ආඥාදායකයකු ආවොත් කවර ජන පිබිදීමක්ද? | සිළුමිණ

ආඥාදායකයකු ආවොත් කවර ජන පිබිදීමක්ද?

ටට විකල්ප නාය­කයෙකු අවශ්‍ය ය යන්න කොළඹ කේන්ද්‍රීය සංවාද මණ්ඩ­ප­වල කතා­වූයේ බොහෝ කලක පටන් ය. ඒ නිසා සම්ප්‍ර­දා­යික පක්ෂ දේශ­පා­ල­න­යට එරෙ­හිව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී විකල්ප දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් බිහිවූ අතර ඊට නාය­ක­ත්වය දුන්නේ ජනතා විමුක්ති පෙර­මු­ණයි. ජවිපෙ ඊට කැප කිරී­මක් කළ අතර පක්ෂ නාමය, සල­කුණ, රතු­පාට පම­ණක් නොව පක්ෂ ප්‍රති­පත්ති පවා යම් තර­ම­කට පැත්ත­කින් තැබුවේ ය. සමා­ජ­වාදී නොවන සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන්, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන් හා යහ පාල­නය අගය කර­න්නන් සමඟ ඔවුහු එකතු වූහ.

ආර­ම්භයේ පටන් ම ප්‍රශ්න­යක් වූයේ ජනා­ධි­ප­ති­ව­ර­ණය වැනි මැති­ව­ර­ණ­යක දී වික­ල්ප­යක් තරග කිරී­මෙන් ලැබෙන ප්‍රති­ලා­භය කුමක් ද යන්නයි. ඇත්තට ම පව­තින සන්ද­ර්භය තුළ අනුර කුමාර දිසා­නා­ය­කට ජය­ග්‍ර­හ­ණය කළ නොහැකි බව පිළි­ගැ­නීම තිත්ත ඇත්තකි. එය දැන දැන ම ඒ දේශ­පා­ලන බල­වේ­ගය ශක්ති­මත් කිරීමේ අර­මුණ විසදා ගැනී­මට නොහැකි විය. ඒ නිසා තැබූ ෆේස්බුක් සට­හ­න­කට දෙදෙ­නෙක් හෝ තිදෙ­නෙක් හෝ පම­ණක් යම් තර­මක පිළි­තු­රක් ලබා දී තිබුණි. බහු­ත­රය ලබා දී තිබුණේ ජනතා විමුක්ති පෙර­මුණ ආධා­න­ග්‍රා­හීව අද­හන සාමා­ජි­ක­යන්ගේ මත­යයි. සාධා­රණ පිළි­තු­රක් ලබා දී තිබූ අය ද මතු කළ දෘෂ්ටි­මය ගැට­ලුව විසදා ගැනී­මට සහාය නොවීය.

වෙනත් සංවා­ද­යක දී ආචාර්ය නිර්මාල් දේව­සිරි අපූරු අද­හ­සක් පවසා තිබුණි. ඔහු පවසා තිබුණේ තමා අනුර කුමා­රට සහාය දෙන්නේ ගෝඨා­භ­යගේ ජය­ග්‍ර­හ­ණය බලා­පො­රො­ත්තු­වෙන් බවත්; සාම්ප්‍ර­දා­යික ධාරාවේ දේශ­පා­ල­න­යට වඩා වෙනස් දේශ­පා­ල­න­යක් අනුර කුමාර නියෝ­ජ­නය කරන නිසා බවත් ය. එසේම ඇත්තට ම ගෝඨා­භය පරා­ජය කිරී­මට නම් කළ යුත්තේ සජිත්ට මුළු වැර යොදා සහාය දීම බව ද ඔහු විවෘත ව ම ප්‍රකාශ කර තිබුණි.

ආචාර්ය නිර්මාල්ගේ ඒ අද­හස තුළ න්‍යායා­ත්මක වලං­ගු­භා­ව­යක් පවතී. ඔහු කියන්නේ ගෝඨා­භය ඇත්තට ම පරා­ජය කිරී­මට නම් සජිත්ට සහය දිය යුතු බව ය. අනුර කුමා­රට සහය දීමෙන් ගෝඨා පරා­ජය කළ නොහැකි බව ය. ඔහු අනුර කුමා­රට සහාය දෙන්නේ ගෝඨාට ජය­ග්‍ර­හ­ණය කිරී­මට අව­ස්ථාව ලබා­දීම සඳහා බවත් එසේම ගෝඨා වැනි ආඥා­දා­ය­ක­යකු බල­යට පත්වූ විට ඒ ක්‍රමය පරා­ජය කිරීමේ මහ­ජන නැඟී සිටී­මක් නිර්මා­ණය වන බවත් ය. (අව­ධා­ර­ණය මගේ)

තවත් දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­‍ෙයකු වන විද­ර්ශන කන්න­න්ගර පව­සන්නේ ආචාර්ය නිර්මාල් පව­සන අන්දමේ සමාජ තත්ත්ව­යක් ලෝකයේ කොහේ­වත් නිර්මා­ණය නොවන බව ය. එනම් ආඥා­දා­ය­ක­යකු බල­යට පත්වූ පසුව ඒ ක්‍රම­යට එරෙහි වික­ල්ප­යක් මහ­ජ­නයා අතු­රින් පැන නැඟ ඒ සමා­ජය රැක ගැනී­මක් සිදු නොවන බව ය. එනිසා විද­ර්ශන පව­සන්නේ ගෝඨාගේ ආඥා­දා­ය­ක­ත්ව­යට මුහුණ දීමට තමන් සූදා­නම් බවත් එසේ නොමැ­තිව ධන­පති පන්තියේ කිසිම පාර්ශ්ව­ය­කට තමන් ගෝඨා­ගෙන් ගැල­වීම සඳහා යැයි කිය­මින් සහාය නොදෙන බවත් ය. ඒ වෙනු­වට තමන් කරන්නේ වික­ල්පය ශක්ති­මත් කර සමා­ජ­වාදී අභි­ලා­ස­යන් වර්ධ­නය කරන බවත් ය. (අව­ධා­ර­ණය මගේ)

ආචාර්ය නිර්මාල්ට පිළි­තුරු දෙන්නට යන විද­ර්ශන පර­ස්ප­ර­යක් මතු කරන බව මගේ හැඟී­මයි. ගෝඨා ආවොත් ආඥා­දා­ය­ක­ත්ව­යට එරෙ­හිව මහ­ජන නැඟී සිටී­මක් ඇති­වන බවට වූ ආචාර්ය නිර්මාල්ගේ මතය කන්න­න්ගර විසින් සහ­තික කරන බව හැඟෙන්නේ " අපි ගෝඨාට මුහුණ දෙන්න සූදා­නම්" වන බවට ඔහු පළ කරන අද­හ­සෙනි. "අපි සූදා­නම් වනවා" යනු මහ­ජන නැඟී සිටී­මක ආර­ම්භයේ සල­කු­ණකි. එහෙත් ඔහු “වික­ල්පය ශක්ති­මත් කර­නවා" යැයි කිය­මින් පෙරළා පෙනී සිටින්නේ නිර්මාල්ගේ අද­හස වෙනු­වෙන් ම ය. ඒ අනුව ආචාර්ය නිර්මාල් මෙන්ම විද­ර්ශන ද පෙනී ඉන්නේ වික­ල්පය ශක්ති­මත් කිරී­මට ය. නමුත් විද­ර්ශ­නගේ වික­ල්පය අනුර කුමාර ද, දුමින්ද නාග­මුව ද යන්න පැහැ­දිලි නැත.

ජය­ග්‍ර­හ­ණය කළ නොහැකි ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට අනුර කුමාර තරග කළත් දුමින්ද නාග­මුව තරග කළත් ප්‍රති­ඵ­ලය එක හා සමාන වේ. එක් ප්‍රති­ලා­භ­යක් වන්නේ පරා­ජය වී තමන් මෙප­මණ ඡන්ද සංඛ්‍යා­වක් ලැබුවා යැයි ස්වයං මෝහ­න­ය­කට පත්වී­මට හැකි­වීම ය. දෙවැන්න පරා­ජය වුවද පළමු වට­යෙන් තේරී පත්වී­මට ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන්ට අව­ස්ථා­වක් නොදී දෙවන වටය ගණන් කිරී­මට සලස්වා වික­ල්ප­යක හයිය රටට හා ප්‍රධාන ධාරාවේ පක්ෂ වලට පෙන්නී­මට හැකි­වීම ය. පළමු ප්‍රති­ලා­භය සමා­ජ­යට අල්ප වූ වාසි­යක් අත්කර නොදෙයි. එහෙත් දෙවැනි ප්‍රති­ලා­භ­යෙන් සමා­ජ­යට යම් වාසි­යක් අත්කර දෙයි. අවා­ස­නාව වන්නේ පව­තින වතා­ව­ර­ණය තුළ දෙවැනි වටය ගණන් කරන තැන­කට ජනා­ධි­ප­ති­ව­ර­ණය තල්ලු කිරී­මට විකල්ප අපේ­ක්ෂ­ක­යාට හයි­යක් නොවී­මයි.

වික­ල්පයේ කාර්ය­භා­රය කුමක් ද?

ධන­පති සමා­ජ­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් යනු විකල්ප බල­යක් පෙන්වී­මට අව­ස්ථා­වක් නොවන බවත් එහිදී කළ යුත්තේ උප­රිම ප්‍රග­ති­ශී­ලී­ත්වය තෝරා ගැනීම බවත් න්‍යායා­ත්ම­කව ප්‍රස්තුත ගත නොකළ ද 1994 දී පටන්ම ජනතා විමුක්ති පෙර­මුණ ඊට අනුව කට­යුතු කළේ ය. 1994 දී අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කළ ද විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රග­ති­ශීලී ගිවි­සුම යටතේ තර­ග­කරු තර­ග­යෙන් ඉල්ලා අස්විය. 2005 දී තමන් නිවැ­රැදි යැයි සිතූ අපේ­ක්ෂ­කයා ලෙස මහින්ද රාජ­පක්ෂ වෙනු­වෙන් ද 2010 දී සරත් ෆොන්සේකා වෙනු­වෙන් ද 2015 දී මෛත්‍රී­පාල සිරි­සේන වෙනු­වෙන් ද සම්පූර්ණ සහාය දී වැඩ කළේ ය. වෙනස් තත්ත්ව­යක් ඇති­වූයේ 1982 දී හා 1999 දී ය. පළමු අව­ස්ථාවේ දී න්‍යායා­ත්ම­කව හා ප්‍රායෝ­ගි­කව ද දෙවැනි අව­ස්ථාවේ දී න්‍යායා­ත්ම­කව ද ජවිපෙ ප්‍රපා­ත­ය­කට ඇද වැටුණි.

ඇත්ත­ටම විකල්ප දේශ­පා­ලන බල­වේ­ග­යක් මුළු වැර යොදා සටන් කළ යුත්තේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් නොවන වෙනත් ඕනෑම මැති­ව­ර­ණ­යක දී පමණි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට සටන් කර ආශ්වා­ද­යක් ලබා ගත හැකි වුවද පරා­ජ­ය­කින් කෙළ­වර වන සට­න­කින් පසුව කේඩ­ර­යන් කළ­කි­රී­මට හා අතෘ­ප්ති­යට පත්වීම වැළැ­ක්විය නොහැ­කිය. එවැ­න්නක් විකල්ප දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­කට අත්පත් කර දෙන්නේ බල­වත් ව්‍යස­න­යකි.

එසේම ආචාර්ය නිර්මාල් අද­හස් කරන පරිදි ධන­පති ආඥා­දා­ය­ක­යාට බල­යට පත්වන්න ඉඩ දී සමා­ජ­යෙන් ඊට එරෙ­හිව මහ­ජන නැඟී සිටී­මක් බලා­පො­රොත්තු වීම ද අග­ති­දා­යක ය. එසේම එවැනි උප­ක්‍ර­ම­යක් බල­වත් ලෙස සමා­ජය අන­තු­රට හෙළා දේශ­පා­ලන ප්‍රශ්නවලට විස­දුම් සෙවී­මකි. ලෝක ඉති­හා­සය පුරා ඇත්තේ එවැනි බලා­පො­රොත්තු වීම් විශාල විනා­ස­ය­කින් කෙළ­ව­ර වූ අත්දැ­කීම් ය. ඒ සම්බන්ධ ව කවු­රුත් පිළි­ග­න්නවා ඇත්තේ එවැනි විස­දු­මක් සුමට ලෙස නොව බල­වත් හානි­ය­කින් පසුව සිදු­විය හැක්කක් ලෙසිනි.

මේ නිසා 1994 දී, 2005 දී 2010 දී මෙන්ම 2015 දී ද ජවිපෙ ප්‍රධාන වික­ල්පය ලෙස උප­ක්‍ර­මි­කව අනු­ග­ම­නය කළ දේශ­පා­ලන ක්‍රියා­මා­ර්ගය ඇග­යිය යුතු ය. විශේ­ෂ­යෙන් 2015 දී ආඥා­දා­යක ධන­පති පිළට එරෙ­හිව ලිබ­රල් ධන­පති පිළ ශක්ති­මත් කිරීම නිසා සමා­ජය ලැබූ ප්‍රති­ලා­භ­යන් අති­ම­හත් ය. රාජ­පක්ෂ පිළේ අව­ස්ථා­වා­දීන් කුමක් ප්‍රකාශ කළ ද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කිරීම සඳහා 2015 බල­යට ආ දේශ­පා­ලන බල­වේ­ගය විසින් කරන ලද කාර්ය­භා­රය අති මහත් ය. එවැනි දේශ­පා­ලන කාර්ය­භා­ර­යක් වික­ල්පය වෙනම තරග කිරී­මෙන් කළ නොහැ­කිය.

වික­ල්පය වෙනම තරගකර මුළු ශක්තිය යොදා පාර්ලි­මේ­න්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කර ගැනීම නම් අනි­වා­ර්යෙන්ම කළ යුතුය. ඒ වැඩි­කර ගැනීමේ වාසිය වඩාත් ම ප්‍රායෝ­ගික ව ඔප්පු කරන්නේ ජවි­පෙයි. සුනිල් හඳු­න්නෙත්ති කෝප් කමි­ටුවේ සභා­පති වශ­යෙන් ඉටු කරන කාර්ය­භා­රය ප්‍රති­සං­ස්ක­ර­ණ­වාදී සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ල­න­යක කිසි­සේත් ප්‍රති­ක්ශේප කළ නොහැ­කිය.

ඒ අනුව ප්‍රධාන ධාරාවේ දේශ­පා­ල­න­යට එරෙ­හිව සටන් කරන විකල්ප දේශ­පා­ල­න­ය­කට වුවද ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක දී අනු­ග­ම­නය කිරී­මට ඇත්තේ එකම එක වික­ල්ප­යකි. එනම් ධන­පති පන්තියේ ආඥා­දා­ය­ක­යාට එරෙ­හිව ලිබ­ර­ල්වා­දියා ශක්ති­මත් කිරීම ය. දෙදෙ­නා­ගෙන් කවුරු බල­යට පත්වු­වත් ගෝලීය ධනේ­ශ්ව­රය සක්‍රි­යව කට­යුතු කරන බව ඇත්ත ය. එහෙත් ආඥා­දා­ය­ක­යාට වඩා ලිබ­ර­ල්වා­දියා ප්‍රශස්ත ය. සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දි­යාට පම­ණක් නොව සමා­ජ­වාදී විප්ල­ව­වා­දි­යාට ද තම අර­ග­ලය ශක්ති­මත්ව කළ හැක්කේ යහ­පත් සමාජ දේශ­පා­ලන වට­පි­ටා­වක් ඇත්නම් පමණි. 2015 දී ජනතා විමුක්ති පෙර­මුණ අනු­ග­ම­නය කළේ ඒ උපාය උප­ක්‍ර­ම­යයි.

කළ යුත්තේ කුමක් ද?

කුමන දේශ­පා­ලන සන්ද­ර්භ­යක් යටතේ වුවද මාක්ස්වාදී දේශ­පා­ල­නය කන්‍යා පටල ආරක්ෂා කර ගනි­මින් කළ යුතුය යන්න ට්‍රොස්කි­වාදී අද­හ­සකි. ඒ අනුව එවැනි දේශ­පා­ල­න­යක් සමා­ජ­වාදී සමා­නතා පක්ෂය හත­ර­වැනි ජාත්‍ය­න්ත­රය හා සම්බන්ධ වෙමින් ප්‍රශස්ත ලෙස කර­මින් සිටී. ඔවුන්ගේ අද­හස ධනේ­ශ්ව­ර­යට එරෙ­හිව මාක්ස්වා­දය ට්‍රොස්කි­වා­දීව අනු­ග­ම­නය කිරී­මයි. ඒ සම්බ­න්ධ­යෙන් ඔවුන්ට සමාජ ව්‍යාපා­රයේ අති ගෞර­වය පිරි­නැ­මිය යුතුය. එහෙත් න්‍යායි­කව ඔවුන් හා අන­න්‍ය­විය නොහැක්කේ ට්‍රොස්කි­වා­දය යල්පැනූ එකක් ලෙස පිළි­ගන්නා නිසා ය. ට්‍රොස්කි­වා­දය පම­ණක් නොව ලෙනි­න්වා­දය ද කල්පීනූ න්‍යායික අලෝ­කය සැප­යූ­වක් ලෙස ඉති­හාස ගත වී අහ­වර ය.

මගේ අද­හසේ හැටි­යට ධන­පති විරෝධී සමාජ ව්‍යපා­ර­ය­කට වර්ත­මා­නයේ ආලෝ­කය සප­යන්නේ අන්තෝ­නියෝ ග්‍රාමිස්චි වැන්නන්ගේ ඉගැ­න්වීම් වලිනි. එහි ධනේ­ශ්වර ක්‍රම­යට එරෙ­හිව ඊට මුළු­ම­නින්ම විකල්ප වූ සමාජ දේශ­පා­ලන ක්‍රම­යක් සංස්කෘ­ති­කව නිර්මා­ණය කර ගැනීම සදහා හෙජ­මො­නික අර්ථ­යෙන් වූ දැනුම් පද්ධ­ති­යක් පවතී. එහෙත් සම­හරු අර්ථ දක්වන වාමාං­ශික ජන­තා­වා­දය ද ගෝලීය ප්‍රාග්ධ­නයේ ව්‍යාප්තිය තුළ අව­ලංගු වී ඇත. උදා­හ­ර­ණ­ය­කට ග්‍රීසියේ සිරිසා ව්‍යාපා­රයේ අත්දැ­කීම් අගනේ ය. 2015 දී බල­යට පත්වූ සිරිසා ව්‍යාපා­රය පොඩි පට්ටම් කර දැමී­මට ගෝලීය ප්‍රාග්ධන දේශ­පා­ල­නය සමත් විය. එම­ඟින් නිරූ­ප­ණය වන්නේ විප්ල­ව­වාදී දේශ­පා­ලන ව්‍යාපාර වලංගු නොවන බව නොවේ. විප්ල­ව­වාදී දේශ­පා­ල­නය අද­ටත් වලංගු ය. ඊට ගෝලීය ප්‍රාග්ධ­නය හා අර­ගල කිරීමේ ශක්තිය පවතී. නමුත් සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හැඩ­රුව ඇති දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­කට එය කිසි­සේත් කළ නොහැ­කිය.

ඒ අර්ථ­යෙන් විප්ල­ව­වාදී නොවන සංශෝ­ධ­න­වාදී, සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හෝ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුබ­සා­ධ­න­වාදී දේශ­පා­ලන ව්‍යාපාර කළ යුත්තේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක දී ධන­පති ලිබ­රල් දේශ­පා­ලන ව්‍යාපා­ර­යට සහ­යෝ­ගය දීම ය. ධන­පති ආඥා­දා­ය­කයා බල­යට පත්ව­න­වාට වඩා ධන­පති ලිබ­ර­ල්වා­දියා බල­යට පත්වීම වඩා ප්‍රග­ති­ශීලී ය. එවිට ඇති­වන සාපේක්ෂ යහ­පත් දේශ­පා­ලන වට­පි­ටාව තුළ ධනේ­ශ්ව­ර­යට එරෙහි මාක්ස්වාදී දේශ­පා­ල­නය කර­න්නන්ට මෙන්ම සංශෝ­ධ­න­වාදී, සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හෝ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුබ­සා­ධ­න­වාදී දේශ­පා­ලන ව්‍යාපා­ර­ව­ලට ද අර­ග­ල­යක යෙදිය හැකිය.

 

Comments