මහ රජා­ණෙනී II | සිළුමිණ

මහ රජා­ණෙනී II

 

‘හොඳට නර­කට දෙකට කට­මය’ යන කිය­මන වඩාත්ම සත්‍ය වනුයේ දේශ­පා­ල­ක­යන් සම්බ­න්ධ­යෙනි. දේශ­පා­ල­ක­යන් කට නිසා කර­දරේ වැටීම පිළි­බඳ නුදු­රුම උදා­හ­ර­ණය එක්සත් ජාතික පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ‘ශ්‍රී මුඛ’ කථා­වයි.

කෙසේ වෙතත් තමාගේ ‘කට’ හඟ­ව­න්නට ‘ශ්‍රී මුඛය’ යැයි කියැ­වීම සම්බ­න්ධ­යෙන් සජිත් ප්‍රේම­දාස මහතා ගාලු මුව­දොර රැලි­යේදී ජාති­යෙන් බැගෑ­පත්ව සමාව ඉල්ලා සිටි­යේය. තමා අතින් වර­දක් වූ බව පිළි­ගැ­නී­මත්, ඊට ප්‍රසි­ද්ධියේ සමාව ඉල්ලා සිටී­මත් මෙරට බොහෝ වත්මන් දේශ­පා­ල­ක­යන් තුළ නැති යහ­පත් ගුණාං­ග­යකි. සජිත් ප්‍රේම­දාස මහ­තාගේ කථාව විවේ­ච­නය කළාක් මෙන්ම ඔහු තමා අතින් වූ වර­දට සමාව ඉල්ලා සිටීම අගය කිරී­මද කළ යුත්තේ එහෙ­යිනි. යම් සංය­ම­ය­කින් යුතුව වචන හැසි­ර­වීමේ වැද­ග­ත්කම මේ සිද්ධි­යෙන් සජිත් ප්‍රේම­දාස මහ­තාට අව­බෝධ වූවා නම්, එය ඔහුගේ ජන­ප­ති­ව­රණ සට­නට ආශී­ර්වා­ද­යක් වනු නිය­තය.

කට නිසා සජි­ත් ­ප්‍රේ­ම­දාස මහ­තාට වූ අක­ර­තැ­බ්බය ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපෘ­ති­යේදී අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට නම් සිදු නොවනු ඇත. මන්ද: ඔහු මේ දින­වල කථා කර­නුයේ ටෙලි­ප්‍රො­ම්ප්ට­ර­යක ආධා­ර­යෙන් පම­ණක් වන බැවිනි. ඔහු මාධ්‍ය හමු­ව­ලට සහ­භාගි වන්නේ වත්, මාධ්‍ය­වේ­දීන් නඟන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙන්නේ වත් නැති බව කවු­රු­නුත් දන්නා කරු­ණකි.

මෙවර ජන­ප­ති­ව­ර­ණ­යට මුහුණ දෙන සියලු ‍ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන්ගේ සංවා­දා­ත්මක හමු­වක් මෙමස 5 දා සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්විණි. මුලින් මේ හමු­වට සහ­භාගි වීමට පොරොන්දු වී සිටි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අව­සන් මොහොතේ එය මඟ­හැ­රියේ ටෙලි­ප්‍රො­ම්ප්ට­ර­යක් නැතිව කථා කිරී­මට ඇති අකැ­මැත්ත නිසා විය හැකිය.

ජන­ප­ති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යේදී එලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පරි­ස්සම් වීම බුද්ධි­ගෝ­ච­රය. මන්ද යත්: කට වර­ද­වා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් ඔහුට සජිත් ප්‍රේම­දාස මහ­තට වඩා ඉතා දීර්ඝ, බර­ප­තළ ඉති­හා­ස­යක් ඇති බැවිනි.

 

ස්ථානීය ප්‍රකාශ සිදු කිරීම් සීමා කිරීමේ යථා­ර්ථය

 

තම බිරි­යට ස්විට්ස­ර්ල­න්ත­යෙන් බලු පැට­වකු ගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යාන­යක් විශේෂ ගම­නක යෙද­වී­මට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නියෝග දුන් බවට වාර්තා වූයේ 2012 මැද භාග­යේය. එව­කට ‘සන්ඩේ ලීඩර්’ පත්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහ­ත්මිය ආර­ක්ෂක අමා­ත්‍යාංශ ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට දුර­ක­ත­න­යෙන් කතා කළේ ඔහු­ගෙන් මේ ගැන විම­සී­ම­ටය. ගෝඨා­භය මහතා සහ ජෑන්ස් මහ­ත්මිය අතර ඇති වූ කථෝ­ප­ක­ථ­නය මුළු­ම­නින්ම 2012 ජූලි 8 වැනිදා සන්ඩේ ලීඩර් පුව­ත්පතේ පළ විය (මේ සම්පූර්ණ දෙබස අදද අන්ත­ර්ජා­ලයේ කිය­විය හැකිය). ජෑන්ස් මහ­ත්මි­යගේ ප්‍රශ්න කිරී­මෙන් කෝපා­විෂ්ට වූ ගෝඨා­භය මහතා අවස්ථා කිහි­ප­ය­ක­දීම ඇයට අසැබි වද­නින් බැණ­වැ­දු­ණේය. ‘අසූචි කනා ඌරා’ යන්න ඔහු භාවිත කළ වච­න­ව­ලින් ඉතා සැර බාල යෙදු­මයි. එප­ම­ණක් නොව, ජෑන්ස් මහ­ත්මිය සිර­ගත කරන බව­ටද ඔහු තර්ජ­නය කළේය: (“But I will put you in jail”).

ඉදින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා වීම දකිනු රිසි ඔහුගේ හිත­ව­තුන් ඔහු ටෙලි­ප්‍රො­ම්ප්ට­ර­ය­කට සීමා කිරීම ඥානා­න්විත පිය­ව­රක් නොවේද?

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මාධ්‍ය­වේ­දි­ය­කුගේ ප්‍රශ්න කිරී­ම්ව­ලින් කෝපා­වි­ෂ්ටව කට වර­ද­වා­ගත් තවත් ප්‍රකට අව­ස්ථා­වක් වූයේ BBC රූප­වා­හිනී සේවාවේ HARD talk නම් වැඩ­ස­ට­හ­නයි. 2010 ජූනි 7 දා විකා­ශය වූ මේ වැඩ­ස­ට­හ­නේදී සුදු කොඩි සිද්ධිය සම්බ­න්ධ­යෙන් ජෙන­රල් සරත් ෆොන්සේකා කළ ප්‍රකා­ශ­යක් පිළි­බ­ඳව මාධ්‍ය­වේදි ස්ටීවන් සැකර් මහතා ගෝඨා­භය මහ­තා­ගෙන් ප්‍රශ්න කළේය. සුදු කොඩි සිද්ධිය පිළි­බඳ සම්පූර්ණ සත්‍යය හෙළි­ද­රවු කිරී­මට තමා සූදා­නම් යැයි ෆොන්සේකා මහතා කියූ බව ඇසූ ගෝඨා­භය මහතා දුම්මල වරම අතට ගත් කපුවා මෙන් පරල වූයේය. “ඔහු ඒක කළොත් අපි ඔහුව එල්ල­නවා” (“We Will hang him if he do that”) යැයි හේ තර්ජ­නය කළේය.

මේ යථා­ර්ථය දන්නා මෙරට වසන බොහෝ දේශීය මාධ්‍ය­වේ­දීන් ඔහු­ගෙන් වැඩි­ම­නත් ප්‍රශ්න ඇසී­මෙන් වැළකී සිටිය හැකිය. එහෙත් විදේ­ශීය මාධ්‍ය­වේ­දීන් එසේ නොවන නිසා ඔවුන්ට එවැනි සැක සංකා නැත. ඔවුන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් අසීරු ප්‍රශ්න­යක් ඇසු­වොත් හා ඔහු ඊට සුපු­රුදු ලීලා­වෙන් ප්‍රති­චාර දැක්වුව හොත් ඉන් ඔහුගේ ‘විනය ගරුක’ හා ‘නීති ගරුක’ ප්‍රති­රූ­ප­යට වන හානිය ඔහුගේ හිත­ව­තුන් දන්නවා නිසැ­කය. ඉදින් ජනා­ධි­ප­ති­ව­ර­ණය නිමා වන තෙක් ඔහුව ටෙලි­ප්‍රො­ම්ප්ට­ර­ය­කට සීමා කිරී­මට ඔවුන් උත්සුක වීම අරු­ම­යක්ද?

 

අනා­ගත ජන­පති නඩු­කා­රයා වීමේ අභා­ග්‍යය

 

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මංගල ජන­ප­ති­ව­රණ ප්‍රචා­රක රැළිය පැවැ­ත්වුණේ අනු­රා­ධ­පු­ර­යේය. එහි­දීද ඔහු කථා කළේ ටෙලි­ප්‍රො­ම්ප්ට­රයේ ආධා­ර­යෙනි.

ඔහුගේ කථාව කලින් ලියූ­වක් නිසා එහි ආවාට ගියාට කියූ කිසි­වක් අඩංගු විය නොහැ­කිය. එහි අන්ත­ර්ග­තය ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් ඔහුගේ ප්‍රචා­රණ ව්‍යාපා­රයේ මෙහෙ­යු­ම්ක­රු­ව­නුත් කියවා අනු­මත කර­න්නට ඇත. එබැ­වින් එහි කිසිදු කොට­සක් කට මැත දෙඩී­මක් ලෙස සලකා බැහැර කළ නොහැ­කිය.

තම කථා­වේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කළ ප්‍රකා­ශ­යක් ශ්‍රී ලංකාවේ හා ලාංකි­ක­යන්ගේ අනා­ග­ත­යට ඍජු­වම බල­පා­න්නකි. ඒ මෙසේය:

“... රණ­වි­රු­වන් විශාල ප්‍රමා­ණ­යක් හිර­ගෙ­ව­ල්වල ඉන්නවා අභූත නඩු චෝදනා ඉදි­රි­පත් කරලා. මං මේ අව­ස්ථාවේ කියන්න කැම­තියි 17 වැනිදා උදේ වෙන‍ ­කොට මේ සියලු දෙනාම නිදොස් කොට නිද­හස් කර­නවා කියන එක.”

මුලින්ම කිව යුත්තේ ‍රාජපක්ෂ මහ­තාගේ ප්‍රකා­ශය සත්‍ය­යෙන් තොර බවයි. රණ­වි­රු­වන් විශාල ප්‍රමා­ණ­යක් සිර­ගෙ­වල නැත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තව­මත් රිමාන්ඩ් භාරයේ සිටි­නුයේ නාවික හමුදා සාමා­ජි­කයෝ 7 දෙනෙක් පමණි.

2015 සිට මේ දක්වා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගැනුණු මුළු හමුදා සාමා­ජික ප්‍රමා­ණය 48කි. එයින් 41ක්ම මේ වන විට ඇප ලබා රිමාන්ඩ් භාර­යෙන් මිදී සිටිති.

පළමු කොටම: එලෙස අත්අ­ඩං­ගු­වට පත් කිසි­වෙක් යුද්ධ භූමියේ හෝ යුද්ධ­යට සම්බන්ධ සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූවෝ නොවෙති. ඔවුන් චෝදනා ලබා ඇත්තේ පුද්ගල පැහැ­ර­ගැ­නීම්, අතු­රු­දන් කිරීම්, පහ­ර­දීම්, වෙඩි තැබීම් වැනි රටේ සාමාන්‍ය නීතිය යටතේ වන අප­රාධ සම්බ­න්ධ­යෙනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් 2015 සිට අත්අ­ඩං­ගු­වට ගැනුණු හමුදා සාමා­ජි­ක­යන් 48 දෙනා­ගෙන් 7 දෙන­කුට එල්ල වූ චෝද­නාව 2008-9 කාලයේ තරු­ණ­යන් 11 දෙනකු කප්පම් සඳහා පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරී­මයි. දෙදෙ­නකු චෝදනා ලැබ ඇත්තේ ලලිත් හා කූගන් යන දේශ­පා­ලන ක්‍රියා­කා­රීන් දෙදෙනා (මොවුහු කොටි සාමා­ජි­කයෝ නොවෙති) අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙනි. එක් හමුදා සාමා­ජි­ක­යකු ලසන්ත වික්‍ර­ම­තුංග පුව­ත්පත් කතු­ව­රයා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන්ද හමුදා සාමා­ජි­ක­යන් 11 දෙනකු ප්‍රගීත් එක්නැ­ළි­ගොඩ මාධ්‍ය­වේ­දියා අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන්ද චෝදනා ලැබ සිටිති. හමුදා භට­යන් 7 දෙනකු අත්අ­ඩං­ගු­වට පත් වූයේ ජ්‍යෙෂ්ඨ පුව­ත්පත් කතු­වර උපාලි තෙන්න­කෝන් මහ­තාට හා ඔහුගේ බිරි­යට පහර දීම සම්බ­න්ධ­යෙනි. හමුදා සාමා­ජි­කයෝ 4 දෙනෙක් රතු­ප­ස්වල නිරා­යුධ උද්ඝෝ­ෂ­ක­යන් වෙඩි තබා මරා­දැ­මීම සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ සිටිති.

ඉදින් එළැ­ඹෙන නොවැ­ම්බර් 17 උදෑ­සන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කරන්න සැර­සෙ­නුයේ කුමක්ද? පිරි­සුදු පානීය ජලය ඉල්ලා සාම­කාමි උද්ඝෝ­ෂ­ණ­යක යෙදුණු නිරා­යුධ වැසි­යන් ඝාත­නය කිරීමේ ‍චෝදනා ලැබ සිටින හමුදා සාමා­ජි­ක­යන් ‘නිදොස් කොට නිද­හස් කිරී­මට’ ය. උපාලි තෙන්න­කෝන් වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දි­ය­කුට හා ඔහුගේ බිරි­යට පහර දීමේ චෝදනා ලත් හමුදා භට­යන් ‘නිදොස් කොට නිද­හස් කිරී­මට’ ය.

යම් වර­දක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යක චෝදනා ලැබූ­වකු නිදොස් කොට නිද­හස් කළ හැක්කේ අධි­ක­ර­ණ­ය­ටම පමණි. එවැනි බල­යක් මෙරට ජනා­ධි­ප­ති­ව­ර­යාට නැත. අධි­ක­ර­ණ­යක චෝදනා ලැබ සිටි­න්නකු ‘නිදොස් කොට නිද­හස් කිරී­මට’ ජන­ප­ති­ව­රයා උත්සාහ කළ හොත් එය මුළු­ම­නින්ම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරී­මක්ද වෙයි.

එන­යින් යම් හෙය­කින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එළ­ඹෙන ජන­ප­ති­ව­ර­ණය ජය ගත හොත් ඔහුගේ ධුර කාලය ආරම්භ වනු ඇත්තේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියා­ව­කිනි. ඔහුගේ මංගල කථා­වෙන්ම පෙනී යනුයේ ව්‍යව­ස්ථාව, නීතිය, යුක්තිය, සාධා­ර­ණ­ත්වය, සම්ප්‍ර­දාය තඹ­ය­කට නොස­ල­කන, සර්ව­බ­ල­ධාරි ‘මහ රජාණ’ කෙනකු බවට පත් වීම ඔහුගේ අර­මුණ බව නොවේද?

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අනෙක් දේශ­පා­ල­ක­යන් මෙන් ටෙලි­ප්‍රො­ම්ප්ට­ර­යක් නැතිව ඉහත ප්‍රකා­ශය කළා නම් එය නොද­න්නා­ක­මට කළ කට මැත දෙඩ­වී­මක් ලෙස බැහැර කිරී­මට හැකි­යාව තිබිණි. එහෙත් ඔහු මේ බර­ප­තළ මෙන්ම භයා­නක ප්‍රකා­ශය කළේ කලින් ලියා, කලින් කියවා බලා අනු­මත කළ කථා­වක කොට­සක් වශ­යෙනි. එයින් ගම්‍ය­මාන වනුයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා යටතේ රටේ නීති­යට, ව්‍යව­ස්ථා­වට, අධි­ක­ර­ණ­යට අත් වන නිසැක ඉර­ණ­මයි.

 

රජකු ලැබු­ණෝ­තින්...?

 

1978 විධා­යක ජනා­ධි­පති ව්‍යව­ස්ථා­වෙන් හෝ විධා­යක ජන­පති ධුරයේ බල­තල තවත් වැඩි කළ 2010, 18 වන සංශෝ­ධ­න­යෙන් හෝ අධි­ක­රණ බලය ජනා­ධි­ප­ති­ව­ර­යාට පවරා දුන්නේ නැත. ඉදින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සැර­සෙ­නුයේ ව්‍යව­ස්ථා­වත් නීති­යත් බේරේ වැවට දමා, අධි­ක­රණ බලය බල­හ­ත්කා­ර­යෙන් සිය­තට ගැනී­මට නොවේද?

තම අණ ඉටු කළ හමුදා නිල­ධා­රීන් ‘නිදොස් කොට නිද­හස් කරන’ ජන­ප­ති­ව­ර­ය­කුගේ ඊළඟ පිය­වර වනු ඇත්තේ තම අණට අව­නත නොව­න්න­වුන් සදොස් කොට සිර­ගත කිරී­මය. මෙය ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට අලුත් දෙයක් නොවේ. තම සොහො­යු­රාගේ පාලන සමයේ තම සතු­රන්ට තැළී­ම­ටත් මිතු­රන්ට සැල­කී­ම­ටත් ඔහු නීතිය යොදා­ග­ත්තේය.

දුමින්ද සිල්වා මන්ත්‍රී­ව­රයා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂණ මන්ත්‍රී තන­තු­රට පත් කෙරුණේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය දරන සම­යේය. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය අධී­ක්ෂ­ණය කිරී­මට කිසිදු සුදු­සු­ක­මක් ඒ මන්ත්‍රී­ව­ර­යාට තිබුණේ නැත. ඔහුට තිබූ එකම සුදු­සු­කම වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ හිත­ව­ත්ක­මයි.

2011 පළාත් පාලන මැති­ව­ර­ණය දා දුමින්ද සිල්වා මන්ත්‍රී­ව­රයා හා ඔහුගේ අනු­ච­ර­යෙන් කොළො­න්නාව ආස­නයේ දියත් කළ මැර යාත්‍රාව නිමා වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර මහ­තාට හා තවත් දෙදෙ­න­කුට මරු කැඳ­ව­මිනි. රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ වින­යත් නීති­යත් දෙකම බල­පා­නුයේ අනුන්ට විනා තමන්ට හා තම හිත­ව­තුන්ට නොවන බව මේ සිද්ධි­යෙන් මනාව පැහැ­දිලි වේ. 2015 රාජ­ප­ක්ෂ­ව­රුන්ට පාලන බලය අහිමි වන තෙක්ම දුමින්ද සිල්වා මන්ත්‍රී­ව­රයා නීති­යට ඉහ­ළින් වැජ­ඹුණේ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ බල පරා­ක්‍රම‍යේ මහි­ම­යෙනි.

2011 දෙසැ­ම්බර් 24 රාත්‍රියේ තංගල්ලේ සංචා­රක හෝට­ල­ය­කදී බ්‍රිතාන්‍ය ජාතික සංචා­ර­ක­යකු වූ කුරාමි ශයික් මහතා කපා-කොටා මරා­දැ­මුවේ තවත් රාජ­පක්ෂ හිත­වා­දි­යකු මෙන්ම එව­කට තංගල්ල ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා වූ සම්පත් විදා­න­ප­ති­රණ හා ඔහුගේ මැර කණ්ඩා­ය­මයි. මේ අධම රැල එත­නින් නතර වූයේ නැත. ඔවුහු කුරාම් ශයික් මහ­තාගේ රුසි­යානු පෙම්ව­තිය සමූහ දූෂ­ණ­යට ලක් කළහ.

ශයික් මහතා බ්‍රිතාන්‍ය ජාති­ක­යකු වීම නිසා සිද්ධිය යට ගසා තම අනු­චර මැර­යන් ‘නිදොස් කොට නිද­හස් කිරී­මට’ රාජ­පක්ෂ සොහො­යු­රාට නොහැකි වූයේ, එසේ ‍කළ හොත් 2012 කොළ­ඹදී පැවැ­ත්වී­මට නියම වූ පොදු රාජ්‍ය මණ්ඩල සමු­ළුව අව­ලංගු වීමේ අව­දා­න­මක් තිබීම මීට හේතු­වෙනි.

මිනී­මැ­රුම යට ගැසී­මට නොහැකි තැන සමූහ දූෂණ චෝද­නාව යට ගැසී­මට රාජ­ප­ක්ෂ­වරු උත්සාහ කළහ. කුරාම් ශයික්ගේ පෙම්ව­තිය සමූහ දූෂ­ණ­යට ලක්ව නැතැයි දිනේෂ් ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය. ඒ සම්බ­න්ධ­යෙන් එව­කට විප­ක්ෂය විරෝ­ධය පළ කළ විට ඔහුගේ ප්‍රති­චා­රය වූයේ තමාට මේ ප්‍රකා­ශය ලබා දුන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය බවයි. තමාගේ අනු­ච­ර­යකු සමූහ දූෂණ චෝද­නා­වෙන් නිදොස් කර­ගැ­නී­මට රාජ­ප­ක්ෂ­ව­රුන් එදා උත්සාහ කළේ ඒ ආකා­ර­ය­ටය.

නොවැ­ම්බර් 17 දා ‘රණ විරු­වන්’ නිදොස් කොට නිද­හස් කර­නවා යැයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දුන් ප්‍රති­ඥා­වෙන් ගම්‍ය­මාන වනුයේ මේ අතී­තය යළි ප්‍රති­නි­ර්මා­ණය කිරී­මට ඔහු අර­මුණු කරන බව නොවේද?

තමන් වින­යා­නු­කූල පාල­න­යක් ගෙන­ගිය බවත්, 2015 ආණ්ඩු මාරු­වෙන් පසු විනය පිරි­හුණු බවත් රාජ­ප­ක්ෂ­ව­රුන් නිතර කියන කථා­වකි.

2015ට පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී­ව­රුන් මහ පාරේ මිනී මැරුවේ නැත. 2015ට පසු ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­ව­රුන් විදෙස් සංචා­ර­ක­යන් මරා­දැ­මුවේ, සමූහ දූෂණ සිදු කළේ නැත. 2015ට පසු ඇමැ­ති­ව­රුන් රජයේ සේව­ක­යන් ගස් බැන්දේ නැත. 2015ට පසු ඇමැති පුතුන් හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන්ට පහර දුන්නේ නැත. 2015ට පසු විනි­සු­රන්ට මහ පාරේදී මැර ප්‍රහාර එල්ල වූයේ නැත. 2015ට පසු හිටපු හමු­දා­ප­ති­ව­ර­යකු සතකු මෙන් ඇද­ගෙන ගොස් සිර­ගත කෙරුණේ නැත.

ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු කරන වැර­දි­ක­රු­වන් හා නිවැ­ර­දි­ක­රු­වන් තීර­ණය කිරීමේ අධි­ක­රණ බලය සිය­තට ගන්නා බවට වන මේ ප්‍රකා­ශය මේ රටේ නීති­වේ­දීන්ගේ හා විනි­සු­රන්ගේ මතු නොව, පුර­වැ­සි­යන් වන අප­ගේද අව­ධා­න­යට ලක් විය යුතුය.

තම හිතු­ම­ත­යට චුදි­ත­යන් ‘නිදොස් කොට නිද­හස් කිරීමේ’ බලය වත්මන් ලෝකයේ ජන­ප­ති­ව­රුන්ට තබා රජුන්ට හෝ රැජ­නන්ට වත් නැති බල­යකි. 21 වන සිය­වසේ එවැනි බල­යක් සහිත රාජ්‍ය නාය­ක­යකු සිටි­නවා නම් සිටි­නුයේ ලොව ඉතා පසු­ගාමි රාජ්‍ය­යක් වන සවුදි අරා­බියේ විය යුතුය. තම හිතු­ම­ත­යට රට වැසි­යන් සදොස් හෝ නිදොස් කිරීමේ බලය සහිත රාජ්‍ය නාය­ක­යන් සිටියේ අතී­ත­යේය. ඇහැ­ළේ­පොළ නිලමේ කළ වර­දට ඔහුගේ පුතුන්ගේ හා සිඟිති දිය­ණි­යගේ හිස් ගසා-දැමෙ­වු­වේත් ඔහුගේ බිරිය හා සො‍හොයු­රිය දියෙහි ගිල්වා මැරෙ­වු­වේත් එවැනි සර්ව බල­ධාරි රාජ්‍ය නාය­ක­යකු වූ ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජුය.

2009-15 සමයේ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාට ‘මහ රජා­ණෙනි’ යැයි ආම­න්ත්‍ර­ණය කළ වන්දි­භ­ට්ටයෝ බොහෝ වූහ. නොවැ­ම්බර් 17 උදෑ­සන විවිධ අප­රාධ චෝදනා ලැබ සිටින හමුදා සාමා­ජි­ක­යන් 48 දෙනා ‘නිදොස් කොට නිද­හස් කර­නවා’ යැයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දුන් ප්‍රති­ඥා­වෙන් පෙනී යනුයේ රාජ උන්මා­දය ඔහු­ටත් වැලඳී ඇති බව නොවේද?

ජන­ප­ති­ව­ර­ණය ජය ගත හොත් තමා­ටත් රජ විය හැකි යැයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සිතා සිටීද? ඒ සිති­විල්ල ක්‍රියා­වට නැඟී­මට ඔහු උත්සාහ කළ හොත් නිර්මා­ණය වනු ඇත්තේ සාම­කාමි, වින­ය­ග­රුක රටක් නොව; ප්‍රච­ණ්ඩ­ත්වය හා අව­නී­තිය රජ­යන ශ්‍රී ලංකා­වක් බව අමු­තු­වෙන් පැව­සිය යුතුද?

Comments