රග්බි ලෝක කුසලානය: හගිබිස් සුළි කුණාටුවෙන් අළු ගසා දැමූ ජපානය | සිළුමිණ

රග්බි ලෝක කුසලානය: හගිබිස් සුළි කුණාටුවෙන් අළු ගසා දැමූ ජපානය

පානයේදී පැවැත්වෙන නවවැනි රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඉතා තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරග මෙම සති අන්තයේදී පැවැත්වෙයි.

 

ඒ අනුව එංගලන්තය - ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය - අයර්ලන්තය අතර තරග ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබුණි. සෙසු තරග අද (20) පැවැත්වේ. එහිදී වේල්සය - ප්‍රංසය සහ ජපානය - දකුණු අප්‍රිකාව තරග කරයි.

 

මෙම කණ්ඩායම් අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ජපානයටයි. ඒ ඔවුන් විශිෂ්ට දස්කම් මෙවර දැක් වූ බැවිනි. එය වාර්තාගතය. එනම් ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම ආසියාතික රට බවට ඔවුන් පත් වීමයි.

 

ජපානය මුල් වටයේදී රග්බි ක්‍රීඩාවේ දැවැන්තයින් වන අයර්ලන්තය සහ ස්කොට්ලන්තයත් පරාජය කිරීමට මෙවර සමත් විය. මේ අතරව හගිබිස් සුළි කුණාටුව නිසා තරග කිහිපයක් පැවැත්වීමටත් හැකි වූයේ නැත. ඒ නවසීලන්තය, ඉතාලිය - නැමිබියාව - කැනඩාව සහ එංගලන්තය - ප්‍රංසය අතර තරගයි.

 

මෙවර තරගාවලියේ ප්‍රථම තරගයට සහභාගී වූයේ ජපානය සහ රුසියාවයි. එය ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී තරගයකි. එනම් මෙම තරගාවලි ඉතිහාසය තුළ පළමු තරගයට රග්බි ක්‍රීඩාවේ පළමු මට්ටමේ රටක් සහභාගී නොවූ ප්‍රථම වතාව එය වූ බැවිනි. මෙහිදී පළමු මට්ටමේ රටවල් ලෙසට සැලකෙන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංසය සහ වේල්සයයි. ඉහත තරගයෙන් ජපානයට ලකුණු 30-10ක ජයකි. එහිදී 26 හැවිරිදි ‍කොටාරෝ මට්ෂුශිමා ලෝක කුසලාන තරගයකදී හැට්‍රික් උත්සාහක (ට්‍රයි) දිනුම් රැස් කළ ප්‍රථම ජපන් ක්‍රීඩකයා බවට පත් විය. හෙතෙම අපූරු ක්‍රීඩකයෙකි. ඔහුගේ උපන් රට වන්නේ දකුණු අප්‍රිකාවයි. ඔහුගේ පියා සිම්බාබ්වේ ජාතිකයෙකි. මව ජපන් ජාතික කතකි.

 

තරගයෙන් පරාජය වුවත් රුසියාවටත් වාර්තාගත වීමට හැකි වූයේය. ඒ ලෝක කුසලාන තරගයකදී වේගවත්ම (අඩුම කාලයකදී) ට්‍රයි දිනුමක් වාර්තා කරමිනි. එම දස්කම තරගයේ 04 වැනි විනා‍ඩියේදී දැක්වූයේ 25 හැවිරිදි කිරිල් ගොලොස්නිට්ස්කි විසිනි. ජපානය සිය දෙවැනි තරගයේදී විශේෂිත එමෙන්ම විශිෂ්ටතම ජයක් ලැබුවේ අයර්ලන්තයට එරෙහිවය. ඒ ලකුණු 19-12 ක් වශයෙනි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇරැඹෙන විට ලොව අංක 01 කණ්ඩායම වූයේත් අයර්ලන්තයයි. මෙය අයිරිෂ් කණ්ඩායම හමුවේ ජපානය අත්කර ගත් ප්‍රථම ජයත් වේ. එමෙන්ම ලෝක කුසලාන මුල් වටයේ තරගයකදී අයර්ලන්තය පරාජයක් ලැබුවේ වසර 12කට පසුවයි. 2007 තරගාවලියේදී ඔවුන් ආර්ජන්ටිනාව හමුවේ ලකුණු 30- 15 ක පරාජයක් ලබා තිබුණි.

 

අයර්ලන්තය දෙවන පෙළ කණ්ඩායමක් හමුවේ අන්තර්ජාතික තරග පරාජයක් ලැබුවේ වසර 23කට පමණ පසු වීමත් විශේෂත්වයකි. 1996 වසරේදී සැමෝවා රාජ්‍ය පිල ලකුණු 40-25 කින් අයර්ලන්තය පරාජය කර තිබිණි.

 

මෙවර ලෝක කුසලානයේ තවත් පෙරළිකාර ජයක් අත් කරගැනීමට සමත් වූයේ උරුගුවේය. ඒ ලකුණු 30-27 කින් ෆීජී රාජ්‍යය පරාජය කරමින්ය. උරුගුවේ යනු දකුණු ඇමෙරිකානු කලාපීය රටකි. එහි ජනප්‍රියතම සහ ප්‍රධානතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. ඔවුහු දෙවතාවක්ම ලෝක පාපන්දු ශූරයෝය. උරුගුවේ වසර 16 කට පසුව ලෝක කුසලාන තරගයක් ජය ගත් ප්‍රථම වතාව මෙය වූයේය. අවසන් වරට ඔවුන් එවැනි ජයක් ලැබුවේ 2003 වසරේදීය. එහිදී ඔවුන් විසින් පරාජය කළේ ජෝර්ජියාවයි.

 

රග්බි ක්‍රීඩාවට ප්‍රචලිත පැසිෆික් කලාපීය දුපතක් වන ෆීජී හමුවේ උරුගුවේ ලැබූ ප්‍රථම ජය මෙවර වේ. එමෙන්ම ‍ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව හොඳම රටවල් 10 අතර සිටින කණ්ඩායමක් උරුගුවේ විසින් පරාජය කළේත් ප්‍රථම වතාවටය. කෙසේ වෙතත් උරු‍ගුවේට මෙවර ඔවුන් සහභාගී වූ දෙවැනි තරගයෙන් පරාජය වීමට සිදු වූයේය. ඔවුන් පරාජය වූයේ ජෝර්ජීයාවටයි. පැරණි සෝවියට් දේශයට අයත්ව පසුව ස්වාධීන වූ රටක් ලෙසට ජෝර්ජියාව හැඳින්විය හැකිය.

 

අනපේක්ෂිත එමෙන්ම පෙරළිකාර ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් අතරට එක් වීමට ආර්ජන්ටිනාවට මහඟු අවස්ථාවක් උදා වී තිබුණි. එහෙත් කැමිල් ලෝපෙස් විසින් රැස් කළ මෙවර තරගාවලියේ ප්‍රථම ඩ්‍රොප් ගෝලය නිසාම ප්‍රංසය මේ තරගය ජය ගත්තේ ලකුණු 23- 21කින්ය.

මේ අතර තවත් ඉතා තියුණු තරගයක් ඇති වූයේ වේල්සය සහ ඔස්ට්‍රේලියාව අතරය. එයින් වේල්සය ජය ගත්තේ ලකුණු 29 – 25 කින්ය. එම තරගය 34 හැවිරිදි වේල්ස් නායක ඇලුන් වින් ජෝන්ස්ට විශේෂිත වූයේය. ඒ එරට වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික තරග ගණනකට සහභාගී වූ රග්බි සංගම් ක්‍රීඩකයා බවට ඔහු පත් වූ නිසාය.

 

මෙම තරගය ජෝන්ස් ක්‍රීඩා කළ 130 වැනි තරගයයි. හෙතෙම 2006 වසරේ සිට අන්තර්ජාතිකව තරග කරයි. ඔහුගේ උස අඩි 6 අඟල් 7කි. මීට පෙර වේල්ස් වැඩිම තරග වාර්තාව හිමිකරගෙන තිබූණේ ජිතින් ජෙන්කින්ස් විසිනි. ඔහු (උපත 1980 නොවැම්බර් 17) තරග 129 කට ක්‍රීඩා කර තිබිණි. ඒ 2002 -16 අතර කාලයේදීය.

 

ලෝක කුසලාන ඉතිහාසයේ තරගයකදී වේගවත්ම ඩ්‍රොප් ගෝලය රැස් කිරීමට ඔස්ට්‍රේලියාවේ 29 හැවිරිදි ඩෑන් බිගාර් සමත් වූයේත් වේල්සයට එරෙහිව ඉහත තරගයේදීමයි. ඒ තත්පර 36කදී ඩ්‍රොප් ගෝලය රැස් කරමිනි.

 

මෙවර මුල් වටයේදී වැඩි අවධානයක් යොමු වූ තවත් තරගයක් වූයේ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයටයි. එම තරගයෙන් අයර්ලන්තය ජය ගත්තේ ලකුණු 27- 03 කිනි. මේ තරගයේත් විශේෂත්වයක් ඇත. එනම් අසල්වැසි මේ දෙරට මධ්‍යස්ථ රටකදී ක්‍රීඩා කළ ප්‍රථම ජගත් තරගය මෙය වන බැවිනි.

 

රග්බි තරගයකදී වැදගත්ම කාර්යභාරය ඉටු කිරීමට සිදු වන්නේ ප්‍රධාන විනිසුරුවන්, සහාය විනිසුරුවන් සහ රූපවාහිනි තීරකවරුන්ටය. මෙවර ලෝක කුසලානයේ එම කාර්යය සිදු කරන්නේ 23 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකි. මෙම විනිසුරුවන්ට අයත් වන්නේ එක් ආසියානු ජාතිකයෙක් පමණි. ඒ ජපානයේ ෂුහෙයි කුබෝ නැමැති 38 හැවිරිදි සහාය විනිසුරුවරයෙකි. හෙතෙම 2013 සිට ජගත් තරග විනිශ්චය කරයි.

 

මෙවර ප්‍රධාන තරග විනිසුරුවන් 12 දෙනා නියෝජනය කරන්නේ රටවල් 06කි. සහාය විනිසුරුවන් 07 රටවල් 06 කිනි. රූපවාහිනි තීරකවරුන් 04ට රටවල් 03 ක් අයත්ය.ප්‍රධාන විනිසුරුවන් 12 අතරින් ලොව වඩාත් ජනප්‍රියතම විනිසුරුවන් දෙදෙනෙකි. ඒ එංගලන්තයේ වේන් බාර්න්ස් සහ වේල්සයේ නයිජල් ඔවෙන්ස්ය. 40 හැවිරිදි බාර්න්ස් වෘත්තියෙන් බැරිස්ටර්වරයෙකි. 48 හැවිරිදි ඔවෙන්ස් සමරිසි පුද්ගලයෙකි. මෙවර ප්‍රධාන විනිසුරුවන් අතරින් ළාබාලතමයා වන්නේ නවසීලන්තයේ 30 හැවිරිදි බෙන් ඕ කීෆ්ය.

 

මෙවර තරගාවලියට සහභාගී වන වයස්ගතම ප්‍රධාන පුහුණුකරුවා වන්නේ ප්‍රංසයේ ජාක්ස් බෘනෙල්ය. හෙතෙම 65 හැවිරිදිය. ඔහු 2017 සිට ප්‍රංස පුහුණුකරු ධූරයේ ක්‍රියා කරයි. ඔහු ඊට පෙර 2011 – 16 අතර ඉතාලි පුහුණුකරු වූයේය. ළාබාලතම පුහුණුකරු වන්නේ ටොංගා කණ්ඩායමේ ටොයුටායි කෙෆුය. ඔහු 45 හැවිරිදිය. කෙෆු 2016 සිට ටොංගා පුහුණුකරුය. හෙතෙම 1997 – 2003 අතර ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළේය. එමෙන්ම 1999 ලෝක ශූර කණ්ඩායමෙත් සාමාජිකයෙකි.

 

මේ අතර මීට පෙර ජගත් තරගවලට ක්‍රීඩා කළ එමෙන්ම ලෝක කුසලාන තරගාවලියන්ටත් සහභාගි වූ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම මෙවර ප්‍රධාන පුහුණුකරුවන් ලෙසට ක්‍රියා කරති. ඔවුන් නම් ටොයුටායි කෙෆු (ටොංගා), කෝනර් ඕ ෂියා (ඉතාලිය), ජේමි ජෝශප් (ජපානය), ෆිල් ඩේවිස් (නැම්බියාව), රැසී ඊරැස්මස් (දකුණු අප්‍රිකාව), සහ මාරියෝ ලෙඩෙස්මා (ආර්ජන්ටිනාව) වෙති. කෝනර් ඕ ෂියා 48 හැවිරිදිය. 1993 – 2000 අතර ඔහු අයර්ලන්තයට ක්‍රීඩා කළේය. ඊට 1995 සහ 99 ලෝක කුසලාන තරගාවලියනුත් අයත්ය. ඔහු ඉතාලි පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ 2016 වසරේ සිටය.

 

49 හැවිරිදි ජේම් ජෝශප් 1992 – 95 දක්වා නවසීලන්ත ඕල් බ්ලැක්ස් නියෝජනය කළේය. එහිදී ඔහු 1995 ලෝක කුසලාන අනුශුරයෙකි. හෙතෙම 2016 වසරේ සිට ජපන් පුහුණුකරුය. මේ අතර ඔහු 1999 ලෝක කුසලානයට සහභාගී වූයේත් ජපානය නියෝජනය කරමිනි. ෆිල් ඩේවිස් මුල් ලෝක කුසලාන තරගාවලියන්ට (1987/91) සහභාගි වූයේ වේල්සය වෙනුවෙනි. එහිදී 1987 වසරේදී වේල්සයට තෙවැනි ස්ථානයයි. 1985-95 අතර ඩේවිස් අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. අද ඔහු 55 හැවිරිදිය. 2015 මෙන්ම මෙවරත් නැමීබියානු ලෝක කුසලාන පුහුණුකරු ඔහු වේ.

 

46 හැවිරිදි රැසී ඊරැස්මස් 1997-2001 අතර දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කළේය. හෙතෙම 2018 වසරේ සිට එ‍රටේ ප්‍රධාන පුහුණුකරුවාය. ඔහු කිසි දිනෙක ලෝක කුසලානයකට සහභාගී වී තිබුණේ නැත. එහෙත් මෙවර එම අවස්ථාව හිමි වූයේය. ඒ ජාතික පුහුණුකරු ලෙසට ක්‍රියා කරමිනි. මාරියෝ ලෙඩෙස්මා ලෝක කුසලාන තරගාවලි 04කට ක්‍රීඩා කළේය. ඒ 1999, 2003, 07 සහ 11 වසරවලදීය. එහිදී ඔහු නියෝජනය කළේ සිය මවු රට වන ආර්ජන්ටිනාවයි. ඔහුගේ ජගත් තරග කාලය 1996- 2011 අතරය.

 

2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හීදී ආර්ජන්ටිනාවට තෙවැනි ස්ථාන හිමි විය. එම ද්විත්ව අවස්ථාවන්ටම මාරියෝ තම දායකත්වය ලබා දෙනු ලැබීය. 2015 ලෝක කුසලානයටත් ඔහු සහභාගි විය. ඒ එවර අනුශූරයන් වූ ඔස්ට්‍රේලියාවේ සහාය පුහුණුකරුවකු ලෙසටයි. 46 හැවිරිදි මාරියෝ මෙවර සහභාගි වන්නේ සිය 06 වැනි ලෝක කුසලානයටයි. ඔහු ආර්ජන්ටිනා ජාතික පුහුණුකරු ධූරයට පත් වූයේ 2018 වසරේදීය.

 

කැනඩාවට එරෙහිව පැවැති තරගයට නවසීලන්තය වෙනුවෙන් බැරෙට් සොහොයුරන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. මින් බියුඩින් 28 හැවිරිදිය. ස්කොට් 25 හැවිරිදිය. ජෝර්ඩ් 22 හැවිරිදිය. අඩි 6 අඟල් 2ක් උසැති බියුඩින් 2015 ලෝක ශුර සාමාජිකයෙකි. එමෙන්ම 2016 -17 වසරේ ලෝක රග්බි ක්‍රීඩකයාය. අඩි 6 අඟල් 6ක් උසැති ස්කොට් සහ අඩි 6 අඟල් 5ක් උසැති ජෝර්ඩිගේ මංගල ලෝක කුසලාන අත්දැකීම් මෙවර වේ.

 

Comments