ඔට්ටුවෙන් හෙට්ටු වුණු තිලංග | සිළුමිණ

ඔට්ටුවෙන් හෙට්ටු වුණු තිලංග

ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ජාතික ක්‍රීඩාව අභිභවා ගිය ජනප්‍රියත්වයක් උසුලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය සිසාරා පැතිර පවති. නමුත් පසුගිය දෙවසරකට අධික කාළ වකවානුවක සිට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගාමිත්වය නිසාම එය ලාංකිකයන්ගේ ජන ජිවිතයෙන් කෙමෙන් මැකීයෑමකට ගොදුරු විය. නමුත් අවසන් ලෝක කුසලාන තරගාවලියේදි තරගාවලිය ජයග්‍රහණය නොකළත් ඒ තුළ දැක්වු දක්ෂතා නිසා ලාංකික ජන විඥානය නැවතත් ස්පර්ශ කිරීමේ හැකියාව ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකිවිය. ලෝක කුසලනයෙන් පසු මෙරට සංචාරය කළ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී එක් ටෙස්ට් තරගයක් හා විස්සයි 20 එක් තරගයක් ජයගනිමින් නැවතත් ලාංකිකයන්ගේ හදේ කොනක ලැගුම් ගත් ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය පාකිස්තාන සංචාරයත් සමග හද පුරවාලීමට සමත් විය.

 

මේ වන විට ක්‍රිඩකයන්ගේ දක්ෂතාවයන් කෙමෙන් වර්ධනය වෙමින් පවතින වාතාවරණයක් තුළ ක්‍රිකට් පරිපාලනයේද වෙනස්කම් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව වැටි ඇති ආගාදයෙන් ඔසවා තැබීමට ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පියවර ගනිමින් සිටී. ඒ අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ කිසිඳු ආකාරයක තනතුරක් දැරීම වළක්වාලමින් විශේෂ නියෝගයක් පසුගිය සැප්තැම්බර් 10 වැනි දා නිකුත් කළේය. එතැනින් නොනැවතුන ක්‍රිඩා ඇමැතිවරයා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට නැවත විධායක කමිටුව නියෝජනය කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් ද පත්කිරීමට පියවර ගත්තේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක මහත්මිය ලේකම් ධූරයෙන් හා විශ්‍රමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීතිඥ එස්. ඩී. පියදාස මහතා සාමාජිකයෙකු ලෙස පත්කළ ත්‍රී පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව හා නිර්දේශ පසුගිය 11 වැනි දා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුකර ඇති අතර එය පරිශීලන කර ඇති අමාත්‍යවරයා ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරි අති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රිඩා අමාත්‍යවරයා පසුගිය 14 වැනි දා අස්සන් තබා ඇත‍.

 

ක්‍රිකට් ආයතනයේ සභාපති වරයාට, ලේකම් වරයාට සහ විධායක කමිටුවට විශේෂ නියෝගයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය වරයා සදහන් කර ඇත්තේ සැප්තැම්බර් 9 වැනි දා පත්කළ ත්‍රී පුද්ගල කමිටුවේ නිර්දේශ මත හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, හිටපු ක්‍රීකට් සභාපති ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයෙකු ලෙස එහි වැඩකටයුතු හෝ පරිපාලකයෙකු ලෙස එහි වැඩ කටයුතු හෝ රැස්වීම්වලට සහභාගී විම, අසුන් ගැනිම, ඡන්දය භාවිත කිරීම, කුමන හෝ කමිටුවක කමිටු රැස්වීමකට, ක්‍රියා පටිපාටියකට දායක විම සහ කුමන හෝ ආකාරයකින් හෝ බලය ක්‍රියාත්මක කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

 

මෙම තහනම් නියෝගයේ පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට හා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිට එරෙහිව විරෝධතාවයක් යොමු කළ පිළියන්දල නගර ක්‍රිඩා සමාජයේ (Piliyandala Town Sports Club) ලේකම් තුමා වෙත ද පිටපත් යෙමුකිරිමට පසුගිය 14 වැනි දා පියවරගෙන තිබේ.

 

මෙම තහනමට මුල් වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගමයක් වන පිළියන්දල නගර ක්‍රිඩා සමාජය විසින් අගෝස්තු 30 වැනි දා ඇමැති වරයාට වෙත යොමු කළ විරෝධතාවයක් සලකා බැලීමෙනී. එම ක්‍රීඩා සංගමය විරෝධතාවෙන් පෙන්වාදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය වරයා විසින් අගෝස්තු 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අනුව තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටු සමාජිකයකු ලෙස තනතුරක් දැරිය නොහැකි බවයි.

 

මෙම විරෝධයට පාදක වු නිති රේගුලාසිය වනුයේ ක්‍රිඩා අමාත්‍යවරයා පසුගිය අගෝස්තු 23 වැනි දා නිකුත් කළ 213/85 අතිවිශේෂ ගැසට් පත්‍රයයි එමගින් දැක්වෙන්නේ, 2016. 10. 27 දිගැති අංක 1990/23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍ර යේ ක්‍රීඩා නියෝගවලට අනුව අදාළ 5(4) නියෝගයේ (ග) උපවගන්තිය ඉවත් කර ඊට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, “(ග) ඔට්ටු ඇල්ලිමේ, සුදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔට්ටු ඇල්ලිමේ හෝ සූදූ ක්‍රීඩාවේ හෝ පරදු තැබිමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතුවල නියැළී සිටින තැනැත්තෙකු හෝ ඔහුගේ පවුලේ ඕනෑම පුර්වාසන්ත සාමාජිකයෙකු (කාලාත්‍රයා,මව,පියා, සහෝදරයෙක්, සහෝදරියක්, පුතා, දුව, බෑණා, ලේලිය) වන්නේ නම්, එම පුද්ගලයාට ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරීය නොහැකිය.“ යනුවෙනි. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සංශෝධිත නව රෙගුලාසි (ගැසට් අංක 2137/85 ) යටතේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම විශේෂ නියෝගයද සමග හිටපු ක්‍රිකට් සභාපතිවරයාට මින් ඉදිරියට කුමනාකාරයෙන් හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු තහනම් කර තිබේ.

 

සැප්තැම්බර් 10 වැනි දා නිකුත් කළ නියෝගයට පෙරදින ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යන ක්‍රිකට් ඒඩ් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට පුංචි බොරැල්ල කාර්යාලයට කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පැවැසුවේ ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රය අනුව යම් අවහිරතාවක් තමන්ට ඇති වුවහොත් අවශ්‍ය පියවර ගැනිමට සුදානමින් සිටින බවයි. “ප්‍රශ්නයක් ආවොත් ඒක ඒ වෙලාවට බලාගමු“ සුමතිපාල මහතා තහනම ප්‍රකාශ වීමට පෙර මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

 

තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “මගේ පෞද්ගලික මතය නම් මේ ගෙන ඒමට බලාපොරොත්තු වන ගැසට් නිවේදනය ක්‍රීඩාවට ඉතා හොඳයි. මේ පිළිබඳ මාව ඉලක්ක කරගෙන යන්න ඇතැම් අය බලනවා. නමුත් මගේ ස්ථාවරය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ තරග තහනම ගැන කතා කරන නිසා මෙය හොඳ බවයි. මගේ ක්‍රිකට් පරිපාලනයේ වසර 25ක කාලය තුළ මගේ නම තරග පාවාදීම්වලට ගැවිලා නෑ. මගේ නිලධාරියෙක්ගේ නමක්වත් ගැවිලාවත් නෑ. මගේ කාලයේ ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වුණෙත් නෑ.

 

ඒ නිසා ගැසට් එකෙන් මාව නිදොස් කොට නිදහස් කරලා තිබෙනවා. ගැසට් එකේ අවසානයේ ඥාති සම්බන්ධ ඇති අයට නිලතල දැරිය නොහැකියි කියලා තියෙනවා. මා හැම විටම සමාජයට ඇත්ත කියලා තියනවා. මාධ්‍යයට ඇත්ත කියලා තියෙනවා. සූදූ ඔට්ටු තැබීම මට සම්බන්ධ නෑ. මාගේ පවුලේ අයටත් නෑ. නමුත් මගේ ඥතීන්ට එවැනි දෑ තියෙනවා. ඒක මා දැනුත් කියා සිටිනවා. මොනයම්ම කෙනෙක් හෝ සිටිනවානම් ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න ඒකට මුහුණ දෙන්න මට පුළුවන්“ මාධ්‍යට අදහස් දක්වමින් සුමතිපාල මහතා පවසා සිටියේය.

 

මෙම මාධ්‍ය හමුවේදී. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් ද ප්‍රශ්න කොට ඇති ක්‍රිකට් ඒඩ් තුළින් කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවු බවට ද සුමතිපාල මහතා සහතික විය.

 

ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව හා නිර්දේශයෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරි අැති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රිඩා අමාත්‍යවරයා පසුගිය 14 වැනි දා අස්සන් තබා ප්‍රසිද්ධ කොට ඇත‍. ඒ පිළිබඳව තිලංග සුමතිපාල මහතාගේ මතය විමසීමට අපි තිලංග මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

Comments