දසුන්ගෙන් ගැලවූ කිරුළ යළිත් මාලිංගට | සිළුමිණ

දසුන්ගෙන් ගැලවූ කිරුළ යළිත් මාලිංගට

විස්සයි 20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලිය 27 දා ඇඩිලේඩ් පිටියෙන් ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක් වන්නේ පාකිස්තානයට එරෙහිව විශිෂ්ට විස්සයි 20 තරගාවලියක් නිමා කිරීමෙන් අනතුරුවය. ඔස්ට්‍රේලියාව මේ තරගාවලියට එක්වන විට විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පියවර දෙකක් ඉදිරියෙන් සිටියි. ඔස්ට්‍රේලියාව විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේ පසුවෙයි.

ලසිත් මාලිංග සුපුරුදු ලෙස ඔස්ට්‍රේලියානු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම බාර ගෙන ඇති අතර, පාකිස්තාන තරගාවලියේ දී විශිෂ්ට නායකත්වයක් ප්‍රදර්ශනය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙනා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර තිබේ. පසුගිය තරග කිහිපයක විස්සයි 20 උපනායක ලෙස කටයුතු කළ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල ද ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වන අතර, ශ්‍රී ලංකාව මේ තරගාවලියට එක්වන්නේ උපනායකයකු නම් කර නැති පසුබිමකය.

පාකිස්තානය වසර දහයකට පසු තම මවුබිමේ පැවැති විස්සයි 20 තරගාවලිය දරුණු ලෙස 3-0 ‍කින් පරාජය වුවද තවමත් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය හිමි කරගෙන සිටියි. පිළිවෙළින් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව දෙවැනි තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී අවසන් වරට තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියකට එක් වුයේ 2017 දීය. එහිදී තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. පිළිවෙළින් කඩුලු 5කින්, කඩුලු 2කින් සහ ලකුණු 41කින් එම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ උපුල් තරංගගේ නායකත්වය යටතේය. ශ්‍රී ලංකා කණ්ඩායම මුල්වරට ඔස්ට්‍රේලියාවේදී විස්සයි 20 තරගාවලියකට එක් වන්නේ 2010 දීය. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ මෙතෙක් විස්සයි 20 තරගාවලි තුනකට ක්‍රීඩා කර තිබෙන අතර එකී තරගාවලි තුනම ජය ගැනීමට සමත්වී තිබීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග හයක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන් පහක් ජය ගෙන එක් තරගයක් පරාජය වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහි ප්‍රතිශතය 83.33 කි. මෙහි ජයග්‍රාහී ප්‍රතිශතය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ඕනෑම කණ්ඩායමක් වාර්තා කරගෙන ඇති ඉහළම ජයග්‍රාහි ප්‍රතිශතය වීමද විශේෂත්වයකි. ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානුවන්ගේ පවා ජයග්‍රාහි ප්‍රතිශතය 61.11කි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී විස්සයි 20 තරගවලදී රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී ලකුණු 176 කි. ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව කඩුලු 6කට ලකුණු 187 කි. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ ඔස්ට්‍රේලියාවේදී පරාජය වූ එකම තරගයද මේ තරගයයි. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ ඔස්ට්‍රෙලියාවේදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව 146 කි. ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව හමුවේ රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව කඩුලු 8කට ලකුණු 133කි.

ඔස්ට්‍රේලියාව අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී විස්සයි 20 තරගාවලියකට එක් වූයේ ඉන්දියාවට එරෙහිව පසුගිය වසරේදී තරග තුනකින් සමන්විත එකී තරගාවලියයි. 1-1 ක් ලෙස දෙපිළම ජය ගැනීමට සමත්විය. දෙරට අතර මෙල්බර්න්හි පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය. ඔස්ට්‍රේලියාව (2006 – 2018 දී) එතෙක් මෙතෙක් ඔස්ට්‍රේලියාවේදී විස්සයි 20 තරග 37ක් ක්‍රීඩා කර තිබෙන අතර, එහිදී තරග 22ක් ජය ගෙන තරග 14ක් පරාජය වී තිබේ. විසඳුමකින් තොරව අවසන් වූ තරගයකි. ඔස්ට්‍රේලියාවේදී වැඩිම විස්සයි 20 තරග සංඛ්‍යාවක් පරාජය වී ඇත්තේ එංගලන්තයයි. ඒ තරග 7කි .

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර, 2007 -17 දී තරග 13ක් පවත්වා ඇති අතර එහිදී ඔස්ට්‍රේලියාව තරග 5ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අටකි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වසරේ විස්සයි 20 තරග දෙකකට ඉදිරිපත් වී තරග දෙකම ජයගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 10කට ඉදිරිපත් වී 4ක් ජයගෙන 5ක් පරාජය වී තිබේ. සම වූ තරගයකි. ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකර ගත් තරග 5න් තුනක්ම ජය ගත්තේ පසුගිය දා නිමා වූ පාකිස්තාන් තරගාවලියේදීය. මේ වසරේ පැවැති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉසුරු උදාන තරග 8, ලකුණු 175කි. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 172, කුසල් මෙන්ඩිස් ලකුණු 126, භානුක රාජපක්ෂ ලකුණු 112, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 111ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 110 කි. දකුණු අප්‍රිකාවට එරෙහිව ඉසුරු උදාන නොදැවී රැස් කළ ලකුණු 84 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන ඇත්තේ වනිදු හසරංගයි. වනිදු තරග 6කදී කඩුලු 12ක් දවා ගෙන ඇති අතර කඩුල්ලක සාමාන්‍යය 12කි. නායක ලසිත් මාලිංගද කඩුලු 12ක් දවාගෙන ඇති අතර කඩුල්ලක සාමාන්‍යය 14.08 කි තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන ඇත්තේද නායක ලසිත් මාලිංගයි. මාලිංග නවසීලන්තයට එරෙහිව පල්ලේ කැළේදී ලකුණු 6කට කඩුලු 5ක් බිඳ හෙලීමට ද සමත්විය.

මේ වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ග්ලෙන් මැක්ස්වෙල්ය. මැක්ස්වෙල් තරග දෙකකදී ලකුණු 169ක් රැස් කර තිබේ. වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 113කි.

තරග සටහන

01 තරගය ඔක්තෝබර් 27

02 තරගය ඔක්තෝබර් 30

03 තරගය නොවැම්බර් 01

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර

 

Comments