කරන්න?

මහින්ද රාජ­පක්ෂ - අපිත් එක්ක සාකච්ඡා කරන්න කැමැති ඕනෑම පක්ෂ­යක් සමඟ සාකච්ඡා කරන්න අපි සූදා­නම්.

ප්‍රශ්නය - 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව අග­මැති මාරු කළා. එවැ­න්නක් සිදු වූයේ ඉති­හා­සයේ පළමු වතා­ව­ටයි. ඔබ ජනා­ධි­පති වුව­හොත් එසේ අග­මැති මාරු වෙන්න අව­ස්ථා­වක් තිබෙ­න­වාද?

මහින්ද රාජ­පක්ෂ - ජනා­ධි­ප­ති­ව­රයා දිවු­රුම් දුන් වහාම අග­මැති ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය අහෝසි වෙනවා.

ප්‍රශ්නය - මේ ප්‍රශ්නය මහින්ද රාජ­පක්ෂ මහ­තාට. ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය ප්‍රකාශ කර තිබෙ­නවා ඔවුන්ගේ සහාය ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හිමි වන බවට. නමුත් මැති­ව­රණ ව්‍යාපා­රයේ දී නිද­හස් පක්ෂයේ නාය­කයා වන මෛත්‍රි­පාල සිරි­සේන මහතා දකි­න්නට නැහැ.

මහින්ද රාජ­පක්ෂ -ඒක එතු­මාගේ පෞද්ග­ලික තීර­ණ­යක්. එතුමා කියලා තියෙ­නවා නිර්පා­ක්ෂි­කව ඉන්නවා කියලා. ජනා­ධි­ප­ති­ව­රයා යටතේ තමයි පොලී­සිය සහ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය තියෙන්නේ. එතුමා කල්පනා කර­නවා ස්වාධීන මැති­ව­ර­ණ­යක් පැවැ­ත්විය යුතු බවට. ඒ නිසා තමයි එතුමා නිර්පා­ක්ෂි­කව ඉන්නේ.

ප්‍රශ්නය - මෙතැන සිටින දෙමළ, මුස්ලිම් නාය­ක­යන් ඔබට සහ­යෝ­ගය දෙන්නේ කුමන කොන්දේසි මතද?

ගෝඨා­භය රාජ­පක්ෂ - මම මේ නාය­ක­යන් සමඟ කතා කරන විට ඔවුන් කතා කළේ ඔවුන්ගේ පළාත් දියුණු කිරී­මට අප ගන්නා ක්‍රියා­මාර්ග ගැන පම­ණයි. උතුරේ සහ වතු­ක­රයේ ගැටලු සම්බ­න්ධ­යෙන් අපි කතා කළා. ඒ ගැට­ලු­ව­ලට මම ඉදි­රි­පත් කළ මතය ගැන ඔවුන් බොහොම සතුටු වුණා.

ප්‍රශ්නය - අපි දැක්කා ඔබගේ එක රැස්වී­මක දී මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළා පොහොර නිකම් දෙනවා කියලා. එහෙම දෙන්න පුළු­වන්ද?

ගෝඨා­භය රාජ­පක්ෂ - අපි ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ දැනී තිබෙන ආකා­ර­ය­ටම නොවෙයි. එතැ­නදී අපි කල්පනා කරන්නේ අපි කොහො­මද ආහාර නිෂ්පා­ද­න­යෙන් ස්වයං­පෝ­ෂිත වෙන්නේ කියන කාර­ණ­යයි. මැද­පෙ­ර­දි­ගට පම­ණක් ඩොලර් බිලි­යන 160 එළ­වළු ආසි­යා­වෙන් ගේනවා. ඇයි අපට ඒකට සම්බන්ධ වෙන්න බැරි. අපි මේ සියල්ල පද­නම් කර­ගත්තේ යම් කාර­ණ­යක් මුල් කර­ගෙන.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව සහ අනෙ­කුත් රට­වල් අතර අස්සන් තබා තිබෙන සහ අස්සන් තබ­න්නට තිබෙන ගිවි­සුම් සම්බ­න්ධ­යෙන් ඔබ අනු­ග­ම­නය කරන ක්‍රියා­මා­ර්ගය කුමක්ද? විශේ­ෂ­යෙන් ඇක්සා සහ සෝෆා වැනි ගිවි­සුම්?

ගෝඨා­භය රාජ­පක්ෂ - ඇක්සා ගිවි­සුම ගත­හොත් අපි අත්සන් තැබුවේ අද ඉදි­රි­පත්ව තිබෙන ගිවි­සු­මට වඩා වෙනස් ගිවි­සු­මක්. මම කිසිදු ගිවි­සු­ම­කට අස්සන් තබා නැහැ. මම නිත­රම පෙනී සිටින්නේ නිද­හස් හා ස්වෛරී ජාති­යක් වෙනු­වෙන්. මම ඊට එරෙහි කිසිදු කට­යු­ත්තක් කරන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබගේ මාධ්‍ය අංශය නිවේ­ද­න­යක් නිකුත් කර තිබෙ­නවා අන්ත­වා­දීන්ට සහ­යෝ­ගය ලබා දෙන්නේ නැහැ කියලා. අන්ත­වා­දය සම්බ­න්ධ­යෙන් ඔබ දරන මතය කුමක්ද?

ගෝඨා­භය රාජ­පක්ෂ - අන්ත­වා­දි­යෙක් කියන්නේ ආග­මික හෝ වෙනත් හේතු­වක් මත සාමාන්‍ය වැඩ­පි­ළි­වෙ­ළට විරු­ද්ධව එක් අන්ත­යක් ගෙන කට­යුතු කරන අය. නමුත් ජාති­ක­වා­දින් කියන්නේ තමන්ගේ ජාතිය වෙනු­වෙන් පෙනී සිටින අය.

ප්‍රශ්නය - වතු­ක­රු­වන්ගේ වැටුප් ප්‍රශ්නය පිළි­බඳ දකින්නේ කොහො­මද?

ගෝඨා­භය රාජ­පක්ෂ- අපි ඇත්ත­ටම විශ්වාස කර­නවා වතු­ක­රයේ ජන­තා­වගේ වැටුප් වැඩි කළ යුතු බව. වතු කම්ක­රු­වාට ජීවත් වෙන්න පුළු­වන් වේත­න­යක් ලැබිය යුතුයි. එප­ම­ණක් නොවෙයි ඔවුන්ගේ අධ්‍යා­ප­නය ඇතුළු අනෙ­කුත් පහ­සු­කම් දියුණු කිරීම සම්බ­න්ධ­යෙ­නුත් අපි අව­ධා­නය යොමු කළ යුතුයි.

ප්‍රශ්නය - ඔබට සහ­යෝ­ගය පළ කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අයට ජන­තා­ව­ගෙන් විරෝ­ධ­යක් මතු වෙන ආකා­රය අපි දැක්කා. එය ඔබගේ වැඩ­පි­ළි­වෙළ සමඟ සැස­ඳෙන්නේ කොහො­මද?

මහින්ද රාජ­පක්ෂ - අපි ඒ අයට අව­වාද කළා. ආසන සංවි­ධා­ය­ක­ව­රුන් මාර්ග­යෙන් අපි ඒ සඳහා සුදුසු ක්‍රියා­මාර්ග ගන්නවා.

ප්‍රශ්නය - බැසිල් රාජ­පක්ෂ මහතා හින්දු පුව­ත්ප­තට කියා තිබුණා කවුරු ජනා­ධි­පති වුවත් ආණ්ඩුවේ ප්‍රධා­නියා වන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා බව. ඔබ ඉන්නෙත් ඒ මත­යේද?

මහින්ද රාජ­පක්ෂ - ඒක අපට බෙදා­ගන්න පුළු­වන්.

Comments