වීඅ­යි­පී­ලාට ඇඳ­ගෙන රට වටේ කුඩු අදින හැටි | Page 2 | සිළුමිණ

වීඅ­යි­පී­ලාට ඇඳ­ගෙන රට වටේ කුඩු අදින හැටි

අල්ලාගත් කුඩු කිලෝ 50
අල්ලාගත් කුඩු කිලෝ 50

 

ත්ද්‍රව්‍ය ජවා­ර­ම්ක­රු­වන් ආර­ක්ෂි­තව මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කිරීමේ හොඳම මඟ ලෙස දැන් යොදා­ගන්නේ අධි­වේගී මාර්ගයි. මාක­ඳුරේ මධුෂ්ගේ හොඳම ගෝල­යෙකු වන කැවුමා අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථා­වේදී ඔහු හෙළි කර සිටියේ අධි­වේගී මාර්ගය ඔස්සේ කිලෝ සිය ගණ­නින් තමන් දකුණේ සිට කොළ­ඹට මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කළ බවකි. මත්කුඩු අධි­වේගී මඟ ඔස්සේ ඔහු රැගෙන ආවේ කෝටි­ය­කට එහා වටි­නා­ක­මක් ඇති මිල අධික සුභෝ­ප­භෝගී වාහ­න­ව­ලිනි. එවැනි වාහන කුඩු ප්‍රවා­හ­න­යට යොදා­ගන්නේ එවන් වාහන නතර කර පරීක්ෂා කර­න්නට බොහෝ පොලිස් නිල­ධා­රීන්ට හයි­යක් නැති කම නිසාය. ඩිපෙ­න්ඩර්ද මත්කුඩු ප්‍රවා­හ­න­යට යොදා­ගන්නා අවස්ථා බොහෝය.

කැවුමා දකුණේ සිට කොළ­ඹට ප්‍රවා­හ­නය කළේ මධුෂ් ඩුබායි සිටින වක­වා­නු­වේදී ඔහුගේ මෙහෙ­යැ­වී­මෙන් පාකි­ස්තා­නයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු­ව­ලින් සහ කුඩා නෞකා­ව­ලින් මිරි­ස්සෙන් සහ දෙවු­න්ද­රින් ගොඩ­බාන ලද මත්කු­ඩුය. වරක් ඔහු මත්කුඩු තොග­යක් කොළ­ඹට ප්‍රවා­හ­නය කර තිබුණේ සුඛෝ­ප­භෝගී බස් රථ­යක සඟ­වා­ගෙ­නය. බස් රථ­යට ඉදි­රි­යෙන් ඔහු ඩිපෙ­න්ඩ­ර­ය­කින් ගමන් කර තිබුණේ බස් රථ­යට ආර­ක්ෂාව ලබා­දෙ­මින් ගමන් කරන ආකා­ර­ය­ටය. ඒ, පොලි­සිය එවන් වාහ­නද පරීක්ෂා කර­න්නට යන්නේ නැති බව කැවුමා දැන සිටි බැවිනි.

හැම ජාවා­ර­ම්ක­රු­වෙ­කුම සිය ජාව­රම් සඳහා වැඩි වශ­යෙන් යොදා ගන්නේ රාත්‍රී කාල­යයි. මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රාත්‍රි­යට තම ජාවා­රම යොදා­ගැ­නී­මට විශේෂ හේතු­වක් තිබේ. මත්කුඩු ජවා­ර­ම්ක­රු­වන් වැඩි පිරි­සක් දැන් ඔවුන්ගේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ­වල ඉදි­රි­පස වීදු­රුවේ වී.අයි.පී. ලයිට් යැයි පොදුවේ හඳු­න්වනු ලබන රතු සහ නිල් පැහැති නිවෙන දැල්වෙන විදුලි බුබු­ළු­ව­ලින් සම­න්විත පද්ධ­ති­යක් සවි කර තිබේ. රාත්‍රී කාල­යට ඔවුන් ගමන් කරන්නේ එම විදුලි බල්බ දල්වා­ගෙ­නය. අපේ රටේ බල­යක් ඇති දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම ප්‍රභු­ව­රුන් යැයි සැල­කෙන වැඩි දෙනෙකු ගමන් කරන්නේ ඒ ආකා­රයේ විදුලි බුබුළු පද්ධති සවි කර­ගෙ­නය. එබැ­වින් පොලි­සිය එවැනි වාහ­න­ව­ලට අත දමා නතර කර­න්නට තබා ඒ ගැන සිත­න්නේ­වත් නැත. වැර­දි­ලා­වත් පොලිස් අතක් එම වාහ­න­ව­ලට දැමු­වාට ඒවා නතර කෙරෙ­න්නේද නැත. මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් “වී.අයි.පී. පහන්” දල්වා­ගෙන මත්කුඩු ප්‍රවා­හ­නය කරන්නේ ඒ බව දැන­ගෙ­නය.

එසේ තමන්ට අයත් සුඛෝ­ප­භෝගී ජිප් රථ­යෙන් කොළඹ වටේ­ටම මත්කුඩු බෙදූ අංක එකේ ජවා­ර­ම්ක­රු­වෙකු සහ ඔහුගේ ගෝල­යෙකු මත්කුඩු තොග­යක් සමඟ පොලී­සි­යට කොටු වන්නේ ඉකුත් 07 වැනි­දාය. ඒ දක්ෂිණ අධි­වේගී මාර්ගයේ අතු­රු­ගි­රිය පිට­වු­මේ­දීය. ජිප් රථයේ තිබෙන්නේ සුළු­පටු මත්කුඩු ප්‍රමා­ණ­යක් නොව කිලෝ 50කි. වෙළඳ පොළ වටි­නා­ක­මට අනුව එම හොරො­යි­න්වල වටි­නා­කම රුපි­යල් කෝටි සිය­ය­කට කිට්ටුය. එය හසු වන්නේ අධි­වේගී මාර්ග රථ­වා­හන අංශයේ සේවයේ නිර­තව සිටින පොලිස් කොස්තා­පල් ලංකා­ජීව (61760)ගේ උකුසු ඇස­ටය.

කොස්තා­පල් ලංකා­ජීව

අධී­වේගී මාර්ග පොලිස් කොට්ඨා­සයේ අතු­රු­ගි­රිය ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කේ.ඒ.ඩී. චන්දන ඉකුත් 07 වැනිදා පෙර­ව­රුවේ අතු­රු­ගි­රිය පිට­වුමේ රාජ­කාරි සඳහා යොද­වන්නේ ලංකා­ජීව (61760) නැමැති කොස්තා­ප­ල්ව­ර­යාය. තිස්පස් වියැති ලංකා­ජීව දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල රාජ­කා­රි­වල නිර­තව සිට ඇති අතර අධි­වේගී රථ­වා­හන අංශ­යට එක් වී ඇත්තේ 2015 වස­රේ­දීය. අතු­රු­ගි­රිය ඒක­කයේ සේව­යට ඔහු අනු­යුක්ත කරන්නේ වසර එක­හා­මා­ර­කට පමණ ඉහ­ත­දීය.

කොස්තා­පල් ලංකා­ජීව එදින උදෑ­සන සිටම සේවයේ නිරත වී සිටියේ කඩ­වත සිට පැමි­ණෙන වාහන පිට වන දොර­ටු­වේය. එදාත් ඔහු සුපු­රුදු ලෙස පිට­වු­මෙන් එළි­යට එන වාහන අහඹු ලෙස පරික්ෂා කර­මින් සිටි­යේය. එම අහඹු පරී­ක්ෂා­ව­න්ව­ලදී රිය­දුරු බල­පත්‍ර නැති රිය­දු­රන් කොතෙ­කුත් හසු වී තිබිණි. වැඩි හරි­යක් හසු වන්නේ සුඛෝ­ප­භෝගී වාහන රියැ­දු­රෝය. එබැ­වින් වැඩි වශ­යෙන් ඔහුගේ ඉල­ක්කය වූයේ සුඛෝ­ප­භෝගී වාහ­නය.

වේලාව පෙර­වරු 11.24ට පමණ ඇත. කඩ­වත දෙසින් පැමිණ පිට­වු­මෙන් එළි­යට යන්නට සූදා­නම් වූ සී.ඒ.ඩබ්ලිව්.1789 අංකය දරන සුදු පැහැති ලෑන්ඩ් කෘෘෂර් රථය ලංකා­ජී­වගේ අව­ධා­නය අහඹු ලෙස යොමු වන තවත් එක් වාහ­න­යකි. රියැ­දු­රුගේ අමුතු බැල්ම ලංකා­ජී­වට එත­රම් ඇල්ලුවේ නැත. ගාස්තු අය කිරී­ම්ව­ලින් පසු ප්‍රාඩෝ රථය අයි­න­කට කර නතර කර­න්නැයි ලංකා­ජීව සංඥා­වක් කරන්නේ එම සැකය මුල් කර­ගෙ­නය. ඒත් එක්කම රියැ­දුරු අසු­නට යාබද අසුනේ රැඳී සිටි තරු­ණ­යාගේ මුහුණේ ඉරි­යව් වෙනස් වන අයුරු ද ලංකා­ජීව දුටු­වේය.

“මහ­ත්තයා කොහේ ඉඳන්ද එන්නේ.“ ලංකා­ජීව රියැ­දු­රා­ගෙන් විම­සු­වේය.

“කඩ­වත ඉඳන්“ රියැ­දුරා කීය.

“ලයි­ෂන් ඉන්ෂු­රන් දෙන්නකෝ“ ඒත් එක්කම රියැ­දුරු බල­ප­ත්‍රය සහ රක්ෂණ සහ­ති­කය රියැ­දු­රා­ගෙන් ඉල්ලුවේ සුපු­රුදු පරී­ක්ෂා­ව­ක­ටය.

“ආ මෙන්න“ ඉල්ලූ සැණින්ම ලංකා­ජීව අතට රථයේ සිය­ලුම ලියැ­කි­ය­විලි පත් කර­මින් රියැ­දුරා අමුතු විදි­හට මෝටර් රථය පිටු­පස ආසන වෙත බැල්මක් හෙළු­වේය. ඒ බැල්ම ලංකා­ජී­වට ගෙන දුන්නේ දැඩි සැක­යකි. ඇතු­ළත නොපෙ­නෙන තර­මට කළු පැහැ ගන්වා තිබුණු වීදුරු අත­රින් ලංකා­ජීව රථයේ පිටු­පස ආසන වෙත සිය තියුණු බැල්ම යොමු කළේය. එවිට ඔහු දකින්නේ ආසන හකුළා ඒ මත තබා තිබුණු පොහොර උර දෙකකි.

“ඇතුළේ මොන­වාද තියෙන්නේ“ ලංකා­ජීව ප්‍රශ්න කරන්නේ එම ගෝනි­වල පුරවා ඇත්තේ කුම­ක්දැයි සැක­හැර දැන­ග­න්න­ටය.

“දානෙ­කට බඩු වග­යක් “ පැකි­ළී­ම­කින් තොරව ඔහු උත්තර දුන්නේය.

ඇති වන කුතු­හ­ලය නිසා ලංකා­ජීව තීර­ණය කරන්නේ එම ගෝනි දෙක පරීක්ෂා කර­න්න­ටය.

“පිටි­පස්සේ දොර පොඩ්ඩක් අරින්න “ ලංකා­ජීව කිය­න­වාත් එක්කම රියැ­දුරු මෝටර් රථ­යෙන් එළි­යට ඇවිත් “රාල­හාමි ඇත්තම කිය­නවා නම් මේ ගෝනි­වල තියෙන්නේ දානෙක බඩු නෙමෙයි, කේ.ජී. අපට යන්න දෙන්න. රාල­හා­මි­ටත් සල­ක­න්නම්“ කීවේ පොලි­සියේ ඇතැම් නිල­ධා­රීන් මෙන් ලංකා­ජී­වත් මුද­ලට ගැනී­මට හැකි වේ යැයි සිතා­ගෙ­නය.

ඒත් එක්කම ලංකා­ජීව සිය රාජ­කාරි රිවො­ල්ව­රය අතට ගත්තේය. එය රිය­දුරු දෙසට එල්ල කර­මින් වාහ­නයේ යතුර සිය­තට ගත්තේය. ඒත් එක්කම වෝකි­ටෝ­කි­යෙන් ඔහු ස්ථානා­ධි­පති චන්ද­නට දැනුම් දෙන්නේ ඉක්ම­නින්ම පිට­වුම අස­ලට එන ලෙසය.

ඒ වන විට පොලිස් ස්ථානා­ධි­පති චන්දන රැඳී සිටින්නේ මුර­පො­ළේය. පිට­වුමේ සිට මුර­පො­ළට ඇත්තේ ඇවිද යන තරමේ දුරකි. ලංකා­ජී­වගේ පණි­වි­ඩය ලද සැණින් ඔහු නිල­ධා­රීන් කිහිප දෙනෙක් සමඟ දුව එන්නේ, හදි­සි­ය­කට මිස වෝකි­ටෝ­වෙන් කතා කර තමන්ට ඉක්ම­නින්ම එන්නැයි පහළ නිල­ධා­රීන් නොකි­යන බව දැන සිටි නිසාය.

චන්දන එහි එන විටත් ලංකා­ජීව සිටින්නේ රියැ­දුරා දෙසට රිවෝ­ල්ව­රය එල්ල කර­මිනි. “මොකෝ ලංකා­ජීව. “ ඈත තියාම චන්දන විම­සන්නේ දුටු දෙයින්ම ඇති වී තිබෙන බර­ප­තළ තත්ත්වය වට­හා­ගෙ­නය.

“සර් වාහනේ කේරල ගංජා ගෝනි දෙකක් තියෙ­නවා“ ලංකා­ජීව කීවේය.

“කේරල ගංජා“ එසේ පව­ස­මින් ස්ථානා­ධි­පති චන්දන මෝටර් රථයේ පිටු­පස දොර විවර කර පොහොර උර දෙක පරීක්ෂා කළේය. කේරල ගංජා වෙනු­වට එම ගෝනි දෙකෙන් හෙරො­යින් මතු වන්නේ එවි­ටය. ගෝනි දෙකේ පුරවා තිබෙන්නේ කිලෝ එකේ හෙරො­යින් පැකට්ය. පැකට් පන­හක් එම උර දෙකේ ඇතැයි පෙනී යන්නේ රියැ­දු­රාත් ඔහු සමග රථයේ ගමන් කර­මින් සිටි පුද්ග­ල­යාත් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසුව කළ ගණ­නය කිරී­ම්ව­ල­දීය

ජාවා­ර­මුන්ගේ පැටි­කි­රිය

රියැ­දු­රා­ගෙත් ඔහුගේ සහා­ය­ක­යා­ගේත් පැටි­කි­රිය හෙළි වන්නේ ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය භාර­යට පත් වීමත් සම­ඟිනි. ඊට අනුව ඔවුන් දෙදෙනා එසේ මෙසේ අය නොව, කොළ­ඹ­ටම මත්කුඩු බෙදන ජාවා­රමේ ප්‍රධාන පුරුක් දෙකකි. රියැ­දුරු අසුනේ සිටියේ පැල්ල­වත්ත ගමගේ චමින්ද දිල්රුක් හෙවත් පොඩි සුදූය. තිස් අට වියැති ඔහු පොලි­සිය හඳු­න්වන්නේ පරයි සුදූ කියාය. ඒ ඔහු පරවි පිස්සෙකු වන බැවිනි. අනෙකා මංගල සිසිර කුමා­රය. තිස් අට වියැති ඔහු උඩ­හ­මුල්ලේ සමඟි මාව­තේය.

පොඩි සුදූගේ ගුබ්බෑ­යම පිහිටා ඇත්තේ බොරැල්ල වනා­ත­මුල්ලේ පිහිටි සර­ව­න­මුත්තු ක්‍රීඩාං­ග­ණය ආස­න්න­යේය. ක්‍රීඩාං­ග­ණ­යට යාබ­දව බේස්ල­යින් ඇළට මායිම්ව ඇති තෙම­හල් සුවි­සල් නිවසේ හිමි­කරු ඔහුය. මුල් කාලයේ එම නිවසේ ඔහු පදිං­චිව සිටි­යත් දැන් එය වෙන්ව ඇත්තේ ගුවන් හමු­දාවේ සහ කොළඹ රෝහ­ල්වල සේවයේ නිරත රජයේ සේව­ක­යන්ගේ බෝඩි­මක් ලෙසිනි.

පොඩි සුදූ එහි පදිං­චිව නොසි­ටි­යත් පොදු කට­යු­තු­ව­ලදී විය­පැ­හැ­දම් කරන්නේ ලෝබ නැති­වය. සෙසු මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් මෙන් ඔහු පාතා­ල­යෙක්ද නොවීය. ඔහුගේ නම ඉදි­රියේ මිනිස් ඝාතන කොල්ල­කෑම් කප්පම් ගැනීම් මෙන්ම තර්ජ­නය කිරීම්ද පොලි­ස්පො­ත්වල ලියැවී ඇති බවක් සොයා­ග­න්නට නැත. අව­සන් වරට ඔහු සිය ගුබ්බෑ­ය­මට එන්නේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට සති දෙක­කට පමණ පෙරය. ඒ එන්නේද අස­ල්වැසි නිව­සක මළ ගෙද­ර­ක­ටය. දිනක් දෙකක් එහි ගත කරන ඔහු නැති බැරි කිහිප දෙනෙ­කු­ටම අත­මිට මොළවා තිබුණේ දහසේ නෝට්ටු මිටි­ව­ලිනි. මත්කුඩු පාන­යට ඇබ්බැහි වූව­න්ටද ඔහු ඒ ගම­නේදි සල­ක­න්නට අම­තක කර නොති­බිණි. දහසේ නෝට්ටු ඒ අය වෙනු­වෙන් ඔහු විසි කරන්නේ නිවසේ තෙවැනි මහලේ බැල්කෙ­නියේ සිටය. මත්කුඩු පාන­යට ඇබ්බැහි වී සිටි­ය­වුන් එදා දහසේ නෝට්ටු අහුලා ඇත්තේ පොර­ක­මිනි. ඉන් පොඩි සුදූ ලබා ඇත්තේ සියුම් වින්ද­න­යකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ තොර­තුරු සඳ­හන් කරන ආකා­ර­යට පොඩි සුදූ මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට පත් වන්නේ පළමු වතා­වට නොවේ. ඔහු හය හත් වතා­වක්ම පොලී­සි­යට කොටු වී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කර්යාං­ශය වරක් ඔහු අත්අ­ඩං­ගු­වට ගන්නේ කිලෝ එක­හ­මා­රක් පමණ බරැති හෙරො­යින් තොග­යක් සම­ඟිනි. තවත් වරෙක බොරැල්ල පොලී­සිය ඔහුගේ යැයි සඳ­හන් හෙරො­යින් කිලෝ 10 ක් අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ ඔහුගේ ගෝල­බා­ල­යන් බව සඳ­හන් කිහිප දෙනෙකු සම­ඟිනි. මෙවර ඔහු අත්අ­ඩං­ගු­වට ගන්නේ හෙරො­යින් කිලෝ 50ක් සම­ඟිනි. ඒ ජාවා­රම කරන්නේ ඔහු ඇප මත සිටි­ය­දීය.

කුඩු තොගය කාගෙද?

පෙනී යන ආකා­ර­යට පොඩි සුදූට මෙවර නම් ගැල­වි­ල්ලක් නැත. එම හෙරො­යින් තොගය පිකි­ස්තා­නයේ සිට මුහුදු මාර්ග ඔස්සේ කුඩා නෞකා­ව­කින් මෑත­කදී මෙර­ටට රැගෙන ආ බව කියන හෙරො­යින් කිලෝ පන්සී­යෙන් කොට­ස­ක්දැයි ඇත්තේ සැක­යකි. එම හෙරො­යින් කිලෝ 500 ගැන ඇස ගසා­ගෙන සිටියේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ බුද්ධි අංශයේ නිල­ධා­රී­හුය. මෙතෙක් ඉති­හා­සයේ වැඩිම හොරො­යින් තොග­යක් අල්ලා­ගෙන ඇත්තේද පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසිනි. එම ප්‍රමා­ණය කිලෝ 2000කට ආස­න්නය. ඒ සා විශාල හෙරො­යින් තොග­යක් විශේෂ කාර්ය බළ­කාය අල්ලා­ගන්නේ පසු­ගිය වසරේ අග භාග­යේත් මේ වසරේ මුල්භා­ග­යේත් මාස තුනක් වැනි කෙටි කාල­යක් තුළය. ඒ කිලෝ දෙතුන් සියය එක­වර අල්ල­මිනි. ඒ නිසා ග්‍රෑම් එකක් රුපි­යල් 8000 කට තිබුණු හෙරො­යින් මිල රුපි­යල් 24000 දක්වා ඉහළ ගියේය.

ඒ තත්ත්වය එක වරම වෙනස් වන්නේ පාකි­ස්තා­නයේ සිට මෙර­ටට හෙරො­යින් කිලෝ 500ක් එක­වර රැගෙන ඒමත් සම­ඟිනි. දැන් හෙරො­යින් ග්‍රෑම් එකේ මිල අඩු වී ඇත්තේ රුපි­යල් 8000ටත් අඩු ගණ­න­ක­ටය. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ­යට ලැබී ඇති තොර­තු­රු­ව­ලට අනුව එම හෙරො­යින් තොගය මෙර­ටට එවා ඇත්තේ මුජ­හිඩ් නැමැති ශ්‍රී ලංකීය අන්ත­ර්ජා­තික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රුය. මෙරට දේශ­පා­ල­න­ඥ­යන් සම­ඟද කාල­යක් ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පැවැත්වූ මුජ­හිඩ් දැන් සිටින්නේ ඩුබා­යි­හිය. ජගත් පොලි­සියේ රතු නිවේ­ද­න­ලා­භි­යෙකු වන ඔහු යුරෝ­ප­යට පවා මත්කුඩු බෙදා හරි­න්නෙකි. මෙරට සිට ඔහු මත්කුඩු යුරෝ­ප­යට යැව්වේ සිලෝන් ටී නාම­යෙනි.

මුජ­හිඩ් විසින් මෙර­ටට එවන ලද එම මත්කුඩු තොගය රට­පුරා බෙදා හැර ඇත්තේ නියෝ­ජි­ත­යන් කිහිප දෙනෙකු මඟිනි. එක් නියෝ­ජි­ත­යෙකු වන්නේ කඹු­රු­පි­ටියේ ඉන්දි­කය. පොඩි සුදූට හෙරො­යින් දෙන්නේ ඔහුය. අතු­රු­ගි­රි­යේදී අත්අ­ඩං­ගු­වට ගත් හෙරො­යින් කිලෝ 50ක ප්‍රමා­ණ­යද පොඩි සුදූට දී ඇත්තේ ඉන්දි­කය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය සඳ­හන් කරන ආකා­ර­යට ඉන්දික සිටින්නේ බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඒ මත්කුඩු චෝද­නා­ව­කට ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මක් ලබාය. බන්ධ­නා­ගා­රයේ රැඳෙ­මින් ඔහු තව­දු­ර­ටත් මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටින්නේ එම දඬු­වම ප්‍රමා­ණ­වත් නොවන නිසා වන්නට පුළු­වන.

පොඩි සුදූ­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් හෙළි වී ඇති ආකා­ර­යට පොහොර උර දෙකක ඇසුරූ එම මත්කුඩු තොගය ඔහු අතට පත් වී ඇත්තේ කඩ­ව­ත­දීය. ඉන්දික ලබා­දුන් දුර­ක­තන ඇම­තු­ම­කට අනුව කඩ­වත-රාගම පාරේ යම් ස්ථාන­ය­කට යන ඔහුට එම මත්කුඩු තොගය ලබාදී ඇත්තේ තවත් වාහ­න­ය­කින් පැමිණි අයෙකි. ඔහු කවු­රු­න්දැයි පොඩි සුදූ දැන හඳු­නන්නේ නැත. එහෙත් ඔහු ඒ වාහනේ හැඩ රුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් හමුවේ පව­සන්නේ දැඩි ප්‍රශ්න කිරීම් හමු­වේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් උත්සාහ දර­මින් සිටින්නේ ඒ ඔස්සේ එම වාහ­නය හඳු­නා­ග­න්න­ටය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විශ්වාස කරන්නේ ඉන් මෙතෙක් හෙළි නොවූ බොහෝ තොර­තුරු හෙළි කර ගැනී­මට හැකි වනු ඇතැයි කියාය.

Comments