මාවිල්ආරු­වට මරු පෙන්නා ‘අල්ල’ අන­තුරේ හෙළන වාරිමාර්ග ලොක්කෝ | සිළුමිණ

මාවිල්ආරු­වට මරු පෙන්නා ‘අල්ල’ අන­තුරේ හෙළන වාරිමාර්ග ලොක්කෝ

 මාවිල්ආරු වේල්ල පරීක්ෂා කර බලන යුද හමුදා නිල­ධා­රීන් පිරි­සක්
මාවිල්ආරු වේල්ල පරීක්ෂා කර බලන යුද හමුදා නිල­ධා­රීන් පිරි­සක්

මින්නේ­රිය ජලා­ශය තැනූ මහ­සෙන් රජ­තුමා විසින් මාවි­ල්ආරු මහා ජලා­ශ­යද අපට දායාද කළ බව වංශ කතා­වන් පව­සයි. අනු­රා­ධ­පුර රාජ­ධා­නිය වැනසූ ආක්‍ර­ම­ණික සොළීන් නසා පොලො­න්නරු රාජ­ධා­නිය ගොඩ නැඟු 1 වන විජ­ය­බාහු රජුගේ පුත් වික්‍ර­ම­බාහු රජු, රජ­රට රාජ්‍ය­යෙන් පලවා හැරීම පිණිස විදේ­ශීය හමු­දා­වන් ගෙන පසු­ප­සින් හඹා ගිය වීර­දේව හෙවත් වීර­වම්ම සෙනෙ­වියා ගිලී නැසුණේ ද කොට­සර දන­ව්වට අයත් මාවිල් ආරු මඩ­ව­ඟු­රේහි යයි වංස­ක­තා­වන් හි සඳ­හන් වේ.

පොලො­න්නරු රාජ­ධා­නි­යෙහි පරි­හා­නි­යෙන් පසුව ඉවුරු බිඳී විනා­ශ­යට පත් වූ මාවිල් ආරු ජලා­ශය සිය­ව­ස්‌ ­කි­හි­ප­ය­ක්‌ ­තිස්‌සේ ඝන වනා­න්ත­ර­යට මැදිව බිහි­සුණු කිඹු­ලන් ගහන මඩ­ව­ගුර­ක්‌ ­බ­වට පත්විය.

වෙරු­ගල් නදි­යෙන් ගලා එන අක්‌කර අඩි ලක්‍ෂ­ය­කට වැඩි ජල කඳ­ක්‌ ­රැ­ඳ­විය හැකි මාවිල් ආරු ජලා­ශය නිර්මා­ණය වූයේ අදින් දශක ගණ­නා­ව­කට එපිට දීය. එහෙත් එකල එම ජල­යෙන් වගා කිරී­මට වෙන්ව තිබුණේ ප්‍රදේ­ශයේ ජීවත් වූ සීමිත පිරි­සක් විසින් අස්‌ව­ද්දන ලද කුඩා බිම් පෙදෙස් කිහි­ප­ය­­ක්‌ ­ප­ම­ණකි.

මාවිල්ආරු ජලා­ශය ජලජ පැළෑ­ටි­ව­ලින් වැසී ගොස් ඇති අයුරු

මෙය ජලා­ශ­යෙහි රඳන මහ ජල­ක­ඳට ප්‍රමා­ණ­වත් ගොදුරු බිම­ක්‌ ­නො­වුණි. මෑත ඉති­හා­සයේ නව පරි­ච්ඡේ­ද­යක් පෙර­ළ­මින් කෘෂි කර්මා­න්තයේ පෙර­ළි­යක් ඇති කළ මහා­මාන්‍ය ඩී.එස් සේනා­නා­ය­කයෝ‍ ඔහුගේ ගොවි ජන­පද ව්‍යාපාරය අනුව නව නිවෙ­ස්‌ ­තනා, උපන් බිමට උරු­ම­යක් නැතිව සිටි දිව­යි­නෙහි සෑම පෙදෙ­ස­කම ජීවත් වූ සිංහල, දෙමළ, මුස්ලිම් වැසි­යන් පමණක් නොව, ආදි මුහු­දු­වා­සීන් පවා ගෙන්වා මේ බිමේ සරු­සාර කෙත් බිම් අස්වැ­ද්දීම පිණිස යොමු කළහ. සරු­සාර කෙත්ව­තු­ව­ලින් යුත් අල්ල (අල්ලෙයි) නමින් නව ගොවි ජන­ප­ද­යක්‌ද නිර්මා­ණය වන්නේ එසේය. වෙරු­ගල් ආරු හරහා විශාල බැම්මක් ඉදි කර සොරොව් 3ක් ස්ථාපිත කර මේ මහා ජලාශ ව්‍යාපෘ­තිය අර­ඹන ලදී.

එහි සිංහ­ල­යන් සඳහා වෙන්ක­රන ලද පෙදෙස සේරු­වා­විල හා දෙහි­වත්ත ලෙසින් හැඳි­න්විණි. ඔවුන්ට ජලය සැප­යුණේ සෝමා­ව­තිය පෙදෙ­සට වන්නට පිහිටි මාවිල් ආරු අව­සන් සොරො­ව්වෙනි.

සේරු­විල, වෙරු­ගල් හා මුත්තූර් යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස ආව­ර­ණය වන පරිදි 1953 වසරේ ආරම්භ කළ අල්ල ගොවි ජන­ප­දය මාවිල් ආරු ජල­යෙන්ම පෝෂ­ණය වූවකි. මාවිල් ආරු සිට කිලෝ මීටර හත­ළි­හක් පමණ ඈතින් ගලා යන මහ­වැලි ගංගාවේ අතු ගංගා­වක් වන වෙරු­ගල් හරහා අමු­ණට ජලය ලැබේ. කාලා­න්ත­ර­යක් තිස්සේ අල්ලෙයි ගොවි ජන­ප­දයේ ගොවි­තැන් බත් කර­මින් සිටි ජන­තා­වට මහා විනා­ශ­යක් ගෙන දුන්නේ 2006 වස­රේ­දීය. ඒ කුඹු­රට ජලය අව­ශ්‍යම වන මොහො­තක එල්.ටී.ටී.ඊ ත්‍රස්ත­වා­දීන් විසින් මාවි­ල්ආරු සොරොව්ව වසා දැමී­මෙනි. දිනය හරි­ය­ටම කිය­න­වා­නම් 2006 වසරේ ජූලි මස 21 වැනි­දාය. ත්‍රස්ත­වා­දීන් විසින් වසා දැමුණු සොරොව්ව මුදා ගැන්මේ මෙහෙ­යුම් ආරම්භ වූයේ දින 5කට පසු ජූලි 26 වැනි­දාය. ආර­ක්ෂක හමුදා මාවිල් ආරු ඇළ ඔස්සේ ගොස් 2006 වස­රේම අගෝස්තු 08 දා සොරොව්ව විවෘත කළහ. අගෝස්තු 15 දා වන­විට සමස්ත මාවිල් ආරු ජලා­ශ­යම අත්පත් කැර­ගැ­න්මට ආර­ක්ෂක හමු­දා­වන්ට හැකි­විය. නිවාස ගම්බිම් අත්හැර ගිය වැසියෝ යළි ගම්බිම් බලා පැමි­ණි­යහ.

ඒ දින­ව­ලත් ඊට පෙර යුද සම­යේත් දෙපා­ර්ශ්­වය අතර සිදු වූ බෝම්බ ප්‍රහා­ර­යන්ට ලක් විම නිසා ජලාශ බැම්ම බිඳී ගියේය. ඒ අව­ස්ථා­ව­ලදී යුද හමු­දාව විසින් තාව­කා­ලි­කව වැලි කොට්ට අතුරා එම ජලා­ශයේ වේල්ල ආරක්ෂා කර දෙන ලදී.

ඒ මාවිල් ආරු කතාව තව­මත් නිමා වී නැත. මේ වන විට රට ඉදි­රියේ ඇත්තේ ඛේද­වා­ච­ක­යක් බඳු කතා­වකි.

වේල්ල පුපුරා ඇති අයුරු
වන සතුන්ට කුමක් වේද?

මාවිල් ආරු හරහා 1953 වසරේ ආරම්භ කරන ලද සැල­සුම් ක්‍රියා­ත්මක කර­මින් තවත් අක්කර දහස් ගණ­නක් පෝෂ­ණය කරනු තබා තිබෙන තත්වය කල­ම­ණා­ක­ර­ණය කර ගත නොහැකි දුගී අඩි­ය­කට වාරි මාර්ග බල­ධා­රීහු පත් වී සිටිති.

මාවිල් ආරු සොරොව්ව හා වේල්ල මෙන්ම ජලා­ශය හා මහ ඇළද ආරක්ෂා කර ගැන්මට අද වන විට වාරි මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව අස­මත් වී ඇත. මාවිල් ආරු ජලා­ශය හා මාවිල් ආරු ජලා­ශ­යෙන් ජලය රැගෙන යන මාවිල් ආරු මහ ඇළද මේ වන විට ජපන් ජබර සැල්වී­නියා ඇතුළු ජලජ පැළෑ­ටි­ව­ලින් මුළු­ම­නින්ම මෙන් වැසී ඇත. ජලය රඳා පවත්වා ගැනී­මට නොහැකි වන පරිදි මෙසේ මාවිල් ආරු ජලා­ශය හා ජලය ගෙන යන මහ ඇළ අව­හිර වීම ගැන මේ දක්වා ජන­තාව මෙන්ම ප්‍රදේ­ශයේ සංවි­ධාන විසින් සිදු කරන ලද පැමි­ණිලි මෙන්ම දැනුම් දීම් කිසි­ව­කින් ප්‍රති­ඵල අත්ව නැත.

නැ‍ඟෙන­හිර පිහිටි ජලා­ශ­යන් අතු­රින් කිඹු­ලන් අධි­කම ජලා­ශය මාවිල් ආරු ලෙස හැඳින්වේ. කන්තලේ සේරු­නු­වර මාර්ගයේ සිට අප බෝට්ටු මඟින් සොරොව්ව කරා ගමන් ගත් පැය භාග­යක පමණ කාල­යක් තුළදී කිඹු­ලන් 10 දෙන­කුට අධික සංඛ්‍යා­වක් දෙපස සිටිනු දැක ගත හැකි විය. අඩි­යක් පමණ දිගැටි පත්‍ර­ව­ලින් යුත් කංකුං මෙන්ම අඩි 12ක් 15ක් පමණ දිග­කින් කිඹු­ල­න්ගෙන්ද එහි අඩු­වක් නැත.

ජලා­ශයේ පිරී ඇති ජලජ ශාක ඉවත් නොක­ළ­හොත් ඉදි­රි­යේදී ත්‍රස්ත­වා­දීන් සොරොව්ව වසා සිදු කළ හානි­යට වඩා ලොකු විනා­ශ­යක් සිදු වන බව අපට පෙනී ගියේය. මේ වන විට මඩ අධික මාවිල් ආරු ඇළ මාර්ග­යේද බොහෝ සේ ගොඩ වෙමින් පවතී. අඩි 15ක පමණ ගැඹු­ර­කින් යුත් ඇළ මාර්ගය ගොඩ­වීම සිදු­වෙ­මින් පව­තින අතර ඉදි­රි­යේදී මේ තත්ත්වය තවත් පැව­තු­ණ­හොත් අක්කර 30000ක පමණ වී වගා­වට අත්විය හැකි වන්නේ විශාල විප­තකි.

මාවි­ල්ආරු සොරො­ව්වද වසර 13කට පෙර එදා ආර­ක්ෂක හමු­දාව විසින් දමන ලද වැලි කොට්ට මතම මේ වන තුරුත් තිබෙනු දක්නට ලැබේ. සොරො­ව්වෙහි සැල­කිය යුතු අලු­ත්වැ­ඩි­යා­වක් නැත. පස්ව­ලින් පුරවා ඇති වේල්ලද තැන් තැන් වලින් ඉරි තලා පුපුරා ගොස්ය. පසු­ගිය දින­වල ඇද හැලුණු වර්ෂාව නිසා ජලා­ශය දැඩි අව­දා­න­ම­කට පත්ව ඇත. යළිත් දැඩි වර්ෂා­වත් ඇති වුව­හොත් ඒවා සිය­ල්ලම සේදී ගොස් සොරොව්ව පිහිටි බැම්ම සම්පූ­ර්ණ­යෙන්ම පුපුරා යාමට බොහෝ ඉඩ­කඩ තිබෙන බව අපට පසක් විය.

මේ තත්ත්වය දැක දැකත් නැඟෙ­න­හිර පළාත් වාරි­මාර්ග අමා­ත්‍යාං­ශ­යත් පොදුවේ රටේ වාරි­මාර්ග සම්බ­න්ධව සොයා බැලිය යුතු වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මෙන්ම වාරි­මාර්ග අමා­ත්‍යාං­ශ­යත් මුණි­වත රැකීම එක් අතෙ­කින් ජාති­යේම අභා­ග්‍ය­යකි.

දැනට තිබෙන අනා­ර­ක්ෂිත තත්ත්වය ඉදිරි වර්ෂා කාල දෙකක් පමණ තිබු­ණ­හොත් වේල්ල කැඩී යාම වැළැ­ක්විය නොහැ­කිය. සොරොව්ද නිසි පරිදි නඩ­ත්තු­ව­කින් තොරය.

අපි දැන් මේ දෙස බලා නිහ­ඬව සිටි­මුද?

එසේත් නැත්නම් ත්‍රස්ත­වා­දීන් විසින් සුළු කලක් වසා දමා ගොවි ජන­තාව අසී­රු­වට පත් කළ තිබුණු මාවිල් ආරු සොරොව්ව් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ නොසැ­ල­කිල්ල මත ඉදි­රි­යේදී වසර ගණ­නා­ව­කට යළි භාවි­ත­යට ගත නොහැකි වන තෙක් නිහ­ඬව නොසිට පිළි­යම් යොද­මුද?

මාවිල් ආරු විනාශ වුව­හොත් විනාශ වන්නේ ජලා­ශ­යම පම­ණක් නොවේ. මහා පරි­සර පද්ධ­ති­යකි. මිනිස් ජීවිත මෙන්ම ජලා­ශය අසල වනයේ සිට ජලා­ශය හා සබැ­ඳිව දිවි ගෙවන උර­ග­යින්, පක්ෂීන් වන අලින් ඇතුළු සියලු සත්ත්ව­යන්ගේ දිවි පෙවෙ­තය. ඒ දිවි පෙවෙ­ත­ටද මාවිල් ආරු විනා­ශය නිසා බල­පෑම් එල්ල වී ඇත.

පරි­ස­රයේ අලං­කා­රය මෙන්ම ස්වභා­වි­ක­ත්වය ගැමි සුන්ද­ර­ත්වය තව­මත් අඩු නොවී රැකී ඇති මාවිල් ආරු ලෝක ඉති­හා­ස­යට එක් වූයේ ත්‍රස්ත­වා­දයේ අව­සන් කිරීමේ මූලා­ර­ම්භය වැටුණු ස්ථානය ලෙසිනි. ඒ සුබ ලකුණ මකා දම­න්නට වාරි මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ මේ මාරක මුනි­වත ප්‍රමා­ණ­වත්ය. මේ ගැන ජනා­ධි­ප­ති­ව­ර­යා­ගේත් අග­මැ­ති­ව­ර­යා­ගේත් වාරි­මාර්ග ඇමැ­ති­ව­ර­යා­ගේත් අව­ධා­නය කඩි­න­මින් යොමු­වනු ඇතැයි අපි සිතමු.

සේයාරූ - විමල් කරු­ණා­ති­ලක

 

Comments